'අම්මෝ මේ දවස්වල බඩුවල මිල.. මෙච්චර මිල වැඩි වුණේ නෑ කවදාවත්.. දැන් රුපියල් දාහක් අරන් පොළට ගියාම ගන්න පුළුවන් එළවළු කොච්චරක්ද..? පොල් මිල ඊටත් වැඩියි.. දැන් පොල් නැතිව තමයි කන්න වෙන්නේ' මේ දිනවල ජනතාවගේ මුවින් නැගෙන වචන කිහිපයකි ඒ. කාර්යාලවල, නිවෙස්වල හමුවන හමුවන අය වැඩිපුර කතා කරන්නේ බඩු මිල ගැනය.
වෙළෙන්දන්ගෙන් එළවළු මිල ඇසූවිට ග්‍රෑම් 250ක මිල සඳහන් කරයි. ඉතා වේගයෙන් එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙන බැවින් මෙහි ප්‍රායෝගික යථාර්ථය වෙළෙඳ පොළේ සැරිසරන කාට වුවද වැටහෙනු ඇත. වෙළෙඳ පොළේ බහුතරයක් සිටින්නේ දෙසිය පනහ හැටයි, දෙසිය පනහ හැත්තෑවයි කියන වෙළෙන්දන්ය. එළවළු මිල ගණන් අසා වෙළෙන්දාගෙන් වෙළෙන්දා ළඟට යනවා හැරෙන්නට ජනතාවට වෙනත් විකල්පයක් නැත. විකීණීම සඳහා ගෙන එන එළවළු අලෙවි නොවීමෙන් වෙළෙන්දන්ද පාඩු ලබන තත්ත්වයට පත්ව තිබේ. එළවළු වෙළෙඳ සැල් පවත්වාගෙන යන වෙළෙන්දන් විනාශ වන එළවළු දිනපතා කුණු කූඩයට දමන ආකාරයද දැකිය හැකිය.
මෙවන් වටපිටාවක් රට තුළ මතුව තිබුණද බලධාරීන්ගේ නිසි අවධානයක් මෙතෙක් මේ දක්වා යොමු වී නොමැත. කෘෂිකර්ම, ආර්ථික සංවර්ධන ආදී වශයෙන් හඳුන්වන අමාත්‍යාංශ ගණනාවක් තිබුණද ඇමතිවරුන් හෝ ලේකම්වරුන් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ මේ දක්වා කළ දෙයක් නොමැත. තම තමන්ගේ අමාත්‍ය ධුර රැකගැනීමත්, දේශපාලනික කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත් හේතුවෙන් අමාත්යායංශ වලින් වැඩක් කෙරෙන්නේ නැත. පාරිභෝගිකයන් පිළිබඳව සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරියක් තිබුණද මේ පිළිබඳව සොයා බලන ආකාරයක් දක්නට නොමැත.
මෙවන් පසුබිමක් තුළ දැනට වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් හැසිරෙන ආකාරය සොයා බැලීමට අපි තීරණය කළෙමු.
එසේම වෙළෙඳ පොළේ පවතින සිල්ලර මිල ගණන් පිළිබඳවද අපි සොයා බැලුවෙමු.
රජයේ ආර්ථීක මධ්‍යස්ථානවල මෙම මිල ගණන් සඳහන් වුවද සාමාන්‍ය වෙළෙඳ සැලක සිල්ලර මිල ගණන් මීට වඩා වැඩි බව ඔබ හොඳින්ම දන්නවා ඇත. මෙවැනි මිල ගණන් සාමාන්‍ය ජනතාවට දරා ගැනීමට නොහැකි බැවින් ඉතා ඉක්මනින්ම සහනයක් සැලසීම බලධාරීන්ගේ වගකීම වන්නේය. එබැවින් මේ පිළිබඳව අපි පාර්ශ්ව කිහිපයක අදහස විමසා සිටියෙමු.
මීට කලින් මෙවැනි දෙයක් වාර්තා නොවූයේ අපි වගා කළ නිසයි
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා
දේශගුණික බලපෑම් වැනි විවිධ හේතු නිසා එළවළු මිල ගණන් වෙනස් වෙනවා. මේ මිල වැඩි වීම තිබිය හැක්කේ වැඩිම වුණොත් මාසයයි. සාමාන්‍යයෙන් මාසයක් යන විට නැවතත් වෙළෙඳ පොළට එළවළු ලැබීම ආරම්භ වෙනවා. නමුත් වත්මන් ආණ්ඩුවෙන් ඒකට සැලැස්මක් නැහැ. මහජනතාවට පැටවෙන බරින් නිදහස් කරන්න වැඩපිළිවෙළක් නැහැ. මේ ආණ්ඩුව මුල ඉඳන්ම කෘෂිකර්මය අතහැරලා දාලා තියෙන්නේ. කෘෂිකර්මය අධෛර්යමත් කළා. සහල් කිලෝ එකක් අද රුපියල් 110ට ගිහින්. පොල් ගෙඩියක් රුපියල් 110ට ගිහින්. ලොකු ලූනු කිලෝවක් රුපියල් 180යි. මීට කලින් මෙවැනි දෙයක් වාර්තා නොවූයේ අපි වගා කළ නිසයි. පසුගිය රජය ලොකු ලූනු ගොවීන්ට වගා කිරීමට විශාල ධෛර්යක් දුන්නා. බීජ ගෙනැල්ලා දුන්නා. බීජ අපි හදලා දුන්නා. පොහොර ඇතුළු සියලුම පහසුකම් දුන්නා. නමුත් වත්මන් රජය පොහොර සහනාධාරය ඉවත් කරලා, බීජ නිෂ්පාදන වැඩපිළිවෙළ අත්හැරලා දාලා. රටේ ජනතාවට කිව්වා ගොවිතැන් කරන්න එපා කියලා. බලහත්කාරයෙන් හරි වී ගොවිතැන නවත්වනවා කිව්වා. අක්කර 250,000ක් වී ගොවිතැනින් ඉවත් කරනවා කියලා කෘෂිකර්ම ඇමතිවරයාම කිව්වා. ගොවි බිම් ඉවත් කරන්න සැලැස්මක් තිබුණට මේ අයට වවන්න සැලැස්මක් තිබුණේ නැහැ. අදත් වවන්න වුවමනාවක් නැහැ. මේ වන විට ගොවියා ධෛර්යමත් කිරීමේ කිසිම වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යංශය සිදුකරන්නේ නැහැ. අද ගොවියෝ ගොවිතැන් කරන්නේ බොහොම අමාරුවෙන්. ඒ උදවියට නිරන්තරයෙන් විවිධ උපදෙස් අවශ්‍යයි. විවිධ ආධාර අවශ්‍යයි. මුදල්වලට වඩා උපදේශනය ඒ අයට වැදගත් වෙනවා. නිතරම ගොවියා උනන්දු කරනවා නම් ගොවියා එය අගය කරනවා. එහෙම ක්‍රමයක් මේ රජයේ නැහැ. මේ අය හැමදාම විශ්වාස කළේ බඩු භාණ්ඩ පිටරටින් ගෙනැල්ලා කොමිස් ගහගෙන අපේ රටේ විකුණන එක තමයි වඩා හොඳම ක්‍රමය කියලා. අදත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගෙන්වන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් අරන් තිබෙනවා. මේ විදියට යනව නම් ඉදිරි මාස හය ඇතුළතදී අවම වශයෙන් පිටරටින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ගෙන්වන්න වෙනවා. එහෙම වන විට අතිවිශාල කොමිස් මුදලක් වෙළෙන්දන්ට එකතු කරගන්න පුළුවන්. අපේ රජය කාලයේ එහෙම අවසර දුන්නේ නැහැ. අපි හාල්, ලොකු ලූනු, එළවළු පිටරටින් ගෙන්වන්න ඉඩ දුන්නේ නැහැ. ගොටුකොළ, මුකුණුවැන්න පවා පිටරටින් ගෙන්වපු යුගයක් තිබුණා. අපි ඒවා සියල්ලම නතර කරලා දැඩි පාලනයකට යටත් කළා. රතු ලූනු කිලෝ එකක් අද රුපියල් 350යි. අපිට වුවමනා තරම් රතු ලූනු වවන්න පුළුවන්. යාපනය, වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවල නිකන් බිම විසි කළත් රතු ලූනු පැළවෙනවා. ඒ සඳහා මනා සැලැස්මක් තිබෙන්න ඕන. ඒ තරම් වටිනා බිමක් තමයි මේ ආණ්ඩුව නැතිකරලා තියෙන්නේ. කෘෂිකර්මය ගැන මේ ආණ්ඩුවට සැලැස්මක් නැති නිසා බඩු මිල වැඩි වීම, ජීවන වියදම ඉහළ යෑම නවත්ත ගන්න බැරිවෙලා තියෙනවා.
ඉදිරි අයවැයෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරන්න රජය සූදානමින් ඉන්නවා
තිරසාර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජයසේන මහත්මිය,
පසුගිය කාලයේ සිදුවුණු ගංවතුර හානි, නාය යෑම්, නියඟය වැනි ස්වාභාවික හානි නිසා විශාල වශයෙන් ගොවිතැන් පාළු වුණා. මම ජීවත්වන මොනරාගල දිස්ත්‍රික්කයේ එය තදින්ම බලපෑවා. මේ හේතුව නිසා හාල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින් තිබෙනවා. ඉදිරි අයවැයෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකරන්න රජය සූදානමින් ඉන්නවා. ඒ සඳහා වැඩපිළිවෙළක් හදලා තියෙනවා. පොල් මිල ඉහළ යෑමට වනසතුන් බලපා තිබෙනවා. මොනරාගල වැනි ප්‍රදේශවල දඬුලේන්නු, රිළව් වැනි සතුන් නිසා පොල් අස්වැන්න අඩු වුණු බව මම අත්දැකීමෙන් කියන්නේ. මොකද මටත් පොල් වත්තක් තිබෙන නිසා. පොල් ගෙඩි හැදෙන්න දෙන්නෑ දඬලේන්නු, රිළව් ඇවිත් ගැට කාලෙම ගෙඩිය කඩලා කනවා. ඒක ජනාධිපතිතුමත් කිව්වා. මේක ගොඩක් පොල් වතුවලට බලපාලා තියෙන නිසා පසුගිය කාලයේ පොල් හැදුණෙ නැහැ. ඒ වගේම විශාල වශයෙන් වගා කළ කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල පොල් ඉඩම්වලින් පොල් ගස් කපලා අයින් කරලා විවිධ ව්‍යාපෘතිවලට වෙන්දේසියේ විකුණුවා. ඒ නිසාත් වෙළෙඳ පොළට පොල් නිෂ්පාදනය ආවේ නැහැ. අලුතින් වගා කරද්දිත් සතුන්ගෙන් හානි වෙනවා වැඩියි. දැනට රජය විසින් පොල් බෙදාහැරීමක් කරනවා වුණාට එය ප්‍රමාණවත් නැහැ. ඒක සියලුම මිනිස්සුන්ට ගන්න බැහැ. පුළුවන් තරම් පොල් වගාවන් ආරක්ෂා කරගන්න එක තමයි කරන්න වෙන්නේ. මගේ ඉඩමේ වෙනදා පොල් විකුණනවා. නමුත් අපිටත් දැන් සල්ලිවලට පොල් කන්න වෙලා තියෙන්නේ.
සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ් මිලදී ගන්න පුළුවන් වෙන්න ඕන
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා,
ප්‍රථමයෙන්ම ජනතාවගේ ආර්ථිකය හදන්න ඕන. කන්න බොන්න, ළමයින්ට උගන්න ගන්න ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්න ඕන. එදිනෙදා කනබොන ද්‍රව්‍යවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන නිසා ජනතාව දැඩි අසීරුතාවකට පත්වෙලා ඉන්නේ. අද ජනතාවගේ ඉතුරු කිරීමේ හැකියාව අඩුවෙලා. මිලදී ගැනීමේ හැකියාව අඩුවෙලා. රුපියල් දාහක් අරන් වෙළෙඳ පොළට ගිහින් ගන්න පුළුවන් ඉතා සීමිත ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් පමණයි. පවුලේ හතරදෙනෙක් ඉන්නවා නම් රුපියල් දාහක් අරන් ගිහින් අවශ්‍ය ප්‍රමාණයට එළවළු ගන්න බැහැ. ඒ නිසා ඉතාමත් ඉක්මනින් එළවළු, හාල් ඇතුළුව අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍යවල මිල අඩුවෙන ක්‍රමයක් හඳුන්වාදිය යුතුයි. මාධ්‍ය යොදාගෙන මිල අඩු කළා කියලා ප්‍රකාශ කළාට වැඩක් නැහැ. හාල් රුපියල් 70කට, පොල් ගෙඩියක් රුපියල් 60ට වගේ ප්‍රායෝගිකව ජනතාවට සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්මිලදී ගන්න පුළුවන් වෙන්න ඕන. එවැනි වැඩපිළිවෙළකට නොයා ආණ්ඩුව ව්‍යවස්ථා හදන්න යනවා. ඒ විදියට මිනිස්සුන්ට අවශ්‍ය නැති දේවල් රජය කළාට මිනිස්සුන්ට දැන් තියෙන බඩගින්න නිවාගන්න ක්‍රමයක් හඳුන්වා දීලා නැහැ.
රජයේ ජීවන වියදම් කමිටුව ප්‍රායෝගික නැහැ. එම කමිටුව ප්‍රායෝගික වුණා නම් රටේ ජනතාවට මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නෙ නෑ. පාලන මිල ක්‍රියාත්මක වෙන්නෙ නෑ. නමුත් පාලන මිලට අදාළ නීති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අතරමැදියන්ගේ ගසාකෑම වැඩි වැඩියෙන් සිදුවෙනවා. ඉදිරි දිනවලදී එළවළු මිල තවත් ගණන් යනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි ප්‍රායෝගික කමිටුවක් පත්කරන්න ඕන. පාරිභෝගික අධිකාරිය හුදකලා කරලා තියෙනවා. එම අධිකාරියෙන් පාරිභෝගිකයන්ට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මෙම ප්‍රශ්නයට මුදල් අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, වෙළෙඳ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිව යුතු ආයතන සම්බන්ධ කරගෙන විධිමත් කමිටුවක් පත්කරලා ප්‍රායෝගික තීරණ ගත යුතුයි.