යහපාලන ආණ්ඩුවේ ගෙවුණු දෙවසර සහ ඉදිරි තුන් වසර පිළිබඳ විද්වත් කතිකාවක් පසුගියදා හිල්ටන් හෝටලයේදී පැවත්විණි. HE සඟරාවේ දෙවැනි සංවත්සරය වෙනුවෙන් මෙම සංවාදය පැවැත්වූ අතර, HE FORUM හි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය දයාන් ජයතිලක හා ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු විද්වත් මණ්ඩලය නියෝජනය කළහ.මේ අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් හා සනත් ගුණතිලක ඇතුළු පිරිසක් එක්ව සිටියහ. සංවාද මණ්ඩපය මෙහෙයවනු ලැබුවේ මාධ්‍යවේදී කාංචන දසනායක සහ HE සඟරාවේ කර්තෘ සාරංග විජයරත්න මහත්වරුන් විසිනි.සංවාද මණ්ඩපයේදී විද්වතුන් යහපාලන ආණ්ඩුවේ ගෙවුණු දෙවසර සහ ඉදිරි තුන් වසර පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.
ආර්ථික බුබුල පිපිරීමේ අවධානම තවමත් තිබෙනවා
- මහාචාර්ය සිරිමල් අබේරත්න
කෙටි කාලයක් තුළ ලංකාවට පොහොසත් වීමට තිබුණ අවස්ථාව ගිලිහුණා. ඒ 2010 වසරේදී. ඒ අවස්ථාව දැන් නැවත පැමිණ තිබෙනවා. එය ගිලිහී නොදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතුයි. බලය කේන්ද්‍ර වූ ව්‍යූහ මිස බලය බෙදුණු ව්‍යුහ අපිට පුරුදු නැහැ. පවුලක් වටා බලය කේන්ද්‍ර වූ ව්‍යුහයක් වෙනුවටය දැන් තිබෙන්නේ බලය බෙදුණු ව්‍යුහයක්.
ආර්ථිකය මත මන්දගාමී ගමනක් යන්නේ. එදා කියූ ආර්ථික බුබුල පිපිරුණේ නැති උනත් තවමත් එය පිපිරීමේ අවදානම තිබෙනවා. කොහොම උනත් ස්ථාවර ආර්ථික ගමනකට අවශ්‍ය පදනම ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. ප්‍රධාන පාර්ශ්ව දෙකටම එකතුවෙලා කඩා වැටෙන්නේ නැති ආර්ථික ගමන්මග තීරණය කිරීමට අවස්ථාව උදාවෙලා.
වමත ආබාධිත දකුණත හොඳින් ක්‍රියාත්මක වන ආණ්ඩුවක්
- ආචාර්ය දයාන් ජයතිලක
ශ්‍රි ලාංකීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී විඥානය පිළිබඳ සතුටු වෙනවා. ව්‍යවස්ථාදායක මණ්ඩලය අලුත් ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරලවත් නැහැ. එතකොට කොහොමද කියන්නේ 2020 ජනාධිපති ධුරයක් නැහැ කියලා. ඒ නිසා බලය අත්පත් කරගන්න ලිබරල් දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් ඇති බව පැහැදිලියි. කිහිපදෙනෙකුගේ කල්ලියක් බලය ඩැහැගන්න කුමන්ත්‍රණය කරනවා. මේක සුසංයෝගයක් නොවෙයි.
යහපාලනය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංකල්පයක්. අපේ සංකල්පයක් නෙවෙයි. කොහොම උනත් මේ පක්ෂ දෙක එකතුවීම ගැන මගේ කැමැත්තක් නැහැ. මොකද තරගය තියෙන තැනදී තමයි පුරවැසියන්ට හොඳම දේ ලැබෙන්නේ. දැන් පක්ෂ දෙකම එකතු වී සිටින නිසා තරගයක් නැහැ. වමත ආබාධිත දකුණත හොඳින් ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ලෙසයි මම මේ ආණ්ඩුව දකින්නේ. පක්ෂ එකතුවෙනවාට මම විරුද්ධයි.
කිසිම ආණ්ඩුවකට පරිපූර්ණ වෙන්න බැහැ
- මහාචාර්ය රොහාන් සමරජීව
කිසිම ආණ්ඩුවකට පරිපූර්ණ වෙන්න බැහැ. ජනතාවගේ සංවාදය ඉහළින්ම තිබුණු දේවල්වලට වඩා වෙනස් දේවල් සඳහා මේ ආණ්ඩුව ගෙවුණු අවුරුදු දෙකේදී වෙහෙසිලා තියෙනවා. ඒක ජනතාවට පැහැදිලිව කිව්වෙ නැහැ.
ගෝලීය ආර්ථිකයේ කුඩා රටක් වශයෙන් ඇතිවන පීඩනය පිළිබඳව එය ලිහිල් කිරීමට ආණ්ඩුව කළ කී දෑ පිළිබඳව ජනතාව අතරට කරුණු ගෙනයා යුතුයි. ආණ්ඩුව තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නංවා තිබෙනවා. සියයට සියයක් එය සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් එය හොඳ වැඩසටහනක්.
ආණ්ඩුව මාකටිං ෆේල්
- පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්
රජයේ ලොකුම දුර්වලතාව තමයි ඔවුන්ගේ වැඩපිළිවෙළ සාර්ථකව ජනතාවට ඉදිරිපත් නොකිරීම. සියලුම සම්පත් තිබිලත් ආණ්ඩුව මාකටිං ෆේල්. විපක්ෂයට ඒ දේවල් කිසිවක් නොතිබිලත් විපක්ෂයේ මාකටිං ඉහළ මට්ටමක තිබෙනවා. ආණ්ඩුවේ නොහැකියාව ගැන දුක්වෙනවා වගේම විපක්ෂයේ හැකියාව ගැන සතුටු වෙනවා.
අපේ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ වගේම ජනතාව අත්කරදුන් වාසිදායක දේ පිළිබඳව හොඳින් මාකට් කළා නම් ඔබට සතුටුයිද දැන් කියනවා වෙනුවට ඔබට සනීපද දැන් කියලා අපිට අහන්න තිබුණා. ජනතාවට තිබුණු ජීවත් වීමේ බිය පහව ගිහින් තිබෙන නිසා දැන් ජනතාවට අවශ්‍ය රැකියා, මුදල් හා නිවාසයි. අනිත් හැමදේම දැන් අමතකයි. දැන් ඉඳලාහිටලා හරි ආණ්ඩුවේ හොඳ දේවල් මාකට් නොකළොත් ඒකේ පාඩුව දරාගන්නත් වේවි.
නීතිගරුක පුරවැසියන් අපේක්ෂා කළ වෙනසක්
- මහාචාර්ය සරත් විජේසූරිය
මර බියෙන් මිදෙන්නට මිනිස්සුන්ට අහිංසක අසාවක් තිබුණා. ඒ නිසා තමයි ලක්ෂ 62කට අධික මිනිස්සු මීට වසර දෙකකට පෙර වෙනසකට දායක වුණේ. සෑම මනුෂ්‍යයෙකුටම නිදහස අවශ්‍යයයි. සහජීවනය පිළිබඳ මතයකුත් තිබුණා. නීතිගරුක පුරවැසියන් අපේක්ෂා කළ වෙනසක් තමයි සිදුවුණේ. කිසිසේත්ම එය වැරදීමක් නොවේ. අහඹුවෙන් සිදුවුණ වෙනසකුත් නොවෙයි.
බොරුව ආගම - ආගම බොරුව කළ යුගයක් තිබුණා
- ආචාර්ය සුරේන් රාගවන්
දකුණු ආසියාවේ දේශපාලනයට පුද්ගල චරිත ඉතාම වැදගත්. බොරුව ආගම - ආගම බොරුව කළ යුගයක තමයි ජනවාරි 08 වෙනස සිදුවුණේ. ඇතැම් විට ඇතැමුන් පවසනවා මෙම ආණ්ඩුව සුළුජන ආණ්ඩුවක් බව. ඔව් එය සැබෑවක්. ප්රජාතන්ත්රවාදය සහ යුක්තිය කෙරෙහි පෙනී සිටින සුළු ගණනක් වූ ජාතිකයන්ගේ ආණ්ඩුවක් තමයි වර්තමාන ආණ්ඩුව.
දැන් නිදහස මිනිස්සුන්ට තිත්ත වෙලා
- හිටපු කොළඹ නගරාධිපති ඒ.එම්.ජේ.එම් මුසම්මිල්
වසරක දෙකක් තුළ වත්මන් ආණ්ඩුව ඉතාම සාර්ථක පරිපාලනයක් ගෙන ගොස් තිබෙනවා. කාටවත් හිතුවක්කාරී ලෙස හැසිරෙන්න බැහැ. වත්මන් පාලනය තුළ නිදහස උපරිමයෙන් තිබෙනවා. දැන් නිදහස මිනිස්සුන්ට තිත්ත වෙන තැනට ඇවිල්ලා. ජනතාව බලාපොරොත්තු වන වේගයට යන්න අමාරු උනත් සාර්ථක වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරනවා.
අපි අරාජික නැහැ
- නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල
ප්‍රධාන කරුණු සඳහා අපි එකතු වුණේ රටේ ප්‍රශ්න විසඳන්න. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් කාටවත් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවෙලා ආණ්ඩුව හැදුවේ. ඉතාම සංකීර්ණ ව්‍යුහයක් තුළ අවදානම් තත්ත්වයක් තිබුණත් ආණ්ඩුව කඩා වැටිල නැහැ.
ආණ්ඩුව තරුණයන්ට සවන්දෙන්නේ නැහැ
- මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
ආණ්ඩුව කිසිම ආකාරයකට තරුණයන්ට සවන්දීමක් නැහැ. මේ වන විට වෛද්‍ය පීඨ තිබෙන සෑම විශ්වවිද්‍යාලයකම උපවාසප උද්ඝෝෂණ පැවැත්වෙනවා. නමුත් ආණ්ඩුව මේ කිසිවකට සවන්දෙන්නේ නැහැ. උසස් අධ්‍යාපනය තුළ ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි. ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතුයි. ජාතිකවාදී ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි. ඒ තුළ තරුණයාට ඇහුම්කන්දිය යුතුයි.
දේශපාලනය වෙනස් කළ නොහැක්කේ ආත්මීය සාධකය නිසා
- දීප්ති කුමාර ගුණරත්න
ලාංකේය දේශපාලනයේ වෙනස් නොවන ව්‍යූහය වන්නේ ආත්මීයභාවය. නිදහසින් පසු කෙතරම් උත්සාහ ගත්තද මේ දේශපාලනය වෙනස් කළ නොහැක්කේ එකී ආත්මීය සාධකය නිසා. උදාහරණයක් විදියට සමලිංගිකත්වයට ඉඩ දෙන්න කියලා අදහසක් මතුවුණාම අපේ රටේ රාජ්‍ය පාලකයෝ ඒකට කැමැති නැහැ. සමලිංගිකත්වය තහනම් කරන්නෙ සුද්දා.
ඊට පස්සෙ අපි හිතනවා ඒ තහනම් කළ එක තමයි අපේ සංස්කෘතිය කියලා. සුද්දටත් ඒක ඇතිවුණාම අපි තවදුරටත් හිතනවා මේක තමයි අපේ උරුමය කියලා. නිදහසින් පසු සෑහෙන කාලයක් ගතවුණත්, අපි කොච්චර උත්සාහ ගත්තත් මෙම දේශපාලනය වෙනස් කරන්න තවමත් අසමත් වී ඇත්තේ මේ කියන්නා වූ ආත්මීය ව්‍යූහය නිසයි.
ඡායාරූප - ඉසුරු පෙරේරා