මෙරට සංස්කෘතියේ ඇති යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් ලෙස දෙවොල් මඩු ශාන්තිකර්මය දැක්විය හැකිය. පොදුවේ මෙවැනි ශාන්තිකර්මයන් තුළින් අරමුණු කරගෙන තිබෙන්නේ ජනතාවගේ යහපත් සෞඛ්‍යය සහ සශ්‍රීකත්වයයි. වර්තමානය වන විට බොහෝ සෙයින් මෙම ශාන්තිකර්මයන් අභාවයට ගොස් ඇති නමුත්, අතීතයේදී ඉතා සුලභව මේවා දැකගත හැකි විය. අදටත් ඇතැම් අවස්ථාවන්වලදී දෙවොල් මඩු ශාන්තිකර්ම පැවැත්වූවත් ඒවා හුදෙක් විනෝදස්වාදය පදනම් කරගනිමින් පැවැත්වෙන බව ශාස්ත්‍රය උගත් පිරිස් වෙතින් චෝදනා නැගෙයි.
මල්වාන ප්‍රදේශයේ වෙසෙන සුදු ගුරුන්නාන්සේ හෙවත් ක්‍රිෂාන්ත ප්‍රගීත් මහතා පාරම්පරිකව මෙම දෙවොල් මඩුව නිසි ආකාරයෙන් ශාන්තිකර්මයක් ලෙසින්ම පැවැත්වීමට නම් දරා සිටින අයෙකි. දෙවොල් මඩු ශාන්තිකර්මයේ යටගියාව පිළිබඳ කතාබහ කරන්නට ඔහු 'අද' සමග එක්වූයේ මෙසේය.
මම නියෝජනය කරන්නේ අපේ පරම්පරාවේ දසවැනි පරම්පරාව. මගේ පියා වන හෙක්ටර් ප්‍රනාන්දු ගුරුන්නාන්සේගෙන් සහ මහප්පා වන වින්සන් ප්‍රනාන්දු ගුරුන්නාන්සේගෙන් තමයි මේ ශාස්ත්‍රය මට ලැබුණේ. පරම්පරා ගාණක ඉඳන්ම මේ දෙවොල් මඩු ශාන්තිකර්මය අපි පවත්වාගෙන එනවා
දෙවොල් මඩුවේ උත්පත්ති කතාව
දෙවොල් මඩුවේ ඉතිහාසය ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්. අතීතයේ දඹදිව චෝල දේශයේ රජකම් කරලා තියෙනවා සේරමන් කියලා රජ කෙනෙක්. රජතුමා දවසක් ඇමතිවරුත් එක්ක උයන් කෙළියට යද්දි රජතුමාට ඇහෙනවා මුවෙක් කෑ ගහන සද්දයක්. ඒ වෙලාවේ රජතුමාට ආශාවක් ඇති වෙනවා මුව මස් ටිකක් රස බලන්න. පස්සේ ඇමතිවරු මුවා පස්සේ පන්නගෙන යන අතරෙදී රජතුමා විද්ද හී පාරක් මුවාට වඳිනවා. මුවා හී පාර කාගෙනම වෙනත් වනයකට ගිහින් මිය යන්න සූදානම් වෙද්දී ඌ හිතනවා %මට ඊතලයකින් විදපු මේ රජාගේ ඉහමොළේ කනවා^ කියලා. මුවා මිය ගිහින් සේරමන් රජතුමාගේ මානෙල් මල් පොකුණේ ගෙම්බෙක් වෙලා උපදිනවා.
රජතුමාගේ පුරුද්දක් තිබුණා හැමදාම පොකුණ ළඟට ඇවිත් පිපිල තියෙන ලොකුම මානෙල් මලේ සුවඳ බලන්න. මේ වගේ දවසක් රජතුමා පොකුණ ළඟට ආවාම අර වෛරයෙන් හිටපු ගෙඹි පැටියා පොකුණේ තිබුණ ලොකුම මානෙල් මලේ හැංඟිලා රජතුමා මල අරගෙන සුවඳ බලනකොට රජතුමාගේ නහයෙන් ඇතුළු වෙලා මොළයට ගියා කියනවා. තවත් සමහර කතාවල කියන විදියට ගෙඹි පැටියා යම් විෂක් රජතුමාගේ මොළයට ඇතුළු කළ බවත් කියවෙනවා. කොහොම හරි රජතුමාට එතනින් පස්සේ ඉවසිය නොහැකි තදබල හිසරදයක් ඇති වෙනවා. රටේ හිටපු හොඳම වෙදැඳුරන් ගෙන්වලා බෙහෙත් කළත් ඒක සුව කරන්න බැරි වුණා. මේ විදියට කාලයක්ම රජතුමා මේ තත්ත්වයෙන් පීඩා වින්දා. දවසක් රජතුමා නිදිවර්ජිතව වේදනාවෙන් ඉද්දි තමන්ගේ දුක දෙවියන්ටවත් පේන්නෙ නැද්ද කියලා කල්පනා කරනවා. රජතුමා බොහොම අමාරුවෙන් නින්දට වැටුණා. ඒ වෙලාවේ හීනෙන් දේවතාවියක් රජතුමාට දර්ශනය වුණා.
මේ දේවතාවිය තමයි පත්තිනි මෑණියන්. පත්තිනි මෑණියෝ රජතුමාට සිහිනෙන් කියනවා ඔබේ මේ හිසේ රෝගය සුවකර ගන්න අවශ්‍ය නම් තදින් බුදුදහම පවතින රටකට ගිහින් මේ වගේ ශාන්තිකර්මයක් කරගන්න කියලා, දෙවොල් මඩු ශාන්තිකර්මය කරන ආකාරය රජුට කියා දීලා තිබෙනවා. ශක්‍ර දෙවියන් තමයි ඒ අවස්ථාවේ පත්තිනි මෑණියන්ගේ රුව රජතුමාට පෙනෙන්න සලස්වලා තියෙන්නේ.
එතැනින් පස්සේ රජතුමා මේ සිහිනය පුරෝහිතයන්ට දන්වලා අවශ්‍ය සියල්ල සංවිධානය කරගෙන නැව් මගින් ලංකාවේ වත්තල්තොටට ගොඩ බැහැලා තියෙනවා. වත්තල්තොට කියලා එතන හඳුන්වන්නේ වත්තල ප්‍රදේශය කියලා විශ්වාසයක් තියෙනවා. එතනින් රජතුමා කැලණිය, නවගමුව වැඳගෙන රුවන්වැලි ඉසානයේදී මේ පළමු දෙවොල් මඩු ශාන්තිකර්මය සිදුකරලා තියෙනවා දින 07ක්. ශාන්තිකර්මයෙන් පස්සේ රජු සුවඅතට හැරිලා තිබෙනවා. රුවන්වැලි ඉසානය කියලා හඳුන්වන්නේ රුවන්වැල්ල ප්‍රදේශයට. අදටත් ඒ යාගය කරපු තැන, ඒ මඩුව හදන්න භාවිත කරපු කළුගල් කණු හිටවන්න හදපු වළවල් දකින්න ලැබෙනවා. මේ ආකාරයට තමයි දෙවොල් මඩුව ආරම්භ වෙන්නේ.
එදායින් පසුව මේ රටෙත් දෙවොල් මඩුව පැවැත්වුණා. මිනිස්සුන්ගේ කාලීන අවශ්‍යතා, බවභෝග සම්පත් ආරක්ෂා කර ගැනීමට, රෝග වසංගතවලින් ආරක්ෂා වීමට තමයි මේ ශාන්තිකර්මය ගම මුල් කරගෙන සිදුවුණේ. සාමාන්‍යයෙන් මෙතනදි පත්තිනි දෙවියන්, දෙවාල් දෙවියන් සහ දැඩිමුණ්ඩ දෙවියන් තමයි මූලික කරගන්නේ. ඒ වගේම පූජා විධි පරම්පරා අනුව ප්‍රදේශ අනුව වෙනස් වෙනවා.
