Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ලංකාවේ සියලුම ප්‍රදේශයන්ට මෙන්ම මීතොටමුල්ලටද අලුත් අවුරුද්ද උදාවුණද, එය සැමරීමට තරම් කාලයක් ඔවුන්ට ඉතිරි නොවූයේ කොළඹ කුණු ඔවුන්ට සරදම් කළ බැවිනි.නව වසරේ දහසකුත් පැතුම් ඉටු කරගැනීමේ සිතුවිල්ලෙන් ඔවුන් අලුත් අවුරුදු දා නැකතට කිරි ඉතිරෙව්වද ඒ සිතුවිලි සැණින් සුන් කරවීමට තරම් කුණු කන්ද අකාරුණික විය.
අලුත් අවුරුද්ද උදා වූ සිකුරාදා සවස 02.00 ට පමණ කුණුකන්ද කඩා වැටෙන්නට විය. බලාපොරොත්තු නොවූ මෙම විපතෙන් දිවි බේරාගැනීමට බොහෝදෙනා දිවගියද බොහෝ ජීවිත ප්‍රමාණයක් කුණු කන්දට බිලි විය.කෙසේ හෝ මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව පූර්ණ වශයෙන් හානි වී ඇති නිවාස ගණන 145 කි. පවුල් 180කට අයත් 625 දෙනෙක් අවතැන් වී සිටිති.
මළසිරුරු 28 ක් මේ වනවිට සොයාගෙන ඇති අතර, අතුරුදන් වූ පිරිසද 30කට අධික බව ගම්වාසීන්ගේ තොරතුරු අනුව දැනගන්නට ලැබිණි.කුණුකන්ද නාය යනවිට එහි උස අඩි තුන්සියයකි. කුණු කන්ද හේතුවෙන් සෞඛ්‍ය ගැටලු පැන නැගී ඇති බවට මැසිවිලි නගන ප්‍රදේශවාසීහු එය වෙනත් ස්ථානයක් කරා රැගෙන යන ලෙසට අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර, විසඳුමක් නොලැබුණු තැන ඔවුහු උද්ඝෝෂණ සිදුකළහ.
මේ වනතුරු මීතොටමුල්ලට දෛනිකව බැහැර කරනු ලබන කසළ ප්‍රමාණය ටොන් අටසියයකි. ජනතා වීරෝධතා හමුවේ මීතොටමුල්ල කුණු කන්ද වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට තීරණය කෙරුණද ඒ සියල්ලද නැවතුණේ එම ප්‍රදේශවල ජනතා උද්ගෝෂණ හේතුවෙනි.
මේ අතර මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත්, ඒ සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.මීතොටමුල්ලට කසළ බැහැර කිරීම ආරම්භ වන්නේ 2008 වසරේදී කොළඹ බ්ලූමැන්ඩල් කුණු කන්දට කසළ බැහැර කිරීම නවතා දැමීමත් සමගය.
මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ප්‍රදේශය අතීතයේ කුඹුරු යායක් සහිත වගුරු බිමකි. එය විනාශ වී ඇත්තේ කොළඹට පැමිණි විශාල ගංවතුරක් හේතුවෙනි. පසුගිය වසරේදී කොළඹට ඇති වූ ගංවතුර තත්ත්වයේදීද මෙම ප්‍රදේශයට විහාල හානියක් සිදුවූයේ ජලය පමණක් නොව ඒ හා මිශ්‍රව කුණුද නිවෙස් වෙත ගලා ආ බැවිනි.
ආරම්භයේ අක්කර දෙකක් පමණ වූ මීතොටමුල්ල කුණු කන්ද අද වනවිට අක්කර විස්සක් පමණ දක්වා වූ භූමි ප්‍රදේශයක පැතිර තිබේ.
ග්‍රාම සේවා වසම් අටකට අයත් මීතොටමුල්ල කුණු කන්ද අවට තිස්දහසකට ආසන්න පිරිසක් ජීවත් වෙති. මීතොටමුල්ලට කුණු නොදමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පාලන සමයේ නියෝගයක් නිකුත් කළද එය නොතකා කුණු දැමීම දිගින් දිගටම සිදුවිය.
දිනකට කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ටොන් 800 ක් කසළ එකතු වන අතර, ඉන් තුනෙන් දෙකක් කුණු කොළඹට ගෙනඑන්නේ පිටතින් කොළඹට එන පුද්ගලයන් විසිනි. ඒ අනුව කොළඹ කුණුවලින් තුනෙන් දෙකක් ඇත්තේ පිටතින් පැමිණෙන කුණුය. ලක්ෂ දහයක පමණ පිරිසක් කොළඹට දෛනිකව පිටතින් පැමිණෙන අතර කොළඹ ජීවත්වන පිරිස හයලක්ෂ පනස්දහසකි.
මේ අනුව මීතොටමුල්ල ඛේදවාචකයට කොළඹ පුද්ගලයන් පමණක් නොව කොළඹට පිටතින් පැමිණෙන පුද්ගලයන්ද වගකිව යුතුය.
මේ වනවිට කසළ ප්රශ්නය කොළඹට පමණක් නොව මහනුවර, නුවරඑළිය, හැටන්, ගාල්ල වැනි නගරවලටද පැතිර ගොස් තිබේ. මෙරට සුන්දර ශ්‍රී ලංකාව ලෙස හැඳින්වුවද සැම නගරයකටම ළඟාවන විට දැවැන්ත කුණු ගොඩවල් නීර්මාණය වී ඇති අයුරු දැකගත හැකිය.
මීතොටමුල්ල සිදුවීම නිසාම සමාජය තුළ මෙන්ම සාමජ මාධ්‍ය තුළද කසළ බැහැර කිරීම පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගී ඇත. නමුත් මේ සියල්ල කතිකාවක් පමණක් නොවිය යුතු අතර ප්‍රායෝගිකද විය යුතුය.
මෙතෙක් ලැබී ඇති දත්තයන්ට අනුව පළාත් පාලන ආයතන අනුව ඝන අපද්‍රව්‍ය උත්පාදනය සලකා බැලීමේදී කොළඹ මහනගර සභා සීමාවේ එක් පුද්ගලයෙකු දිනකට උත්පාදනය කරනු ලබන අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 0.8 ක් වන අතර, අනෙකුත් මහ නගර සභාවල එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 0.75 ක් වේ. නගර සභාවල එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 0.6 ක් වන අතර, ප්‍රාදේශීය සභාවල කිලෝග්‍රෑම් 0.4 වේ. ශ්‍රී ලංකාවේ මහ නගර සභාවල දිනකට උත්පාදනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 6.4 ක් පමණ වන අතර, මින් එකතු කරනු ලබන්නේ ටොන් 2.7 ක ප්රමාණයකි.
ප්‍රාදේශිය සභා සහ නගර සභා කඹ ඇදිලි හේතුවෙන් කසළ ප්රශ්නය තවදුරටත් ඔඩුදුවමින් ඇති අතර, වහාම පූර්ණ බලැති කසළ කළමනාකරණ අධිකාරියක් පිහිටුවිය යුතුය. මේ සම්බන්ධයෙන් වරින් වර විවිධ අදහස් පැමිණියද එය මේ වනතුරු යථාර්ථයක් වී නැත.
ශ්‍රී ලංකාව තුළ නිවැරදි ජාතික කසළ කළමනාකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ කාලය එළඹ ඇත. මේ සම්බන්ධ නොයෙකුත් පරීක්ෂණ අත්හදා බැලීම් සිදුකෙරුණද මෙතෙක් එය යථාර්ථයක් වී නොමැත.
කසළ කළමනාකරණය සම්බන්ධයෙන් සාර්ථක රටවල් වන කොරියාව, සිංගප්පූරුව, ජපානය වැනි රටවල් සමග එක්ව පසුගිය කාලය පුරාවට විවිධ පර්යේෂණ සිදුකළ අතර වර්තමානයේ ඒවා ක්‍රියාත්මක කිරීමේ කාලය එළැඹ තිබේ.ලෝක බැංකු වාර්තාවන්ට අනුව 2025 වනවිට ශ්‍රී ලංකාවේ දිනකට එකතු වන ඒකපුද්ගල ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 01 දක්වා ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. එහෙයින් ශ්‍රී ලංකාව තුළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවත් ඒ සඳහා ජනතා සහභාගිත්වයේ අවශ්‍යතාවත් දැඩිව පවතී. විශේෂයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා විවිධ ක්රමෝපායන් පළාත් ආණ්ඩු අනුගමනය කළද මහජන සහභාගිත්වය අඩු මට්ටමින් පැවතීම ඒවා ක්‍රියාත්මක නොවීමට හේතුව වී ඇත.
බැහැරලන අපද්‍රව්‍ය වෙන්කර බැහැර කිරීමේ ව්‍යාපෘතියක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළද නිවැරදිව ක්‍රියාත්මක නොවන බැවින් එයද අසාර්ථක මට්ටමකට පැමිණ තිබේ. සැබැවින්ම කසළ වෙන්කර බැහැර කිරීම තුළ කසළ කළමනාකරණය පහසු කරන අතර, මේ සියල්ලටම ජනතාව හුරුකරවීමේ කාලය එළැඹ තිබේ.
"කසළ කළමනාකරණයේ ප්රාථමිකම අවධියේවත්, එනම් ප්‍රතිචක්‍රිකරණය (recycle) කිරීමේදීවත් අප ලෝක මට්ටමට තබා අවම තත්ත්වයටවත් ළඟා වෙලා නැහැ. අපි තවම ඉන්නේ එහි ප්රාග් ඓතිහාසික යුගයේ, ඒ කියන්නෙ බැහැර කිරීමේ හෙවත් ප්‍රපාතන (dumping) අවධියේ. නමුත් ලෝකය අප පසුකොට බොහෝ දුර ගිහින් තිබෙනවා. කසළ කළමනාකරණයේ ප්රාථමිකම අවස්ථාව වන ප්‍රතිචක්‍රිකරණය (recycling) පවා දැන් සැලකෙන්නේ least preferred විදිහටයි.
Recycle ----> Reuse ----> Reduce -----> Rethink දක්වා ලෝකය ගමන් කරමින් තිබෙනවා. අපි තවමත් ඉන්නෙ dumping යුගයේයි. ඒකෙත් අවිධිමත්ම විදියටයි. කසළ කළමනාකරණය හැදෑරිය යුතු විද්‍යාවක්, තාක්ෂණයක්, ඒ වගේම කලාවක් සහ සාමූහික වැඩපිළිවෙළක්. ඒක ජන සමාජයක මූලිකම අවශ්‍යතාවක්.
තවත් විදිහකට ගත්තොත් විශාල ආයෝජනයක් අවශ්‍ය කර්මාන්තයක්. කසළ රැඳවීම (Land filling) කියන්නෙ අතිශය සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ සඳහා සුදුසු බිම් තෝරාගැනීම, ඒවායින් පරිසරයට (විශේෂයෙන් භූගත ජලයට) සිදුවන හානි අවම කිරීම, landfill liner එක ඩිසයින් කිරීම, landfill එක තුළ ඇතිවන වායූන් හා leachate කළමනාකරණය, landfill එක කළමනාකරණය කිරීම ආදී සියලු දේ ඉතා කල්පනාකාරීව, ඉංජිනේරු හා පරිසර විද්‍යානුකූලව කළයුතු වෙනවා.
මේවා ගැන දැනුම ඇති විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, පරිසරවේදීන් සහ නගර නිර්මාණ ශිල්පීන් ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා. නමුත්, සියලු දේ දේශපාලනීකරණය වෙලා තිබෙන රටක කුණු ගැන කුමන කතාද? ඒවා නිසි පරිදි කළමනාකරණය නොකළ වැරැද්දට අපි සියලු දෙනා තනි තනිව වගේම සාමූහිකවද වගකිව යුතුයි"
අපද්‍රව්‍ය වෙන්කර බැහැර කිරීමේ කටයුත්ත නගර සභා සහ පළාත් සභා විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතිනවා. නමුත් ජනතාව එයට සහභාගි වීමේදී කරණු කිහිපයක්ම කියනවා. උදාහරණයක් විදිහට අපි දිරන කසළ එකතු කරන්නේ දින දෙකකට වරක්. නමුත් ඇතැම් ප්‍රදේශවල ජනතාව එයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් දිරන කසළ දින දෙකක් පමණ තබාගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇතැමුන් කසළ පාර දෙපැත්තට දාලා යනවා. මේ වගේ ප්‍රශ්න තිබෙනවා. මේ සඳහා ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේද තවදුරටත් අවශ්‍යයි.
ඒ වගේම කසළ බැහැර කිරීම සඳහා පළාත් පලාන ආයතනවලට අවශ්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍රවල හිඟයක් තිබෙනවා. ඒ සියලුම අවශ්‍යතාවන් මේ වසර අවසන් වීමට ප්‍රථම ලබාදීමට අපි කටයුතු කරනවා.ටකට ජාතික කළමනාකරණ ප්‍රතිපත්තියක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. එය සැකසීම සඳහා ලබන මාසයේදී සියලුම පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් සාකච්ඡා ආරම්භ කරනවා. එය ඉතා ඉක්මනින් සකස් කරගැනීම අපේ අරමුණයි.
කසළ හදන්නේ අපි. එහෙම නම් අපි ඒ කසළ සම්පතක් කරගත යුතුයි. ඒ වගේම තමයි කසළ අපි විසින්ම ගෘහස්ථව හෝ කසළ කළමනාකරණය කරගත හැකි නම් එය රටකට හා රජයකට ලොකු පහසුවක් වෙනවා. ඒ වගේම තමයි කසළ ප්‍රදේශ අනුව බෙදා වෙන් කරන්න බැහැ. කොළඹ නගරය රටේ ප්‍රධාන නගරය. එහි ඉඩකඩ සීමිතයි. මේ නිසා එකතු වන කසළ වෙනත් ප්‍රදේශ වෙත ගෙනයන්නට සිදු වෙනවා. ඒ සඳහා බෙදීම් ඇති කරගන්නට හොඳ නැහැ. කොළඹ වැඩ කරන්න අනිකුත් සැම ප්රදේශයකින්ම ජනතාව පැමිණෙනවා. ඔවුන් හැමෝම කසළ නිෂ්පාදනය කරනවා. මේ හැමදෙයක්ම එකතු වෙන්නේ කොළඹට. ඒ නිසා කසළ කළමනාකරණයේදී සහයෝගික ක්‍රමයකට යා යුතුයි. මේ නිසා සියලුම දෙනා එකතු වෙලා කසළ සඳහා විසඳුමක් සොයාගත යුතුයි.
අපද්‍රව්‍ය සඳහාත් යම් බදු මුදලක් පැනවිය යුතුයි - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නිෂ්පාදන හා කර්මාන්ත ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය අසේල කුලතුංග
යම් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් ස්ථාපනය කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරනවා පාරිසරික බලපත්‍රයක්. එය ලබාදීමේදී විශේෂ අවධානයක් යොමු කරනවා මෙම ආයතනය කසළ බැහැර කිරීම සහ කළමනාකරණය කරන්නේ කුමන ආකාරයකටද කියලා. නමුත් බලපත්‍ර අලුත් කරන කාලය අතරතුර මෙය නිසි අයුරින් සිදුවනවාද කියලා වගකිවයුතු ආයතන සහ නිලධාරීන් අධීක්ෂණය කරනවාද යන ගැටලුව තිබෙනවා.
පොදුවේ ගත්තාම අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනවල බොහෝ දුර්වලතා සහ සම්පත් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු තිබෙනවා. අනෙක් කාරණය ජනතාවගෙන් මේ සඳහා නිසි සහයෝගයක් නොමැති වීම. මේ ගැන අපේ සමාජයේ තිබෙන දැනුවත්භාවය පවා ඉතාමත් අඩුයි.
මේ අපද්‍රව්‍ය කළමානාකරණ ගැටලුවට විසඳුම් යෙදීමේදී පළමුව කළ යුත්තේ අපද්‍රව්‍ය ජනනය වීම අවම කිරීම. කෑම පිසීමේදී පවා අවශ්‍ය ප්‍රමාණය පමණක් පරිභෝජනයට ගැනීම වැදගත් වෙනවා. අනෙක් කාරණය තමයි නැවත භාවිතය කියන කාරණය. බොහෝ දියුණු රටවල් මෙය බහුලව සාර්ථකව අනුගමනය කරනවා. මේ ක්‍රම දෙකෙන්ම ඉතිරි වන දේ ප්රතිචක්රිකරණ ක්‍රියාවලිය සඳහා යොදාගත හැකියි. එයිනුත් ඉතිරි වන දේ දහනය කොට බලශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට යොදාගත හැකියි. මේ කිසිවක් භාවිත කළ නොහැකි දේ තමයි විධිමත් ලෙස පරිසරය වෙත බැහැර කළ යුත්තේ.
විදුලි පරිභෝජනය අපි අරපිරිමැස්මෙන් සිදුකරන්නේ ඊට ගාස්තුවක් රජය මගින් අය කෙරෙන නිසා. ඒ වගේම අපද්‍රව්‍ය සඳහාත් යම් බදු මුදලක් පැනවීම මගින් සහ අපද්‍රව්‍ය කළමනාකරණ නීතිරීති නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාවගේ දායකත්වය මේ සඳහා ලබාගැනීමට හැකි වෙනවා. ඒ වගේම රජයේ වගකිවයුතු ආයතනයන්ට අවශ්‍ය සම්පත් සහ දැනුම ලබාදීමත් ඉතා වැදගත්. මේ ආකාරයේ විසඳුම් ඕනෑ තරම් මේ ගැටලුවට තිබෙනවා. ඒ වෙනුවෙන් නිසි අයුරින් ක්‍රියාත්මක වන ජාතික ප්රතිපත්තියක අවශ්‍යතාවයි පැහැදිලිවම තිබෙන්නේ.
අපද්‍රව්‍ය සම්බන්ධයෙන් රටේ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. නමුත් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් රටේ විද්‍යාත්මක ඥානය ලබාගැනීමේ හා එය සමාජගත කිරීමේ විශාල දුබලතාවක් තිබෙනවා.අපද්‍රව්‍ය නිර්මාණය වෙනවා. ඒවා කොහොමද විධිමත්ව බැහැර කරන්නේ කියන කාරණය ග්‍රාමීය සමාජයේ බරපතළ ගැටලුවක් නොවුණත්, එය නාගරික සමාජයේ බරපතළ ගැටලුවක්.
මේ සඳහා ජනතාව දැනුවත් කිරීම ශක්තිමත්ව සිදුකළ යුතු වෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන මෙහෙයවීම බුද්ධිමත් පුද්ගලයන් නතු කරගත යුතුයි. ඒ වගේම මේ සඳහා ජාතික වශයෙන් යම් වැය කිරීමක් කළ යුතුව තිබෙනවා.නිවසක තිබෙන කුණු කසළ සියල්ල එක කවරයකට දමා නිවස ඉදිරිපිටින් තැබූ විට ප්රශ්නය ඉවරයි කියලා ගෙදර අය හිතාගෙන ඉන්නවා. නමුත් එය වෙනත් ක්‍රියාදාමයක ආරම්භක අවස්ථාව පමණයි.
කසල බැහැර කරන ජනතාව තුළ මෙන්ම කසළ බාරගන්නා ආයතන තුළත් මේ සම්බන්ධ හොඳ අවබෝධයක් තිබිය යුතුයි.
අපද්‍රව්‍ය කියන දේට අයිතිකාරයෙක් ඉන්නවා. මන්ද මේ බැහැර කරන්නේ අපේ කුණු අපද්‍රව්‍ය නිසා. මේ නිසා එය ආරම්භ කළ යුත්තේ අපේ නිවසින්. එයට දායක වීම අපි කාගේත් වගකීමක්. අනතුරුව රැකියා ස්ථානයේත්, පන්සලේත්, පල්ලියේත්, අනෙක් සෑම ස්ථානයකින්ම මේ කර්තව්‍යයට දායක විය යුතුයි. සෑම පුද්ගලයෙකුටම අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධව වගකීමක් පැවරී තිබෙනවා.
මේ කුණු ප්රශ්නයේදී මහජන නියෝජිතයෝ එය හොර ගනුදෙනු සිදුකරන ව්‍යාපාරයක් බවට පත්කරගෙන තිබෙනවා.මේ දේ අනිවාර්යයෙන්ම නැවැත්විය යුතු දෙයක්.
අද වනවිට අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධව ඉගෙනගන්න රටේ සල්ලි අරගෙන කීදෙනෙක් පිටරට ගිහින් තියෙනවද බලන්න.නමුත් ඒ ගිය එක්කෙනෙක්වත් එක කොම්පෝස්ට් කිලෝවක්වත් හදලා නැහැ. අන්න ඒකයි අද වෙලා තිබෙන තත්ත්වය.අනෙක් කාරණය තමා කසළ බැහැර කරන්න කිසි තැනක් නොමැති වීම. මෙයට පිළිතුරක් සොයාගන්න එක අද, හෙට, අනිද්දාට කල් දැමීම ඵලක් නැහැ. මේ ගැටලුව තිබෙන්නේ අවුරුදු 60ක විතර ඉහත ඉඳන්. සුද්දගෙ කාලේ ඉඳන් කළේ මේ එකතු වෙන කුණු භූමිතෙල්දාලා කිරුළපන පැත්තේ පුච්චපු එක. ඊටපස්සේ බ්ලූමැන්ඩල්වල කුණු කන්දක් ගැහුවා.
එතන මැර බලය ක්‍රියාත්මක කරමින් කුණු දැමීම සිදු කළා. අවසානයේ ගමේ මිනිස්සු එකතු වෙලා නඩුවක් දාලා ඒ ගිවිසුම අත්හිටෙව්වා. ඒ අත්හිටුවීමෙන් අනතුරුව තමා මේ කුණු මීතොටමුල්ලට ගෙන ගියේ. ඒ ගෙනගියත් මේ අපද්‍රව්‍ය කළමනාකරණය ගැන අවධානය යොමු කළේ නැහැ. නගරසභාවේ ඉංජිනේරුවෝ 110ක් පමණ ඉන්නවා. ඒ අය ඉගෙනගෙන උපාධි ලබාගෙන දැනුම කොපමණ තිබෙනවාද? අවුරුදු 03–04ක් විශ්වවිද්‍යාල ඉගෙනීමෙන් පසුව අවුරුදු 10– 15ක් ප්‍රායෝගිකවත්, පිටරට ගොස් ලබාගත් දැනුමෙනුත් මොනවද කරන්න බැරි, නමුත් ඒ කිසි දෙයකින් අද වනවිට ප්‍රයෝජන අරගෙන නැහැ.
මුලින්ම අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවේ බරපතළකම කතා කරනවා නම් ආසියාව සහ ආසියානු ෆැසිපික් කලාපයේ රටවල ද්‍රව්‍ය පරිභෝජනය අද ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. ඒ අනුව බලනවිට ඊට සාපේක්ෂව අපද්‍රව්‍ය ජනනයත් ඉහළ ගොස් තිබෙනවා. ආසියානු රටක් වශයෙන් ශ්‍රී ලංකාවටත් පොදු තත්ත්වයක් බවට පත්වී තිබෙනවා. දැනට ගණන් බලා ඇති ආකාරයට ආසියාව සහ ආසියානු ෆැසිපික් කලාපයේ අපද්‍රව්‍ය ජනනය ඉදිරි වසර කිහිපය තුළ දෙගුණයක් බවට පත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ දෛනිකව අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 6500ක්, 7000ක් අතර ප්‍රමාණයක් ජනනය වෙනවා. තනි පුද්ගලයෙක් අපද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 800ක ප්‍රමාණයක් ජනනය කරනවා. ඒ අනුව පැහැදිලිවම මෙය ඔබ, අප සියලු දෙනාම වගකිව යුතු ගැටලුවක් වෙනවා. ලංකාවේ වාර්ෂිකව අපද්‍රව්‍ය ජනනය වන ප්‍රමාණය 2%කින් පමණ වැඩි වෙනවා. මීට අමතරව විශේෂ සංවර්ධන ව්යාපෘතීන්වලිනුත් අමතරව මෙට්‍රික් ටොන් දහසක පමණ කසළ ප්‍රමාණයක් ජනනය වෙනවා. සංඛ්‍යා ලේඛන අනුව බස්නාහිර පළාතෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3500ක ප්‍රමාණයක් බැහැර කරනවා.
මේ අතිවිශාල අපද්‍රව්‍ය ප්‍රමාණය කළමනාකරණය කිරීමේ වගකීම සෘජුවම පැවරෙන්නෙ පළාත් පාලන ආයතනයන්ට. පළාත් පාලන ආයතන, පළාත් සභා හා මධ්‍යම රජය කියන ස්ථර තුනම මීට වගකිව යුතුයි. රටක් වශයෙන් මීට පිළියම් යෙදීමේදී පැහැදිලිවම ජාතික ප්රතිපත්තියක අවශ්‍යතාව තිබෙනවා. අපද්‍රව්‍ය කළමනාකාරණය ගැන ඇත්තටම මේ‘ වෙද්දිත් අපට ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. එය ගෙන ආවේ 2007 වර්ෂයේ පරිසර අමාත්‍යාංශය මගින්. එහි රටක් වශයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය අප සිදුකළ යුත්තේ කොහොමද කියලා සඳහන් වෙනවා.
නමුත් මේ කිසිදෙයක් ගැන ජනතාව දන්නෙ නැහැ. ජාතික ප්‍රතිපත්තියක් පැවතුණත් එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ කාර්යභාරය වන්නේ පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණය නියාමනය කිරීම.
අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව නීතිරීති ප්‍රමාණවත් ලෙස මෙරට තිබෙනවා. පළාත් පාලන ආයතනවලින් පැනවූ ආඥා පනත් සහ පනත්, පාරිසරික පනත සහ පීඩාකාරී ආඥා පනත ආදී නීතිරීති ප්‍රමාණවත් ලෙස පවතිනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වීමේ යම්යම් ගැටලු පවතිනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd