උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි බෞද්ධ උරුමයන් විනාශ වන බවට බෞද්ධ සංවිධාන විසින් නිතර පවසන දෙයකි. එසේම මෙවැනි අදහස් ප්‍රචාරය කරනුයේ අන්තවාදීන් බව රජය පාර්ශ්වයෙන් පවසන කරුණකි. එවැනි අදහස් සංහිඳියාවට බාධාවක් බවද රජයේ අදහසයි. මෙවන් පසුබිමක් තුළ රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සම්බන්ධ කර ගත්තේ මේ පිළිබඳව අදහස් දැනගැනීමටය.
උතුරු නැගෙනෙහිර බෞද්ධ සිද්ධස්ථානවලට සිදුව ඇති බලපෑම්
පුරාවිද්‍යාත්මක සාධක අනුව වැඩිපුරම වෙහෙර විහාර තියෙන්නේ උතුරු නැගෙනහිර. ඒ අනුව සිංහල බෞද්ධයාගේ ජාතික උරුමය වැඩිපුරම තියෙන්නේ එම පළාත්වල බව කිවහැකියි. මේ වන විට උතුරු නැගෙනහිර පරිපාලනය සිංහල බෞද්ධයන්ගේ නෙවෙයි. ඒ අයගෙන් අපිට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. සංහිඳියාවෙන් ඒ සියල්ල වැහිලා තියෙන්නේ. සංහිඳියාව නැතිවෙයි කියමින් ගොඩක් දේවල් වලට රජය අතගහන්නෙ නෑ. සංහිඳියාවට මුවාවෙලා උතුරු නැගෙනහිර තියෙන වෙහෙර විහාර ඩෝසර් කරනවා, කඩනවා බිදිනවා. දීඝවාපිය කියන්නේ පරිවාර චෛත්‍යවලින් එකක්. පරිවාර චෛත්‍යෙයේ බුදුපිළිමයක් තියන්න ගිහිල්ලා එතැන ප්‍රශ්නයක් ඇතිවුණා.
පසුගිය දවසක දයා ගමගේ ඇමතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා බුදුපිළිමයක් තියන්න දෙන්නෙ නැත්නම් යහපාලන ඇමතිකමේ ඉඳලා වැඩක් නැහැ කියලා. අනෙකුත් ප්‍රජාව හිතන්නේ ඒ ගොල්ලන්ගේ බලප්‍රදේශයේ අපි බලහත්කාරයෙන් බුදුපිළිම තියන්න හදනවා කියලා. නමුත් තනිකරම බෞද්ධ පරිසරයක් තුළ තිබෙන එම ප්‍රදේශවල බලහත්කාරයෙන් ඔවුන් පදිංචිවෙලා ඉන්නේ. ඒ නිසා අවසානයේදී අපිට සිදුවෙන්නේ සියලු බෞද්ධ උරුමයන් ඔවුන්ට පාවලා දීලා සද්ද නැතිව ඉන්න. දැන් බලන්න කූරගල, දෙවනගල දිහා.
ඒ ඒ කාලවලදී රජවරු නින්දගම් වශයෙන් පූජා කරලා පන්සල් හදපු තැන් මේවා. අද කූරගලට හාමුදුරු කෙනෙකුට යන්න බැහැ. පල්ලි ඉවත්කරලා සුරක්ෂිත කරන්න කියලා සංස්කෘතික ත්රිකෝණෙට කියල තිබුණා. නමුත් අද වන විට ඒක සම්පූර්ණයෙන් වෙනස්වෙලා තියෙනවා. මුහුදු මහ විහාරයට යන්න පාරක් තිබුණෙ නැහැ. ප්‍රදේශයේ ගෙවල් හදලා තිබුණා. පසුගිය ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්වෙලා ආරක්ෂක හමුදාව දාලා මුහුදු මහ විහාරයට පාරක් වෙනම වෙන් කරලා දුන්නා. මුහුදු මහ විහාරයට අක්කර 16000ක් විතර තිබෙනවා. දැන් මුහුදු මහ විහාරයේ හාමුදුරුවෝ එන්නෙ ගෙවල් පිළිකන්න පැත්තෙන් පැනලා. ආපහු අර පාර වහගෙන ගෙවල් ඉදිකරලා තියෙනවා. සමහර වෙලාවට හාමුදුරුවො එද්දි ඉදුල් වතුර ගහනවා. අපිට මේවා කියන්න දෙන්නෑ සංහිඳියාව නිසා. හැමදෙයටම ජාතිවාදය උලුප්පා ගැනීම තුළින් බෞද්ධයාගේ ඉල්ලීම් සියල්ල යටපත් වෙලා තියෙනවා.
රජයේ වගකීම
ඒ අයට පුරාවිද්‍යාත්මක දේවල් ගැන හොයන්න වෙලාවක් නැහැ. ආර්ථිකය ගොඩනගන්න බැරිව හිඟා නොකා හිඟාකකා ඉන්නෙ. අපි දන්න විදියට සංස්කෘතික ත්රිකෝණෙට අයිති සල්ලිත් මහබැංකුවට අරන් තිබෙනවා. ඒ නිසා රජයට වෙලාකුත් නෑ, වගකීමකුත් නැහැ, බැලූ බැල්මට සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින රජයක් කියලා පේන්නෙත් නැහැ. අන්‍යාගමිකයන්ට අවශ්‍ය විදියටම හැසිරෙන ස්වභාවයක් තමයි පේන්නේ. සංහිඳියාව ඔය හැමදේටම ගැලවිජ්ජාවක් වගේ තියෙන්නේ. මේ අයට ඕනම දෙයක් කරලා ගැලවෙන්න පුළුවන් සංහිඳියාව ඉදිරියට දමලා. මුස්ලිම් සිංහල දෙපිරිස 1700 ගණන්වල ගහගත්තට පස්සෙ ලංකාවේ කොහේවත් ගහගත්තෙ නැහැ. දැන් තිබුණු සංහිඳියාව විනාශ කරන්න ගිහින් තමයි මේක වෙලා තියෙන්නේ. සංහිඳියාව තිබුණා, මේ අය ඇවිත් ඒක විනාශ කළා.
ඊට පස්සෙ වැඩේ අවුල් වුණා. වැඩේ අවුල් වෙනකොට වෙහෙර විහාර ගැන බලන්න විදියක් නැහැ. මඩකලපුවේ, ත්‍රිකුණාමලයේ, කිලිනොච්චියේ, යාපනයේ බෞද්ධ සිද්ධස්ථාන විශාල වශයෙන් තියෙනවා. දෙමළ මිනිස්සු සිටින උතුරට වඩා නැගෙනහිර පළාතේ සිද්ධස්ථානවලට බරපතළ විදියට මේ වන විට හානිවෙලා තියෙනවා. දෙමළ මිනිස්සු ටිකක් හරි බුද්ධාගම එක්ක කිට්ටු සම්බන්ධතාවක් තියෙනවා. නමුත් මුස්ලිම් අයගෙන් එහෙම ආදරයක් ඇත්තෙම නැහැ. නැගෙනහිර පළාත තුළ පන්සල් එකක්වත් ආරක්ෂාවේවි කියලා මම හිතන්නෙ නැහැ. ඊයෙ පෙරේදා මෙම පළාත්වල හාමුදුරුවරුන් විශාල පිරිසක් පැමිණ මාව හමුවුණා. ඒ ගොල්ලො කියනවා අතහැරලා දාලා එනවා කියලා. කොටි ගහන කාලෙ වගේම ඒ ගොල්ලො ලෑස්තියි අතහැරලා දාල එන්න. කොටි ගහන කාලේ එම ප්‍රදේශවල හමුදා කඳවුරු ස්ථාපිත කරලා තිබුණු නිසා හාමුදුරුවරු හිටියා. දැන් ඒ ආරක්ෂාවත් නැති නිසා අතහැරලා දාලම එන්න ඒ අය ලෑස්තියි. රජය කියයි, රජය අපහසුතාවයට පත්කිරීම සඳහා මඩ ප්‍රචාරයක් ගෙනියනවා කියලා.
නමුත් ඕකයි ඇත්ත තත්ත්වෙ.ඌව වෙල්ලස්ස සටන වෙලාවේ ඉඩකඩම් අතරහැරලා ගිහින් පදිංචි වුණු සිංහල ජනතාව නැගෙනහිර පළාතේ ඉන්නෙ. ඒ මිනිස්සු අක්කර දහය දොළහ අල්ලගෙන වගා කරගෙන ඉන්නවා. හැබැයි මහවැලියෙන් පසුගිය කාලෙ වැරදි වැඩක් කළා. ඉඩම් සේරම මැනලා මඩින් අක්කර දෙකයි, ගොඩින් අක්කර භාගයයි වශයෙන් මිනිස්සුන්ට දුන්නේ. එක ගෙදරක හය හතක් ඉන්න ඕන. මේ විදියට මැනලා දුන්නාම අඩුගානේ මිනියක් වළලන්වත් මදි. ඒ අසාධාරණයට විරුද්ධව මම ගිහින් කතා කළා. අන්තිමට ගොඩින් අක්කර තුන ගානේ දුන්නා.
නව නිවාස හදන ව්‍යාපෘති තෝරගෙන තියෙන්නේ සිංහල ගම්මාන අවට. මේ අය කියන්නේ මිශ්‍ර කළාම සංහිඳියාව ඇතිවෙනවා කියලා. සංහිඳියාව කෙසේ වෙතත් සිංහලයෝ ටික නැතිවෙනවා.
විහාරස්ථාන බේරා ගැනීම
පන්සල්, දේවාල ආරක්ෂා කිරීම සඳහා අපි ලොකු වැඩපිළිවෙළක් හදලා තියෙනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත දේවල් ආරක්ෂා කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් වැඩපිළිවෙළක් තියෙනවා. ඒ නිසා අපි පසුගිය දිනකදී ගිහින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංස්කෘතික කටයුතු අංශයේ මෙරට ප්‍රධානියා හමුවුණා. උතුරු නැගෙනහිර තියෙන සියලුම පල්ලි, කෝවිල්, පන්සල් ගැන විස්තර තියෙන වාර්තාවක් අපි බාර දුන්නා. අපි කිව්වා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත සිලුම දේවල් ආරක්ෂා කරන්න කියලා. ඇත්ත කතාව තමයි ඒ පළාත්වල වැඩිපුරම තියෙන්නේ පන්සල්. ඓතිහාසික වශයෙන් වැදගත් පන්සල් දෙසිය ගාණක් තියෙනවා. අපි කිව්වා ඒවා සංරක්ෂණය කරන්න කියලා. ඒ සම්බන්ධව දකුණු ආසියානු කලාපයේ ප්‍රධානියා ඉන්දියාවේ ඉන්නෙ. ඔහු හමුවෙන්න අපි දිනයක් ඉල්ලලා තියෙනවා. ඔහුටත් අපි පන්සල්, පල්ලි, කෝවිල් කොතරම් ප්‍රමාණයක් තිබේදැයි කියා සම්පූර්ණ වාර්තාවක් දෙනවා. අපි කියන්නේ ඓතිහාසික කෝවිලක් තියෙනවානම් ඒක ආරක්ෂා කරන්න ඕන. ඒකෙ ගැටලුවක් නැහැ. පන්සල් තියෙනවා නම් ඒකත් ඒ වගේම වැදගත් නිසා එයත් ආරක්ෂා කරන්න ඕන.
ස්වාමීන් වහන්සේලා අවේගශීලීව හැසිරීම
පසුගිය කාලේ අපි රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටියා. ඒ වෙලාවේ ආණ්ඩුවට දවස් තුනක් දෙන්නම් මේක විසඳන්න කියලා අපි කිව්වා. ඒ වෙලාවේ ආණ්ඩුව ඒක ගාණකට ගත්තෙ නැහැ. අපි සඳුදා දවසක යන්න ගියාම ඒ අය කිව්වා ගොල්ෆේස් එකේ වාඩිවෙලා ඉන්න ඒ අය ලියුමක් දෙන්නම් කියලා. පස්දෙනෙක් අරන් ගියා ලේකම් කාර්යාලය ඇතුළට. ඒ විදියට ලියුමක් දෙනවා කියලා පොලීසිය කොටුවේ උසාවියට ගියා වාරණ නියෝගයක් ගේන්න. ලියුම දෙන්න වාරණ නියෝග ඕන නැහැ. එදත් ගහලා පන්නලා දාන්න සැලසුම තිබුණේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා එතන ආබාධිත හාමුදුරුවරුත් හිටියා කියලා.
මේ රටේ මහ නායක හාමුදුරුවරුන්ගේ ඉඳලා අන්තිම මම දක්වා ආබාධිතයි කියල මම පිළිගන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි. මේ රටේ හාමුදුරුවරු ආබාධිත වුණු හැම වෙලාවකම රට කන, විනාශකරන, බහුජාතික සමාගම්වලට විකුණන, එක එකාගේ පදයට නටන, විජාතික ප්රතිපත්තිවලින් හෙබි, අනුන්ගේ ටයි කෝට් දාන පාලකයෝ මේ රටේ රජකම් කළා. හාමුදුරුවෝ ආබාධිත වුණු හැම වෙලාවකම මේ රටට ආදරය කරන මිනිස්සුත් බිහිවුණා. ඒක නිසා එතුමා කියන කාරණය අපි පිළිගන්න ඕන.
දුටුගැමුණූ රජ්ජුරුවන්ගේ ඉස්සරහින් හාමුදුරුවරු පන්සීයක් ගියා. රහතන් වහන්සේලා ගියා. වළගම්බා රජ්ජුරුවන්ට අවුරුදු දොළහක් පිණ්ඩපාත කරලා කන්න දුන්නේ හාමුදුරු කෙනෙක්. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සුද්දගේ කොඩිය බිමට දාලා සිංහ කොඩිය ඉස්සුවා. ගොංගාලේගොඩ බණ්ඩා දඹුලු විහාරෙදී රජෙක් කළේ කුඩහපොල හාමුදුරුවෝ තමයි. ඒ නිසා මේක වෙන්නෙ අද ඊයේ නෙමෙයි. තව අවුරුදු පනහක් ගියාට පස්සෙත් ඒ ඒ සංවිධානවල හාමුදුරුවරු මේ රට වෙනුවෙන් සටන් කරාවි.
එම කාරණය ලිඛිත ඉතිහාසයේ ලියවුණේ නැතිවුණාට මිනිස්සුන්ගේ මතක ඉතිහාසයේ ලියවෙයි. ඉන්න පාලකයන්ට හිසරදයක් වුණාට මේ රටට සහ දේශීයත්වයට, අපේ මුතුන් මිත්තන්ගේ අභිමානයට ගරු කරන මිනිස්සු පිරිසක් අපිට ඉන්නවා. ඒ ගොල්ලො කෝටි දෙකම වෙන්න ඕන නෑ. ඒක පනස්දාහක් වුණත් අපිට ඇති. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන පදයට නටන්නවත්, අපිට නීති සම්පාදනය කරන සමහර බහුබූතයෝ කියන විදියට නටන්නවත් හාමුදුරුවරු නැහැ. අපි අපේ රාජකාරිය රට වෙනුවෙන් කරනවා. හෙට දවසේ හිරගෙවල්වල දැම්මත්, වෙඩි තැබුවත්, අභූත චෝදනා එල්ල කළත්, ඕන දේකට අපි ඔට්ටුයි.
අපි රට වෙනුවෙන් අවශ්‍ය දේ කරනවා. දානෙ වළදලා වෙච්ච දෙයක් වෙච්චාවේ කියලා හවසට පැය දෙකක් විතර නිදාගෙන, නැගිටලා නාලා කියලා, හවසට තේ එක බීලා ආයෙ නිදියන කට්ටිය ඒ කාලෙත් හිටියා. මේ කාලෙත් ඒ ජාතියේම බඩු ටිකක් ඉන්නවා. ඒ නිසා ඒවා එච්චර අදාළ නැහැ. කවුරු බැන්නත් අපේ පරම්පරාවලින් එන හාමුදුරුවරු අපිට උරුමකරලා දුන්නු වගකීමක් තියෙනවා. අපි ඒක ඉදිරියට අරන් යනවා. සංවිධාන වශයෙන් අපි අවශ්‍ය අවස්ථාවල සංවිධානත්මක වෙනවා. පාලකයෝ දැනගන්න ඕන ඒ අයගේ වගකීම හරියට ඉටුකරන්න. එවිට අපිට වෙනම සංවිධාන වෙලා කටයුතු කරන්ව අවශ්‍ය වෙන්නෙ නැහැ.