යාන්තමට හිරිගඬු නැගෙන සිහින් සීතලක් ගත දැවටීගෙන යනවා. ඒ නිසා එළියට බැහැල වෙනදා වගේ ඇවිදින්නත් පොඩි කම්මැලිකමක් දැනෙනවා. කොහොම වෙතත් මේ දවස්වල එළියට-පහළට බැස්සාම, කඩපිලකට ගොඩ වැදුණාම, අවන්හලකට පියනගනකොට වගේම මෙකී නොකී සෑම අවස්ථාවකදීම මඳ සීතලට ඔරොත්තු දෙන කබාවලින්, ශරීර උෂ්ණත්වය රඳවාගත හැකි මේස්වලින් මෙන්ම සීතලට වේලෙන සිනිඳු දෙතොල් සහ නාසය ආවරණය කරගත් ජපන් සුරූපිනියන් සහ පිරිමින් දකින්න ලැබෙනවා.
ඔවුන්ට ආවේණික විලාසිතාවන්ගෙන් සැරසුණු තරුණ, වැඩිහිටි, මහලු පිරිමින්ද වෙනදා මෙන් කඩිසරව එදිනෙදා කටයුතුවල නිරතව කාර්යබහුල වෙලා. සොබාදහමේ සහ මානවයාගේ මෙකී ක්‍රියාකාරකම්වලින් ඉඟි ලබාදෙන්නේ ජපානයේ සරත් සෘතුව අත ළඟටම පැමිණ ඇති බවයි. එම සියලු ක්‍රියාකාරකම් අතරේ පසුගියදා ජපන් තරුණ තරුණියන් මෙන්ම, ජපානයේ ජීවත්වන විදෙස් තරුණ තරුණියන්ද දුක් මහන්සියෙන් උපයාගත් ධනය වියදම් කරමින් බටහිර සංස්කෘතියේ 'හැලෝවීන්' සමරන්නට වුණා.
21 වැනි සියවසයේ තාක්ෂණයේ දියුණුවත් සමග මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්වෙලා. එහි බලපෑමක් ලෙස දියුණු යැයි සම්මත රටවල්හි, විශේෂයෙන්ම බටහිර සංස්කෘතියේ බොහෝ අංග ඉතා ශීඝ්‍රයෙන් අනිකුත් රටවල් තුළට කිදා බසින්නට පටන් අරන්. සමහර අංග මේ වන විට කිදා බැස අවසන්. ජපානයේ 'හැලෝවීන්' එයට කදිම උදාහරණයක් යැයි මට හැඟෙනවා. අප අනිකුත් රටවල් වලින් වෙන් වන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස අපටම ආවේණික වූ සංස්කෘතියක් තිබෙන නිසා යැයි මාගේ විශ්වාසයයි. එයද සිහි තබාගනිමින් ජපානයේ 'හැලෝවීන්' ගැන 'අද' පාඨකයන් වෙත ලියන්න මට සිතුණා. තවද අද වන විට අප රට තුළත් තැනිත් තැන 'හැලෝවීන්' සමරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බැවින් අපද 'හැලෝවීන්' වැළඳ ගන්නට පෙර ජපානයට 'හැලෝවීන්' පැමිණියේ කුමක් අරඹයාදැයි මැනවින් විමසා බලන්න.
2000 වර්ෂය වනතුරු ජපානයේ 'හැලෝවීන්' කියලා දෙයක් කොහෙත්ම තිබුණෙ නැහැ. 2000 වර්ෂයේදී එය පළමුවරට ජපානයට හඳුන්වා දෙන්නේ තෝකියෝවේ 'ඩිස්නිලන්තයයි'. මා දන්නා පරිදි තෝකියෝ ඩිස්නිලන්තය අයිති මහා පරිමාණ බහුජාතික සමාගමකටයි. එහි මව් ශාඛාව තියෙන්නේ ඇමරිකාවේ. තෝකියෝ ඩිස්නිලන්තයට පසුව ඔසාකා හි 'යුනිවර්සල් ස්ටුඩියෝ' කියන අති විශාල විනෝද උද්‍යානය 'හැලෝවීන්' සමරන්නට ආරම්භ කළා. ඒ ඇරඹුමත් සමගම වසරෙන් වසර දියුණු වෙමින්, ව්‍යාප්ත වෙමින් ජපානය තුළ 'හැලෝවීන්' බෙහෙවින් ජනප්‍රිය වාර්ෂික අංගයක් බවට පත්වෙලා.
ආරම්භයේදී ජපානයේ 'හැලෝවීන්' සමරන්නට යෙදුණේ ජපානයේ ජීවත්වන විදේශිකයන්ගේ (විශේෂයෙන්ම බටහිර ජාතීන්) රසාස්වාදය සඳහා පමණක් වුවත්, අදවන විට එය ජපන් තරුණ තරුණියන්ගේද අංගයක් බවට පත්වෙලා. මහා පරිමාණයෙන් ලාභ ඉපයීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සිත් ඇද ගන්නා ප්‍රචාරණය නිසාම ජපන් තරුණ තරුණියන් ශීඝ්‍රයෙන් එහි ගොදුරක් වුණා.
වසර 2000න් පසුව 'හැලෝවීන්' ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු, මධුවිතින් සප්පායම් වූ විදේශිකයන් 'හැලෝවීන්' සමරද්දී වසර කිහිපයක් ගතවූ තැන 'හැලෝවීන් දුම්රිය' නම් වූ සංකල්පයක් 'හැලෝවීන්' දිනය ඉලක්ක කරගනිමින් කරළියට පැමිණියා. 'හැලෝවීන් දුම්රිය' තුළ විසිතුරු, වෛවර්ණ ඇඳුමින් සැරසී මධුවිතින් සප්පායම් වූ පිරිස් සිය සංචාරය අවසන්කොට දුම්රියපොළ ඉදිරිපිට සහ මහජනයා වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් හි සෙසු අයට මහත් හිරිහැර වන අයුරින් කටයුතු කළා.
ඒ හේතුව නිසාවෙන්ම හැලෝවීන් සැමරුම් පිළිකුල් කළ ජපන් වැසියන් අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හැලෝවීන් සංස්කෘතියට එරෙහිව එවකට ප්‍රබල උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළා. එවැනි ප්‍රබල විරෝධයක් දියත් වුවද මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කූට උපක්‍රම නිසා ජපානයට හැලෝවීන් ඇතුළුවීම පාලනය කර ගැනීමට නොහැකි වුණා. ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ කුඩා දරුවන්.
කුඩා කුඩා සෙල්ලම් බඩු, රසකැවිලි දරුවන් හැලෝවීන් සඳහා ආකර්ෂණය කර ගන්නවා. අද වන විට ජපන් රූපවාහිනී නාළිකාද හැලෝවීන් අත ළඟට පැමිණෙද්දී සිය නරඹන්නන්ගේ ආකර්ෂණය තව තවත් වැඩිකර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ වැඩසටහන්හි ආකෘතිද, මැදිරිද, වැඩසටහන් මෙහෙයවන්නන්ද හැලෝවීන් තේමා කර ගනිමින් වෙනස් වෙනවා. ඉන් සිය සංස්කෘතියට බලපෑමක් ඇති වන බව ඔවුන් නොසිතන්නේද, එසේ නොමැතිනම් සංස්සෘතියට හානියක් වුවද ඉන් ඵලක් නොවන බව ඔවුන් සිතන්නේදැයි වටහා ගැනීම අසීරුයි.
ඒ කොහොම වෙතත් ජපන් තරුණ තරුණියන් හැලෝවීන් සමරන්නේ ඔවුනට ආවේණික ක්‍රමයට යැයි මට හැඟෙනවා. බටහිර හැලෝවීන් මෙන් ජපානයේ හැලෝවීන් වල ගෙයින් ගෙට ගොස් සිදුකරන 'Trick or Treat' භාවිතය දැකගන්න නැහැ. ඒ ජපන් වැසියන් ගෙයින් ගෙට ගොස් අනිකාගේ නිදහසට බාධා කිරීමට ඇති අකමැත්ත නිසා විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙසින් අසල්වැසියන්, යහළු යෙහෙළියන්, නැදෑ හිතමිතුරන් නිවසට කැඳවා 'හැලෝවීන්' සමරන අයුරු දැකගන්න බැහැ.. මේ හේතුව නිසාම ජපානයේ ජීවත් වන විදේශිකයන්, විශේෂයෙන්ම බටහිර ජාතීන් සඳහන් කරන්නේ ජපානයේ 'හැලෝවීන්' වාණිජමය පරමාර්ථය සහ විසිතුරු ඇඳුම් ඇඳීමේ පරමාර්ථයෙන් පමණක් සිදුවන බවයි.
පානයේ අතිශය දියුණු නගර වන ෂින්ජුකු, හරාජුකු, ෂිබුයා, ඔටකු නගරවල මෙන්ම රාත්‍රී සරාජුකු, ෂිබුයා සහ ඔටකු නගරවල සහ මහා පරිමාණ විනෝද උද්‍යානවල හැලෝවීන් මහ ඉහළින් සමරනවා. ඒ අතරින් හරාජුකු සහ ෂිබුයා ප්‍රධාන යැයි මට හැඟෙනවා. ෂිබුයා දුම්රියපළ ඉදිරිපස පිහිටි ලොව වැඩිම පිරිසක් එකවර එහා මෙහා මාරුවන මංසන්ධිය ද හැලෝවීන් ජයට සමරන ස්ථාන අතරින් ප්‍රධාන තැනක්. හරාජුකු මෙන්ම ෂිබුයා වලද හැලෝවීන් පෙරහරක් සංවිධානය වන්නේ එහි ඇති ජනප්‍රියත්වය නිසාම විය යුතුයි. කෙසේ වුවත් හැලෝවීන් සැමරුම් නිසා ජපානයට ආවේණික නිස්කලංක බව සැණින් සුනුවිසුණු කර දමනවා. නෙක නෙක හැලෝවීන් විලාසිතාවන්ගෙන් සැරසුණු ජපන් මෙන්ම විදේශීය තරුණ තරුණියන් දින දෙකක් පුරා ෂිබුයා වෙත ඇදී එන්නේ කූඹි සිදුරකට ඇදෙන කූඹින් ලෙසයි.
මළහිරු බැස ගොස් රාත්‍රී අඳුර කෙමෙන් කෙමෙන් සකුරා දේශය පුරා පැතිර යද්දී, නෙක නෙක විදුලි ආලෝකයෙන් වර්ණවත් වූ ෂිබුයා මංසන්ධිය වෙත හැලෝවීන් සැමරීමට පැමිණ යෞවනයන්ගෙන් සහ යෞවනියන්ගෙන් පිරී යන්නේ නිමේෂයකින්. නෙක නෙක විසිතුරු ඇඳුමින් සැරසුණු තරුණ තරුණියන් සමග සමූහ ඡායාරූපයක් ගන්නට උත්සාහ දරණ පිරිස් යුහුසුළුව තම අරමුණ සාක්ෂාත්කර ගැනීමට ඔබ මොබ යයි. තවත් පසෙක පෙම්වතුන් යැයි විශ්වාස කළ හැකි අය පෙම් සුව විඳින ගමන්ම හැලෝවීන් විඳිනවා. තවකෙකු එහා මෙහා පාර මාරුවෙන හැලෝවීන් ඇඳුමෙන් සැරසුණු අතිවිශාල පිරිස ඡායාරූපත ගත කරන්නට යුහුසුළුව කටයුතු කරනවා. මේ අතර සියලුදෙනාගේ ආරක්ෂාව සාක්ෂාත් කරන්නට ජපන් පොලීසියේ මහතුන්ද මහත් වෙහෙසක් දරනවා. ඔවුන් අතරින් කෙනෙකු හෝ කිහිපදෙනෙකු සුළුවෙන් හැලෝවීන් ආයිත්තම්ද පැලඳ සිටිනවා.
අද වන විට ජපන් තරුණ තරුණියන් නිදහසේ හැලෝවීන් සැමරුවද මැදි වයස ඉක්මවා ගිය අය මෙන්ම, වැඩිහිටියන්ද තවමත් සිය පෞරාණික සංස්කෘතික උරුමයන්ට ඇලුම් කරමින්, ඒවා රැකගන්නට උත්සාහ දරමින් සිටිනවා. හැලෝවීන් දිනය ආසන්න දිනකදී කඩ සාප්පුවකදී මා හා කතාවට වැටුණු එක් ජපන් වැඩිහිටියෙකු සඳහන්කර සිටියේ හැලෝවීන් ජපන් සංස්කෘතියට නොගැළපෙන බවයි. එය කෙසේ හෝ ගළපා ගන්නට උත්සාහ කළද නොගැළපෙන බව සඳහන් කළ ඔහු පැවසුවේ සමුරායිවරුන්ගේ පාලන සමයේදී ජපන් හයිකු කවි, නාට්‍ය, කබුකි සහ නර්තන වැනි බොහෝ සංස්කෘතික අංග ඔවුන් විසින්ම සකසාගත් බවයි. එයට එක් හේතුවක් ලෙස ඔහු සඳහන්කර සිටියේ සමුරායිවරුන්ගේ පාලන කාලයේදී සියවස් ගණනාවක් ජපානය ලෝකයාට විවෘත නොවීමයි. එහෙත් වර්තමාන ලෝකයේ තාක්ෂණයේ දියුණුවත් සමග සහ වාණිජ පරමාර්ථ හමුවේ බටහිර සංස්සෘතියේ ලක්ෂණ ජපානයට ඇතුළුවීම වැළැක්විය නොහැකි බව දුක්මුසු ස්වරයෙන් පවසා සිටි ඔහු දහසකුත් පිරිස අතරේ නොපෙනී යන්න ගියා.