රුහුණේ ප්‍රථම පාලකයා වූ මහානාග රජු විසින් ක්‍රි.පූ. 2-3 සියවස්වලදී ඉදිකරවන්නට යෙදුණු ඓතිහාසික සඳගිරි සෑය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පුරා වසර 15කට වැඩි කාලයක් පුරා සංරක්ෂණය කිරීමෙන් අනතුරුව පසුගියදා විවෘත කෙරිණි.මෙලෙස සඳගිරි සෑය සහ ඊට අදාළ අලංකාර ආරාම පද්ධතියක්ද සඳගිරිය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබුණි. ආරාමය පිහිටි භූමියේ අඩි හයක් උස අඩි 196 - 196 සමචතුරස්‍ර වේදිකාවක ස්තූපය එවකට නිර්මාණය වී තිබිණි.
සඳගිරියේ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් බෝධිඝරයක්, චන්ථාඝරයක්, පිළිමගෙය සහ උපෝසථාගාරය මනා ලෙස මතු කරගනිමින් සංරක්ෂණය කර ඇත. සඳගිරිය රුහුණෙහි ඉපැරණිතම ආරාම සංකීර්ණයක් ලෙසද හඳුනාගෙන තිබේ.අතීතයේ දාගැබෙහි බඳෙහි එක් පේසා වළල්ලක් පමණක් තිබෙන්නට ඇතැයි සැලකේ. එදවස දාගැබේ හර්මිකාව, යුපගල, ඡත්‍ර දණ්ඩ සහ ඡත්‍රිය යනාදී ලක්ෂණ මැනවින් නිර්මාණය වී තිබූ බවට දැනුදු සාක්ෂි ඇත. මහානාග රජුගෙන් පසු දාගැබ් වහන්සේගේ සංරක්ෂණ කටයුතු දෙවරක් සිදුකර තිබේ. එයින් මැද අවධිය හඳුනාගෙන නොමැති අතර, දාගැබ් වහන්සේ පුරාතන රජ දවස අවසන් වරට සංරක්ෂණය කරනුයේ පොළොන්නරු රජදවස මහා විජයබාහු රජතුමාය.
පසුකාලීන විවිධ සතුරු ආක්‍රමණ නිසා විනාශ වූ සඳගිරි දාගැබ් වහන්සේ යළි ප්‍රතිනිර්මාණය පිළිබඳව 20 වැනි සියවස මුල් භාගයේදී නානාවිධ කතා අසන්නට ලැබේ.වර්ෂ 1910 දී සඳගිරි සෑය පිළිබඳව කරුණු ලොවට කියන්නට බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරියෙකු වන හෙන්රි පාකර් මහතා විසින් රචිත 'ඒන්ෂන්ට් රුහුණ' නමැති ග්‍රන්ථයෙන් ප්‍රථමවරට පූර්විකාවක් ලබාදීම ඉතා වැදගත් වේ. තිස්සමහාරාම ස්තූපයද නිර්මාණය කරලන්නට පෙර ඉදිකළ බව කියන සඳගිරිය එවක අතීතයේ රුහුණේ ඉදි වූ විශාලතම ආරාම පද්ධතිය ලෙස හඳුනාගෙන තිබේ.
එමනිසා සඳගිරි ස්තූපය රුහුණේ පඨමක චේතිය ලෙස හඳුනාගෙන ඇත. සඳගිරිය පිළිබඳව ගවේෂණාත්මකව කරුණු සෙවූ පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතා ප්‍රකාශ කළේ කාලනීර්ණයන් අනුව ස්තූපය අනිවාර්යයෙන්ම මහානාග රජු විසින් ඉදිකරන්නට ඇති බවයි.මෑත කාලයේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වර්ෂ 1987 දී ආරම්භ වන අතර, එහිදී සංරක්ෂණ කටයුතු අවිධිමත්ව සිදුවීම නිසා ස්තූපයේ කොටසක් කඩාවැටීමට ලක්විය. එතැන් සිට එහි වැඩ කටයුතු නතර වන අතර, නැවතත් වර්ෂ 2000 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි ඉදිකිරීම් කටයුතු ක්‍රමවත්ව ආරම්භ කෙරිණි. ස්තූපයේ කැණීම් ඉතාමත් වැදගත් බවක් උසුලන්නේ එහිදී සර්වඥ ධාතුන් වහන්සේලා හත්නමක් සහ දක්ෂිණාවර්ථ සංඛයක් හමුවීමයි.
එම දක්ෂිණාවර්ථ සංඛය දේවානම්පියතිස්ස රජු, මහාභාරතය දිග්විජය කළ අශෝක මහා අධිරාජයාගෙන් ලද තිළිණයක් බව විශ්වාස කෙරේ. තවද පැරණි ගඩොල් වර්ග, ඉපැරණි කාසි, පබළු වැනි දෑ හමුවීමද මෙහිදී වැදගත් වේ. රාජ කකුධ භාණ්ඩයක් ලෙස එම පෞරාණික සංඛය මංගල සම්මත වස්තුවක් ලෙස අදටත් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී දක්නට ලැබේ.තවද මහානාග රාජාභිෂේකයේදී අශෝක රජුගෙන් ලද්දා වූ එම සංඛය දෙවනපෑතිස් රජු විසින් මහනාගයන්ට පරිත්‍යාග කළ අතර, මහානාගයන් විසින් එය, සඳගිරි ස්තූපයේ තැන්පත් කළ බවට විශ්වාස කෙරෙන බව ඓතිහාසික තිස්සමහාරාම සහ සඳගිරිය උභය රාජමහා විරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියෝ ප්‍රකාශ කළහ.
සඳගිරි ස්තූපය කැණීම් සිදුකිරීමෙන් වසර 7000කට අතීතයකට එහා ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් මතුවී ඇති බවත්, එහිදී ඉතාමත් වටිනා සංවර්ධිත යුගයක නෂ්ඨාවශේෂ හමුවීමත්, යකඩ සෑදූ යපස්, යබොර, සහ මැටි කර්මාන්තය උච්චතම අංගයන්ගෙන් හෙබි මැටි තාල වර්ග, උළුකැට සහ ගඩොල් රාශියක්ද හමුවීමෙන් එකල පැවැති අතීත ශ්‍රී විභූතිය පිළිබඳව කරුණු අවබෝධ කරගැනීමට හැකිය.
මෙම ස්ථූපය ප්‍රතිසංස්කරණයේදී ගඩොල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් යොදාගත් අතර, එම සුවිශේෂී ගඩොල් නිර්මාණයේදී පාංශු පරීක්ෂා කරදීමෙන් පසුව වැව්වලින් ලබාගත් පස් යොදවා දිග අඟල් 18 ක් සහ පළල 12 තරමේ විශාල ගඩොල් නිර්මාණය කිරීමෙන් දාගැබ ගොඩනගා ඇත.
මීටර 109 ක විෂ්කම්භයකින් යුතු මීටර් 17 දශම 95 ක් උසින් යුතු සඳගිරි දාගැබ මෑතකාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංරක්ෂණය කළ සුවිශේෂී ස්තූපයක් ලෙස හඳුන්වාදීමට හැකි බව තිස්සමහාරාම මධ්‍යම සංස්කෘතික ව්‍යාපෘතිය භාර කළමනාකාර පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතා පැවසීය.
රුක්මන් රත්නායක - තිස්සමහාරාමය