බංග්ලාදේශ කණ්ඩායම පසුගිය කාලයේ ක්‍රිකට් පිටිය තුළ දැක්වූ අනපේක්ෂිත දක්ෂතා හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්රීඩාලෝලීහුද එරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැඩි උනන්දුවකින් පසුවිය. ක්‍රිකට් ක්‍රීඩාව හරහා ලෝකය තුළ යම් අවධානයක් දිනාගැනීමට බංග්ලාදේශයට හැකිවුවද, ජාත්‍යන්තර වශයෙන් එරට කෙරෙහි අන් රටවල එතරම් පැහැදීමක් නොමැත. දකුණු ආසියානු කලාපයේ තෙවැනි ආර්ථික බලවතා වන බංග්ලාදේශයේ මාධ්‍ය ආවරණ කටයුත්තක් සඳහා යාමට පසුගිය දිනක අවස්ථාව උදා වූ අතර, එහිදී ලැබූ අත්දැකීම් හා ඇසින් දුටු ඇතැම් සිදුවීම් පිළිබඳ තොරතුරු කිහිපයක් මෙසේ ගෙනහැර දැක්වීමට අදහස් කළෙමු.
බංග්ලාදේශය
ඉන්දියාවට අයත්ව තිබූ බෙංගාල ප්‍රාන්තය 1971 වසරේ මාර්තු මස 26 වැනිදා බංග්ලාදේශ ප්රජාතන්ත්රවාදී ජනරජය නමින් වෙනම රාජ්‍යයක් ලෙස ඉන්දියාවෙන් වෙන්විය. අතීතයේ නැගෙනහිර පාකිස්තානය නමින් හැඳින් වූ මෙය පසුව බංග්ලාදේශය නමින් වෙනස් විය.
මියන්මාරය (බුරුමය) හා ඉතා කුඩා දේශසීමා මායිමකින් වෙන්වී ඇති බංග්ලාදේශය ඉන්දියාවට ගිණිකොන දෙසින් පිහිටා ඇත. දකුණින් බෙංගාල බොක්ක හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි.
මෙරට ජනගහනයෙන් අතිබහුතරය මුස්ලිම් (බෙංගාලි මුස්ලිම්) වන අතර, එය 86% ඉක්මවූ අගයක් ගනී. හින්දු ආගම දෙවැනි වැඩිම ජනගහනයක් අදහන ආගම වේ. කෙසේ නමුත් 11 වැනි සියවස වනවිට මහා භාරතයට (අතීත ඉන්දියාව) අයත්ව තිබූ මෙම ප්‍රදේශයේ අතිබහුතරයක් බෞද්ධ ජනයා ජීවත් වී ඇති අතර, අද වනවිට එහි ඉතිරිව ඇත්තේ 0.3% ක් තරම් අල්ප ජන සංඛ්‍යාවකි. එය ලක්ෂ 1600 ක් ඉක්මවූ එරට මුළු ජනගහනයෙන් ලක්ෂ 03 ක් පමණ වේ. බංග්ලාදේශයේ රාජ්‍ය භාෂාව බෙංගාලි බස වන අතර, ඇතැම් පිරිසකට හින්දි බසද හැසිරවිය හැකිය.
මාධ්‍යවේදීන්ට බියවීම
බංග්ලාදේශ ආගමන විගමන බලධාරීන් මෙන්ම එරට ගුවන්තොටුපල අභ්‍යන්තර ආරක්ෂකයෝද එරටට පැමිණෙන විදෙස් මාධ්‍යවේදීන් පිළිබඳව දැඩි ලෙස සොයා බැලීම් සිදුකරති. මේ පිළිබඳ තොරතුරු එරටට යාමට පෙර වාර්තා වුවත්, ඒ බව හොඳින්ම තහවුරු වූයේ එරට ගුවන්තොටුපළේදීය. අපගේ විදේශ ගමන් බලපත්‍රයේ (Passport) වෘත්තිය සඳහන් ස්ථානයේ මාධ්‍යවේදී ලෙස සටහන්ව තිබූ හෙයින් ඔවුන් අප පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වූ අතර, ඒ හේතුවෙන් අප සමග පැමිණි අනෙකුත් මගීන්ට බොහෝ වේලාවකට පසු අපට ගුවන්තොටුපළෙන් පිටවීමට සිදුවිය. බංග්ලාදේශ රට අභ්‍යන්තරයේ සිදුවන යම් යම් ක්‍රියාකාරකම් හා එරට සමාජීය තත්ත්වය පිළිබඳව විදෙස් මාධ්‍යයන් හෙළිදරව් කර එරටට එල්ල විය හැකි අපකීර්තිය සැලකිල්ලට ගෙන මෙවැනි රැකවල් යොදා ඇතැයි එහිදී පසක් විය.
ජනගහනය අධික වීම
වර්ග කිලෝමීටර් 147,570 පමණ භූමි භාගයකින් සමන්විත බංග්ලාදේශය, දකුණු ආසියානු කලාපයේ තෙවැනි විශාලම රට වේ. ශ්‍රී ලංකාව මෙන් තෙගුණයක් තරම්වත් විශාල නොමැති බංග්ලාදේශය තුළ මිලියන 160කට (කෝටි 16) අධික ජනගහනයක් ජීවත් වන අතර, මෙය දකුණු ආසියානු කලාපයේ තෙවැනි විශාලම හා ආසියානු කලාපයේ පස්වැනි ඉහළම ජයගහනය වේ. මෙහි ප්‍රධාන නගරය ඩකා වන අතර, එහි පමණක් කෝටි දෙකකට අධික ජනගහනයක් වාසය කරයි. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයද (කෝටි 02කට වැඩි) ඉක්මවා යන අගයක් වෙයි.
දැඩි වාහන තදබදය
බංග්ලාදේශය තුළ දැඩි වාහන තදබදයක් පවතියි. යතුරුපැදිකරුවෙකු නොවන්නට අනෙක් ත්‍රිරෝථ රථකරුගේ සිට සෑම රියදුරෙකුටම, මගියෙකුටම කිලෝමීටරයක දුරක් හෝ යාමට අවම පැයක් ඉක්මවූ කාලයක් මහමග කාලය මිඩංගු කිරීමට සිදු වේ. මෙහි සිටින බොහෝ රියදුරන් මාර්ග නීතිවලට අවනතවීමක් නැත. මාර්ග සංඥා පුවරු (colour light signals) ගැන කිසිදු තැකීමක් නැති රියදුරන් රථවාහන පොලීසියේ උපදෙස් පිළිපැදීමට තරම්වත් කීකරු නැත. ඇතැම් අවස්ථාවල රථවාහන පොලිස් නිලධාරීන් ඔවුන්ට ලබා දී තිබෙන බැටන් පොල්ලෙන් ත්‍රිරෝද රථවල ඉදිරිපස වීදුරුවට ගසා ඒවා නතර කරන අයුරු දැකගත හැකි විය.
ගිලන් රථයක් තමන්ට පසුපසින් පැමිණියද ඉදිරියට යාමට අවස්ථාව දීමට අනුකම්පාවක් උපදවා නොගන්නා එරට රියදුරෝ මාර්ග මාරුවෙන පදිකයන්ට පවා ඉඩ නොදෙති. බංග්ලාදේශයේ පාර මාරුවීම ජීවිතයත්, මරණයත් අතර සටනක් වන අතර, වාහනයක ගමන් කළා යැයි එහි වෙනසක් නැත.
ඇතුවත් බැරි නැතුවත් බැරි රික්ෂෝ
බංග්ලාදේශ ජන ජීවිතයට ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රධාන ප්‍රවාහන අවශ්‍යතාවක් බවට රික්ෂෝව පත්ව ඇති අතර, එරට අනන්‍යතාව විදහා දැක්වෙන එක් පැතිකඩක් බවට රික්ෂෝව පත්ව ඇත. පාපැදිය මිනිසුන් ප්‍රවාහනය කළ හැකි ලෙස වෙනස්කර රික්ෂෝව නිර්මාණය කර ඇත. කෙසේ නමුත් මෙම රික්ෂෝ හේතුවෙන් බංග්ලාදේශ මාර්ග පද්ධතිය දැඩි රථවාහන තදබදයකට මුහුණපා ඇත. එරට ඩකා අගනුවර පමණක් රික්ෂෝ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ඇති අතර, එය එරට මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන තරම් වැඩි අගයකි.රික්ෂෝ පදවන්නන් එරට ජන සමාජයේ පහළ කුලවල පසුවන්නන් වන අතර, ඔවුන් එරට සමාජය තුළින් කොන්කර ඇති පිරිසක් බවට පත්ව ඇත. රික්ෂෝකරුවන් දිනපතා සෙසු වාහන පදවන්නන්, විශේෂයෙන් ත්‍රිරෝද, යතුරුපැදි පදවන්නන්ගෙන් දැඩි ලෙස අඩන්තේට්ටම්වලට ලක්වන අයුරු බොහෝ අවස්ථාවල දැකගත හැකි විය.
හික්මීමක් නැති රියදුරෝ
බංග්ලාදේශයේ ත්‍රිරෝද රථයේ සිට නවීන පන්නයේ වාහනය දක්වා සෑම වාහනයකම දැකගැනීමට හැකි යමක් වූයේ සියලු වාහන තුළ ඉදිරිපසත්, පසුපසත් ආරක්ෂිත සුදු යකඩ බටයකින් ආවරණ කර තිබීමයි. රියදුරන් එවන්නක් කිරීමට පෙළඹී ඇත්තේ ඇයිදැයි යන්න පිළිබඳව පළමු දිනයේ එතරම් වැටහීමක් නැති වුවත්, දින කිහිපයක් යනවිට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකිවිය.බංග්ලාදේශය සිටින රියදුරන්ට කිසිදු හික්මීමක් හෝ අනෙකාගේ වාහන තියා තමන්ගේ වාහනය කෙරෙහි හෝ ආදරයක් නැත. වාහන තදබදයකදී එරට රියදුරෝ කිසිදු අනුකම්පාවකින් තොරව අනෙකාගේ වාහනයේ හැපෙති.
අපට ත්‍රීවිල් වූ එරටට සී.එන්.ජී.
මෙරට සිටින ත්‍රිරෝද රථ රියදුරන් තමන්ගේ රථය අලංකාර ස්ටිකර්, විවිධ උපකරණවලින් හැඩවැඩ කරගෙන තිබෙන අයුරු කොතෙකුත් අපි දැක ඇත්තෙමු. දෛනිකව තම රථ පිරිසිදුව තබාගන්නා අයුරු, වෘත්තීය රියදුරන් ඔවුන්ගේ රථ තමන් අදහන ආගම අනුව හඳුන්කූරූ පත්තු කර දවස ආරම්භ කරන අයුරු දැක ඇත්තෙමු. කෙසේ නමුත් බංග්ලාදේශයට නම් මෙවැනි සිදුවීම් අරුමයකි. එරට සිටින කිසිදු රියදුරෙකුට තමන්ගේ ත්‍රිරෝද රථය පිරිසුදුව තබාගැනීමට උනන්දුවක් නැත. දිනපතා මිනිසුන් වාඩි වී යන හෙයින් ආසන පමණක් එහි පිරිසුදුව තිබේ.
එරට ත්‍රිරෝද රථ සාපේක්ෂව මෙරට ත්‍රිරෝද රථවලට සමාන වුවත්, එරට රථ යකඩ දැල් මගින් ආවරණය කර ප්‍රතිනිර්මාණය කර ඇත. රියදුරු හා මගීන්ද එකිනෙකට සම්බන්ධ කළ නොහැකි පරිදි ත්‍රිරෝද රථය අභ්‍යන්තරයෙන්ද දැල් ආවරණ යොදා ඇත. සොරුන්ගෙන් මගීන්ට මෙන්ම රියදුරන්ට සිදුවිය හැකි මූල්‍ය හා ජිවිත හානි සැලකිල්ලට ගෙන බංග්ලාදේශ රජය විසින් නීතියක් බවට මෙය පත්කර ඇත. පුද්ගලයෙකු ත්‍රිරෝද රථයට ගොඩවූ විට රියදුරු විසින් දැල් ආවරණය අගුලු දමන අතර, නැවත රියදුරුම දොරගුලු ඉවත් කරන තෙක් මගීන්ට ඉන් පිටව යා නොහැකිය.
බංග්ලාදේශයට අනන්‍ය වූ පත්තර කියවීමේ කලාව
ශ්‍රී ලංකාව තුළ පුස්තකාලයක හෝ දැකගැනීමට නොහැකි වූ දසුනක් බංග්ලාදේශයෙන් දැකගැනීමට හැකිවිය. ඩකා අග නගරයේ සෑම මංසන්ධියකම පාහේ තාප්ප තුළ එරට පුවත්පත්වල සම්පූර්ණ පිටු උදය වරුව වනවිට අලවා ඇත. දෛනික රාජකාරි සඳහා යන්නන් මෙන්ම, ඔහේ නිකරුණේ කාලය ගෙවන්නන්ද මෙවැනි ස්ථානයකින් ගමන් කරන විට මිනිත්තු කිහිපයක් හෝ එම ස්ථනයේ කාලය ගත කිරීමට අමතක නොකරති. නගර අලංකාරයට එවැනි ක්‍රියා කොතරම් අවලස්සන වුවත්, එරට සිටින මිනිසුන් සමාජයේ සිදුවන කාලීන සිදුවීම් පිළිබඳව නම් හොඳින් දැනුවත්ව ඇතැයි සිතිය හැකිය.
කිසිදු අලංකාරයක් නොමැති මගී ප්‍රවාහන පද්ධතිය
ශ්‍රී ලංකාවේ රියදුරන්ගේ විනීතකම්, අවිනීතකම් කෙසේ වෙතත් මෙරට බස් රථවල ගමන් කිරීමට ප්‍රියතාවක් දැනෙන තරමට මෙරට ප්‍රවාහන පද්ධතිය දියුණු තත්ත්වයක ඇත. ග්‍රාමීය ප්‍රදේශවල තරමක් පැරණි බස් රථ තිබුණද, සමස්තයක් ලෙස සතුටු විය හැකි මට්ටමක් ලංකාව තුළ ඇත. ඩකා නගරය යනු බංග්ලාදේශ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයයි. නමුත් එරට බොහෝ සාමාන්‍ය මගී ප්‍රවාහන බස් රථ මුඩුක්කු නිවසක් හා සමානය. එරට තිබෙන කිසිදු බස් රථයක කිසිදු අලංකාරයක් නොමැති අතර, තිබෙන සෑම රථයක්ම පාහේ තැලී පොඩි වී ඇත.