Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා
යාන්ඔය ව්‍යාපෘතිය ඉදිකරමින් පවතින්නේ අලුතින් කුඹුරු හෙක්ටයාර 5700ක් වගා කිරීමට හා අතුරු භෝග වගාවට ජලය ලබාදීම සඳහාය. මොරගහකන්ද ජලාශය ඉදිකර ජනතා අයිතියට පවරනු ලැබුවේද ගොවි බිම්වලට අවශ්‍ය ජලය සැපයීම වෙනුවෙනි.
කෘෂිකාර්මික ආහාර රටාවකට හුරු වී සිටින
ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහල් ටික එළවළු ටික පලතුරු ටික ලබාදෙන ගොවීන්ට පහසුකම් සැලසීම සඳහා මෙම ව්‍යාපෘති සිදුකළත් ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් නොමැත. මේ නිසා දිවා රෑ වෙහෙස වී ගොවිතැන් කටයුතු කරන ජනතාව තම අස්වැන්න සාධාරණ මිලකට විකුණාගත නොහැකි වීම නිසා මහපාරේ සටන් කරන තත්ත්වයකට පත් වී ඇත.
ආහාර භාවිත කරන පිරිසෙන් 99%කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන ආහාරය වන්නේ බත්ය. බත් කෑමට එළවළු අවශ්‍ය වන අතර, මේ අනුව බත් කන සියලුම දෙනාටත් එළවළු අවශ්‍යයි. රටේ ජනතාවට පරිභෝඡන අවශ්‍යතාව සඳහා මාසයකට ආසන්න වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බවට ගණන් බලා තිබේ.
මේ අනුව වර්ෂයකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24- 25ත් අතර ප්‍රමාණයක් රටට අවශ්‍ය වේ. මෙම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 08ක් හා මාස් කන්නයේදී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 09කට වැඩි ප්‍රමාණයක් වගා කරනු ලබයි.
මේ අනුව මාස් කන්නයේදී මෙට්‍රික් ටොන් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයකුත්, යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 25කට ආසන්න ප්‍රමාණයකුත් ලැබෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනු ලබයි. සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ වී ග්‍රෑම් එක්දහස් හයසීයක ප්රමාණයකි. මේ අනුව බලන කල යල - මහ කන්නවලදී සාමාන්‍ය පරිදි අස්වැන්න ලැබෙනවා නම් රට තුළ සහල් අතිරික්තයක් ඇති වේ. එහෙත් ගෙවී ගිය වසර දෙකක් තුළ පැවති වියළි කාලගුණ තත්ත්වය නිසා බොහෝ කුඹුරු වගා කිරීමට නොහැකි විය.
ලැබෙන වර්ෂාවෙන් ජල මූලාශ්‍රවලට එකතු වූ ජලය උපයෝගී කරගෙන මෙරට ගොවීන් මාස් කන්නයේදී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 06කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබෙන බවද ගොවි සංවිධාන සඳහන් කරයි. එම භූමිවල අස්වැන්න මේ වන විට වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන අතර, එම අස්වැන්න මිලදී ගැනීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව ගොවි ජනතාව සඳහන් කරති.
ගෙවී ගිය කාලය තුළ පැවති වියළි කාලගුණ තත්ත්වය නිසා වී වගා කටයුතු අඩපණ වී ගිය බැවින් රටේ සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා විදේශ රටවලින් බදු සහන යටතේ සහල් ගෙන්වීමට රජය අවසර දෙනු ලැබිණි. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍ර‘යෝජන ගත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු හා මෝල් හිමියන් කිහිපදෙනෙකු විසින් සීමාවක් නොමැතිව රටට සහල් ගෙන්වා තිබෙන බවට ගොවි සංවිධාන සඳහන් කරන කාරණයකි.
මාස් කන්නයේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබියදීත් ජාවාරම්කරුවන් රටින් සහල් ගෙන්වා තිබෙන බැවින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08කට වැඩි ප්‍රමාණයක් රට තුළ තිබෙන බවද එම සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
මෙම තත්ත්වය පිළිබඳව කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් දැනුවත් වී තිබීම නිසා දැනට වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙනා වී අස්වැන්න මිලදී ගැනීම සඳහා ඔවුන් වැඩි උනන්දුවක් නොදක්වන බවද වාර්තා වේ.
මීට අමතරව කුඩා මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා රජය මැදිහත්ව රාජ්‍ය බැංකුවලින් සහන පොලියට ලබාදෙන මුදල්වත් මෙවර ලබාදීමට කටයුතු නොකළ බව කුඩා මෝල් හිමියෝ සඳහන් කරති. මේ නිසා මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු එකතුවී වී මිලදී ගැනීම සිදුකරන බවට ගොවි ජනතාව සඳහන් කරන අතර, එම පිරිස් වී මිලදී ගැනීම සිදුකරන්නේ රුපියල් 28-30ත් අතර මුදලකට බවද ගොවි ජනතාව පෙන්වා දෙති.
එහෙත් මද්‍යසාර සකස් කිරීම සඳහා යම් යම් ප්‍ර‘දේශවල වැස්සට හසු වූ වී කිලෝවක් රුපියල් 40ක් වැනි මුදලකට මිලදී ගන්නා බවද වාර්තා වේ. සාමාන්‍ය ගොවීන්ගේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන විට රජය මැදිහත් වී රජයේ සහතික මිලට වී අස්වැන්නෙන් සුළු කොටසක් හෝ මිලදී ගැනීමට ගෙවී ගිය කාලය පුරා සිදුකළ ක්‍රියාවකි.
කෙසේ වුවද තවමත් රජය මැදිහත් වී නිසි ලෙස වී මිලදී නොගන්නා බවට ගොවි සංවිධාන පෙන්වා දෙනු ලබයි. රජයේ සහතික වී මිලට අනුව නාඩු වී කිලෝවක මිලදී ගැනීමේ මිල රුපියල්
38කි. සම්බා වී කිලෝවක මිල රුපියල් 41කි. අදාළ මුදල පාර්ලිමේන්තුවේ සම්මත නීතියක් නොවන නිසා එම මුදලට වී මිලදී ගත යුතු යැයි රටේ නීතියක් නැත. මේ නිසා වෙළෙඳ පොළ තුළ වී මිලේ තරගකාරීත්වයක් ඇති කිරීම සඳහා රජය මැදිහත් වී වී අස්වැන්නෙන් සුළු කොටසක් හෝ මිලදීගත යුතුය.
පොදුවේ මෙතෙක් රාජ්‍ය අංශය විසින් මිලදී ගනු ලැබුවේ වී අස්වැන්නේ 10%කට ආසන්න ප්රමාණයකි. එහෙත් රජය මැදිහත්ව වී මිලදී ගැනීම සිදුකිරීම නිසා ඊට ආසන්න මුදලකට වී මිලදී ගැනීමට පෞද්ගලික අංශයට සිදුවිය. මෙවර එවැනි තරගයක් ඇති වී නොමැති බැවින් වී මිලදී ගැනීම පෞද්ගලික අංශය විසින් තම හිතුමතේට සිදුකරනු ලබයි.
ඕනෑම භාණ්ඩයක් වැඩි වශයෙන් වෙළෙඳ පොළට පැමිණිමේදී සිදුවන්නේ එම භාණ්ඩයේ මිල විශාල ලෙස පහළ යෑමය.
එහෙත් මේ වන විට වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබියදීත් පසුගිය කාලයේ දිගින් දිගටම ඉහළ ගිය සහල් මිල පහළට පැමිණියේ නැත. මේ අනුව වී කිලෝවක මිල රුපියල් 30-32ක් වී තිබියදීත් ආහාරයට ගත හැකි සහල් කිලෝවක මිල රුපියල් සියය ඉක්මවා ගොස් ඇත.
ගණනය කිරීමේ සූත්‍රයට අනුව සහල් කිලෝවක් සකස් කිරීමට අවශ්‍ය වන්නේ වී ග්‍රෑම් 1600කි. වී කිලෝවක් හෙවත් වී ග්‍රෑම් දහසක් රුපියල් 30ට මිලදී ගතහොත් සහල් කිලෝවක් නිෂ්පාදනයට යන වී ප්‍රමාණයට වැය වන්නේ රුපියල් 48කටත් අඩු මුදලකි.
වී සහල් බවට පත්කිරීම සඳහා රුපියල් 08ක මුදලක් වැය වන බවට මෝල් හිමියන් සඳහන් කරන අතර, වී මිලදී ගැනීම, ප්‍රවාහනය කිරීම සහ සහල් ප්‍රවාහනය කිරීම සඳහා තවත් රුපියල් 08කට ආසන්න මුදලක් වැයවන බවද එම පිරිස් පෙන්වා දෙති.
මේ අනුව රුපියල් 05ක ලාභයක් තබාගෙන රුපියල් 69කට හෝ 70කට සහල් කිලෝවක් ලබාදිය හැකිය. එහෙත් පවතින ජාවාරම් ක්‍රියා නිසා එවැනි දෙයක් සිදුවන්නේ නැත. සිදුව තිබෙනා මෙම විකෘතිතාව නිවැරදි කිරීමට පාලකයන් හෝ වගකිවයුතු නිලධාරීන් කටයුතු කරන්නේද නැත. සහල් මිල ඉහළ අගයක් ගෙන තිබෙන නිසා රජය මැදිහත් ව වී මිලදී ගෙන රජයේ මෝල් හරහා සහල් බවට පත්කිරීමට හැකියාව තිබේ.
එහෙත් සහල් ජාවාරමට ප්‍රධාන පෙළේ දේශපාලඥයන් හෝ ඔවුන්ගේ ඥාති හිතවතුන් සම්බන්ධ නිසා රජය මැදිහත්ව එවැනි වැඩපිළිවෙළක් සකස් කරන ආකාරයක් නැත. ඉදිරි දෙසතිය තුළදී වී අස්වැන්න උපරිමයෙන්ම ලැබෙන කාලයක් ලෙස ගොවි සංවිධාන පෙන්වා දෙති.
ඉන්පසුව වෙළෙඳ පොළට වී පැමිණීමක් සිදුනොවන බවද එම සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙති. තවත් දෙසතියක් ගෙවී ගිය පසු එළඹෙන්නේ අලුත් අවුරුදු සමයයි. මෙම කාලයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලදී ගැනීමේ ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවකි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන භාණ්ඩ මිල ඉහළ දැමීම අනාදිමත් කාලයක සිට බොහෝ ව්‍යාපාරිකයන් සිදුකරන කටයුත්තකි. මේ අනුව අලුත් අවුරුදු සමය වන විට සහල් මිල තව තවත් ඉහළ යනු ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන සඳහන් කරති.
බත් කෑමට එළවළු අවශ්‍යය. වියළි කාලගුණ තත්ත්වයක් පැවතියත් ළිංවලින් හා වැසිවලින් ලබාගන්නා ජලය උපයෝගී කරගෙන බොහෝ පිරිසක් අතිරේක භෝග වගා කර තිබේ. අතිරේක භෝග වගාව යටතේ වගා කළ ලීක්ස්, ගෝවා, අල, බෝංචි, බණ්ඩක්කා, මෑ කරල් වැනි එළවළු වර්ගවල අස්වැන්න මේ දිනවල වෙළෙඳපොළවලට පැමිණෙමින් ඇත.
වැඩි වැඩියෙන් භාණ්ඩ එකම වෙළෙඳ පොළක් තුළට පැමිණීම හරහා එම භාණ්ඩවල මිල අඩු වීමේ සූත්‍රය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් වගා කටයුතු සිදු නොකරන ප්‍ර‘දේශවල ජනතාවට එම භාණ්ඩ මිලදී ගැනීමට සිදුව තිබෙන්නේ විශාල මුදලක් වෙළෙන්දන්ට ලබා දෙමිනි.
අස්වැන්න ලැබෙන ප්‍ර‘දේශවලින් අස්වැන්න මිලදී ගෙන අදාළ එළවළු පලතුරු නොමැති ප්‍ර‘දේශවලට ප්‍රවාහනය කර විකුණා දැමීමට රජයට වැඩපිළිවෙළක් නොමැති වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.
රජයේ මැදිහත්වීමක් නොමැති නිසා මෙම ක්‍රියාව සිදුකරන්නේ පෞද්ගලික අංශය විසිනි. මේ නිසා රුපියල් 5කට මිලදී ගන්නා භාණ්ඩය රුපියල් 20ට 25ට විකුණන තරමට වෙළෙඳ පොළ විකෘති තත්ත්වයට පත් වී ඇත.
මෙම විකෘතිබව නිසා වගාවන් සිදුකිරීමට දහඩිය මහන්සිය හෙළනා ගොවියාට හා මුදල් ඉපැයීමට දුක් මහන්සි වන ජනතාවට සැමදාම සිදුවන්නේ අසාධාරණයට ලක්වීමටය.
අර්තාපල් හෙවත් අල, පරිප්පු තරමටම මේ රටේ ජනතාවගේ ජනප්‍රිය ආහාරයකි. රටට අවශ්‍ය අර්තාපල් අවශ්‍යතාවෙන් 50%කට වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. පවතින පොහොර මිල හා කෘෂි රසායන මිල බීජවල හා මිනිස් ශ්‍රමය සැලකිමේදී අල කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 68කට ආසන්න මුදලක් වැය වන බව ගොවීහු සඳහන් කරති.
එහෙත් බදු සහන යටතේ දිගින් දිගටම රට තුළට අල ගෙන්වීම නිසා අල කිලෝවක් මිලදී ගැනීම මිල රුපියල් 60 දක්වා පහත වැටී තිබෙන බව අල වගාකරන ගොවීහු සඳහන් කරති. රුපියල් 60කට අල කිලෝවක් මිලදී ගත්තත් වෙළෙඳ පොළෙන් දේශීය අල කිලෝවක් මිලදී ගැනීමට රුපියල් 100කට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුව තිබේ.
අල අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙනා මේ මොහොතේ අල කිලෝවක් රුපියල් 100ක් හෝ රුපියල් 110ක මුදලකට අලෙවි කළත් උත්සව සමය වන විට එම මුදල රුපියල් 150 ඉක්මවා යාම වළක්වා ගැනීමට කිසිවෙකුටත් හැකියාව ලැබෙන්නේ නැත.
මන්දයත් අල මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම සිදුකරන්නේ පෞද්ගලික අංශයෙන් නිසාය. මේ නිසා ඉදිරියේදී ඉහළ යන අල මිල පාලනය කිරීමටත් රජයට හැකියාවක් නැත. කුරුඳු මිල දිගින් දිගටම පහත වැටීම නිසා කුරුඳු ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබේ. ගම්මිරිස් මිල පහත වැටීම නිසා ගම්මිරිස් ගොවියාද මේ වන විට අසරණ වී ඇත.
කිරි අස්වැන්නට නිසි මිලක් නොලැබීම නිසා කිරි ගොවීන්ද දැඩි දුෂ්කරතාවන්ට පත්වෙමින් තිබේ. පලතුරු ගොවීන්ටද බොහෝ අවස්ථාවල නිසි මිලක් නොලැබීම නිසා කෙසෙල් වගාකරුවන්, කොමඩු වගාකරුවන් බොහෝ අවස්ථාවල දැඩි දුෂ්කරතාවන්ට පත්වීම සිදුවේ.
රබර් ගොවියාට රබර් කිරි සඳහා නිසි අස්වැන්නක් නොලැබීම නිසා රබර් වතු අතහැර දමන තත්ත්වයකට පත්ව තිබේ. අමු තේ දලු සඳහා සාමාන්‍ය මිලක් පැවතියත් පොහොර මිල ඉහළ යෑම හා නැවත වගාවන් සඳහා අධික මුදලක් වැයවීම නිසා කුඩා තේවතු හිමියන්ද දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.
මේ නිසා බොහෝ ගොවීන් වගා කටයුතුවලින් ඉවත් වෙමින් සිටින අතර, තරුණ පරපුර ගොවිතැන් කටයුතු කිරීම සඳහා යොමුවීම සිදුනොවන තරම්ය. මේ නිසා තවත් වසර කිහිපයක් ගත වන විට රටට අවශ්‍ය සහල් ටිකේ සිට සෑම එළවළුවක්, පලතුරක්ම සම්පූර්ණයෙන්ම රටින් ගෙන්වීමට සිදුවනු ඇත.
මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දමනා පිරිස්වලට එදාට හොඳට නින්ද යා හැකි වුවත්, මේ රටේ සාමාන්‍ය ජනතාවට එදාට සිදුවන්නේ වස ටිකක් කා මියයන්නටය. මන්දයත් ආහාරයට ගැනීමට රට තුළ කොතරම් ද්‍රව්‍ය තිබුණත් අද වන විට එක තිරිඟු පිටි නැවක් පැමිණීම ප්‍රමාද වුවහොත් රට විශාල අර්බුදයකට ලක් වේ. මීට අමතරව පැවති වියළි කාලගුණ තත්ත්වය නිසා රටින් සහල් ගෙන්වීමට සිදු වූ අතර, මුල් අවස්ථාවේදී විශාල ලෙස රටින් සහල් ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා රට තුළ සුළු වශයෙන් සහල් හිඟයක් ඇති වූ අතර, සහල් මිලද එකවර විශාල ලෙස ඉහළ ගියේය.
වෙළෙඳ පොළට වී අස්වැන්න ලැබෙන කාලවකවානු පිළිබඳව පෙනීපෙනිත් මෙවැනි අර්බුදයක් ඇතිවූවා නම් එවැනි තත්ත්වයක් නැති අවස්ථාවකදී මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් සිදුවන දෙය සිතා ගැනීමටවත් නොහැකිය.
මේ නිසා ගොවිතැනට අවශ්‍ය ජලය ලබාදීමට වැව් අමුණු සකස් කරනවා සේම මේ රටේ ගොවි ජනතාව රැක ගැනීමටත් සෘජුවම රජය මැදිහත් වී සකස් කළ යුතුය. එසේ නොමැති වුවහොත් අනාදිමත් කාලයක සිට පැවත එන කෘෂිකර්මාන්තය මෙරටින් තුරන්වන දිනය වැඩි ඈතක නැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd