ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් තඹලගමුව හා මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කලක සිට පවතින අලි-මිනිස් ගැටුමට අමතරව මෑතක සිට වලස් හා මිනිස් ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් හටගෙන තිබේ. තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොල්ලිපොතාන ප්‍රදේශයේදී අලුයම් කාලයේදී ගම්වැදුණු වලසෙකු එහි වැසියන් තුන්දෙනෙකු සපා කෑ අතර, එම වලසා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් උත්සාහ ගැනීමේදී එම වලසාට වෙඩි වැදී මියගොස් තිබුණි. ඊට දින කිහිපයකට පසු යළිත් මොල්ලිපොතානට වැදුණු වලසෙකු නිවස ඉදිරිපිට දිගේලි කර තිබූ ගවයෙකු සපා කා තිබූ අතර, එම වලසා දුම්රිය මාර්ගය අසල මියගොස් සිටියදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකයේ අඩවි ආරක්ෂක ඩී.එම්. සිරිවර්ධන මහතා ඇතුළු වනජීවී කණ්ඩායම සොයාගනු ලැබීය.
එම වලසා දුම්රියේ වැදී මියගියාද නැතිනම් පහරදීමකින් මියගියාද සෙවීම සඳහා වලස් මළසිරුර ගිරිතලේ පිහිටි පශු වෛද්‍ය ඒකකයට යවනු ලැබීය.
එසේ තිබියදී මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාමල්වත්ත අව්වේනගර් හිදී තවත් වලස් ප්‍රහාරයකින් ගොවියෙකු තුවාල ලැබීය. ජීවිතයත්, මරණයත් අතර සටන් කර දිවි බේරාගත් අව්වේනගර් පදිංචි ටිකිරි බණ්ඩා (56) ගොවි මහතාගේ එදා දිවි බේරුණේ පූරුවේ පිනකට බව බිහිසුණු අත්දැකීම විස්තර කළේය.
&මම කුඹුරේ ඉන්නකොට කැලෑ ප්‍රදේශයේ ඉඳලා එකපාරටම මම ඉන්න ඉසව්වට වලසෙක් කඩා පැන්නා. මම පොල්ලක් අරන් පහර දුන්නා. කැලේට ගිය වලසා ආයෙත් ටික වේලාවකින් ආවා. මම පොල්ලෙන් පහර දෙනකොට එතනට ආපු ළමයෙක් වලසාට පහර දුන්නා. ඒ පහර දෙනකොට මගේ අත වලසා හැපුවා. ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර දින කිහිපයක ප්රතිකාරවලින් පසු නැවත ආවා.
මෙම වලසුන් ගම් වදින්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් 1963දී ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ නාවික වැඩබිම අභය භූමිය තුළ සිටය. මෙම අභය භූමිය තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, අනෙක් කොටස මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් සිමා වී පවතී. ටිකිරි බණ්ඩා මහතාට පහර දුන් වලසා ජීවග්රහයෙන් අල්ලාගත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය අඩවි ආරක්ෂක ප්‍රේමසිරි විතානගේ මහතා ඇතුළු කණ්ඩායම යළිත් නාවික වැඩබිම අභය භූමියට මුදාහරිනු ලැබ තිබේ. මේ අතර නිලාවේලි කලපුවක් අසල පහරදීමකට ලක්ව හිසේ තුවාල සහිතව වැටී සිටි තවත් වලසෙකු ප්‍රතිකාර සඳහා ගිරිතලේ පිහිටි වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාරදී තිබේ.
වලස් මිනිස් ගැටමුට මුල්වූ වලසුන් ගම්වැදීම ප්‍රශ්නයක් බව කියන ත්‍රිකුණාමලය, ගෝනතොට පරිසර සංවිධානයේ සභාපති ආර්.එම් අනුර බණ්ඩාර මහතා, නාවික වැඩබිම අභය භූමිය තුළ මිනිස් ක්‍රියාකාරකම් මෙයට හේතුවක්යැයි අනුමාන කළේය.
&වලසුන් මෙලෙස දිගින් දිගටම ගම් වදින්න විදිහක් නැහැ. නාවික වැඩ බිම අභය භූමිය තුළ වලසුන් කොහොමත් ගල් ගුහාවල ඉන්නවා. මේ පරිසර පද්ධතීන්වල වෙනස්කම් නිසා ඒ සතුන්ගේ නිජබිම් අහිමි වෙලාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් මේ පිළිබඳව නිසි අධ්‍යයනයක් නොකර කිසිවක් කියන්න බැහැ. මේ තත්ත්වය දිගටම ගියොත් හරි ප්‍රශ්නයක් තමයි වෙන්නේ.
වෘත්තීය ගොවියන් මෙම වලස් ප්‍රහාර නිසා බියට පත්ව සිටින බව පැවසූ මොල්ලිපොතාන ගල්මැටියාව දකුණු ගොවි සංවිධානයේ සභාපති ඒ.ඩබ්. විල්සන් මහතා මේ වලසුන් පිට ප්‍රදේශයකින් තම ගම් ආශ්රිත අභයභූමියට ගෙනැවිත් දමන්නට ඇතැයිද පැවසීය.
&ගල්මැටියාව ගමට ඈතින් නාවික වැඩබිම අභය භූමිය තිබුණත් අලි මිනිස් ගැටුමක් ඇරෙන්න වලස් ගැටුම් කවදාවත් අපේ ගම්වලට තිබිල නැහැ. කොහෙන් හරි මේ වලස්සු ගෙනත් දමන්න ඇති. මිනිස් කටහඬක් නැති ඝන වනාන්තරවල ජීවත්වන වලසුන් එහෙම ලේසියෙන් ගම් වදින්නේ නැහැ. ඒ සතුන්ගේ නිජ භූමි වෙනස් වූ නිසා ඒ මේ අත ඇවිදිනවා. කුඹුරක, මගතොටේ, නැතිනම් ගෙදරක ඉන්න වෙලා තියෙන්නේ වලස් බියෙන්. අපේ ගමට අල්ලපු ගමට වලස්සු පැනලා ඒ ගමේ දෙතුන් දෙනෙක් කාල තිබුණා. අලිත් ඉස්සරට වැඩිය ගම් වදිනවා. ඒ මදිවට මේ වලසුන්ගෙන් එල්ල වන ප්‍රහාරත් නිසා අපි බියෙන් ඉන්නේ
වලස් මිනිස් ගැටුම තුළ වලසෙකු වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී මිය යෑම පිළිබඳව පරිසර සංවිධාන ගණනාවක් නැගෙනහිර ආණ්ඩුකාර නීතීඥ රෝහිත බෝගොල්ලාගම මහතාට පැමිණිලි කර තිබුණි. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක පරිසර සංවිධාන කැඳවා සාකච්ඡාවක්ද කළේය. මෙම හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ නැගෙනහිර ආණ්ඩුකාර නීතීඥ රෝහිත බෝගොල්ලාගම මහතා පැවසුවේ වලසුන් ගම් වැදීම පිළිබඳව සෙවීමත්, වනසතුන් පිළිබඳව සංගණනයක් කිරීමටත් තමන් අදහස් කරන බවයි.
&මේ සඳහා කොළඹ ක්‍රියාත්මක වන පරිසර හා වන ජීවී සංගම්වලට මම ආරාධනා කරනවා. විශේෂයෙන්ම වලසුන් ගම්වැදීම පිළිබඳ සොයන්න මේ සංවිධානවලට භාර දෙනවා. වලසුන් කියන්නේ ලංකාවේ වනාන්තර වලින් නැතිවී යන සත්ත්ව විශේෂයක් නිසා ඒ සතුන් ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. අපට මෙතන තියෙන බාධාවක් තමයි වනජීවී කියන විෂය මධ්‍යම රජයට අයිති වීම. පළාත් සභා විෂයපථයට වනජීවී විෂය අයිති නැහැ. නමුත් නැගෙනහිර පළාතේ සතුන් ආරක්ෂා කරගන්න ඕන නිසා වනජීවී විෂය අපේ පළාත් සභාවට පවරන්න කියලා මධ්‍යම රජයට, විශේෂයෙන්ම ජනාධිපතිතුමාට යෝජනා කර යවන්න බලාපොරොත්තු වෙනවා.
මෙම වලස් උවදුර පිළිබඳව කළ විමසුමකට පිළිතුර දුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ නීතීඥ ඩබ්.ඒ ලලිත් කුමාර මහතා,
&මේ වලසුන් සිටින්නේ තඹලගමුව හා මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට සීමා වූ %නාවික වැඩබිම අභයභූමිය^ තුළයි. එහි සිටින වලසුන් ගම් වැදීමට තිබෙන ප්‍රශ්න අතර එකක් තමයි අභය භූමිය තුළ තිබෙන නාවික හමුදා ගොවිපොළ. මෙහි ක්‍රියාකාරකම් කිහිපයක් සිදුවෙනවා. එකක් තමයි ජලය පොම්ප කිරීම. දෙවැනි කාරණාව තමයි ගොවිපොළ. මෙවැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා වලසුන් ගම් වදිනවා. සතුන්ගේ නිජභූමි මිනිසුන් ආක්‍රමණය කිරීම නිසා මේ ගැටලුව උද්ගත වෙලා තියෙනවා. තව දෙයක් තමයි මෙහි නාවික වෙඩි පුහුණු පිටියක් තිබීම. මෑත කාලයේ එහි පුහුණුවීම් වුණා කියලා හරියට කියන්න බැහැ. තව දෙයක් තමයි, මේ නාවික ගොවිපොළට යන මාර්ගය තියෙන්නේ අපේ අභයභූමිය මැදින්. ඒ නිසා වනජීව අධ්යක්ෂ ජනරාල් ලිඛිතව දන්වලා තියෙනවා මේ අභයභූමිය තුළින් මේ ගොවිපොළ ඉවත් කරගන්න කියලා. මේක සතුන්ට බාධාවක්. පසුගිය දිනෙක අභය භූමිය මැදින් ගමන් කළ වාහනයක වැදුණු වලසෙකු ප්‍රතිකාර සඳහා ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට රැගෙන ගියාට පසු මිය ගියා. මෙහි ගමන් කරන්නේ නාවික හමුදා වාහන විතරයි. අධික ශබ්දය දූවිලි ආදී මිනිස් ක්‍රියාකාරකම් සතුන්ට බලපානවා. මේ කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදීත් කතා කරලා තියෙනවා. අපේ අභයභූමියේ අක්කර 70ක් පුරා විහිදී ඇති ගොවිපොළ සතුන්ට බලපෑම් කරන්නේ නැහැයි කියන්න බැහැ. මොකද අපි නාවික හමුදාවත් සමග සහයෝගයෙන් කටයුතු කරන්න ඕන. පසුගිය කාලයේ අලි මුහුදේ ගසාගෙන ගිය අවස්ථාවල ඒ සතුන් බේරාගන්න විශාල සහායක් නාවික හමුදාව දුන්නා. අනිත් එක තමයි වලසුන්ගේ වාසභූමි තියෙන්නේ ගල්ගුහා කේන්ද්‍ර කරගෙන. ඒ ආශ්රිත පරිසර පද්ධතිවල වෙනස්කම් වලසුන්ට බලපෑම් කරනවා. කෙසේවෙතත් වලසුන් ගම් වැදීම විශේෂ දෙයක් නිසා විධිමත් ක්‍රමවේදයක් තුළ සොයාබැලීම් කර පිළියම් යෙදිය යුතුයි යැයි කීය.
ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව