Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
සති දෙකතුනක් යාමට පෙර නැවතත් උතුරු මැද පළාත් සභාවේ බලකාමය ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය විය.
ජනතාව පළාත් සභා නැමැති උරචක්ක්ර මාලාව කර තබා ගත්තේ ජාතික ධනය මේ ආකාරයෙන් විනාශ කරමින් ජනතාවගේ කරපිට තවදුරටත් නැති බර පැටවීමට දැයි එදා ඇතැමෙකු කළ ප්‍රකාශයන් මේ වන විට සනාථ වන පුවත් හැම පළාත් සභාවකින්ම ඇසේ.
ඒකාබද්ධ විපක්ෂයේ බලපෑම මත පළාත් සභාවන්හි බලය තහවුරු කර ගැනීමේ තියුණු අරගලයක් නිර්මාණය වී ඇති පුවත මධ්‍යම, උතුරු මැද, උතුරු පළාත් සභාව තුළ ගතවූ මාස කීපයේ ඇසුණි.
ජේ.ආර් ආණ්ඩුව පළාත් සභාව නැමති සුදු අලියා රටට ප්රදානය කරන්නේ ගෝත්රවාදී ප්‍රභාකරන්ලාගේ යුද්ධය හමුවේ ජනවාර්ගික අර්බුදයට විසඳුමක් වශයෙනි. 13 ව්‍යවස්ථා සංශෝධනය දොරට වැඩි දිනයේ රට පුරා හදිසි නීතියද පනවා එය සම්මත කර ගත්තේය. ඒ එදිනද මෙරට ජනතාව 13 සංශෝධනය සහ එහි විපාක කෙරෙහි පැවති නොසතුට හේතුවෙනි.
රජරට පළාත් සභාවේ සභාපති පුටු මාරුව මංකොල්ලකෑමක් ලෙස ප්‍රතිවාදී පිළ අවධාරණය කරති. එකට එක කිරීමක් ලෙස ලද අවස්ථාවේ අගෝස්තු 8 දින පරාජිත පිළ න්‍යාය පත්‍රය පුළුස්සා දමමින් සභා ගර්භය තුළ පොදු දේපළ ගිනි තබමින් මහත් විනාශයක් කළෝය. චෝදනාව ඇසෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට ළැදි පාර්ශ්වයන්ට වීම තුළ මෙහි පවතින දේශපාලන උසිගැන්වීම තවත් තහවුරු වන්නේ යැයි රජරට ජනතාව පෙන්වා දෙති.
මෙයට පෙර අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂයේ ඇත්තන් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ විගස පාර්ලිමේන්තුව තුළට කඩාවැදී එහි එක් රැයක් සෙම හොටු පෙරා නිදි වදිමින් කළ අවමානයද ජනතාව සිහිපත් කරති. මේ හැම සිදුවීමක්ම සනාථ කරන්නේ ජනතා පරමාධිපත්‍යය රැකගැනීම නොව ජනතාවගේ දේශපාලන අයිතිය හාස්‍යයට සහ අවමානයට ලක් කිරීමක් බව සාමය අගයන්නෝ පෙන්වා දෙති.
මේ වනවිට විපක්ෂය රජයේ හැම සංවර්ධන කටයුත්තක්ම නිර්ධය ලෙස විවේචනය කරමින් අසත්‍ය මවා පෙන්වමින් ආණ්ඩු පෙරළියකට උත්සාහ කරන බවට ආණ්ඩුව පැත්තෙන් චෝදනාවකි. එහිලා පළාත් සහ ප්‍රාදේශීය දේශපාලන බලය හරහා බලපෑම් කළයුතු බවට පක්ෂය තුළින්ම සිදුකෙරෙන තෙරපීම දේශපාලන උපක්රමයකි.
පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ජනතාව සතු පොදු දේපළ විනාශ කිරීම කෙරෙහි වගකිවයුත්තන් දැඩි තීරණ ගත යුතු යැයි ජනතාව පැවසුවද ඒවා පළාත් සභා ඇමතිවරයා හෝ ආණ්ඩුකාරවරයා නැතිනම් ජනාධිපතිවරයාට නොපෙනෙන්නේ ඇයිද යන ප්රශ්නය ජනතාවට ඇත. ඒ අනුව ජනතාව පවසන්නේ මේ හැමදෙයක්ම ඒ ඇත්තන්ගේ අනුදැනුම මත සිදුවන නොසණ්ඩාලකම් බවට යෝජනාවකි.
සුදු පිරුවටයෙන් සැරසුණු තමන්ගේ නියෝජිතයෝ බලය ලද පසු ජනතාව ඉදිරියේ වීරයන් වීමට සහ බලය ඉදිරියේ නිවටයන් වශයෙන්ද පෙනී සිටින්නේ යැයි ජනතාව චෝදනා කරන හේතු ගණනාවකි.
එකක් තමන්ගේ අයිතීන් වෙනුවෙන් පළාත් සභාව තුළ සම්මත වන කිසිම අණපනතකට මේ කිසිවෙකු විරුද්ධ නැත. එතැනදී එක බඩවැල කඩාගෙන ආ එක කුසින් බිහිවූ කිරිසප්පයන් ලෙස ඔවුහු ඒ වරප්‍රසාද වෙනුවෙන් අත ඔසවන්නේ යැයි ජනතාව චෝදනා කරති.
දැඩි ලෙස විදේශ සංචාර මේනියාවෙන් ඔත්පළ වූ මොවුන්ට වාර්ෂිකව ජනතාවගේ මුදලින් රුපියල් කෝටි ගණන් යොදවමින් විදෙස් සංචාර සඳහා අවස්ථාව ලැබෙන විට කිසිවෙකු එයට විරුද්ධත්වයක් නැති තරමට මොවුන් සුවච කීකරු සහෝදරයන් ලෙස හැසිරෙති.
දූෂණ වංචාවන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා පුවතක් ලියන ජනමාධ්‍යවේදීන්ට පළාත් සභාව තහනම් කරවන තැනට මේ සුවච කීකරු ජනහිතකාමීහු එකාමෙන් අත්වැල් බැඳගනිමින් මාධ්‍ය නිදහස පිළිබඳ පාරම් බාති. අවශ්‍ය නම් මෙතැනින් මාධ්‍යවේදීන් ඉවත් කළ යුතු යැයි වාද විවාද නිර්මාණය කරති.
'අපේ වැටුප් වැඩි කරව්. මන්ත්‍රී වරප්‍රසාද අපටත් දියව්' යනුවෙන් තමන් පැමිණි කාරණය අමතක කරන ඔවුන් කිසිවිටෙක එවැනි තැනකදී ජනතාවට එරෙහි වුවද දූෂණය සහ බලකාමයට විරුද්ධ නොවෙති.
රජරට වුවත් බයිසිකල් කටුවක් නෙමැතිව සභාවට පැමිණි ඇත්තන්ට වසර තුනක් තුළ අද වන විට සුපිරි වාහන ඉඩකඩම් දේපළ ව්‍යාපාර හිමිව ඇත්තේද එහෙයිනි. ඔවුන් දූෂණය, වංචාවට ඒ තරමට විරුද්ධ යැයි ඇතැමුන් දෙකොනින් සිනහ නඟමින් පවසන්නේද එහෙයිනි.
අද රජරට එදා රජරට තරම් සුරපුරයක් නොවේ. කවුරු කෙසේ විවරණය කළද එදා පිටරටටත් සහල් සැපයූවා යැයි කියන රජරටින් ඇසෙන වාර්තා අනුව මෙදා වැඩියෙන්ම විදෙස් ශ්‍රමිකයන් රට පටවන්නේ රජරට පැත්තෙන්ය. එදා මහා වියත් පණ්ඩිතයන් බිහි කළා යැයි පැවසෙන රජරට වෙනුවට අද ඇසෙන්නේ සාක්ෂරතාෙවන් අනෙක් පළාත්වලට වඩා අඩු මට්ටමක පවතින බවට අවදානමකි.
ඒ අතර එදා කනකර පැලඳ තනිපංගලමේ වුවද රූමත් යුවතියකට ගමන් බිමන් යා හැකි යැයි ඇසුණු රජරට පැත්තෙන් අද ඇසෙන්නේ ස්ත්‍රී දූෂණ, වංචා, මත් කුඩු පිළිබඳ චෝදනා රැසකි. එය දෙවෙනි වන්නේ කඳුකරයේ වතුකරයට පමණක්දැයි සමාජ විද්වත්හු සැක පහළ කරති.
ඒ අතර මහා ගල්කණු එසවූ යෝධ වැව් වෙහෙර විහාර ඉදිකළ යෝධයන් සිටි රජරටින් මේ වනවිට වකුගඩු රෝගීන් පාලනය කළ නොහැකි තරමට බිහිවන්නේ යැයි රජයේ වාර්තා පෙන්වා දෙයි. ලොවට හාල් තබා මුට්ටිය පුරවන්නට සහල් ඇටයක් නැති තරමට නියඟය වසර පුරාවට ඔවුන්ට සරදමකි. වැසි කාලයට කලාවැවත් දෙගොඩ තලා කෙත් වතුපිටි විනාශ කරන තරමට මහා විනාශයකට ඔවුහු මුහුණ දෙති.
එදා අනේක වූ සශ්‍රීකත්වයෙන් වැජඹුණු රජරට අද වන විට මේ තරම් ව්‍යසනයන්ට ගොදුරුව ඇත්තේ කලින් කල ඇතිවූ විදේශ හෝ සතුරු බලවේග නිසා පමණක්ද යන සැකය මේ වනවිට රජරට ඇත්තන්ටද නැතිවා නොවේ. එසේනම් නිදහස ලබා අවුරුදු 70ක් ගතවීද එදා තිබූ සශ්‍රීකත්වය දක්වා එම පළාත ගෙන යාමට මෙරට දේශපාලකයන්ට නොහැකි වූයේ ඇයිදැයි ජනතාවට ප්රශ්නයකි.
නියඟය, ගංවතුර වෙනුවෙන් පළාත් සභාව තුළින් ගොවියාට දුන් සහනයක් නැත. අඩුම තරමින් කලට පොහොර සහ වෙලාවට ගොවිතැනට ජලය බිඳ ලබාදීමට ක්‍රමයක් සැකසීමට නොහැකි නම් පළාත් සභාවන්ට කෘෂිකර්ම ඇමතිලා ඇයි දැයි වීදි බසින ජනතාව අසති. අවසානයේ අමුඩය ගසාගෙන පිටකොටුවට ඔවුන් එන්නේ තමන්ගේ දුක කීමට නම් රතුපලස් මත, සීත කාමර තුළ තමන් වෙනුවෙන් පත්කර යැවූ ඇත්තන් කරන්නේ කුමක්දැයි ජනතාව අසන ප්රශ්නය අසාධරණ නැත.
වකුගඩු රෝගය රජරට ගිලගෙන අවසානය. එහෙත් අද දක්වා රෝගය පිළිබඳ තබා රෝගයට පත්වූවන් වෙනුවෙන් සහන සැපයිය නොහැකි තරමට රෝගී වූ පළාත් සභාවක් හරහා සෞඛ්‍ය වෙනුවෙන් කරන සේවය පිළිබඳ රෝගීන් නඟන මැසිවිල්ල ඇසීමට රෝහලකට ගොඩ විය යුතුය.
එදා මහා ග්රන්ථ අටුවාටීකා ලියූ වියතුන් බිහි කළ පුරවයේ මෙදා අධ්‍යාපනයේ සැබෑව දැකීමට රජරට දුෂ්කර ගම්මානයන්ට යා යුතු යැයි පවසන්නේ එම ප්‍රදේශයේම වෙසෙන අසරණ ජනතාව වීම කනගාටුවට වඩා පුදුමයට කරුණකි.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියද තමන්ගේ නම ලිපිනය ලියා ගැනීමටවත් නොදන්නා සිසුන්ද ඒ අතර අපමණ යැයි ගුරුවරුන් පවසන විට පළාත් සභාව මගින් අධ්‍යාපනයට කර ඇති කෙංගෙඩිය කුමක්දැයි දෙමව්පියන් නඟන චෝදනාව බලයට ගිනි තබා ගන්නා ඇත්තන්ට ඇසෙන්නේ නැත.
ජනතා මුදලින් අධ්‍යාපන ඇමතිවරුන් පළාත් සභා තුළ ජනතා මුදල් කා දමන්නේ මිනිසුන් හැදීමටද ගොඩනැගිලි හදමින් කොන්ත්‍රාත් කිරීමට පමණක්දැයි ජනතාව අසන ප්රශ්නය අසාධාරණ නැත.
නිහඬව තිබුණද එදා යුද්ධය නිසා මායිම් ගම්මාන යැයි සීමා ලකුණු කර තම ජීවන ගමන් මගේ ආර්ථික වර්ධනයට විසි තිස්වසරක් පැවති විනාශය හමුවේ අදටත් අසරණයන් බවට පත්වූවන් වෙනුවෙන් රජරට පළාත් සභාව ගත් විධිමත් ක්‍රමවේදයක් පිළිබඳ එම ජනතාවට දැනුමක් නැත.
දූෂිත ඔලමොට්ටල දේශපාලකයන්ගේ මඟහැරීම නිසා ඔවුන්ට මුහුණදීමට සිදුව ඇති වනඅලි කරදරය රජරට පැත්තෙන් හැමදාම ඇසෙන මහා විපතකි. එහෙත් බලය වෙනුවෙන් සභා ගර්භය ගිනි තබන, සෙංකෝලය කඩා බිඳ දමන සහ විදෙස් චාරිකා වරප්‍රසාද උදෙසා මොරදෙන ඇත්තන් මේ අසරණ ජනතාවගේ ඡන්දය වෙනුවෙන් සාධාරණය ඉටු නොකරන්නේ ඇයිදැයි අසන පැනය අසාධාරණ නැත.
අපේක්ෂා කළ අරමුණ සහ ඉලක්ක ඔස්සේ නිවැරදි ගමනක් යා හැකි නම් පළාත් සභාව හිතන තරම් සුදු අලියෙකු නොවනු ඇත. කියන තරම් කළු යකෙක්ද නොවනු ඇත. එහෙත් අද පළාත් සභාව තුළ සිදුවන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය දේ හඳුනාගෙන සංවර්ධන ක්‍රියාදාමය තුළ නිවැරදි ගමනකට සිය පළාත යොමු කරවීම නොවන බව ජනතාව පසක් කරති.
හැමදාමත් පළාත් සභාව තුළ සිදුවන්නේ නිලය බලය සහ තනතුර වෙනුවෙන් පිල් බෙදීමත්, ලබාගත් බලය වෙනුවෙන් ශක්තිය තහවුරු කර ගැනීමත් නම් එවැනි ක්‍රමයකින් පමණක් ජනතාවට ලැබෙන පිළිසරණයක් නැත. බලය රැකගැනීම සහ ගිලිහී යාම වෙනුවෙන් පටි තදකර ගැනීමට ගන්නා දූෂිත උත්සාහය තුළ සිදුවන්නේ ජනතාවගේ පොදු දේපළ අවභාවිත වීම සහ විනාශයක් නම් පළාතේ නායකයා වශයෙන්ද ජනාධිපති මෛත්‍රී නිහඬතාව අතහැර හඬ කර අවදි විය යුතු යැයි ජනතාව පවසති.
රතුපලස් යොදා, වායුසමීකරණය සපයා අනේකවිධ වූ සුවපහසුව මැද්දේ ජනතා මුදලින් නඩත්තු වන සභාගර්භයක් තුළට වී ගිනි ගන්නා බව දැන දැන ඒවාට හානි කිරීම සහගහන අපරාධයක් යැයි ඒ දේපළ හිමි ජනතාව අවධාරණය කරති.
ශීත කළ කාමර තුළ ගිනි දැල්වීම නොවිය යුතු බව දැන දැන සහ ජනතා මුදලන් නඩත්තු වන උපකරණ යන්ත්‍ර සූත්‍රයන්ට හානි විය හැකි බව දැන දැනද ඒ තුළ ගිනි දැල්වීම පිළිබඳ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ගන්නා පියවර පිළිබඳ ජනතාව බලා සිටිති. පොදු දේපළ අවභාවිතය පිළිබඳ අදාළ පනත අනුව යමින් නිසි වගකිවයුත්තන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේදැයි ජනතාව විමසිල්ලෙන් අසති. ඒ යම් නරුමයෙකු ගිනි තැබුවේ ජනතාවගේ දේපළට වන හෙයිනි.
ගතවූ මාසයේ සභාවේ උත්තරීතරත්වය සංකේත්වත් කරන සෙංකෝලය පැහැරගෙන යාමට තරම් අශීලාචාර වූ දේශපාලකයන් රජරට පළාත් සභාවට පිවිස සිටි අයුරු ජනතාව දුටුවෝය. පාර්ලිමේන්තුවේ සෙංකෝලය පැහැර ගෙන ගිය දූෂිතයන් ජනතාව පරාජය කළහ.
ගතවූ මාසයේ සෙංකෝලය කඩා දැමූ දූෂිතයන්ට නිසි දඬුවම් ලබා දී එම මුදල ඔවුන්ගෙන් අයකර ගත්තේ නම් මෙදා සභා ගර්භය හිතාමතා සැලසුම් කර ගිනි තැබූ අශීලාචාර දේශපාලකයන් ඒ කටයුත්තේ නොයෙදෙනු ඇතැයි සිතිය හැකිය.
කෙසේ හො පළාත් සභාවේ යම් පුටුවකට හෝ කුණුකූඩයකට තරම් යමෙකු අලාභයක් හානියක් කළහොත් නොදුටුවා සේ සිටින්නේදැයි හෝ කුමක් කරන්නේදැයි ආණ්ඩුකාරවරයාගෙන් ජනතාව අසන ප්රශ්නය ඔහුට ඇසිය යුතුය.
පළාත් සභාවේ බලය මහින්දගේද, මෛත්රීගේද, රනිල්ගේද, අනුර කුමාරලාගේද යන ප්රශ්නය අදාළ නැතැයි ජනතාව පවසති. ජනතාව පවසන්නේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි යනුවෙන් කතාවකි. එසේනම් ජනතාවට සිදුව ඇත්තේ මෙවැනි පාර්ශ්වයන් නඩත්තු කිරීමට තව තවත් උපයන සොච්චමෙන් බදු ගෙවීමද යන අර්බුදයට විසඳුම් සෙවීමකි.
කෙසේ හෝ පළාත් සභාවේ පොදු දේපළ ගිනි තබා විනාශ කළ අයගෙන් එම මුදල පෞද්ගලිකව අයකර ගැනීමටත් ගිය මාසයේ සෙංකෝලය කඩා බිද දැමූ අයගෙන් ඒ මුදල් අයකර ගැනීමටත් ඔවුන් විශ්වාසභංගයකින් හෝ පන්නා දමන තැනට ඡන්දදායකයන් වෙතින් අසන ප්රශ්නය ජාතික දේපළ රැක ගැනීමට අනුබලයකි.
එසේ නොවන්නේ නම් පිස්සන් කාමාතුරයන් තක්කඩියන් මෙන්ම දේශපාලන කුම්භාණ්ඩයන්ගෙන් පළාත් සභා නවයට ඉදිරියේ සිදුවිය හැකි හානිය මෙපමණකැයි තක්සේරු කළ නොහැකි වනු ඇත. ඒ තරමටම පළාත් සභා තුළ විනය සහ චර්යාවන්ද නීතිය සහ යුක්තියද පිරිහෙමින් පවතින බව කිවයුතුය.
එහෙත් අවාසනාව ඒවාට අරක් ගත් ආණ්ඩුකාරවරුන් යැයි කියාගන්නා ඇත්තන්ද මේ හැම ජංජාලයක් දෙස ඇහැ කන පියා බලා සිටින්නේද, නැතහොත් මර නින්දේදැයි ජනතාව අසන පැනය ජනාධිපතිවරයාටද ඇසිය යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd