පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සමරමින් අට වැනි ගුණසමරුව පැවැත්විණ. එබැවින් ඒ පිළිබඳ සටහනක් තැබීමට කාලෝචිතම අවස්ථාව මෙයයි. උතුරේ හෝ දකුණේ සියලුදෙනාටම මෙම ගැටුම්වලින් මියගිය තම දරුවන්, ඥාතීන්, පියවරුන් හෝ කවුරුන් හෝ සිහි කිරීමේ අයිතිය හිමිවිය යුතුය.
එසේම එම අයිතිය සුරක්ෂිත කිරීමද විය යුතුය. නමුත් එම අයිතියට මුවා වී කිසිවෙකුටවත් තම තමන්ගේ පටු දේශපාලන අරමුණු හෝ මේ රට නැවත අගාධයකට ගෙන යන ගැටුමක් නිර්මාණය කිරීමට අවස්ථාව නොදිය යුතු අතර, දැන උගත් සියලුදෙනාගේම වගකීම මෙන්ම යුතුකමද වන්නේ මෙයයි.
අප යුද්ධය අවසන් කළත් තවමත් අපට සාමය ජයගත හැකිව නැත. ලොව ත්‍රස්තවාදය අවසන් කළ එකම රට යැයි අප උදම් ඇනුවද තවමත් සාමය ජයගැනීමෙන් ලොව පළමු පරමාදර්ශී රට වූ රට වීමට තරම් සූදානමක්ද පෙනෙන්නට නැත. එහෙත් එම හැකියාව අප සතු බැව් අපගේ විශ්වාසයයි. මීට අවශ්‍ය වන්නේ කැපවීම හා දීර්ඝකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙළක් පමණි. එමෙන්ම එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී සුදුසු පුද්ගලයන් සුදුසු තනතුරුවලට පත්වීමද ඉතා වැදගත්ය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය නිර්මාණය කිරීම වෙනුවෙන් යටත්විජිත පාලකයන් විසින් ජනවාර්ගික අර්බුදය නිර්මාණය කිරීම, පශ්චාත් නිදහස් සමය තුළ ජනවාර්ගික අර්බුදය උත්සන්න වීම හරහා බෙදුම්වාදී ත්‍රස්තවාදය නිර්මාණය වීම යන කාරණා පිළිබඳ අප තවමත් නිසි අවධානයක් යොමුකර ඇත්තේද යන්න ඉතා වැදගත්ය.
ඒ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ 1931දී නියෝජන ප්රජාතන්ත්රවාදය හඳුන්වාදීම, 1936දී සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් පත්වීම තුළින් සුළුතර ජාතීන්ට හානිකර අන්දමින් බලපෑමට ඉඩ ඇති පනත් කෙටුම්පත් ඔවුන්ගේ අකමැත්ත තිබියදීම සම්මතකර ගැනීමට හැකි වීම යන කරුණුද මෙම අර්බුදයේ මූලය සොයා යෑමේදී අපට හමු වන බැවිනි. 1944 දී සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය බිහිවන්නේ මෙවන් පසුබිමකයි.
විශේෂයෙන්ම 1948 අංක 18 දරණ පුරවැසි පනත මගින් පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉන්දියානු සම්භවයක් සහිත ජනයා විසින් සම්පූර්ණ කළ යුතු කොන්දේසි, පුරවැසි පනත මගින් ලැයිස්තු ගතකොට නීතිගත කිරීමත් මේ සඳහා බලපෑ අතර ඊට හේතුව වන්නේ මෙම ඉන්දීය සම්භවයන් සහිත ජනයාගෙන් බහුතරය මෙරටට ගෙන එන ලද්දේ බ්‍රිතාන්‍යයට අයත්ව තිබූ තේ වතුවල නිරත කරවීම සඳහා වීමයි. එබැවින් මෙම පනත මගින් රටේ ජීවත් වූ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයාගෙන් බහුතරයකට පුරවැසිභාවය අහිමි වීමද මෙම අර්බුදයට බලපෑවේය.
ඉනික්බිති නිදහසින් පසු යුගයේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර ගැටුම් ඇතිවීමට බලපෑ ප්‍රබල සාධකයක් ලෙස අපට හමුවන්නේ රාජ්‍ය භාෂා ප්රතිපත්තියයි. ඒ බ්‍රිතාන්‍යය පාලන සමයේ ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස භාවිත කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාව වීම නිසාවෙනි. නමුත් රටේ සමස්ත ජනගහනයෙන් 80%කට වැඩි ප්‍රමාණයකට ඉංග්‍රීසි භාෂාව කියවීමට හෝ ලිවීමට නොහැකිව සිටි අතර, ඉංග්‍රීසි භාෂාව රජයේ රැකියාවලදී මෙන්ම උසස් අධ්‍යාපනය සඳහාද සුදුසුකමක් ලෙස සැලකීම අවාසනාවන්ත සිදුවීමක් බවට පත්විණ.
ඒ අනුව ජනගහනයෙන් බහුතරයකට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි නිසා මෙම පසුබිම තුළ 1940 දශකය ආරම්භයේදී සිංහල හා දෙමළ නායකයන් වෙතින් ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තියට එරෙහිව ප්‍රබල විරෝධයක් මතුවිණ. එබැවින් නිදහස ලබන අවධිය වන විටම ලංකාවේ දේශපාලන පක්ෂ විසින් ඉංග්‍රීසි බස වෙනුවට සිංහල හා දෙමළ භාෂාවට සමතැන තිබිය යුතුයැයි එකඟත්වයකට එළඹුණු අතර, 1955 වන විට මෙම පොදු ප්‍රතිපත්තියට එරෙහිව ව්‍යාපාරයක් මතුවූයේ මේ අනුවයි.
අවාසනාවට 1956 වසරේ පැවැති මැතිවරණ ව්‍යාපාරයේ ප්රමුඛත්වයට පත් අංශය වූයේද රාජ්‍ය භාෂාව පිළිබඳ ප්රශ්නයයි. මැතිවරණයට ඉදිරිපත් වූ මහජන එක්සත් පෙරමුණ, සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව විය යුතු බව ප්‍රකාශ කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල හා දෙමළ ජනවර්ග අතර ගැටුමක් හටගත්තේ මුග්ධ දේශපාලකයන් හේතුවෙනි.
ඒ අනුව 1956 වර්ෂයේ මහජන එක්සත් පෙරමුණු රජය විසින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර, භාෂා ප්රශ්නයේ උච්චතම අවස්ථාව මෙම සිදුවීම වන්නේ මේ අනුවයි. එමගින් සිංහල, දෙමළ ජනවාර්ගික සම්බන්ධතාවන්හි නව අවධියක ඇරඹුම සනිටුහන් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවය, අධ්‍යාපනය ආදී ක්ෂේත්රයන්හි නොවැදගත් තැනකට පත් වූ බවට දෙමළ ජනයාගෙන් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් විය.
ඉනික්බිති රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සමග බැඳුණු ගැටලුවක් ලෙස රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ ප්රශ්නය හට ගත්තේය. ඒ නිදහස ලබන අවස්ථාව වන විට රාජ්‍ය අංශය ප්‍රධාන සැපයුම්කරුවා වූ බැවිනි. (බ්‍රිතාන්‍ය පාලන සමයේදී යාපන අර්ධද්වීපයේ අධ්‍යාපන පහසුකම් දිවයිනේ අන් ප්‍රදේශවලට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම නිසා රාජ්‍ය සේවාව තුළ නීති, පරිපාලන, වෛද්‍ය වෘත්තීන් තුළ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජන කොටස තම සංඛ්‍යාවට වඩා වැඩි බලපෑමක් හා නියෝජනයක් අත්කරගෙන සිටියේය.)
ඒ අනුව රජය විසින් ඉතා කෘෘර ලෙස රාජ්‍ය සේවාව තුළ ද්‍රවිඩ නියෝජනය කප්පාදු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර රාජ්‍ය සේවාව තුළ ද්‍රවිඩ නියෝජනය ක්‍රමයෙන් පහළ බසින්නට වූ අතර, නිදහස ලැබූ අවස්ථාව වන විට රාජ්‍ය සේවාවේ 30%ක් නියෝජනය කළ ද්‍රවිඩ පිරිස් 1945 වන විට 6% දක්වා අඩුවීම තුළින්ම එය ඔප්පු විණ.
එසේම 1948 සහ 1949 වර්ෂවලදී ඩී.එස් සේනානායක ආණ්ඩුව විසින් හඳුන්වාදුන් පුරවැසි පනත්වලට විරුද්ධත්වය පළකරමින් එම ආණ්ඩුව සමග සහයෝගීතා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි ද්‍රවිඩ සංගමයේ පිරිසක් ඉන් වෙන්ව ෆෙඩරල් පක්ෂය පිහිටුවීමද මෙහි තවත් සන්ධිස්ථානයකි. එම පිරිසට නායකත්වය දුන්නේ එස්.ජේ.ටී චෙල්වනායගම්ය.
ඒ අනුව පුරවැසි පනත්වලට විරුද්ධව ඡන්දය දුන් ද්‍රවිඩ සංගම් සාමාජිකයෝ ඉන් ඉවත් වී 1949 දෙසැම්බර් මාසයේදී ඉලංකෙයි තමිල් අරසුකච්චි හෙවත් ෆෙඩරල් පක්ෂය පිහිට වූ අතර, ආරම්භයේදී ඔවුන් ඉස්මතු කළේ උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ අභ්‍යන්තර සංක්රමණයි.
ඒ එකල රජය විසින් අධික ජන ඝනත්වයකින් යුත් තෙත් කලාපයේ සිංහල ජනතාව උතුරු නැගෙනහිර පළාත් තුළ ගොවි ජනපද ව්‍යාපාරයෙහි පදිංචි කරවීමේ වැඩපිළිවෙළක් අරඹා තිබූ බැවින් මෙම ජනපද වැඩපිළිවෙළ තුළින් තම මාතෘ භූමියේ මෙන්ම ස්වකීය සංස්කෘතියද විනාශයට පත්වනු ඇති බවට දෙමළ ජාතිකයෝ සිතූ හෙයිනි. එහෙයින් ද්‍රවිඩ බහුතරය වෙසෙන ප්‍රදේශවල ගොවිජනපද පිහිටුවීමේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ ද්‍රවිඩයන්ට බව ඔවුන්ගේ ආකල්පය විණ.
ඒ අනුව 'සිංහලකරණ' ක්‍රියාවලියට එරෙහිව ෆෙඩරල් පක්ෂය විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාරයද ඉතා වැදගත් වන අතර ඒ 'සිංහල පමණක්' යන පනත ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ෆෙඩරල් පක්ෂය විසින් දියත් කළ ප්‍රබල විරෝධතාව නිසා ඔවුන් අස්වැසීමේ උත්සාහයන් කිහිපයක්ම දරන්නට සිංහල නායකයන්ට සිදුවූ නිසාවෙනි. 1957 වර්ෂයේදී හඳුන්වාදෙන ලද බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමද එම උත්සාහයන්ගේ පළමුවැන්න විණ. නමුත් ගිවිසුම අත්සන් කොට මාස දෙකක් ගතවූ පසු ආණ්ඩුව ඒකපාර්ශවීය ලෙස ගිවිසුම ඉල්ලා අස්කර ගත්තේය.
1960 දීද ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කොට අවුරුදු දෙකක් ඉකුත් වූ තැන 1968 දීද සිංහල බෞද්ධ කණ්ඩායම්වල හා විරුද්ධ පාක්ෂික දේශපාලන කණ්ඩායම්වල විරෝධතාවන් මතු වූ අතර, එවිට නැවත වරක් බලය විමධ්‍යගත කිරීම පිළිබඳ සංකල්පය අර්බුදකාරී ගැටලුවක් බවට පත්වූයෙන් අවසානයේදී ආණ්ඩුව එම කෙටුම්පත එකල අතහැර දැමුවේය.
එසේම 1970 දශකය ආරම්භයේදී හඳුන්වාදුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් දෙමළ භාෂාව කතා කරන ජනතාවටද විවිධ දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදු වූ අතර, මීට පෙර ක්‍රියාත්මක කළ සිංහල භාෂා පනත මගින් ඇති කළ වෙනස්කම් උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙමළ ජනතාවගේ තත්ත්වය දුර්වල කිරීමට සෘජු ලෙස බලපෑම් නොකිරීමද එම තරුණ විරෝධයට හේතුවිණ. මේ අනුව රාජ්‍ය භාෂාව පිළිබඳ ගැටලුවට වඩා දැඩි ලෙස බලපෑම් ඇති කළ ගැටලුවක් බවට එකල පත්වූයේ උසස් අධ්‍යාපනය තුළ විද්‍යා අධ්‍යාපනයට ඇතුළු වීමට ද්‍රවිඩ සිසුන්ට තිබූ අවස්ථාවයි.
