Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට පමණක් ආරම්භ කළ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, සුන්දරව ගලාගෙන ගිය උමාඔයේ ජලය හම්බන්තොටට රැගෙන යෑමය.
හම්බන්තොටට ජලය රැගෙන යෑමට ආරම්භ කළ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අද වනවිට බණ්ඩාරවෙල, හාලිඇළ, වැලිමඩ, ඌව පරණගම, ඇල්ල හා වැල්වාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 36ක ජනතාවට බීමට පවා ජලය පොදක් නොමැති තත්ත්වයක් උද්ගතව ඇත.
විනාශයේ තරම කෙතරම්ද යත් එම ප්‍රදේශවල ජීවත් වන පවුල් 10435කට අධික ප්‍රමාණයකට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කුමන හෝ ගැටලුවකට මුහුණදීමට සිදුව තිබේ.
ජන ජීවිත අනතුරට ලක්කරමින් ක්‍රියාත්මක වූ උමාඔය ව්‍යාපාතිය, නව ආණ්ඩුව පත් වීමත් සමග නවතා දමනු ඇතැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව විය.
එහෙත් රටට අලුත් වෙනසක් ඇති කර, ජනතාවට යහපත් හෙට දවසක් ඇති කිරීමට පැමිණි වර්තමාන ආණ්ඩුව විසින් රාජපක්ෂ ආණ්ඩුව නවතා දමා තිබූ තැන සිට ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන ලදී. ඒ හරහා බීමට ජලය පොදක් අහිමිව සිටි ජනතාවට පදිංචි නිවාස හා ඉඩම, වගා කළ ඉඩම්, පන්සල, පල්ලිය, කෝවිල සහ පාසල පවා අහිමි කර දමා තිබේ.
මේ හේතුවෙන් උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විනාශයට පසුගිය ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුවද වගකිව යුතුය.
මීට අමතරව විපතට පත් ජනතාවට සිදුව ඇති හානිය වෙනුවෙන් පූර්ණ වන්දි ලබාදීම, ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම යනාදියේ වගකීම වර්තමාන ආණ්ඩුව සතුව තිබේ.
එහෙත් ජනතාවට සාධාරණය කිරීමට බව පවසමින් බලයට පත්වූ ආණ්ඩුව වර්තමානය වනවිට එම වගකීම පැහැර හරිමින් රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුකළ දේශපාලන බලහත්කාරකම් ක්‍රියාත්මක කරමින් ඇත.
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රථම වරට බලපෑම් එල්ල වී ඇත්තේ මකුළුඇල්ල, හිල්ඔය, කුරුකුදේගම, හැවැන්වල, උඩුඋල්පත, බැද්දේආරාව, ලියන්ගහවෙල, වෙහෙරගලතැන්න, කුරුඳුගොල්ල, එගොඩෙගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලේපේරුව, කරගහවෙල, බොරලන්ද, රජකොටුව, අඟුරුකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඩෙගෙම, තන්තිරිය, කිනිගම, දෝව, දික්අරාව, මැදහින්න, බිඳුණුවැව, වටගමුව, ගෙඩියරොද, බුදුලුගස්තැන්න, මදුවැල්පතන, කිරිඔරුව, ඉසුරු උයන, අරාවත්ත, උඩැස්දුම හා වලස්බැද්ද ඇතුළු ප්‍රදේශවලටය.
ඒ උමාඔය ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟ වන මහතැටිල්ල ජලාශයේ සිට කරඳගොල්ල දක්වා භූගත උමඟ සකස් කිරීම ආරම්භ කිරීමත් සමගය.
කිලෝමීටර් 15.15ක දිගකින් යුත් මෙම උමඟ කැනීමත් සමග අවට ප්‍රදේශවල සියලු ළිං සිඳීගොස් තිබේ. සිදුවන විනාශය පිළිබඳ උමඟේ කැණීම් ආරම්භ කිරීමට පෙර සිටම විද්වතුන් හා පරිසරවේදීන් පෙන්වා දී තිබිණි.
එහෙත් දේශපාලන සිහින සැබෑ කර ගැනීමට උත්සාහ කළ රාජපක්ෂ ආණ්ඩුව එම පෙන්වාදීම් සතපහකට මායිම් නොකළේය. මෙම ව්‍යෘපෘතිය හේතුවෙන් සුන්දර බණ්ඩාරවෙල හා බදුල්ල අසුන්දර වන බව දැනදැනම ව්‍යාපෘතිය සිදුකිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළේය.
ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟේ කැණීම්වලට අමතරව උමාඔයේ අතුගංගා දෙකක් මූලික කරගනිමින් පුහුල්පොළ ජලාශයේ සිට මහතැටිල්ල ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර් 3.9ක දිගකින් යුත් දෙවැනි උමඟේද කැණීම් ආරම්භ කෙරිණි.
මෙම උමඟ කැණීමත් සමග ලුණුවත්ත, මැදපන්සල, දක්කාපිටිය, පුහුල්පොළ, කොස්කනවිල හා බලතොටඇල්ල යන ගම්මානවල ළිං සිඳීයෑම හා නිවාස ඉරිතලා යෑම සිදුව තිබේ.
මේ අනුව නිවැරදි ලෙස පරිසර ඇගයීම් වාර්තාව සකස් නොකළ බවට තහවුරු කිරීමට වෙනත් කිසිදු සාක්ෂියක් අවශ්‍ය නැත. උමාඔය ව්‍යෘපෘතිය ඉදිකිරීමේදී පරිසර ඇගයීම් වාර්තාව සකස් කළ අවස්ථාවේ සිට නීතියට පිටින් කටයුතු සිදුව තිබේ.
එහි පාපය අද දවසේදී ගෙවීමට සිදුව ඇත්තේ එළවළු වගාකර ගෙන, කුඹුරක් කරගෙන, රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරගෙන කිසිවෙකුට බරක් නොවී ජීවත් වූ බදුල්ල, බණ්ඩාරවෙල ජනතාවටය. මීට අමතරව ජනතාවට ආගමික සිද්ධස්ථාන පමණක් නොව ඔවුන්ගේ දරුවන්ට පාසලද අහිමිව යමින් තිබෙන තත්ත්වයක් උදාවී ඇත.
එහෙත් ජනතාවට සහන සැලසීම වෙනුවට වර්තමාන ආණ්ඩුව සිදුකරනු ලබන්නේ කුමක් හෝ කමිටුවක් පත්කර ප්‍රශ්නයෙන් පලා යෑමය.
සිදුව තිබෙන විපතේ ප්‍රමාණය අනුව ජනතාවට සිය ශක්තියෙන් හා ධෛර්යෙන් නැගී සිටීමේ හැකියාවක්ද නොමැත.
ශක්තියෙන්, ධෛර්යයෙන් ඉහළ මෙරට ජනතාව සුනාමි ව්‍යසනයේදී පවා සුළු කාලයක් ගතවන විට තම ජීවිත යථාතත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කළහ. සුනාමි ව්‍යසනය ජනතාවට සහ ඔවුන්ගේ දේපොළවලට කුමන හානියක් සිදුකළද, මෙරට භූමියට කිසිදු හානියක් සිදුනොකළේය. එබැවින් භූමිය උපයෝගී කරගෙන ජනතාව දෙපයින් නැගී සිටියහ.
එහෙත් උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට තම නිවස පිහිටි භූමිය පමණක් නොව, වගා භූමියද අහිමිව තිබේ. ඒ පොළොව ඉරිතැලීමෙන් හා ගිලා බැසීමෙන්ය. මීට අමතරව බීමට ජලය පොදක් නොමැති වී ඇත. වගාවන් සඳහා ජලය ලබාගත් සියලු ජල මූලාශ්‍ර හා වගා භූමිවල හා පදිංචි ඉඩමේ භූගත ජලයද සිඳීගොස් තිබේ.
ඒ හරහා සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාව දෙපයින් නැගී සිටි ආකාරයට බදුල්ල, බණ්ඩාරවෙල ජනතාවට දෙපයින් නැගී සිටීමට අවස්ථාවක් හිමිව නොමැත. ජනතාව දෙපයින් නැගී සිටවීම සඳහා අවශ්‍ය සහයෝගය පාලකයන් ලබාදෙන ආකාරයක්ද දක්නට නොමැත.
මෙරට ජනතාව විසින් පාලකයන් පත් කර ගනු ලබන්නේ තමන්ට තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමටය. මන්දයත් වසරේ කුමන හෝ කාලයකදී මෙරට ප්‍රදේශ කිහිපයක ජනතාව ගංවතුර, සුළි සුළං, නියඟය හා නාය යෑම වැනි ස්වාභාවික විපත්වලින් පීඩා විඳින බැවින්ය.
ජනතාව පත් කරන පාලකයන් විසින් සිදුකළ යුතු කාර්ය වන්නේ ස්වාභාවික විපත්වලින් ජනතාව බේරා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමය. එහෙත් වර්තමානයේදී පාලකයන් සිදුකර ඇත්තේ විදේශ රටවලින් ඩොලර් මිලියන ගණනින් මුදල් ලබාගෙන මහජනතාවට මරණ වරෙන්තු නිකුත් කිරීම වැනි කටයුතු කිරීමය.
ආපදාවන්ට පත්වන ජනතාවට ආණ්ඩුවලට පිහිටවීමට හැකියාව තිබේ. එහෙත් පීඩාවට පත් වන වනසතුන්ට ආහාරපාන ලබාදීමට ආණ්ඩුවකට හැකියාවක් නොමැත. ඔවුන්ට අහිමිව යන භූමිය නැවත සකස් කරදීමට ආණ්ඩුවලට හැකියාවක් නොමැත.
වර්තමානයේදී උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ව්‍යසනයට පත්ව තිබෙන භූමිවල ජීවත්වන වනසතුන්ට මුහුණදීමට සිදුව ඇත්තේ මෙම තත්ත්වයටය.
පොදුවේ උමාඔය ව්‍යාපෘතිය පිළිබඳ නිර්වචනය කරන්නේ නම්, එය ‘ණයට සල්ලි ගෙන බදුලු, බණ්ඩාරවෙල ජනතාව මහපාරට ඇද දැමීමක් වැනිය.
රටේ සංවේදී කලාපයක් වන මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ සිදුවන මෙම විනාශයේ බලපෑම මේ වනවිට රටේ ජනතාවට අත්විඳීමට සිදුව තිබේ. එනම් මෙරට තුළ උඩරට එළවළු නිෂ්පාදනයෙන් 38෴ක් සිදුවන්නේ මෙම ප්‍රදේශවල බැවිනි. එහෙත් වගා භූමි අහිමි වී යෑම නිසා උඩරට එළවළු නිෂ්පාදනයද ක්‍රමයෙන් අඩු වී තිබේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මෙරට පාරිභෝගිකයාට වැඩි මුදලට එළවළු මිලදී ගැනීමට සිදුවීමය.
මේ පිළිබඳ සොයා බැලීමට ‘අද’ උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාව සමග කතාබහක නිතර විය.
“උමාඔය ව්‍යාපෘතිය නිසා ආගමික ස්ථාන 23කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුවෙලා තියෙනවා. මෙහිදී මුල්ම ජල කාන්දුව සිදුවුණේ 2014 වසරේ දෙසැම්බර් මාසයේදී. මේ නිසා මුලින්ම හානි සිදුවන්නේ වෙහෙරතැන්න, මකුළුඇල්ල හා එගොඩගම කියන ග්‍රාම නිලධාරී වසම්වලට. එම වසම් තුළ පන්සල් තුනක් තිබුණා. ඒවායේ ගොඩනැගිලිවලට හානි සිදුවුණා. ළිං සිඳී ගියා. එක පන්සලක තිබුණා, බිම ඉඳන් බාල්දියෙන් අතින් වතුර ගන්න පුළුවන් ළිඳක්. ඒක සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා.
මීට අමතර වසර 150කට වඩා ඉතිහාසයක් තියෙන හිල්ඔය විහාරස්ථානයේ තිබූ ළිං දෙකම සිඳී ගියා. දික්අරාව මෙහෙණි ආරාමයේ චෛත්‍යය ඉරිතලා ගියා. මේ පිළිබඳ මෙහෙණින් වහන්සේ වගකිවයුත්තන්ට දැන්වුවා. ඒත් කිසිදු විසඳුමක් ලබාදීලා නැහැ. ඒ වගේම මැදපේරුව තියෙන ජුම්මා මුස්ලිම් පල්ලියේ ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් ඉරිතලා තියෙන්නෙ. මේ ආකාරයට ඉරිතලා ගිය බොහෝ ස්ථානවල ආගමික වතාවත් සිදුකරන්න බැහැ. ජනතාවට අද වනවිට ආගමික වතාවත් කිරීමේ අවස්ථාවක් අහිමිවෙලා තියෙනවා.
මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කළහොත් තවත් විහාරස්ථාන කිහිපයකට හානි සිදුවෙන්න පුළුවන්.
සිදුවන විපත නිසා පන්සල්, පල්ලි නඩත්තු කළ ආගමික ප්‍රජාව ප්‍ර‘දේශයෙන් ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටිනවා. මේ නිසා පන්සල්වලට දානය පූජා කළ දායකයන් ක්‍රමයෙන් අඩුවෙනවා. දික්අරාව භික්ෂූණී ආරාමයේ දායක දායිකාවන් ප්‍රදේශයෙන් ඉවත් වෙමින් සිටින නිසා ආරාමයේ භික්ෂූනී වහන්සේලා විශාල ගැටලුවකට මුහුණ දීලා සිටිනවා.
ආගමික ස්ථාන විනාශ වී යෑම යටතේ විහාරස්ථාන තුනකට යම් යම් මුදල් ඇස්තමේන්තු කර තියෙනවා. මේ අනුව එක් විහාරස්ථානයකට වන්දි ලෙස ලබාදීලා තියෙන්නෙ එක්ලක්ෂ පනස්දහසක්. තවත් පන්සලකට රුපියල් තුන්ලක්ෂ පනස් දහසක් හා තවත් විහාරස්ථානයකට රුපියල් ලක්ෂයක් වැනි මුදලක් තක්සේරු කර තියෙනවා. මෙම මුදල්වලින් පොදු වැසිකිළි පද්ධතියක්වත් හදාගන්න බැහැ. මේ සෑම ආගමික ස්ථානයක්ම ගොඩනගලා තියෙන්නේ ජනතාවගේ දහඩිය මහන්සියෙන්. මේ නිසා ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් අවශ්‍යයි.'
“අපේ මුල් පදිංචිය කොළඹ. ඒත් මේ ප්‍රදේශයේ තිබුණු සුන්දරත්වය නිසා සහ ජීවත් වීමට පහසුකම් තිබීම නිසා කොළඹ දාලා 2000 වසරේදී මෙහේ පදිංචියට ආවා.
පර්චස් 20ක ඉඩමක් අරගෙන ලක්ෂ ගණනක් වියදම් කරලා අංගසම්පූර්ණ නිවසක් හැදුවා. අනාගතයේ දවසක දරුවන් දෙන්නාටත් ඉන්න හැකි විදියට තමයි ගේ හැදුවේ. ගෙට විතරක් ලක්ෂ 75කට අධික මුදලක් වියදම් වුණා. උමාඔයෙන් ගෙවල් ඉරිතලා ගිය නිසා ගෙවල්වලින් යන්න කියලා කිව්වා. ගෙදරින් යන්න අපට සුදුසු වන්දියක් ලබාදෙන්න කියලා ඉල්ලුවා. ඊට පස්සේ ආණ්ඩුවෙන් කිව්වා වන්දි විදියට හයලක්ෂ හැත්තෑපන්දහසක් දෙන්නම් කියලා. ඒ මුදලට වඩා වැඩි මුදලක් ගෙදර තාප්පෙටත් වියදම් වුණා. ඒක නිසා එම මුදල අපි ප්‍රතික්ෂේප කළා. කොහොම වුණත් කුලී ගෙදරකට යන්න කියලා බලධාරීන් නියෝග කළා. අපි ගෙවල් කුලීවත් දෙන්න කියලා ඉල්ලුවා. ඒත් තාම ගෙවල් කුලී දෙන්නවත් කටයුතු කළේ නැහැ. අපි දැන් ගොඩක් අසරණයි. මේ නිසා අපට ගෙවල් කුලිය දෙන්න තරම් වත්කමක් නැහැ.'
“අලුත්ගමකන්ද ඉරිතැලීමකට ලක්වෙලා තියෙනවා. ගෙවල්වලට පවා හානි සිදුවෙලා තියෙනවා. කන්ද මුදුනේ ඉන්න අයටත්, කන්ද පහළ ඉන්න අයටත් ඉවත් වෙන්න කියලා නිලධාරීන් උපදෙස් ලබා දුන්නා. හැබැයි කන්ද මැද ඉන්න අයට යන්න කියන්නේ නැහැ. කන්ද මැද තියෙන ගෙවල් හැම එකක්ම එක්කෝ පුපුරලා, නැත්නම් ගිලා බැහැලා තියෙන්නෙ.
ගෙවල්වලින් යන්න කියපු කාටවත් වන්දි මුදල් හෝ කුලී නිවසක් ගන්න කුලී මුදලක් තාම ලබාදීලා නැහැ. හැබැයි ගෙදරින් යන්න කියලා කියනවා. මේ පැත්තේ හැම කෙනෙක්ම වගේ මොකක් හරි වගාවක් කරලා ජීවත් වුණේ. පොළොව ඉරිතැලීම නිසා වගා කරන්න ඉඩම් නැහැ. මේ නිසා මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්නෙ. මෙහෙම තියෙද්දී කුලී මුදලක් ගෙවලා කුලී නිවාසයකට යන්නවත් වත්කමක් නැහැ. මේ නිසා ජනතාව අනාරක්ෂිත තත්ත්වයක් යටතේ නිවාසවල රැඳී ඉන්නවා. අනතුරක් වුණාම අනේ අපොයි කියනවට වඩා හොඳයි මේ ජනතාවට සාධාරණ ගෙවල් කුලී දීලා හරි, සම්පූර්ණ වන්දි මුදලක් දීලා හරි ඉවත් කරන එක. එහෙම නැතිවුණොත් ළඟදීම දවසක මහා විපතක් වෙන්න පුළුවන්.
මේ කන්ද අවට ප්‍රදේශවල ජනතාවගෙන් යම් යම් පවුල්වලට වන්දි මුදල් ලබාදීලා තියෙනවා. මෙතැනදී ජනතාවට මුලින් ලබාදීලා තියෙන නිවාස කුලී කපාගෙන තමයි වන්දි මුදල ලබාදීලා තියෙන්නෙ.
මේ නිසා මේ කන්දේ ජනතාවට කුලී මුදල් දීලා ඉවත් කළත් ඔවුන්ට සාධාරණයක් වේවිද කියලා හිතාගන්න බැහැ. ඒ වගේම කිසිම දෙයක් ලබාදෙන්නේ නැතිව ජනතාව බලෙන්ම වගේ ඉවත් කරන්නත් උත්සාහ ගනිමින් සිටින ආකාරයක් පේන්න තියෙන්නෙ.'
“උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය නිසා මුලින්ම ජලය නැතිවුණේ මේ පැත්තට, මේ පැත්තේ ළිංවල හැමදාම ජලය පිරිලා තිබුණා. දැන් බොන්න වතුර උගුරක් හොයාගන්න නැහැ. ජල ප්‍රශ්නයට විසඳුමක් කියලා මුලින්ම බවුසර් මගින් සතියකට දෙකකට සැරයක් ජලය ලීටර් 500ක් විතර දුන්නා. පස්සේ කොහොම හරි නළ දාලා වතුර දෙනවා කියලා විජ්ජාවක් කළා. එතැනදී කළේ දේශපාලඥයන්ගේ හොටෙල් දෙකතුනකට ජලය ගෙනයෑම. දැන් ගම හරහා බට දාලා තියෙනවා. ගමේ ජනතාවට වතුර දෙන්නේ සතියකට දවසයි. ඒකත් ටික වෙලාවකට පමණයි. අවසානයට වුණේ අපේ ප්රශ්නය පිටදාලා දේශපාලඥයන් හෝටල්වලට වතුර ටික ගෙනියනවා. මම ජීවත් වෙන්න කරන්නේ වෙළෙඳ සැලක් පවත්වාගෙන යන එක. හැබැයි කඩේට වන්දියක් දෙන්නේ නැහැ. මේ පැත්තේ ජනතාව අනුන්ට අතපාලා ජීවත් වුණු ජනතාවක් නොවෙයි.
හැබැයි දේශපාලඥයන්ගේ ව්‍යාපෘතිය නිසා ජනතාව මහපාරට වැටුණා. අද මේ ජනතාවට බොන්න වතුර ටිකවත් හරියට දෙන්න බැරිවෙලා තියෙනවා. අනෙක් පහසුකම් ගැන කතා කරන්න දෙයක් නැහැ.
මෙහෙන් ඡන්දය ඉල්ලපු එක දේශපාලඥයෙක් අපට වුණු විපත බලන්න ආවේ නැහැ. අපේ ළිං ටික සිඳෙනකොට පාලකයන් ඒ ගැන තේරුම් අරන් වැඩ කළා නම්, මේ වගේ විපතකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒත් දේශපාලඥයන් හැම දෙයක්ම කළේ ඔවුන්ගේ වාසියට විතරයි. අඩුම තරමින් ඡන්ද ලබාදීමේදීවත් සාධාරණයක් කරන්න කටයුතු කරන්නේ නැහැ.'
“උමාඔය විපත කියන්නෙ බදුල්ල, බණ්ඩාරවෙල ජනතාවට විතරක් බලපාන ප්‍රශ්නයක් නොවෙයි. මේක මුළු රටටම බලපාන ප්‍රශ්නයක්. හැබැයි හිටපු පාලකයොත්, දැන් ඉන්න පාලකයොත් ඇතුළු පිරිස මේ ගැන හිතන්නේ සැහැල්ලුවෙන්. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්න ඉන්න, ජනතා ප්‍රශ්නවලට මැදිහත්විය යුතු නිලධාරීන් පවා මෙම විනාශය පිළිබඳ හිතන්නෙ ඉතාමත් සැහැල්ලුවෙන්. විපතට පත් ජනතාවට යම් යම් සහන ලබාදීලා තියෙනවා. අපි ඒවා නැහැයි කියලා කියන්නේ නැහැ. හැබැයි සිදුවුණු හානියට එය සුළුවෙන් හෝ ප්‍රමාණවත් නැහැ.
පාලකයන් තාමත් කරන්නේ අර කමිටු, මේ කමිටු පත් කරකර ඉන්න එක. ජනතාව යම් දෙයක් ලබාගෙන තියෙනවා නම්, එය ලබාගෙන තියෙන්නේ මහපාරට බැහැලා සටන් කරලා. මේ නිසා අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කරලා තියෙනවා විපතට පත් ජනතාවට සහන සලසන්න හා භූමිය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මෙම කොමිසමට ආර්ථික, සමාජීය හා කෘෂිකර්ම වගේම භූමිය පිළිබඳ විශේෂඥ දැනුම තියෙන පිරිස් පත් කළ යුතුයි.
එහෙම කළොත් විපතට පත් ජනතාවට යම් තරමකින් හෝ සාධාරණයක් ඉටුවේවි කියලා හිතනවා. හැබැයි දේශපාලන කමිටු පත් කිරීම තුළින් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා ස්ථිරයි.
මෙතැනදී කියන්න ඕන දෙයක් තමයි ප්‍රදේශයේ ජනතාවට, වනසතුන්ට මහා විපතකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ වගේම තමයි අනාගතයේ රට බාරගන්න ඉන්න දරුවන්ට අධ්‍යාපනය ලබාදුන් පාසල් 22කටත් මේ තුළින් බලපෑම් එල්ලවෙලා තියෙනවා. සමහර පාසල්වල ගොඩනැගිලි ඉරිතලා ගොස් කඩාගෙන වැටීමේ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේ හේතුවෙන් මෙම ප්‍රශ්නයට ඉතාමත් කෙටි කාලයක් තුළ විසඳුම් ලැබිය යුතුයි.
පොදුවේ මේ විපත ගැන කතා කළොත් බණ්ඩාරවෙල නගරය අස්ථාවරයි. ඒ වගේම තේ වගාකරුවන්, ගම්මිරිස් වගාකරුවනුත් අනාථයි. සිදුවෙලා තියෙන විනාශය කවදා යථාතත්ත්වයට පත්වේවිද කියා කාටවත් කියන්නත් බැහැ. ලංකා ඉතිහාසයේ දේශපාලඥයන් සිදුකළ විපතක් ලෙස උමාඔය විපත ඉතිහාසයට එක්වේවි.
“මේ පැත්තේ පවුල් 43ක් මුලින්ම ඉවත් කළා. ඒ වගේම තවත් පවුල් 10කට වහාම ඉවත් වෙන්න කියලා ලියුම දීලා තියෙනවා. ආණ්ඩුවේ බලධාරීන් කියන කියන වෙලාවට ගෙවල්වලින් ගිහින් කොහේ යන්නද කියලා හිතාගන්න බැහැ. මොකද මේ අහල ගම් හතකවත් කුලී නිවසක් සොයාගන්න බැහැ. නිවසක් සොයා ගත්තත් විශාල කුලී මුදලක් ගෙවන්න වෙනවා. ඒ වගේම අත්තිකාරම් මුදලක් ගෙවන්න වෙනවා. මේ පැත්තේ ජනතාවගේ නිවාස හානි තක්සේරු කළාට ඉඩමට තක්සේරුවක් කරන්නේ නැහැ. ඒ වගේම පූර්ණ හානි, අර්ධහානි සහ ප්‍රතිසංස්කරණ වශයෙන් වන්දි ක්‍රම තුනක් භාවිත කරනවා. මේ කිසිම තක්සේරුවක් සාධාරණ නැහැ.
මේ පැත්තේ සමහර පවුල්වලට මුලින් රුපියල් 15,000ක කුලී මුදලක් ලබාදුන්නා. දැන් ගෙවල් තක්සේරු කිරීමේදී ඒ මුදලත් අඩුකරලා තමයි වන්දි මුදල සකස් කරන්නේ. හැබැයි ගෙවල් ප්‍රතිසංස්කරණය කරා කියලා ගෙවල්වල පදිංචි වෙන්න බැහැ. මොකද භූමිය සම්පූර්ණයෙන්ම ගිලාබැහැලා තියෙන්නෙ. මේ නිසා ජනතාවට අයත්ව තිබූ ජුම්මා පල්ලියේ ආගමික වතාවත් කරන්න බැහැ. මේ ගම්මානයේ පවුල් 685ක් ඉන්නවා. ළිං 759ක් තිබුණා. එක ළිඳකවත් වතුර නැහැ.
ඒ වගේම මේ පැත්තේ ජනතාව මානසික රෝගීන්ගේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. දැන් මේ ගෙවල්වල පදිංචි වෙලා ඉන්න බයයි. ඒත් යන්න එන්න තැනක් නැහැ. අඩුම තරමින් ගෙයක් කුලියට අරගන්න පුළුවන් මුදලක්වත් ලැබෙනවා නම්, ගෙදරින් යන්න පුළුවන්. එහෙම නැතිවුණොත් ගෙවල් කඩාගෙන වැටිලා විනාශයක් වේවි.'
“උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය හේතුවෙන් මකුළුඇල්ල, වෙරගල තැන්න, උඩුපේරුව, මැදපේරුව, හිල්ඔය වැනි ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි වගා භූමි සියල්ලම මේ වනවිට විනාශ වෙලා තියෙනවා. මේ ප්‍ර‘දේශවල ජනතාව වී වගාව වගේම බෝංචි වැනි උඩරට එළවළු වගා කළා. පොදුවේ ගත්තාම මෙම ප්‍ර‘දේශවල ගොවීන් 2000කට ආසන්න පිරිසකට තම වගා භූමි අහිමි වෙලා තියෙනවා. භූමියේ ජලය සිඳී යෑම නිසා පොළොව ඉරිතැලීම්වලට ලක්වෙලා, භූගත ජලය පහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම වගා භූමිවලට ජලය ලබාගත් ජල මූලාශ්‍ර සිඳීගොස් තියෙනවා.
ඇතැම් භූමිවලට යන්නවත් එපා කියලා නියෝග කරලා තියෙනවා. හැබැයි තාම එක ගොවියෙකුටත් භූමිය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් ගෙවලා නැහැ. සෑම ගොවියෙකුගේම ජීවන උපායමාර්ග වෙලා තිබුණේ ගොවිතැන. වන්දි ගෙවනවා කියලා අයදුම්පත කැඳවුවා. ඒ වෙලාවේ ඔප්පුව, ප්ලෑන් එක, පත්ඉරු ඉල්ලුවා, ඒවත් දුන්නා.
මේ නිසා ගොවි ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. ඒ වගේම සමහර ගොවීන් ඉන්නවා ඉඩමේ අයිතිය වෙන කෙනෙකුට තියෙන. හැබැයි මෙවැනි ප්රශ්නවලදී ගොවියාගේ පැත්ත අරගෙන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේ නිසා වසර 20 - 25ක් ගොවිතැනින් ජීවත් වූ ජනතාව අන්ත අසරණ තත්ත්වයටම පත්වෙලා. ඔවුන්ට කිසිම වගාපාලු වන්දියක්වත් ලබාදීලා නැහැ.'
නිවාස 7346ක් විනාශයි
“මගේ ගෙදර හතර පැත්තෙන්ම පුපුරලා. ඒ නිසා මාස 08කට කලින් ගෙදරින් ඉවත් කළා. ගෙවල්වලින් ඉවත් කළත් තාම කුලී ගෙවල්වලට යන්නවත් ප්‍රමාණවත් මුදලක් ලබාදීලා නැහැ. ලබාදෙන කුලී මුදලින් වර්ග අඩි 100ක කාමරයක්වත් ගන්න බැහැ. වන්දි ගෙවීමේදීත් නිවාස හානි වෙනුවෙන් වන්දි තක්සේරුව නිවැරදි නැහැ. ඒත් දිස්ත්‍රික් ලේකම් කියනවා රුපියල් මිලියන 06ක්, 07ක් වශයෙන් වන්දි ගෙවලා තියෙනවා කියලා. හැබැයි අපි අභියෝග කරනවා රුපියල් මිලියන 06ක් ලබාදීලා තියෙන පුද්ගලයන් 10ක් හැකිනම් නම් කරන්න කියලා. මොකද තක්සේරු කරන්නේ රුපියල් 7,000ක් ඉඳලා ලක්ෂ හතඅටක් වගේ මුදලක්. පොදුවේ නිවාස 7346ක් පුපුරලා ඉරිතලා ගොස් තියෙනවා. මේවා ජනතාව ජීවිත කාලයේම හරි හම්බ කරගත් මුදල්වලින් හදාගන්න ඒවා.
ගෙවල් 100කට තක්සේරු හැදුවත් ගෙවල් 97කටම සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. රුපියල් ලක්ෂ 07ක, 08ක වන්දියකින් කෙනෙකුට පර්චස් 10ක් අරගෙන ගෙයක් හදාගන්නවත් බැහැ. ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕන. මෙතැනදී වෙන අනෙක් අසාධාරණය තමයි ගෙට තක්සේරුවක් කළත්, ඉඩමට හා තාප්පයට කිසිම වන්දියක් නැහැ. ජල මූලාශ්‍ර සිඳී යෑම යටතේ ළිං ඇතුළු ජල උල්පත් 3700කට වැඩි ප්‍රමාණයක් සිඳීගොස් තියෙනවා.'
“මම රැකියාවක් ලෙස කළේ මේසන් වැඩ. අද මේ පැත්තට වෙලා තියෙන විනාශය නිසා මේසන් වැඩ නොවෙයි, කුලී වැඩක්වත් කරගන්න තැනක් නැහැ. මගේ ගෙදර සම්පූර්ණයෙන් ඉරිතලා ගිහිල්ලා තියෙන්නෙ. මම අවුරුදු 47ක් තිස්සේ හම්බු කරපු මුදල්වලින් ගෙදර හැදුවේ. ගණන් හැදුවොත් ලක්ෂ 20කට වැඩිය ගෙට යන්න ඇති. ඒත් තක්සේරුව ආවේ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක්. අද වනවිට මට රැකියාව අහිමි වෙලා. ඒ වගේම ඉන්න ගෙදරත් නැතිවුණා. අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අපෙන් පස්සේ මේ දේවල් උරුම වෙන්න තිබුණේ දරුවන්ට. ඒත් දරුවන්ට දෙන්න කිසිම දෙයක් මගේ සතුව නැහැ.
අපට මේ ගෙදරින් යන්න කිව්වා. ඉතින් රුපියල් දෙලක්ෂ පනස්දහසක් අරගෙන කොහේ යන්නද? මේ මුදලින් මාස 03කට කුලී ගෙයක්වත් ගන්න බැහැ. මේ නිසා කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ. මේක උපන් බිමේදීම අමු අමුවේ මරා දැමීමක් වගේ වැඩක්.*
“වසර ගණනාවක් හම්බු කරපු මුදල්වලින් හදපු ගේ ඉරිතලලා විනාශ වෙලා තියෙන්නෙ. මේ ගෙදරින් යන්න කියලා නිලධාරීන් කියනවා. අපි වන්දියක් ඉල්ලුවට පස්සේ අපට රුපියල් හත්දහස් පන්සියයක මුදලක් තක්සේරු වෙලා තිබුණා. වහලට ගහලා තියෙන රීප්පවලටත් මීට වඩා මුදලක් වියදම් වෙලා තියෙනවා. ආර්ථික අපහසුකම් එන්න එන්නම ආව නිසා මහත්තයා රට ගියා. ඒත් වැඩට ගියපු තැනින් හරියට පඩි දුන්නේ නැහැ. ඒක නිසා මහත්තයා ආයෙත් ලංකාවට ආවා. මේකෙන් අපි තවත් අසරණ වුණා.'
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd