ජපන් යෞවන යෞවනියන් ජීවිතයේ එක් වරක් පමණක් සමරන 'ෂෙයිජින් ෂිකි'
යොවුන්විය කියන්නේ මිනිස් ජීවිතයේ එක් සොඳුරු කාල පරිච්ඡේදයක්. ජීවිතයේ බොහෝ අලුත් දේවල් අත්හදා බලන ඉදිරි අනාගතය වෙනුවෙන් සැලසුම් සකසන, එසේත් නැතිනම් නව සැලසුම් ආරම්භ කරන වගේම ස්වයං තීරණ ගැනීමේ නිදහස හිමිවන සමයක්. මේ නිසාම දෙමාපියන්ගෙන්, නෑදෑ හිතමිතුරන්ගෙන් වගේම සමාජය තුළ යම් වටිනාකමක් සමගින් වැඩිහිටියෙකු ලෙස පිළිගැනීමක්, හඳුනාගැනීමක් ලැබෙන කාලයක්. දියුණු ආසියානු රටක් වන ජපානයේ යෞවන යෞවනියන්ට මේ වටිනාකම හිමිවන්නේ වයස අවුරුදු 20ක් පිරුණු විටයි. ඒ නිසාම ඔවුන් එය උත්සවාකාරයෙන් සමරනවා. යෞවන යෞවනියන් වෙනුවෙන් ජපානය පුරාම වාර්ෂිකව සමරන මේ විචිත්‍රවත් උලෙළ තමයි 'ෂෙයිජින් ෂිකි' සැමරුම් උත්සවය. එය ජපන් ජාතිකයන් සෑම වසරකම ජනවාරි මස දෙවැනි සඳුදා දින මහත් උත්සවාකාරයෙන් සමරන, වැඩි පිරිසකගේ අවධානයක් යොමු වුණ සැණකෙළියක්.
ජපානයේ යෞවන යෞවනියන්ට වයස අවුරුදු 20 පිරුණු කල වැඩිහිටියෙකු ලෙස ජපන් ජන සමාජයෙන් හා නීතියෙන් පිළිගැනීමක් හිමිවනවා වගේම අලුත් නිදහසක් භුක්ති විඳින්නටත් අවස්ථාව හිමිවෙනවා. මේ හේතුව නිසාම ඔවුනට එතෙක් තහනම්ව පැවති මත්පැන් පානයට, දුම්වැටි පානයට හා රාත්‍රී සමාජ ශාලා වෙත යන්නටත්, සූදු ක්‍රීඩාවේ යෙදෙන්නටත්, වාහන ධාවනයටත් නීත්‍යනුකූලව අවසර හිමිවෙනවා. ජපානයේ 2015 වසරට පෙර ඡන්දය භාවිත කිරීමේ අයිතිය හිමිවූයේ වයස අවුරුදු 20 සම්පූර්ණ වූ පසුව වුවත් අද වනවිට එය වයස අවුරුදු 18 තෙක් අඩුකරලා.
ජපන් තාරුණ්‍යය වෙනුවෙන්ම සමරනු ලබන %ෂෙයිජින් ෂිකි^ උත්සවය සඳහා යෞවනියන් ඉතා මිල අධික කිමෝනෝවලින් සැරසෙනවා. බොහෝ විට එම කිමෝනෝවක වටිනකාම ජපාන යෙන් ලක්ෂ 10ක් පමණ වෙනවා. ඒ වගේ ඉහළ මිලක් වැය කරන්නට අපහසු යෞවනියන් ඉතා අලංකාර කිමෝනෝ කුලියට ලබාගනිමින් සිය ජීවිතයේ එක් කඩඉමක් වන මෙම උත්සවය සමරන්නට උත්සුක වෙනවා. යෞවනයන් සුළු පිරිසක් සාම්ප්‍රදායික යුකාටාවෙන් හැඩවෙන අතර, බහුතරයක් මිල අධික යුරෝපීය විලාසිතාවන්ට යොමු වෙනවා.
ජපානයේ සෑම නගර කාර්යාලයකම (අපිට අනුව නම් නගර සභාවකම) %ෂෙයිජින් ෂිකි^ සැමරුම් උත්සවය සංවිධානය කරනු ලබන අතර, එය නැරඹීම සඳහා ඕනෑම කෙනෙකුට සහභාගි වෙන්නත් අවස්ථාව සලසා දී තිබෙනවා.
එදින උදෑසන 11.30ට පටන් ගන්න %ෂෙයිජින් ෂිකි^ උත්සවය නරඹන්නට කලට වේලාවට එතැනට යන්න මටත් මාගේ ජපන් මිතුරාටත් හැකියාව ලැබුණා. මාගේ මිතුරා පවසන්නේ, මේ සඳහා ලකලැහැස්ති වෙන, වයස අවුරුදු 20 පිරුණු යෞවනියන් රූපලාවණ්‍යාගාර වෙත පියනගන්නේ අලුයම් කාලයේදී බවයි. ඒ වගේම උත්සවයේ අවස්ථා ඡායාරූපගත කරන්නට එහි පැමිණ සිටි සියලු දෙනාටම පාහේ තිබුණේ නොසන්සිඳෙන අාශාවක් කියලයි මට හිතුණේ. ජපන් යෞවන යෞවනියන්ගේ මුහුණුවල පිරී ඉතිරී යන සතුට හරිම පියකරු දසුනක් වූයේ මගේ කැමරා කාචය මතද ඒ දසුන් සටහන් කරමින්.
ජපානයේ සෑම නගරයකම අතිඋත්කර්ෂවත් ලෙසින් %ෂෙයිජින් ෂිකි^ සැමරුවද වැඩි අවධානයක් යොමු වන්නේ තෝකියෝවේ ප්‍රධාන නගරයක් වන ෂිබුයාහි පැවැත්වෙන සැමරුම් උලෙළට කියලයි ජපන් ජාතිකයන් කියන්නේ.
ෂිබුයා කියන්නේ තෝකියෝවේ නොනිදන නගරයක්. රාත්‍රියට විවිධ ආලෝක වර්ණ රටා පිරි විදුලි බුබුළුවලින් සැරසුණු නගරයක්. එහි තරුණ පිරිසෙන් පිරී ඉතිරී යෑම සාමාන්‍ය දසුනක්.
සන්ධ්‍යාව කෙමෙන් කෙමෙන් ළඟාවෙත්ම මමත්, මාගේ මිතුරාත් නගර දුම්රියෙන් ෂිබුයා කරා ඇදුණේ මා ඇසූ තොරතුරු සත්‍යදැයි පසක් කරගන්නටත් එක්කයි. අප එහි ළඟා වනවිටත් ෂිබුයාහි දුම්රියපළ ඉදිරිපිට එකම හිස් ගොඩක් බවට පත්ව අවසන්.
පිරිස අතරින්, කිටි කිටියේ එකෙනෙකා හා හැපෙමින් ඉදිරියට ඇදෙන මට දැකගන්නට ලැබූණේ දෙමාපියන්ගේ, වැඩි මහලු සහෝදර සහෝදරියන්ගේ, හිතවතියන් හිතවතුන්ගේ නිමක් නැති සුභාශිංසන ලබමින් ඡායාරූප ගන්නටත්, මාධ්‍යවේදීන් හට සම්මුඛ සාකච්ඡා ලබාදෙන්නටත්, ෙසල්ෆි ගන්නටත් උත්සුක වන මහත් ඕනෑකමින් සතුටු වන ජපන් යෞවන යෞවනියන්ය. ඇත්තෙන්ම එදින මා දුටු ෂිබුයා නගරය වෙනදාට වඩා සජීවී බවකින් පිරී තිබූ අතර, මිහිපිට සුරලොවක සිරි ගෙන තිබූ බව නම් කිව යුතුමය.
රාත්‍රිය හෙමින් හෙමින් ෂිබුයා නගර වෙළා ගනිද්දී බොහෝ පිරිස් රාත්‍රී සාප්පු සවාරිය පටන්ගත් අතර, තවත් පිරිසක් රාත්‍රී සමාජ ශාලා වෙත ඇදුණේ තව තවත් විනෝද වන්නටයි. එමෙන්ම තවත් පිරිසක් යහළු යෙහෙළියන් සමගින් නිවෙස් කරා පියමන් කළේ නිවසේදී 'ෂෙයිජින් ෂිකි' සමරන්නටයි. මමත් මාගේ මිතුරාත් අවන්හලකට ගොඩ වැදුණේ රාත්‍රී අාහාරයෙන් සප්පායම් වන්නටයි. නමුත් අපට ඉඩක් සොයාගන්නට එතරම් පහසු නොවුණේ ඒ අවන්හල් සියල්ලම පාහේ යෞවන යෞවනියන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ බැවින්.
ඔබත් ජපානයේ සංචාරකට රිසි නම්, වසර මුලදී ජපානයේ සංචාරය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම්, %ෂෙයිජින් ෂිකි^ කියන්නේ මගහැර ගත යුතු උත්සවයක් නොවේ. ඒ එය ඒ තරමටම ආකර්ෂණීය වන්නක් බැවිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