එහිදී 1970දී බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ඉලක්ක කර ගනිමින් පුළුල් අධ්‍යාපන ප්රතිසංස්කරණයක් හඳුන්වා දුන් අතර, ඒ හරහා ප්රමිතිකරණය සහ දිස්ත්‍රික් පදනම මත විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය කළයුතු බවට තීරණය කළේය. එහි ප්‍රතිඵලය වූයේ විශ්වවිද්‍යාලවල විද්‍යා විෂයන් මුල් කරගත් පීඨවලට ඇතුළු වූ ද්‍රවිඩ සිසුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස පහත වැටීමයි.
එබැවින් 1975 වන විට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ මුළු දෙමළ ශිෂ්‍ය සංඛ්‍යාව 19% දක්වා අඩු වූ අතර, සිංහල ශිෂ්‍ය සංඛ්‍යාව 78% දක්වා ඉහළ ගියේය. මහාචාර්ය සී.ආර් ද සිල්වා පවසන ආකාරයට දෙමළ තරුණයන් අතර බෙදුම්වාදී මතවාදය වර්ධනය වීම කෙරෙහි සෘජුවම බලපෑවේ මෙම ප්‍රමිතිකරණයයි. ඒ අනුව මහාචාර්යවරයාගේ අදහස වූයේ මෙම ප්‍රතිපත්තිය බලාපොරොත්තු නොවූ දේශපාලන ප්‍රතිවිපාක අත්කර දුන් බවයි.
එනම් 1983 ආරම්භ වූ යුද්ධයද මෙම පීඩනයේ දිගුවක් මිසක විසිවැනි සියවසේ මුල සිටම පැවැති සිවිල් ගැටුම්, වාර්ගික ගැටුම් හා කලකෝලහාල ප්‍රතිඵලයක් බැව් අප දැන්වත් වටහාගත යුතුමය. එහෙයින් 1915, 1956, 1971, 1980 සහ 1983 වසරවලදී මෙන්ම රටේ පැවැති යුද්ධය ප්රමුඛ ගැටුම්වලින්ද රටට අහිමි වූ ජීවිත ගණන, රටට අහිමි වූ මුදල් කන්දරාව, සම්පත් ප්‍රමාණය, රටේ ආර්ථිකයට වූ බලපෑම නිර්ණය කළ නොහැකිය. ඒ මෙයින් රටේ ජීවත් වූ පරම්පරාවල් ගණනාවක් එහෙම පිටින්ම වැළලී ගිය බැවිනි. තරුණ බුද්ධිමත් දේශපාලකයන් මෙන්ම තරුණ වෘත්තිකයන්ද අපට මෙයින් අහිමි වූ බැවිනි.
එනිසාවෙන් සැබෑවටම නිදහස ලැබුවේ කිනම් වර්ෂයකද යැයි කියා හෝ අවබෝධයක් නොමැති බහුතරයක් ජීවත්වන රටක අපට සමරන්නට හෝ සතුටු වන්නට හැකි යමක් ඇත්දැයි යන්න නැවතත් අපෙන්ම ප්‍රශ්න කළ යුතුමය. ඒ අපේ කුඩා රට ඉතා කුඩා ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව තට්ටු මාරු ක්රමයක වැජඹෙන බැවිනි.
එබැවින් තවමත් අපි ජීවත් වන්නේ සේවකයන් වෙනුවෙන් හාම්පුතුන් කඩේ යන ක්රමයක බැව් අප පැහැදිලිවම වටහාගත යුතුමය. එසේ නොමැතිව සාමයෙන් තොර සංවර්ධනයක් අපට අත්පත් කරගත නොහැක. තිරසර සංවර්ධනයෙන් තොර තිරසර සාමයක්ද, තිරසර සාමයෙන් තොර තිරසර සංවර්ධනයක්ද අපට උදා කරගත නොහැක. එය අප දැන් හෝ වටහාගත යුතුය. එය වටහාගෙන දේශපාලකයන්ගේ පටු අරමුණු වෙනුවෙන් හෙට සිට හෝ නොබෙදිය යුතුය.