ශ්‍රී ලංකාවේ පාරිසරික දූෂණය සම්බන්ධයෙන් කතා කිරීමේදී සහ ක්‍රියා කිරීමේදී බොහෝ ක්ෂේත්රයන් පිළිබඳව අපගේ අවධානය යොමු වුවද සාගර දූෂණය සම්බන්ධයෙන් මෙරට තවමත් පවතින අවධානය සහ දැනුවත්භාවය ඉතාමත් ඝෘණාත්මක තත්ත්වයක පැවතීම කනගාටුදායකය. අඩුම තරමින් පාසල් අධ්‍යාපනය තුළින් හෝ මේ පිළිබඳව නිසි අවබෝධයක් ලැබෙන්නේද යන්න පිළිබඳවද පවතින්නේ ප්‍රශ්නාර්ථයකි. එම අවධානය සහ උනන්දුව නොමැති නිසාම මේ වන විටත් අප සාගරයට සිදුකර ඇත්තේ මහා විනාශයකි. එමෙන්ම එම විනාශය නිසා ඉදිරියේදී මහා විපතකටද අප මුහුණ පෑමට නියමිතය.
සාගර දූෂණය සම්බන්ධයෙන් මෙරට ඇති නොදැනුවත්භාවය සහ නොසැලකිලිමත්භාවය නිසාම ශ්‍රී ලංකාව මේ වන විට වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 1.59ක ප්‍රමාණයක් සාගරයට මුදාහරිමින්, ලෝක වර්ගීකරණය අනුව වැඩියෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන රටවල් අතුරින් පස්වැනි ස්ථානයට පත්ව තිබීම ඉතාමත් කනගාටුදායකය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දිනපතාම පාහේ සාගරය වෙත විවිධාකාරයෙන් සිදුවන විනාශයන් වැළැක්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඒ පිළිබඳ නිහඬ කාර්යභාරයක නියැළී සිටිති.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙන එන්නේ සාගර විද්‍යාව සම්බන්ධයෙන් මෙරට සිටින ප්‍රමුඛතම විද්වතෙකු වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාය.
'දූපත් රාජ්‍යයක් විදිහට ශ්‍රී ලංකාවට මුහුද කියන්නේ විශාල සම්පතක්. මේ වෙද්දි ලංකාව වෙරළබඩ සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය, නාවික කටයුතු කියන ක්ෂේත්රයන්ගේ ආසියාවේ මධ්‍යස්ථානයක් බවට පත්කරන්න සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් තවමත් මේ වන තෙක් ඊට ප්‍රායෝගිකව සිදුවිය යුතු කාර්යයන් සිදුවෙලා නැහැ. පාසල් කාලයේ ඉඳලම අපිට ගොඩබිම ගැන බොහෝ දේවල් ඉගැන්නුවට මුහුද ගැන කිසිම ආකාරයක් දැනුවත්භාවයක් ලැබෙන්නේ නැහැ. මුහුදත් සමග නිරන්තරයෙන් කටයුතු කරන ධීවර ප්‍රජාව අතරත් සාගරයේ සම්පත් භාවිතය පිළිබඳව නිසි සැලකීමක් දකින්නට ලැබෙන්නේ නැහැ.
අද වෙද්දි මුහුදට දරාගත හැකි ධරණීය මට්ටමටත් වඩා මෙරට ධීවර කර්මාන්තය තුළ බෝට්ටු භාවිත වෙනවා. ඒ බෝට්ටු මගින් සාගරයෙන් නිපදවෙන අස්වැන්නට වඩා ලබාගන්නා අස්වැන්න වැඩියි. එම තත්ත්වය තවදුරටත් සාගරයට දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. දිගින් දිගටම මේ තත්ත්වය පැවතුණොත් කාලයක් ගිහින් මුහුදේ තිබෙන සම්පත් ක්ෂය වී යාමේ අවදානමක් පවතිනවා. අනෙක් අතින් සාගරයට පවතින තර්ජනය තමයි ගොඩබිමින්, නැව් සහ මුහුද ආශ්‍රිතව සිදුවන දූෂණය. ගොඩබිමින් වන දූෂණ තත්ත්වයන් ගැන සලකද්දී පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම, අසූචි වැනි දෑ බැහැර කිරීම, රසායනික ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි ක්‍රියාවන් නිරන්තරයෙන් දකින්නට ලැබෙනවා.
අපේ මිනිස්සුන්ගේ මිත්‍යාවක් තියෙනවා මුහුදට කුණු දැම්ම ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඇත්ත තත්ත්වය තමයි ඒවා මුහුදට විශාල ලෙස අහිතකර බලපෑම් සිදුකරනවා. ඒ වගේම අද වෙනකොට ලෝකයේ භාණ්ඩ ප්‍රවාහනයෙන් 90%ක් පමණ සිදුවෙන්නේ නැව් මගින්. මේ සමග සාගරය මුහුණ දෙන විශාල තර්ජනයක් තමයි නැව්වලින් පිටකරන නැව්වල සමතුලිතතාව පාලනයට යොදාගන්නා බැලාස්ට් ජලය මගින් ආක්‍රමණශීලී ජලජ ජීවීන්, ශාක සහ ව්‍යාධිජනකයන් එක් පරිසරයක සිට තවත් පරිසරයකට සංක්‍රමණය වීමේ අවදානමක් ඇතිවීම. ඒ වගේමයි නැව් මගින් සිදුවන තෙල් කාන්දු වීම් සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් පවා විශාල හානියක් සිදුකරනවා.
පොලිතීන් සහ ප්ලාස්ටික් වර්ග කලක් මුහුදේ තිබුණාම ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත්වෙනවා. ගොඩබිමේදීත් මෙය සිදුවෙනවා. මේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිසා සිදුවන හානිය ඉතාමත් වැඩියි. ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජලජ ජීවීන්ගේ ශරීරගත වුණාම ඒවා විෂ වීමෙන් ජලජ ජීවීන් විනාශ වෙලා යනවා. ජලජ පරිසර පද්ධතීන්වලට මිශ්‍ර වීමක් සිදුවුණොත් ඒවායේ වර්ධනය අඩාළ වෙනවා. ගොඩබිමේදී මේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිනිසුන්ගේ ශරීරගත වීමෙන් පිළිකා තත්ත්ව ඇති කරනවා. ඒ වගේම ක්ෂුද්‍ර ප්ලාස්ටික් ජලයේ පවතිනකොට ඒවා වටා ඇල්ගී බැෙඳනවා. මේ ඇල්ගී ආහාර දාමයේ පහළම මට්ටමේ සිටින ප්ලවාංග විසින් ආහාරයට ගැනීම නිසා ඒවා විෂ වී ප්ලවාංගයන් මිය යනවා. එමගින් ආහාර දාම වෙත විශාල බලපෑමක් සිදු කරනවා. ඒ නිසා මේ තත්ත්වයේ භයානක බව අපි අවබෝධ කරගැනීම වැදගත්.
අපි දන්න කාරණයක් තමයි මේ පෘථිවියේ සුළඟ, වර්ෂාපතනය සහ දේශගුණික තත්ත්ව පාලනය කරන්නේ මුහුද හරහා. ලංකාවට බලපානු ලබන මෝසම් දෙකත් පාලනය කෙරෙන්නේ මුහුද මගින්. ඊට අමතරව සමකය වෙත ලැබෙන සූර්ය රශ්මිය වැඩි නිසා සමකය අධික ලෙස රත්වීමක් වෙනවා. ඒ රත්වීම පාලනය නොවුණොත් අපිට ජීවත් වෙන්න බැහැ.
මේ උෂ්ණත්වය පාලනය කෙරෙන්නෙත් මුහුද විසින්මයි. මුහුද දියවැල් ඇති කරලා සමකාසන්නයේ පවතින උෂ්ණත්වය පාලනය කරමින් සමකයට ඉහළින් තිබෙන හිම තට්ටු සිසිල් කරනවා. එය සිදු නොවුණොත් උෂ්ණත්වය වැඩිවීම නිසා හිම තට්ටු දියවෙලා සාගර ජල මට්ටම ඉහළ යනවා. සුළං හැමීම නවතිනවා. අඩුම තරමේ ගහක කොළයක්වත් නොසෙල්වෙන තරමට. ඒ වගේම වලාකුළු නිර්මාණය වෙන්නෙත් නැහැ. ඒ නිසයි අපි කියන්නේ සාගරය පෘථිවියේ හදවතට සමානයි කියලා.
අනෙක් අතින් ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වුණත් මුහුදට නිසි තැනක් දෙන්න කටයුතු කරලා නැහැ. වෙනත් රටක මුහුදු වෙරළක් කියන්නේ ඉතාමත් පිරිසුදු ස්ථානයක්. නමුත් ලංකාවේ වෙරළක් ගත්තොත් ඉතාමත් අපිරිසුදුයි වගේම සුසාන භූමි රාශියක් පිහිටලා තියෙන්නේ වෙරළ ආශ්‍රිතව. මේ වෙද්දි ගල්කිස්ස, උණවටුන, මොරගල්ල, පොල්හේන, ගාලුමුවදොර වගේ වෙරළ තීරවල තිබෙන ජලයේ මළ මුත්‍රා සහ අසූචි මිශ්‍ර වෙලා තිබෙනවා. මෙය සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුකරනවා.
මේ සෑම විනාශයක්ම සිදුවෙලා තියෙන්නේ මුහුද පිළිබඳව නිසි දැනුවත්භාවයක් ජනතාව සතුව නොමැති වීම නිසයි. ඒ තත්ත්වය නැතිකරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනය මගින්. ඒ නිසා මේ පිළිබඳව අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වීම ඉතාමත් වැදගත් වෙනවා. මේ පරිසර විනාශය තව තවත් උග්‍ර අතට හැරුණොත් සමස්ත මානව සංහතියේම විනාශයත් ඒ සමගම සිදුවෙනවා.
මේ තත්ත්වයන් වළක්වාගන්න ගෘහස්ථ මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා නිසි ප්‍රායෝගික අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුමක් ක්‍රියාත්මක විය යුතු වෙනවා. ඒ වගේම ජනතාවගේ පරිභෝජන රටාව පරිසර හිතකාමී ආකාරයට සිදුවීම වැදගත් වෙනවා. ඊට අමතරව සමාජයේ සෑම ක්ෂේත්රයක්ම තමන්ගේ සමාජ වගකීම පිළිබඳව අවබෝධ කරගත යුතුයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වශයෙන් අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිරීති සම්පාදනය කරලා නිසි පියවර ගන්න කටයුතු කරමින් යනවා.
ලංකාවේ මුහුදු සීමාවට පැමිණෙන සෑම නැවක් ගැනම අපි සොයා බලනවා. යම් පාරිසරික හානියක් ඒ මගින් සිදුවෙනවා නම් දඩ සහ වන්දි ගෙවීමට නියම කෙරෙනවා. ඒ වගේම ධීවරයන්ටත් කර්මාන්තයේදී සිදුවන පාරිසරික හානිය අවම කරගැනීම සම්බන්ධයෙන් නීතිරීති පනවලා තිබෙනවා සහ දැනුවත් කරනවා.
මේ තත්ත්වයන් පිළිබඳව ජාතික මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට හෙට (15දා) සිට 22දා දක්වා අපි ජනාධිපත්තුමාගේ ප්‍රධානත්වයෙන් සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් සහ වෙරළ පවිත්‍රතා දිනයක් සංවිධානය කර තිබෙනවා. එහි ජාතික සැමරුම් උත්සවය හෙට (15දා) උදෑසන 10ට ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී පැවැත්වෙනවා. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශ්වවිද්‍යාල සහ සිවිල් සංවිධාන රැසකගේම සහයෝගය මේ සඳහා ලැබෙනවා. අපි ජනතාවටත් ආරාධනා කරන්න කැමතියි මේ සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙන ලෙසට"
"මානව ක්‍රියාකාරකම් නිසා මේ රමනණීය සමුද්‍රය ඉතා සීඝ්‍රෙයන් දූෂණය වෙමින් පවතිනවා" - රියර් අද්මිරාල් රෝහණ පෙරේරා (විශ්‍රාමික), සභාපති - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
ශ්‍රී ලංකාව යනු ලොව පුරා සංචාරකයන්ගේ නොමද ආකර්ෂණයට ලක්වූ සොඳුරු වෙරළ තීරයක් සහ සමුද්‍රීය පරිසරයක් උරුම දිවයිනකි. එහෙත් අවාසනාවන්ත තත්ත්වය නම් මෙකී රමණීය සමුද්‍ර පරිසරය මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඉතා ශීඝ්‍රයෙන් දූෂණය වෙමින් ධීවර, සංචාරක වැනි කර්මාන්තවලට හා සමස්ත මානව ප්‍රජාවට දැඩි බලපෑම් ඇතිකිරීමයි.
එබැවින් සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීමේ ජාතික අවශ්‍යතාවට අනුව ජනාධිපති, මහවැලි සහ පරිසර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව 2016 වසරේ සිට සෑම වසරකම සැප්තැම්බර් තෙවැනි සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව එම සතිය %ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය^ ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කෙරිණි.
ඒ අනුව 2017 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය හෙට (15දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය කාකදූපත වෙරළ තීරයේදී පෙ.ව 10.00ට පැවැත්වේ. හෙට (15දා) සිට 22 දක්වා වෙරළ හා සමුද්‍රීය පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහන් දිවයින පුරා 100කට ආසන්න වෙරළ තීරයන්හිදී පැවැත්වෙන අතර, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුකෙරේ. මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනද සංවිධාන කටයුතු සමග අත්වැල් බැඳගෙන සිටියි.
ආකල්පමය වෙනසක් ඇතිකරමින් සමුද්‍රීය පරිසරය රැකගැනීමේ වැදගත්කම පිළිබඳ පණිවුඩය ජනතාව අතරට ගෙනයෑමටත්, 2008 අංක 35 දරන සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සමුද්‍ර දූෂණය වැළැක්වීමට මෙමගින් බලාපොරොත්තු වේ.