ලෝකයේ විවිධ ආගම් තුළ විවිධ ඇදහිලි විශ්වාස පවතී. මූලික වශයෙන් සෑම කෙනෙකුගේම ආගම තීරණය වන්නේ පරම්පරාවට අනුවය. එහෙත් ඇතැම් පුද්ගලයන් අවබෝධයෙන් යුක්තව යම් ආගමක් අදහන්නේ නම්, ඊට කිසිදු කෙනෙකුට එරෙහි විය නොහැකිය. බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයේ බුදුදහම වටා එක්රොක් වූ පිරිස් බොහෝ වූහ. ඊට හේතු වූයේ ලෝකයේ යථා ස්වභාවය පිළිබඳ එවකට පැවැති අනෙකුත් ආගම් හා සන්සන්දනය කිරීමේදී පැහැදිලි අර්ථ කථනයක් ලබා දුන්නේ බුදුදහම තුළිනි.
ඊට එක් උදාහරණයක් ලෙස උපතිස්ස කෝලිත (සැරියුත්-මුගලන්) දෙදෙනාගේ පැවිද්ද පෙන්වා දිය හැකිය. ලෝකයේ අසාරවත් වූ දෙය පිළිබඳ කලකිරුණු ඔවුහු දෙදෙනා, සාරවත් වූ දෙය බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළ පවතින බව අවබෝධ කරගෙන උන්වහන්සේ ළඟ පැවිදි වූහ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අවබෝධ කරගැනීම සඳහා ඕනෑම කෙනෙකුට අවස්ථාව ඇත. ඒ සඳහා මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ධර්මය කෙරෙහි තබාගන්නා වූ විශ්වාසයයි.
යමෙකුට යමක් කිරීමේදී දැඩි ආත්ම විශ්වාසයක් තිබේ නම්, එම කටයුත්ත සිදු කිරීම පහසු වේ. ධර්මය අවබෝධ කිරීමේ වගකීම හෙවත් වීර්ය වැඩීම කළ යුත්තේ තමන් විසින්මය. බුදුවරු වනාහි ඊට මග කියාදෙන්නෙක් පමණි. (තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා) ඇතැම් ගිහි කෙනෙකුට පවතින කාර්යබහුලත්වයත් සමග බුදුදහමේ ඉගැන්වෙන දාන, සීල, භාවනා ආදී කොට ඇති ක්‍රියාකරකම් මෙන්ම පටිච්චසමුප්පාද, චතුරාර්ය සත්‍යය වැනි ගැඹුරු දහම් පිළිබඳ අවබෝධය ලබාගැනීම අපහසු වනු ඇත. මුලදී සෑම දෙයක්ම නුහුරු, නුපුරුදු වුවද, කලක් එය අධ්‍යයනය කිරීමේදී සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇත. කළ යුතු වන්නේ නොබියව, සැකයක් නැතිව එම දිවියට හෝ ධර්ම කරුණු කෙරෙහි අනුගත වීම පමණි. ඒ තුළින් සෑම කෙනෙකුට බුදුදහම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය.
භාවනාව වැනි උපක්රමයන් තුළින් සිත දියුණු කිරීමෙන් ලබන ප්‍රඥාව වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙන්ම කියවීමද අවශ්‍ය වේ. ධර්මය ලියැවී ඇති පොතපත කියවා ධර්ම ගවේෂණයේ යෙදීමෙන් මෙම අවබෝධය ලබාගත හැකිය. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මිනිස් ජීවිතය පිළිබඳ යථාවබෝධය සඳහා ඉවහල් වේ. පොතපත ආශ්රයෙන් ලබන දැනුම තුළින් සිතෙහි ඇතිවන පොදු ලක්ෂණයක් වන නිවැරදිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී. බුදුන්ගේ ධර්මය පවසන පරිදි ධර්මයෙහි ඇති සැබෑ ගුණාත්මක බව අවබෝධ කරගත් පුද්ගලයෙකු සෑමවිටම තමාගේ ජීවිතයද ගුණාත්මක බවින් පුරවා ගනී. එකී ගුණාත්මක අවබෝධයෙන් ඔබ්බට ගිය සත්‍යය දැකීමේ මාර්ගය එළිපෙහෙළි කර ගැනීම ධර්මය අවබෝධ කර ගැනීම වන්නේය. බුදුන්ගේ ජීවිතය තුළ කිසිදු ගැටලුකාරී ස්වභාවයක් නොවූයේ සියල්ල පිළිබඳ සත්‍යයෙන් යුක්තව අවබෝධ කරගත් නිසාය.
