මැයි පළමුවැනිදාට කම්කරු දිනය සැමරීම සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනෙකු මේ දිනවල ලකලැහැස්ති වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව දෙකක් කොළඹදී සහ ගාල්ලේදීද, එක්සත් ජාතික පක්ෂය කොළඹදීද ජයටම මැයි දිනය සැමරීමට විවිධ ක්‍රියාමාර්ග තෝරමින් ඊට සහභාගි වන ජනතාව සංවිධානය කිරීම මේ දිනවල සිදුකරයි.
එහෙත් මැයි දෙවැනිදා සිට ක්‍රියාත්මක වන බදු වැඩි කිරීමක් සම්බන්ධව පසුගියදා රජයේ පාර්ශ්වයෙන් කියැවිණි. මැයි දිනය කම්කරුවාගේ දිනය වුවද එය අද වනවිට දේශපාලන වේදිකාවක් බවට පත්වී ඇති පසුබිමක මැයි දිනයට පසුවදාම බදු වැඩි කිරීමක් සිදුකිරීම ගැන එක අතකින් පුදුම විය යුතු නැත. ඒ සම්බන්ධව ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂය පාර්ශ්වයෙන් විවිධ අදහස් පළවුවද අවසානයේදී ජනතාවටම එම බදු බර දරන්නට වන බව පැහැදිලිය.
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු අනුපාතය මේ වනවිට 11% සීමාවේ පවතින අතර, එය 15% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. එසේ බදු අනුපාතය ඉහළ දැමුවහොත් මෙරට පහළ සහ මැදි ආදායම් ලබන ජනතාව වෙත දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් විසින් මීට පෙර පෙන්වා දී තිබිණි. මේ ආකාරයට වැට් බදු ඉහළ දැමීමෙන් දුරකථන ඇතුළු සෘජුවම පාරිභෝගිකයා කෙරෙහි බලපාන බොහෝ පාරිභෝගික භාණ්ඩ, පෞද්ගලික සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන ගාස්තුද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.
පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලටම මෙම බදු වැඩි කිරීම බලපාන බැවින් පෞද්ගලික උපකාරක පන්ති ගාස්තුද ඉහළ දැමීමට සිදුවෙයි. එම ආයතන විසින් ගුරුවරයා මත ගාස්තු වැඩි කිරීම පටවන අතර ගුරුවරයා සිසුවා පිට එම මුදල පටවයි. කිසිම අවස්ථාවක එම ආයතන පාඩු විඳීමට සූදානම් නැත. එසේම පෞද්ගලික පාසල් ගාස්තුද ඉහළ යයි. පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත ආයතනද මෙම ගාස්තු වැඩි කිරීම සිදුකරන බැවින් රෝග පරීක්ෂණ ගාස්තුවල සිට පෞද්ගලික රෝහල්වලින් සේවා ලබාගන්නා සෑම අංශයක් සඳහාම මිල වැඩිවීම බලපායි.
මෙවැනි පසුබිමක් රට තුළ නිර්මාණය වුවද එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පවත්වන මැයි රැලි සඳහා සහභාගි වූ ජනතාවගේ ඔළු ගෙඩි ගණන මෙච්චර යැයි කීමට දැනටමත් දේශපාලඥයන් සැලසුම් සකස් කර ඇතුවාට සැක නැත. මැයි දින රැලියට සහභාගි වූ ජනතාව නිවෙස් බලා යන විට බොහෝ දුරට රෑ බෝවීමට ඉඩ තිබේ. ඔවුන්ට ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට මැයි දින රැලි සංවිධායකයෝ පහසුකම් ඉදිරිපත්වෙති.
ඒ අකාරයට නිවසට යනවිට මැදියම් රැය පසුවිය හැකි බැවින් ජනතාව නින්දට ගොස් අවදි වනවිට මැයි දෙවැනිදා තරමක් දහවල් විය හැකිය. ඒ වනවිටත් බලධාරීන් වැට් බද්ද 15% ක් දක්වා වැඩිකර තබනු ඇත. ඊට පෙරදින නොමිලයේ මාළුපාන් කා බස්රථවලින් නිවසට පැමිණි ජනතාවට දෙවැනිදා සිට බස් ගාස්තු වැඩි වීම, බේකරි කෑමවල මිල වැඩිවීම, ත්‍රිරෝද රථ ගාස්තු වැඩිවීම, පෞද්ගලික උපකාරක පන්ති ගාස්තු ඉහළ යාම, පෞද්ගලික චැනල් සේවා ගාස්තු වැඩිවීම ආදියට මුහුණදීමට සිදුවෙයි.
මෙම කාරණය දැනගෙන මෙන් ඉකුත් දිනකදී ජනාධිපතිවරයා පොළොන්නරුවේදී අවධාරණයෙන් කියා සිටියේ ජනතාවට පීඩාකාරී තීරණ ගන්නා ආර්ථික විශේෂඥයන් එළවා දමන බවයි. එහෙත් මේ වනවිටත් අවශ්‍ය තීන්දු තීරණ ගෙන අවසන්ය. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ජනතාවට සහනයක් ලබාදිය හැකිය. ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බැවින් එවැනි තීරණයක් ගැනීමට ඔහුට අයිතිය තිබුනද එවැන්නක් සිදුනොවන බැවින් වැට් බදු වැඩි වීම පිළිබඳව පාර්ශ්ව කිහිපයකින් අදහස් විමසා බැලුවෙමු.
බදු වැඩිවීමත් එක්ක ජූලි මාසයේ පළමු වැනිදාට බස් ගාස්තු වැඩිවෙනවා
සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න
මේ සම්බන්ධවඅගමැතිතුමාට මම කිව්වා. ප්‍රතිශතය විදියට 4% යි වැඩි වෙන්නෙ. අපට බලපාන සාධක එක්ක බැලූ විට සෘජුවම බස් ගාස්තුවට පෙළඹීම් එනවා. අගමැතිවරයාට මම යෝජනා කළා මීට වැඩිය හොඳයි පුළුවන් නම් රුපියල් පහකින් පෙට්‍රල් වැඩි කරන්න කියලා. ඒකට එයා එකඟ වුණේ නැහැ. මිනිස්සුන්ට සහන දීලා තියෙනවා කිව්වා. බදු වැඩි කළාම සියලු දෙනාටම බලපානවා. ඉස්සර මහින්ද රාජපක්ෂගේ කාලේ බදු ගහන්නැතිව පැට්රල් වැඩි කරලා ආණ්ඩුව අරගෙන ගියා. අනිවාර්යයෙන්ම භාණ්ඩ මිල වැඩිවුණාම සේවාවන් මිලත් වැඩි වෙනවා කියලා මම අගමැතිවරයාට කිව්වා. ඒක බස් ගාස්තුවට බලපානවා. මේ බදු වැඩිවීමත් එක්ක ජූලි මාසයේ පළමු වැනිදාට බස් ගාස්තු වැඩිවෙනවා කියලා මම කිව්වා. ඒ අනුව ජූලි පළමු වැනිදාට බස් ගාස්තු සංශෝධනයක් සිදුවෙනවා.
බදු වැඩිවීම නිසා පාන් හැර සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් මැයි පළමුවැනිදා සිට ඉහළ යනවා
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන
“බේකරි හිමියන්ට පාන් හැර සියලුම බේකරි නිෂ්පාදනවලට වැට් බදු ගෙවීමට සිදුවෙනවා. ඒ නිසා පාන් හැර සියලුම නිෂ්පාදනවල මිල ගණන් මැයි පළමුවැනිදා සිට ඉහළ යනවා. දැනට බේකරි හිමියෝ විවිධ මිල ගණන්වලටයි සිය නිෂ්පාදන විකුණන්නේ. ඒ අනුව සාමාන්‍ය කෙටි කෑම එකක් රුපියල් 05කින් පමණ ඉහළ යෑමට ඉඩ තිබෙනවා. රජය තීරණයක් අරන් තිබෙන නිසා මෙම මිල ඉහළ යාම නතර කරන්න බැහැ. බේකරි හිමියන් කතා කරලා කිව්වා මැයි 01 වැනිදා සිට ආහාර වර්ගවල මිල ඉහළ දමන බව. අප සංගමය මැදිහත්වීමකින් තොරව මිල ගණන් ඉහළ යන එක ඉබේ සිදුවෙනවා.
බදු වැඩි කිරීම නිසා තවදුරටත් ත්‍රිරෝද රථ රියදුරා කබලෙන් බිමට වැටීමක් සිදුවෙනවා
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර
“මේ රස්සාවේ තියෙන අවිධිමත්භාවයත්, ගාස්තු අය කරගන්න ක්‍රමවේදයක් නැති නිසාත් මිල වැඩිවීමක් කරන්න හැකියාවක් නැහැ. මේ අකාරයට බදු වැඩි කිරීම ත්‍රිරෝද රථ රියදුරාගේ එදිනෙදා ජන ජීවිතයට නම් බරපතළ විදියට බලපානවා. දැනට ත්‍රිරෝද රථයේ ගාස්තු අය කරන්නේ මීටර් සහිත ත්‍රිරෝද රථ සහ මීටර් නැති ඒවා වශයෙන්. මීටර් නොමැති ඒවා අය කරන ගාස්තුව සම්බන්ධයෙන් කිසිම නිර්ණායකයක් හෝ ප්‍රමිතියක් නැහැ. ලංකාවේ දැනට තිබෙන ත්‍රිරෝද රථ ලක්ෂ 11 න් හතක් පමණ හයර් දුවනවා, ඉන් ලක්ෂ 02 ක පමණයි මීටර් දාලා තියෙන්නේ.
ලක්ෂ 05 ක් පමණ හිතු හිතූ ගණන්වලට දුවනවා.මිටර් සහිත ත්‍රිරෝද රථවලින් රුපියල් 30, 32, 35, 40 වශයෙන් ගාස්තු අය කරනවා. එම ත්‍රීවිල්වලින් 90% ක් පමණ දෙවැනි කිලෝමීටරය රුපියල් 40 ට දුවන්නේ. රුපියල් 32 ට ධාවනය කරන අය පෙට්‍රල් ලීටරය රුපියල් 15කින් වැඩිවුණොත් සත 50 ක් පමණයි වැඩි කරන්නේ.මෙම කර්මාන්තයේ අවිධිමත්භාවය නිසාම මේ අකාරයට බදු වැඩි කිරීම නිසා තවදුරටත් ත්‍රිරෝද රථ රියදුරා කබලෙන් බිමට වැටීමක් සිදුවෙනවා.
බදු වැඩිවීම දරාගන්න බැරි වුණොත් පැහැදිලිවම පාරිභෝගිකයාගේ ගාස්තුවෙන් එය අය කරන්න වෙනවා
සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ සංගමයේ ලේකම් කැළුම් ජයසුමන
“ප්‍රමාණය ගැන අවබෝධයක් නැති නිසා දැනට ගාස්තු වැඩි කිරීමක් ගැන තීන්දු කරලා නැහැ. ටයර්වලට කීයක් වැඩිවෙනවද, අනෙකුත් සේවාවලට කීයක් වැඩිවෙනවද කියලා ගණනය කළ යුතුයි. මේ පිළබඳව ආර්ථික විශේෂඥයන් කිහිප දෙනෙකුගෙන් මම ඇහුවාම කිසිම කෙනෙකුට මේ පිළිබඳව හරි අදහසක් නැති බව වැටහුණා. හරි විදියට වැඩි කරන අනුපාතය අනුව මිල වැඩි කරන්න සිද්ධ වෙනවා. අවුරුදු තුනක සිට කුලී රථවල ගාස්තු වැඩි කිරීමක් සිදුකළේ නැහැ. මෙම බදු වැඩි කිරීම නිසා එය ඉදිරියේදී වෙනස් කරන්න වෙනවා. තවම හරියට කවුරුවත් දන්නෙ නැහැ මොකක්ද තත්ත්වය කියලා.මැයි දෙවැනිදායින් පසුව තමයි තීරණයක් ගන්න වෙන්නේ. අපට එකතු වෙන ප්‍රමාණය අනුව ඒක කරන්න වෙන්නේ. එය දරාගන්න පුළුවන් මට්ටක තිබුණොත් එය දරාගන්න පුළුවන් වේවි. එසේ නොවුණහොත් පැහැදිලිවම පාරිභෝගිකයාගේ ගාස්තුවෙන් එය අය කරන්න වෙනවා.
මේකෙන් වෙන්නෙ සමස්ත ජීවන වියදම ඉහළ යන එකයි
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක
“සෘජු බදු 60% දක්වා වැඩි කරල වක්‍ර බදු 40% දක්වා අඩු කරන බවට ආණ්ඩුව මුලදී පොරොන්දු වුණා. නමුත් මේ වනවිට වක්‍ර බද්ද 80% ක් කරලා සෘජු බද්ද 20% ක් දක්වා අඩු කරලා තියෙනවා. වක්‍ර බද්ද අය කරන්නේ මේ රටේ පුරවැසියන්ගෙන්. ඔවුන් යටතට ගොවියා, කම්කරුවා, ලිපිකරුවා ඇතුළුව සියලු පන්තීන්, සියලු කුල නියෝජනය කරන ජනතාව අයිතියි. බද්ද ගෙවීමේදී සීනිද, තේ කොළද, හාල්ද, පොල්ද කියා නැහැ සියලුම භාණ්ඩ වැට් බද්දට අහුවෙනවා. වාහන මිලදී ගන්න ගියත්, බෙහෙත් ගන්න චැනල් සේවාවලට ගියත් ගාස්තු වැඩි වෙනවා. මේකෙන් වෙන්නෙ සමස්ත ජීවන වියදම ඉහළ යන එකයි.
බදු වැඩි කළාම භාණ්ඩ හා සේවාවල මිල වැඩිවෙනවා කියලා ජනතාව දන්නවා. කොපමණ ප්‍රමාණයකින් වැඩිවෙනවද, මොකද වෙන්නේ කියලා ඒ අය තවම දන්නෙ නෑ. ඉහළ ආදායම් මාර්ග තියෙන අයට සහන දෙන අතරේ අඩු ආදායම්ලාභීන්ට බදු ගහලා තියෙනවා.මේ ආණ්ඩුව ජනතාවට අතට මුදල් එන ක්‍රමයක් හදන්නෙ 2500 දි තමයි. එතකම් මේ ජනතාව ජීවත්වෙන්නේ කොහේද? දැන් හදලා තියෙන්නෙ ජනතාව ළග තිබෙන මුදල් එලියට යන ක්‍රමයක්. තේ, රබර්, පොල් මිල අඩු නිසා ඒවායෙන් ලැබෙන ආදායම් මාර්ග අඩුවෙනවා. තේ කර්මාන්ත ශාලා, රබර් කර්මාන්ත ශාලා වැහීගෙන යනවා. කුඩා සමාගම් ලියාපදිංචිය අඩුවේගෙන යනවා. මේ ක්‍රමය තුළ ජනතාවගේ සාක්කුවේ තියෙන මුදල් එළියට යන ක්‍රමයක් මිසක ඇතුළට එන ක්‍රමයක් නෙමේ හදලා තියෙන්නේ.