දෙවොල් මඩු ශාන්තිකර්මය
දෙවොල් මඩු ශාන්තිකර්මය ගොඩක් දුරට පවත්වන්නේ සෙනසුරාදා දවසක. කෙම්මුර දවසක් වෙන නිසාත්, මිනිසුන්ට නිවාඩුවක් තිබෙන දිනයක් නිසාත් තමයි සෙනසුරාදා දවස තෝරා ගන්නේ. මුලින්ම මේ සඳහා අවශ්‍ය කළමනා අපි ශාන්තිකර්මය සිදුකර ගන්නා අයට කිව්වාම එයාලා කෙසෙල් කොට ඒ ආදී අවශ්‍ය කළමනා සූදානම් කරගන්නවා. ඊට පස්සේ සිකුරාදා උදේ වරුවේ අපි එතැනට ගිහින් කෝටු හිටවලා, පහන් පැල හදලා, දෙවියන්ගේ පූජාසන හදලා සෙනසුරාදා දවල් කාලය වෙනකොට ඒ සියල්ල අවසන් කරනවා. එතැනින් පස්සේ විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, පත්තිනි දෙවියෝ, සමන් දෙවියෝ, දැඩිමුණ්ඩ දෙවියෝ, ගම්භාර දෙවියෝ කියන දෙවිවරුන්ගේ යහන්වලට ඒ දෙවියන්ට අදාළ වර්ණවලින් තිර දාලා වෙන් කරනවා.
එතැනින් පස්සේ හවස ශාන්තිකර්මය ආරම්භ කරන්න සූදානම් වෙලා මිල්ල කැපීම සිදුකරනවා. එතනදි සිදුවෙන්නේ වේලාසනින්ම ගම්මඩු භූමියෙන් පිටත මිල්ල ගහක් ගොක්කොළ රැහැන් ඇදලා හිටවලා තියලා කොට්ටෝරු මහත්තයත්, ශාන්තිකර්මය සිදුකරන කපු මහත්තයත් බෙරකරුවොත් ගිහින් ඒ අදාළ කවි ස්තෝත්ර ගායනා කරලා මිල්ල ගහ කපලා සුදු පිරුවටයක ඔතලා අරගෙන දෙවොල් මඩුව වටේ වට තුනක් විතර ගිහින් දෙවොල් දෙවියන්ගේ යහනේ තැම්පත් කරනවා. ඒ මිල්ල අත්ත පාවිච්චි කරලා තමයි පසුවදාට ගිනි පෑගීම සිදුකරන්නේ.
ඊට පස්සේ ප්‍රධාන කපුවා තෙල් වැඩැම්මවීම සිදුකරනවා. උඩුවියන් අල්ලලා සැවැන්දරා, කීකිරිඳිය, අමු කහ, සුදු හඳුන් ආදිය දාලා පොල් ගාලා කලින් හිඳගත්ත පොල් තෙල් බෝතලයක් ඒ සඳහා භාවිත කරනවා. ඒකත් කවි ස්තෝත්ර කියමින් මඩු භූමිය වටේ තුන්වරක් අරන් යනවා. ඉන් පස්සේ ආතුරයන් ලවා දෙවියන් වෙනුවෙන් සූදානම් කරලා තියෙන පහන්වලට ඒ තෙල් දාලා පහන් ටික පත්තු කරනවා. ප්‍රධාන කපු මහත්තයා එතැනින් පස්සේ මුලින්ම ත්‍රිවිධරත්නය සිහිකරන ස්තෝත්ර, ශ්ලෝක ආදිය කියලා පස්සේ දෙවියන්ටත් ස්තෝත්ර ශ්ලෝක ආදිය කියනවා. මූලිකත්වය දෙන්නේ බුදුපියාණන් ප්රමුඛ ත්රිවිධරත්නයටයි. මේක පැයක් පැය එකහමාරක් පමණ කාලයක් කරන දෙයක්. ඒ කාර්යය හමාර කළාට පස්සේ මඟුල් බෙර පූජාව ආරම්භ කරනවා. මේ ශාන්තිකර්මයේදී භාවිත කරන්නේ යක් බෙරය පමණයි.
මෙතනදි බෙර වාදකයන් පිරිස මඩු පොළොව මැදට ඇවිත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසින් කරපු රඟදැක්වීම් සිහිකරලා බුදුන්වහන්සේ වෙනුවෙන් මඟුල් බෙර පූජාවක් සිදුකරනවා. ඊට පස්සේ දෙවියන් වෙනුවෙන් තිබෙන පූජා පදත් වාදනය කරලා දෙවියන්ටත් නමස්කාර කරනවා. ඒ කටයුත්තත් හමාර කළාට පස්සේ සේරමානන් යාදින්න කියනවා. එහි තියෙන්නේ දෙවොල් මඩු ආරම්භයේ කතාව. ඒ අතරවාරයේදී පහන් පැලවලට පුවක් කිණිති, බුලත්, පඬුරු, මල් ආදිය තියනවා. ඉන් පස්සේ අටදිගින් වඩින දෙවියන්ට යහන්වලට වඩින්න කියලා ආරාධනා කරනවා. ඒ එක්කම රැඟුමකුත් එක්ක පිං අනුමෝදන් කරන කවි කියන්න පටන් ගන්නවා. එතනින් පස්සේ තමයි යහන් දැක්ම කියන එක නටන්න පටන් ගන්නේ. යහන් දැක්මේදී නර්තනයේ යෙදෙන පිරිස් යහන්වලට වැඳ නමස්කාර කරලා ඉදිරි කටයුතු කරගෙන යන්න දෙවියන්ගෙන් ආශිර්වාදය ලබාගැනීම සිදුකරනවා. තවත් විශේෂත්වයක් තමයි එතන කවි ගායනා කිරීමක් නැහැ. සම්පූර්ණයෙන්ම තියෙන්නේ බෙර වාදනයත් සමග කරන නර්තනය විතරයි.
යහන් දැක්ම නර්තනය අවසන් වුණාට පස්සේ නර්තනයේ යෙදුණු දෙන්නෙක් දුම් කබලයි, කහදිය කොතලෙයි අරගෙන රංගනයේ යෙදෙනවා. එතන දුම්කබලෙයි, කහ දිය කොතලෙයි සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ මුල් කරගත් කතාවක් තියෙනවා. සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පත්වුණු අවස්ථාවේ සියලු දිව්‍ය ලෝකවල දෙවිවරු උන්වහන්සේට විවිධාකාරයෙන් පූජා පැවැත්වුවා. මේක දැකපු නාග ලෝකයේ නාග රජතුමා කල්පනා කරනවා මාත් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් යම් පූජාවක් කරන්න ඕන කියලා. ඊට පස්සේ නාග රජතුමා සල්මල් වනයට ගිහින් සල්ගස්වල තිබුණ සල් දුම්මල ගෙනැල්ලා බුදුපියාණන්ට ධූම පූජාවක් සිදුකරනවා. එතැන් සිට තමයි ධූම පූජාව ආරම්භ වෙන්නේ. කහදිය කොතලය සම්බන්ධයෙනුත් තියෙනවා විශාලා මහනුවර දුර්භික්ෂය සහ සුමන සාමණේර රහතන් වහන්සේ සම්බන්ධ වුණු කතාවක්.
ඊළඟට සිද්ධ වෙන්නේ හැන්දෑ සමයේ පිදේනි දීම. මහසෝන් යක්ෂයා මූලික කරගෙනයි ඒක සිද්ධ වෙන්නේ. එතැනින් පස්සේ සිද්ධ වෙන්නේ කාල පන්දම් එළිය දීම. ඊට සම්බන්ධ වෙනවා දෙවොල් දෙවියන් ලංකාවට පැමිණීමේ කතාව. දෙවොල් දෙවියන් ලංකාවට ආවේ කළුගල්වලින් හදපු නැවකින් කියලයි ජනප්‍රවාදවල තියෙන්නේ. ඒ නැවේ තිබුණු කුඹගහ අර්ථවත් කරමිනුයි මේ කාලපන්දම් ගහ විදියට සුද්ධ කරපු පුවක් ගහක් දෙවොල් දෙවියන්ගේ යහන ළඟ හිටවන්නේ. එතැනින් පස්සේ බිසෝ කප සිටුවීම කරනවා. ඒක කරන්නේ පත්තිනි දෙවියන් මුල්කරගෙනයි. සේරමන් රජතුමාගේ හිසේ රෝගය සංසිඳුනාට පස්සේ රජතුමාගේ බිසව සතුටට පත්වෙලා පත්තිනි මෑණියන්ගේ නාමයට රනින් කරපු බිසෝ කපක් පූජා කරලා තියනවා. ඒක අර්ථවත් කරගෙන කෙසෙල් කොටයකුත්, ගොක් කොළත් පාවිච්චි කරලා කරන නිර්මාණයකට ආතුරයා ලවා ඊට පඬුරු පූජා කරනවා. ඒ බිසෝ කප පිහිටවලා තියෙන්නේ තොරණ ළඟ. එතැනින් පස්සෙයි තොරණ යාගය සිද්ධ කරන්නේ. තොරණ යාගයෙන් සෙත් පතලා තොරණට දාලා තියෙන සුදුරෙද්ද ඉවත් කරලා පත්තිනි මෑණියන්ට තොරණ විවෘත කරනවා. ඒ සමග පත්තිනි නැටීම සිදුවෙනවා.
පත්තිනි නැටීමෙන් පස්සේ සියලුම ප්‍රධාන දෙවිවරු වෙනුවෙන් තිබෙන කවි ගායනා කරලා දේවාභරණ ගෙනැල්ලා ඒ ඒ දෙවියන්ට අදාළ යහන්වල තබනවා. එතැනින් පස්සේ තවදුරටත් සියලුදෙනාටම සෙත් පැතීම සිදුකරනවා. අනතුරුව තෙල්මේ නර්තනය ආරම්භ වෙනවා. තෙල්මේ නැටුමේ අවසානයේදී බෙර වාදනය කරන අයටත්, නර්තනයේ යෙදෙන අයටත් විවේකයක් ලැබෙන අවස්ථාවක් තමයි මුරුතැන් බෑමේ අවස්ථාව. එතැනදි වෙන්නේ දෙවියන් වෙනුවෙන් නැවුම් අලුත් මුට්ටිවලට මුරුතැන් බත් හදලා කෝලිකුට්ටු ගෙඩි 7යි, හැඳි කැවුම් 7යි දෙවියන්ගේ යහන්වලට තියනවා. බ්‍රහ්ම මුහුර්තයේදී තමයි ඒක කරන්න ඕන. එතැනින් පස්සේ වාහල නැටීම සිද්ධ කරනවා. ඒක කරන්නේ දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන්. ඒ නර්තනය සිද්ධ වෙන්නේ ආරූඪයෙන්. ඉන් පස්සේ අලුයම් කාලයේ ප්‍රධාන කපුවා විසින් ගිණිකුරුම්බරට පිදේනි දීම සිදුකරනවා. එතැනින් පස්සේ දෙවොල් නැටීම සිදුකරලා මඩු ශාන්තිකර්මය අවසන් කරනවා. පස්සේ තමයි ගරායක් නැටුම සිදුකරන්නේ. මේ කාර්යයට සහභාගි වුණු සියලු දෙනාවමත්, ආතුරයොත් ගෙන්වලා සියලු වස්දොස්, ඇස්වහ කටවහ, හෝවහ, අවොල්, දෙවොල් දෝෂ දුරු වෙන්න කියලා ගරායක් ශාන්තිය මගින් සෙත් පතනවා.
ඇත්තටම මේ වෙද්දි ගරායක් ශාන්තිය විනෝදාස්වාදයට විතරක් සීමා වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ යාතුකර්මයත් ඒ තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒක ඉතාමත් වැරදියි. මේක බොහොම බැරෑරුම් ශාස්ත්‍රයක්. කුණුහරුප කියමින් සමහර වෙලාවට දෙවියන් බුදුන් පවා විහිළුවට ගනිමින් මේවා පවත්වලා ශාන්තියක් ලබන්න බැහැ'
ඡායාරූප - සරසි නෙත්මිණී