ඇතැම් පිරිස් ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්නේ ජීවිතයේ අසීරුතාවලට මුහුණ දෙන්නට වූ පසුවය. තමන්ට දුකක්, කරදරයක් ඇති වූ විට ආගමානුකූල ජීවිතයක් මගින් ඊට විසඳුම් සෙවීමට පෙළඹේ. එය වියපත් වූ විට සිදු කිරීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. එය තාවකාලිකව ජීවිතයට විසඳුම් සොයා ගැනීමකි. කළ යුතු වන්නේ බුදුන් ගිය මාර්ගය පිළිබඳ අභ්‍යාසයේ යෙදී සිත දියුණු කිරීමේ හැකියාව උපදවා ගැනීමය.
බුදුදහමට අනුව ඉතා පැහැදිලි අන්ත දෙකක් ඇත. ඉන් එක් අන්තයක ඇත්තේ අන්ධ විශ්වාසයයි. අනෙක් අන්තයේ ඇත්තේ මැඬපැවැත්වීම හෙවත් ප්‍රතික්ෂේප කිරීමයි. මේ දෙක සමබරව පවත්වාගෙන මධ්‍යස්ථව කටයුතු කිරීමට බුදුදහම උපදෙස් ලබාදෙයි. අප යම් දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ අවබෝධයෙහි දුර්වලතා ඇතිවිටය. මිනිස් සිතේ සංවේදීතාව ඇතිවන්නේ බුද්ධියෙන් තොර වූ විටය. එය ජීවිතයේ බොහෝ ගැටලු නිර්මාණය වීමට හේතු වේ. එයින් අපට ධර්මය අවබෝධ කිරීමට පමණක් නොව ජීවිතය පිළිබඳ හැදෑරීමට ඇති අවස්ථාවද මගහැරී යනු ඇත.
අපගේ සිත්වලට ඇතිවෙන රාගාදී කෙළෙස් හැඟීම් පාලනය කරගැනීමට හැකි නම්, එය ද ධර්මය අවබෝධ කිරීමේදී බෙහෙවින් ඉවහල් වේ. ඇතැම් දේවල් අනතුරුදායක බව දැන දැන ඒ තුළ ඇලීගැලී වාසය කිරීමට යෑමෙන් නිවැරදි අවබෝධය ඇතිකර ගත නොහැකිය. බොහෝ කුඩා දරුවන් අනතුරුදායක දේ සිදු කරන්නේ එහි ඇති අවදානම පිළිබඳ නොදන්නා බැවින්ය. එහෙත් යමක් තේරුම් ගැනීමේ හැකියාව ඇති අය සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් තමන්ට අවාසි තත්ත්වයක් ඇතිකර ගනී. ඇතැමෙකු තමන් අතින් වරදක් සිදු වූ විට 'අම්මෝ මම ආයේ එවැනි වරදක් නැවත සිදු කරන්නේ නැත' යනුවෙන් කියන්නට පුළුවන. එහෙත් එය මඳ කලක් ගිය විට අමතක වී නැවතත් එයම සිදු කරයි. මෙය ධර්මය හරි හැටි අවබෝධ කර නොගත් පුද්ගලයාගේ ගති ලක්ෂණයකි. එබැවින් අවබෝධය ඇතිකර ගැනීමේදී වරද නිවරද පිළිබඳ මනා අවබෝධයක් ඇතිකර ගැනීම අගනේය.
ධර්මය අවබෝධ කරගැනීම පිළිබඳ අදහසක් ධම්මපදයෙහි ඇති ගාථාවකින් කියැවේ. ‘යථාර්ථයට වරදක් සිදුවීම' යනු අත්වැරදීමකි. එමෙන්ම ව්‍යාජ බව සැබෑවක් යැයි සිතීමද අත්වැරදීමකි. සෑමවිටම සත්‍යය, සත්‍යයක් ලෙසින්ද ව්‍යාජ වූ දෙය ව්‍යාජ දේවල් ලෙසින්ද දකින්න. එවිට සැබෑ සත්‍යය හමුවේ.
සත්‍යය, සත්‍යයක් ලෙසින්ද, අසත්‍යය, අසත්‍යයක් ලෙසින්ද දැකීමට අප කුමක් කළ යුත්තේද? ඒ සඳහා සත්‍යය ගවේෂණාත්මක අවබෝධය කරගැනීම ඔබ ප්‍රගුණ කළ යුතුය. ජීවිතය හා මරණය ප්‍රබල සත්‍යයක් බව දැනගෙන ඒ අතරමැද වූ සියල්ලක්ම ගවේෂණය කිරීම සඳහා උත්සාහය අවශ්‍ය වේ. එයින් අපගේ සිත සැහැල්ලු බවට හා ප්‍රබෝදයට පත්වේ.
අප යම් දෙයක් සිදු කරන්නේ මුළු හදවතින් කැපවීමෙනි. එම කැපවීම මෙහෙයවිය යුත්තේ සත්‍යය සෙවීමටය. එවිට අප ප්‍රිය කරන දෙයින් ඈත්වීමට හැකිවේ. එය දුක නැතිකර ගැනීමේ මාර්ගයයි. බුදුදහමේ ඉගැන්වෙන්නේ දුකින් එතෙර වී නිවන් අවබෝධය ලබාගැනීමය. ජීවිතයේ පවතින අනිත්‍යතාව මධ්‍යස්ථව බැලීමෙන් සිතේ ඇතිවන දෙගිඩියාව නැතිවේ. බුද්ධිමත් බව ඉස්මතු වේ. බුදුදහම වනාහි 'ස්වාක්ඛාත' හෙවත් මනාකොට දේශනා කර ඇත. අඳුරේ යමක් අතපත ගා සොයාගන්නා සේ අඳුරු ජීවිතය තුළ සිටින අප ලොව පවතින අවිනිශ්චිත දේ වටහාගත යුතුය. ඒ සඳහා සිත, කය, වචනය යන තිදොරින් විනයගරුක වී සදාචාර සංවර්ධනය ඇති කරගෙන සිත එකඟ කිරීමේ මාර්ගය දැනගත යුතුය.
එසේම ධර්මයේ ඇති වටිනාකම පිළිබඳ අවබෝධාත්මකව බැලීමෙන් ධර්මය වටහාගත හැකිය. ගිහි-පැවිදි දෙපක්ෂය එකතු වී ධර්ම සාකච්ඡාවේ යෙදීමෙන් ධර්මානුකූල අවබෝධයක් ඇතිවේ. සියල්ල සිදුවන්නේ හේතුඵල ධර්මය මත බව නිතර මෙනෙහි කළ යුතුය. ඒ තුළින් සියල්ල පිළිබඳ පවතින සැකය, බිය හා ව්‍යාකූලතාව මගහරවා ගත යුතුය. ධර්මානුකූල, ප්‍රතිපත්තිගරුක බව ඇතිකර ගෙන සෑම දෙයක් පිළිබඳ යථාවබෝධයෙන් බැලීම සියලු බාධක දුරුකර ගැනීමට ප්‍රබල හේතුවක් වේ. යම් ධර්ම කරුණක් පිළිබඳ සැකයක් උපදින්නේ නම්, ඒ පිළිබඳ නැවත නැවත විමසීමෙන් සැකය දුරු කරගෙන යථාවබෝධය වර්ධනය කිරීම, ධර්ම ශ්‍රවණය කිරීමේදී සිත එක් අරමුණක පිහිටුවා ගෙන ඇසීම සිදු කිරීමෙන් මෙකී සැකය දුරු වේ. ධර්මය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිවේ.