පරිපූර්ණ සහ නිරෝගී මිනිසෙක් බිහිකිරීමට අද දැනුම මෙන්ම ක්‍රීඩාවද අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. රජයද මේ වන විට සෑම පාසල් ශිෂ්‍යයෙකුටම ක්‍රීඩාවක නියැළීම අනිවාර්යය කර තිබෙන අතර, එය ප්රශස්ත තීරණයක් බවද සිහිපත් කළ යුතුය. ක්‍රීඩාව නිරෝගී දරු පරපුරක් බිහිකිරීම සඳහා කොතෙක් දුරට ඉවහල් වනවාද යන කාරණය සම්බන්ධයෙන් කතාබහ කිරීමට අප ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා 'අද' ට සම්බන්ධ කර ගතිමු.
'මෑතකදී සිදුකරපු සමීක්ෂණයකින් සොයාගත් දෙයක් තමයි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 10-15 වයස්වල සිටින දරුවන් 5෴-10෴ත් පමණ ප්‍රමාණයකට දියවැඩියා සහ අධික ස්ථූලතාව ඇති වීමේ අවදානමක් තිබෙන බව. මේ තත්ත්වයට මූලිකවම හේතු වෙලා තිබෙන්නේ කය වෙහෙසා කටයුතු කිරීම දරුවන් අතර අද අඩුවෙලා තිබීමයි'
ක්‍රීඩාව වැදගත් ඇයි
ක්‍රීඩාව දරුවන්ගේ ජීවිතයට ඉතාමත් වැදගත් සාධකයක් වෙන්නේ කොහොමද කියන කාරණයේදී අපි මූලිකව දැන ගත යුතු දෙයක් තමයි යහපත් සෞඛ්‍ය කියන්නේ කුමක්ද කියන දේ. යමෙකුගේ කායික, මානසික හා සාමාජීය යහපැවැත්ම තමයි අපි යහපත් සෞඛ්‍ය විදිහට අර්ථගන්වන්නේ. මෙතැනදි කායික, මානසික සහ සමාජීය කියන කාරණා තුනම හොඳ තත්ත්වයක තිබීම ඉතාමත් වැදගත් වෙනවා වගේම මෙයින් එක් සාධකයක් හෝ අහිතකර ලෙස බිඳවැටීමකට ලක්වුණොත් සෞඛ්‍ය තත්ත්වයත් පිරිහීමකට නිතැතින්ම භාජනය වෙනවා. අද අධ්‍යාපන ක්ෂේත්රය තුළ අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ දැඩි තරගකාරී වාතාවරණයක්. ඒ තරගකාරී වාතාවරණය තුළ අධ්‍යාපනයේ නිරත වන දරුවා අධ්‍යාපනයේ මූලික අවධියේ ඉඳලම විශාල පීඩනයක් සමගයි හැදී වැඩෙන්නේ. මේ පීඩනය වැඩියෙන්ම ලැබෙන්නේ දෙමවුපියන්ගේ පාර්ශ්වයෙනුයි.
මේ පීඩනයත් එක්ක ජීවත්වෙන දරුවන්ගේ මානසික සෞඛ්‍ය ක්‍රමයෙන් පිරිහෙනවා. එය කායික සුවතාවට බලපෑම් ඇති කරනවා. මේ සාධක දෙක බිඳවැටීමත් එක්ක සමාජීය යහපැවැත්මත් බිඳවැටෙනවා. සමහර දරුවෝ අද ඉතාමත් සුළු හේතුවකටත් සියදිවි නසාගැනීම්වලට පෙළඹෙන්නත්, සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමුවෙන්නත් හේතු වෙන්නේ මේ අහිතකර වටපිටාව තුළයි. ඒ වටපිටාව නිර්මාණය නොවන ආකාරයෙන් දෙමවුපියන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එම කටයුත්තේදී ක්‍රීඩාව විශාල කාර්යභාරයක් ඉටුකරන සාධකයක් බවට පත්වෙලා තිබෙනවා. ක්‍රීඩාව තුළින් තමයි පීඩනයෙන් හෙම්බත් වුණු දරුවන්ගේ මනස හොඳ මට්ටමකට ගෙන එන්නේ. ඒ වගේම ඔවුන් තුළ පෞරුෂත්වය, නායකත්ව ගුණාංග, ඉවසීම, සමාජශීලී බව ඇති කරනවා. එමගින් සෞඛ්‍ය සම්පන්න දරුවෙක් නිර්මාණය කිරීමක් සිදුකරනවා. දරුවෙක් කුඩා කාලයේ ඉඳලාම ක්‍රීඩාවට යොමු කළ යුතුයි. එය දරුවා යොවුන්වියට හෝ වැඩිහිටියෙක් වුණාට පස්සේ පමණක් යොමු කිරීම ප්රශස්ත නැහැ. එතැනදී මූලිකම කාර්යභාරය පැවරෙන්නේ පාසලට.
අවම වශයෙන් පැයක් ක්‍රීඩාව වෙනුවෙන්
අද පාසල් අධ්‍යාපනය ගත්තොත් අපිට දකින්න ලැබෙන්නේ දරුවන් තුළ සාරධර්ම පෝෂණය කිරීමට වඩා විෂය දැනුම පමණක් මූලික කරගෙන රොබෝවරුන් නිර්මාණය කරමින් යන ගමනක්. පාසලේ කාර්යභාරය එසේ විය යුතු නැහැ. දෙමවුපියොත් නොයෙක් අකාරයෙන් දරුවන්ව ක්‍රීඩාවෙන් ඈත්කිරීමට කටයුතු කිරීමත් හොඳ දෙයක් නොවෙයි. ක්‍රීඩාව දරුවන්ට අත්‍යවශ්‍යයි. දිනපතාම අවම වශයෙන් පැයක් හෝ පැය භාගයක කාලයක් දරුවෙක් ක්‍රීඩාවක නියැළී සිටිය යුතුමයි. සමහර දෙමවුපියෝ අපි දකිනවා යම් කඩඉම් විභාගයක් ආසන්න වෙද්දි දරුවන්ව මාස 5ක් හෝ 6ක් වැනි දිගු කාලයකට එම දරුවන් නියැළී සිටි ක්‍රීඩාවෙන් ඉවත් කර ගන්නවා. එතෙක් කාලයක් ක්‍රීඩාවේ යෙදී ඉඳලා දරුවාගේ ශරීරයේ තිබූ තත්ත්වය මේ සමගම නැති වෙලා යනවා. එතැනින් පස්සේ නැවත ක්‍රීඩාව ආරම්භ කරනවා නම් කළයුත්තේ නැවැත්වූ තැන සිට නෙවෙයි නැවතත් මුල තත්ත්වයේ සිටමයි. එය මුල සිටම නැවතත් වර්ධනය කරගත යුතුයි.
ක්‍රීඩාවට ඇති උනන්දුව වාරයකට සීමා නොකරන්න
පළමු පාසල් වාරයේදී ක්‍රීඩා උලෙළවල් පාසල් තුළ සංවිධානය කිරීම හොඳ දෙයක්. නමුත් එය මුල් වාරයට පමණක් සීමා නොකර සෑම අවස්ථාවකදීම ක්‍රීඩාවට දරුවන් යොමු කරමින් ඒ සඳහා උනන්දු කිරීම අවශ්‍යයි. එහෙම නොවී එක් කාලයකට පමණක් මෙය සීමා කිරීම නිසා ක්‍රීඩවේ නියැළෙන දරුවන් ආබාධයන්ට ලක්වීම වැඩි වෙලා තිබෙනවා. ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වයත් බිඳවැටීමට ලක්වෙනවා. දරුවෙක් ක්‍රීඩාවකට යොමු කිරීමේදී වුණත් ඒ දරුවා ප්රියතාව දක්වන ක්‍රීඩාව වෙතයි යොමු කළ යුත්තේ. මෙතැනදි මොළය පමණක් නොවෙයි ශරීරයත් වෙහෙසෙන ක්‍රීඩා කිරීම වැදගත් වෙනවා.
වෛද්‍ය පරීක්ෂණය පමණක් ප්‍රමාණවත් නොවේ
පසුගිය කාලයේ ධාවන තරගවලට සහභාගි වූ දරුවන් කිහිපදෙනෙක් හදිසියේ මරණයට පත්වූ නිසා දරුවන් ඒ තරගවලට යොමු කිරීම යම් මට්ටමකින් අඩු වුණා. එතැනින් පසුවයි වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීම අනිවාර්යය කරනු ලැබුවේ. මෙතැනදි වෛද්‍ය පරීක්ෂණය පමණක් කිසි ලෙසකින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කායික වශයෙන් අදාළ දරුවා කොතෙක් දුරට ක්‍රීඩාවේ නියැළී සිටියාද කියන කාරණය ගැනත් සැලකිලිමත් විය යුතුයි. ධාවන තරගවලට සහභාගි වී නැති හෝ ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා නැති දරුවන් එක්වරම එවැනි තරග සඳහා සහභාගි කරවීම එතරම් සුදුසු දෙයක් නොවෙයි.
සැලසුම් පමණක් ප්‍රමාණවත් නොවේ
දරුවන් අතර ක්‍රීඩාව ප්‍රචලිත කරලා, ඒ සඳහා උනන්දු කරලා කායික සහ මානසික වශයෙන් පිරිපුන් අනාගත පරපුරක් නිර්මාණය කරන්න නම් මේ ක්‍රීඩා පහසුකම් නිසි ආකාරයෙන් සෑම පාසලකටම ලබාදීමට කටයුතු කිරීමට අදාළ අංශ පියවර ගත යුතුයි. අඩුම තරමේ තමා කැමති ක්‍රීඩාව තිබෙන පාසලකට ගිහින් හෝ එම ක්‍රීඩාවේ නියැළීමට ක්‍රමවේද සකස් කළයුතු වෙනවා. පහසුකම් ලබාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. නිසි දැනුමලත් ක්‍රීඩා උපදේශකවරුන්, පුහුණුකරුවන් ඒ පාසල් වෙත ලබාදීමත් කළයුතු වෙනවා. මේ සඳහා වන සැලසුම් නිසි ආකාරයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීමට වග බලාගත යුතු වෙනවා.
රෝගීන් බිහිකරන ආහාර රටාවක් හා
ජීවන රටාවක්
මීළඟට දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්වීමට බලපා තිබෙන තවත් කාරණයක් තමයි වැරදි ආහාර සහ ජීවන රටාව. අපි නිතරම කියනවා වගේ දරුවෝ බොහොමයක් අද විලාසිතාවක් විදියටත් ක්ෂණික ආහාරවලට යොමුවෙලා. බොහෝ වෙලාවට පරිගණක ක්‍රීඩා වෙතම යොමුවෙලා ඉන්නවා මිසක් කය වෙහෙසන ක්‍රීඩාවන්ට උනන්දු වෙන්නේ නැහැ. වේල් තුන බඩ පුරවා ගන්න කනවා මිසක් පෝෂ්‍යදායී සමබල ආහාරයක් ගැන උනන්දුවක් නැහැ. හොඳ ආහාර වේලක් සකස් කර ගන්න ඕනෑතරම් අවස්ථාව සහ ඉඩකඩ තිබුණත්, ඒ පිළිබඳව අවධානයක් යොමු වෙන්නේ නැහැ. ජලය නිසි ප්‍රමාණයට පානය කරන්නේ නැහැ. මේ පිළිබඳව මීට වඩා සැලකිලිමත් නොවුණොත් බෝ නොවන රෝග අවදානම වැඩි වෙන්න පුළුවන්.
හිතුමතයට ඇඟ හදාගැනීමට යාම ලෙඩ හදාගැනීමට මුලයි
තමන්ගේ පෞරුෂය හදාගන්න කියලා අද තරුණ දරුවෝ අවුරුදු 16 ඉඳලාම කායවර්ධන මධ්‍යස්ථානවලට ඇදෙමින් ඉන්නවා. මෙතැනදි දරුවන් වගේම දෙමවුපියනුත් සැලකිලිමත් විය යුතුයි. තමන් තෝරාගන්නා කායවර්ධන මධ්‍යස්ථානය අවශ්‍ය නිසි පහසුකම් සහිත ප්‍රමිතියෙන් යුතු තැනක්ද කියලා සොයා බැලිය යුතුයි. ඒ වගේම නිසි දැනුම තිබෙන සුදුසුකම්ලත් උපදේශකවරයෙක් නිරතුරුවම එම ස්ථානයේ රැඳී සිටිය යුතුමයි. ඔහුගේ ගෝලයෙක් පමණක් සිටීම ප්‍රමාණවත් නැහැ. ශරීරය හැඩිදැඩි හැම කෙනාම කායවර්ධන උපදේශකවරු නොවෙයි. ඒ වගේම බොහෝ කායවර්ධන මධ්‍යස්ථාන ආහාර අතිරේක වර්ග දරුවන් අතර ප්‍රචාරණය කරන්න කටයුතු කරමින් ඉන්නවා. කායවර්ධන මධ්‍යස්ථානයකට යන්න නම්, ඇඟ හදාගන්න නම් ආහාර අතිරේක ලබාගැනීම අනිවාර්යයි කියලා මිත්‍යාවක් තරුණ පිරිස් අතර ඇතිකරලා තිබෙනවා. නිසි පෝෂණ ගුණයක් සහිත ආහාර වේලක් ලබාගන්න හැකියාව තිබෙනවා නම් ආහාර අතිරේකවලට යොමු වීම කිසිම ආකාරයකින් අවශ්‍ය නැහැ. ඒ වගේම ආහාර අතිරේක ලබාගත යුත්තේ තමා ලබාගන්නා ආහාරවල යම් පෝෂණ ප්‍රමාණයක් හිඟ නම් එම හිඟය පියවා ගැනීමට පමණයි. තමන්ගේ හෘදයේ ක්‍රියාකාරීත්වය, දරාගැනීමේ හැකියාව, ශරීර ස්කන්ධ දර්ශකය සහ තමන්ගේ අරමුණ පිළිබඳව කායවර්ධන මධ්‍යස්ථානයකට යෑමට පෙර දැනුවත් වීම වැදගත් වෙනවා. මූලිකවම කළ යුත්තේ මාංශ පේශීන් සඳහා වන ව්‍යායාම පමණයි. අධික බර එසවීමේ ව්‍යායාමවලට එක්වරම යොමුවීමට යාම එතරම් සුදුසු නැහැ. එහෙම නොවුණොත් දණහිස් සහ කොන්ද සම්බන්ධ ආබාධ ඇතිවෙනවා වගේම වර්ධන අවධියක පසුවන දරුවන්ගේ උස යෑමට බලපෑම් ඇති වීමට හැකියාව තිබෙනවා.