හෙළ සිනමාව ආලෝකවත් කළ මහා සිනමාවේදියා
සිනමාව නම් වූ සොඳුරු කලාව තුළ සිංහල සිනමාවට නව මුහුණුවරක් ලබාදෙමින් එය ජාත්‍යන්තරය දක්වා රැගෙන ගියේය. සිය 99 වසරක දිවිය තුළ දේශීය සිනමාව උදෙසා සුවිසෙස් මෙහෙවරක් කළ ඒ අද්විතීය අධ්යක්ෂවරයා, තිර රචකයා සහ චිත්‍රපට නිෂ්පාදකවරයා පෙරේදා (29දා) සිය දිවි සිනමාවට සමුදුන්නේය. මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ ඒ අග්‍රගණ්‍ය සිනමාවේදියා වෙනුවෙන් තැබෙන සටහනකි.
ජාතික සිනමා කර්මාන්තයක් පවා බිහිව නොතිබූ යුගයක උපන් ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිංහල සිනමාවේ අමරණීය සලකුණක් වනු ඇතැයි කිසිවෙකුත් අපේක්ෂා නොකරන්නට ඇත. 1919 අප්‍රේල් මස 09 වැනිදා දෙහිවලදී උපන් ඔහුගේ පියා වූයේ වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස්ය. මව ඈන් ගෙස්ට්රියව් විනිෆ්‍රඩ් ජයසූරියයි. ඉංග්‍රීසි පන්නයට හුරු වූ රෝමානු කතෝලික පවුලක් වූ ජේම්ස් පීරිස් පවුලේ සිංහල භාවිතයක් නොතිබූ තරම් විය. ඔහුගේ මිත්තණිය පමණක් සිංහල කතාකළ දේශීය භාවිතය අගය කළ තැනැත්තියක වූවාය.
සිනමා නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂවරයෙකු වීමේ සිහිනයක් හෝ නොවූ ලෙස්ටර්ට එකොළොස් හැවිරිදිව සිටියදී ඔහුගේ පියාගෙන් කොඩැස්කෝ ප්රක්ෂේපණයක් ත්‍යාගය ලෙස හිමි විය. එමගින් චාලි චැප්ලින්ගේ නිහඬ චිත්‍රපට නැරඹීමට ලෙස්ටර් ප්‍රිය කළ අතර, ඔහුගේ සොයුරන් සමග එක්ව දිනපතා කොටස් වශයෙන් විකාශය වූ විදේශීය චිත්‍රපට නැරඹුවේය.
අධ්‍යාපනය සඳහා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළත් වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිය ද්විතියීක අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව 17 වැනි වියේදී සිය ප්‍රථම වෘත්තිය වශයෙන් මාධ්‍ය ක්ෂේත්රය තෝරා ගත්තේය. ප්‍රථමයෙන් ‘ඩේලි නිවුස්’ පුවත්පත හා එක්වූ ලෙස්ටර්, එම පුවත්පතේ අතිරේකයක් සංස්කරණය කළේය. එය ලෙස්ටර්ට නවමු පන්නරයක් ලබාදුන් අතර අනෙකුත් ආධුනිකයන්ටද විවෘත කරදුන් පුළුල් මාවතක්ම වී යැයි පැවසිය හැකිය. එම අතිරේකය හරහා ලෙස්ටර් හා එක්වූවන් අතර, පර්සි විට්ටච්චි, ඇල්ප්‍රඩ් ද සිල්වා, මර්වින් ද සිල්වා, ජේ.බී. ද අල්විස්, හැරිසන් පීරිස් වැනි පසුකාලීන දැවැන්තයෝ රැසක් වූහ. පසුව ලෙස්ටර්, 1939දී ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතේ ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්රෑන්ක් මොරායස් යටතේ සේවය කළ අතර, ලෙස්ටර්ගේ භාෂා නිපුණත්වය හා සුවිශේෂී කුසලතාවන් මැනැවින් හඳුනා ගත් මොරායස් සිය සහාය ඔහු වෙනුවෙන් උපරිමයෙන් දැක්වීය. පසුව ලෙස්ටර් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේද කෙටි කාලයක් සේවය කළේය.
ඒ වන විට යොවුන් වියේ පසු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වීමෙන් අනතුරුවය.
1947 දී එංගලන්තයට යන ලෙස්ටර් එහි කලා ශිෂ්‍යත්වය හදාරමින් සිටි ඔහුගේ සහෝදරයා වූ අයිවන් සමග එක් වීය.
1952 වසරේ ලංකාවට පැමිණි ලෙස්ටර් ඉන් වසර තුනකට පසු දේශීය සිනමාවට ස්වකීය නිර්මාණ දායකත්වය දැක්වීම අරඹන්නේ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් හා එක්වෙමිනි. ඒ අනුව 1956 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැමි තේමාවක් වස්තු විෂය කරගත් වෘත්තාන්ත චිත්‍රපයටක් ලෙසින් ‘රේඛාව’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිය සිනමා ජීවිතය ආරම්භ කළේය.
1946 දී මෙරට මුල්ම කතානාද චිත්‍රපටය තිර තිරගත කළ අතර, ඒ වන විට මෙරට ‘සුන්දර සවුන්ඩ්ස්’ හා ‘නව ජීවන’ චිත්රාගාර දෙක ඉදිවී තිබිණි. එහෙත් මෙරට සිනමා නිර්මාණයන්ට දකුණු ඉන්දීය සිනමා ආකෘතිය තුළින් මිදි ගන්නට නොහැකියාවක් තිබුණාක් මෙන්ම ස්වාධීන ලක්ෂණ කිසිවක් ඒවායින් පිළිබිඹු වූයේ නැත. 1956 වසරේදී සිංහල චිත්‍රපට 06ක් තිරගත වූ අතර, ‘රේඛාව’ හා ‘රම්‍යලතා’ හැර සෙසු සියලු චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ දකුණු ඉන්දීය චිත්‍රාගාරයන් තුළදීය. එමෙන්ම බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න නිර්මාණය කළ ‘දෛව විපාකය’ හැර අනෙක් සියලු චිත්‍රපට ඉන්දියානු අධ්යක්ෂවරුන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබීය. ඒ සියල්ල තුළ තිබූ දකුණු ඉන්දීය සිනමා ලක්ෂණ මෙන්ම, අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රවීණත්වයද අතර විශාල පරස්පරයක් ඇති කරමින් ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1956 අග භාගයේදී ‘රේඛාව’ නිෂ්පාදනය කරන්නේ ආරම්භයේදීම අනාගත මහා සිනමාවේදියෙකුගේ ලක්ෂණ මොනවට විෂද කරවමිනි.
ස්වභාව චමත්කාරයත්, චරිතානුබද්ධ සිදුවීම් මාලාවත් එකම රූපයකට සංක්ෂිප්ත කිරීමේදී ලෙස්ටර් දැක්වූ මනා වූ කුසලතාව සිංහල සිනමාවේ අනාගතය වෙත හිරු පායා එන වගට ගෙන ආ පූර්ව දැනුම් දීමක් බඳු විය. ලෙස්ටර්ගේ මෙම ප්‍රවිෂ්ට වීම හේතුවෙන් සිංහල සිනමාවට ඒකීය වූ අනන්‍යතාවක් ගොඩනැගිනි.
ලෙස්ටර් 1964 දී එවකට දක්ෂ චිත්‍රපට චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වූ සුමිත්‍රා ගුණවර්ධන සමග විවාහ වූයේය.
‘රේඛාවෙන්’ පසුව ලෙස්ටර් සම්භාවනීය චිත්‍රපට රැසක් බිහි කළ අතර, එයින්ද මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‘ගම්පෙරළිය’ නවකතාව ඇසුරෙන් 1964 දී නිර්මාණය වූ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය යළිත් මෙරට සිනමාවේ අමතක නොවන මතකයක් ඉතිරි කළේය. 1966 දී ‘දෙලොවක් අතර’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලෙස්ටර්, නැවත ස්වකීය ආධිපත්‍යය සිනමාව තුළ තහවුරු කරන්නේ 1968 දී කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ නවකතාව ඇසුරෙන් අධ්‍යක්ෂණය කළ ‘ගොළු හදවත’ චිත්‍රපටය මගිනි. 1970 වසරේ ‘නිධානය’ද, 1983 වසරේ ‘යුගාන්තය’ද ලෙස්ටර් අතින් අධ්‍යක්ෂණය විය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ට සිනමාව සම්බන්ධ මෙරට ආකල්ප වෙනස් කරලීමේ මහත් අරගලයක් කරන්නට සිදු විය. ‘රේඛාව’ තිරගත කරවීම සඳහා ලෙස්ටර්ට හමුවන්ට සිදුවන්නේ ‘සීමාසහිත සිලෝන් තියටර්ස්’ නිර්මාතෘ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර්ය. ගාඩිනර් විසින් ලෙස්ටර්ට පෙන්වා දෙන ලංකාවේ හොඳම චිත්‍රපටය වන්නේ ‘සැඩසුළං’ චිත්‍රපටයයි.
වසර ගණනක් තිස්සේ දමිළ ආකෘතිය තුළ සිරව සිටි සිංහල සිනමා ප්‍රේක්ෂකයාට නව රසඥතාවක් ගොඩනංවන්නට ලෙස්ටර්ට ‘රේඛාව’ තුළින් හැකිවූයේ නැත. රේඛාව ඉහළින් වැලඳ ගත්තෝ සිනමා විචාරකයන් විනා සිනමා රසිකයන් නොවේ. එවකට අධ්‍යාපන ඇමතිවරයාව සිටි ආචාර්ය විජයානන්ද දහනායක විසින් ‘රේඛාව’ චිත්‍රපටය රටට අවමානයකැයි සඳහන් කොට එය තහනම් කළ යුතු යැයි ප්‍රකාශ කළේය. මූල්‍ය වශයෙන් අසාර්ථක වූ රේඛාව නිෂ්පාදනය කිරීමෙන් වසර ගණනාවකට පසු සර් ගාඩිනර්ගේ සමාගමට විශාලම ආදායම උපයා දෙන්නේ ලෙස්ටර් විසින් නිර්මාණය කරන ලද ‘ගොළු හදවත’ චිත්‍රපටයයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් තිළිණ කළ විශිෂ්ටම චිත්‍රපටයක් ලෙස දැක්විය හැකි ‘නිධානය’ නිෂ්පාදනයෙන්ද එක්වන්නේ සර් ගාඩිනර්ගේ සමාගමයි. ලෙස්ටර් වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක් නිෂ්පාදනය කිරීමේ භාග්‍ය ලත් එකම සමාගම වූයේ සර් ගාඩිනර්ගේ සමාගමයි.
‘රේඛාව’ වාණිජ වශයෙන් අසාර්ථක වීම මෙරට සැබෑ සිනමාවේ මෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාවේද අවසානය වන්නට ඉඩ තිබිණ. සිනමාව පිළිබඳ මනස තුළ වූ අවබෝධයෙන් එය දුටුවන් පමණක් ‘රේඛාවේ’ අගය වටහා ගත්හ. නිවාඩුවකට ලංකාවට පැමිණි ප්‍රංශ සිනමා විචාරිකාවක වූ මාරියා ෂෙල්ට අහඹු ලෙස ‘රේඛාව’ නරඹන්නට ලැබිණ. සිංහල චිත්‍රපටයක් නරඹන්නට වුවමනා වූ මාරියා ෂෙල් ගල්කිස්ස හෝටලට අසල සිටි ටැක්සි රියදුරෙක් විසින් ඒ වන විට රේඛාව පෙන්වමින් තිබූ වැල්ලවත්තේ ‘රොක්සි’ සිනමාහල වෙත කැඳවාගෙන ගොස් තිබිණ. රේඛාවේ සිනමා බස වටහා ගන්නා ඇය මහත් වෙහෙසක් දරා එවකට නවක අධ්‍යක්ෂවරයෙකු වූ ලෙස්ටර් නම් සිනමාවේදියා සොයා ගැනීමෙන් පසු ප්‍රංශයට ගොස් ඊළඟ ‘කාන්ස්’ සිනමා උලෙළට රේඛාවට ඇරයුම් කළාය.
ජාත්‍යන්තරය දිනූ ‘රේඛාව’ දේශීය සිනමා හදවත ජය ගැනීමට නොහැකි වීම තුළ වාණිජ වශයෙන් අසාර්ථක වීම හේතුවෙන් ලෙස්ටර්ට වසර කිහිපයක් යනතුරු චිත්‍රපටයක් සඳහා ආයෝජකයෙකු සොයා ගැනීම අසීරු වුවද, එවකට මෙරට සිටි ප්‍රධානතම සිනමා නිෂ්පාදකවරයෙකු මෙන්ම ගාඩිනර්ගේ ප්‍රධාන ව්‍යාපාරික ප්රතිවාදියාද වූ කේ. ගුණරත්නම් ඔහුගේ සිනමාස් සමාගමේ දසවැනි සංවත්සරය සඳහා චිත්‍රපටයක් නිර්මාණය කරන ලෙස ආචාර්ය ලෙස්ටර්ට ආරාධනා කළේය. එහි වියදම සඳහා අවශ්‍ය මුදල ලියා ගැනීමට හිස් චෙක් පතක් ලබාදෙන්න තරම් ගුණරත්නම් ලෙස්ටර් කෙරෙහි තැබූ විශ්වාසය සිංහල සිනමාවත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්වූ සිනමාවේදියාත් කඩා වැටීමෙන් වළක්වාලීය. ‘සංදේශය’ට නිෂ්පාදන දායකත්වය දක්වන්නට ගුණරත්නම් එක් වන්නේ එසේය. ඒ වන විට දකුණු ඉන්දියාවේ මුල්පෙළ සිනමාකරුවන් ලවා පමණක් චිත්‍රපට තැනූ ගුණරත්නම් ලෙස්ටර්ට සිනමා කෘතියක් ලබා දෙනුයේ රේඛාව නිසා නොව ඉන්දියානු සිනමාවේ දැවැන්තයෙකු වූ රාජ් කපූර්ගේ පෙළඹවීම හේතුවෙනි. චෙකොස්ලෝවැකියාවේ ‘කාලොවිවාරි’ උළෙලේදී රේඛාව නරඹා එයට වසඟ වී සිටි රාජ් කපූර්, ගුණරත්නම් ඊට පොළඹවා ගැනීම උදෙසා විශාල මැදිහත්වීමක් සිදුකළේය.
මුල්ම සරසවිය සම්මාන උළෙලේදී ‘ගම්පෙරළිය’ හොඳම චිත්‍රපටය ලෙස තේරී පත්වන අතර, ලෙස්ටර් සිංහල සිනමාව තුළ ඉහළම සලකුණ වීම ඒ වනවිට අරඹා තිබුණේය. 1965 ජනවාරි 21 වැනි දින නවදිල්ලියේදීද හොඳම චිත්‍රපටයට හිමි ‘රණ මයුර’ සම්මානය දිනා ගන්නට ගම්පෙරළියට හැකිවිය.
ඉංග්‍රීසියෙන් උගත්, ඉංග්‍රීසි ඉහළ පාන්තික පවුලක උපන් ලෙස්ටර්, එංගලන්ත අධ්‍යාපනයෙන් පසු මෙරටට නොපැමිණියා නම් ඇතැම් විට ඔහු බ්‍රිතාන්‍ය ජාතික මහා සිනමාකරුවෙකු වන්නට ඉඩ තිබිණි. එහෙත් ලෙස්ටර් තම මවුබිමේ මිනිසුන්ගේ ජීවිතය සොයා ඇවිද්දේය. ඒවා සැබෑ ලෙසින්ම තිරය මතට ගෙනාවේය. එනිසාම කාලයත් සමග ලෙස්ටර් යනු මිනිසුන්ගේ සිනමාකරුවා බවට පත්විය.
ලාංකේය සිනමාවේ අනාගතය විනිවිද දුටු සිනමාකරුවා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් පනහ දශකයේ පටන් මෙරටට සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
2006 වසරේ දෙසැම්බර් ‘රේඛාව’ චිත්‍රපටයේ පනස් වැනි සංවත්සරය දා, තම නවතම චිත්‍රපටය වූ ‘අම්මාවරුනේ’ තිරයට එක් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ස්වයං විශ්‍රාමය නිවේදනය කළේය.
කෙසේ නමුත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කථා සංකල්පයකට අනුව ඔහුගේ බිරිඳවන සුමිත්‍රා පීරිස් නිර්මාණය කළ ‘වෛෂ්ණාවී’ සිනමා නිර්මාණය මේවනවිට ප්‍රදර්ශනය වෙමින් තිබේ. වසර 99ක ආයු කාලය තුළ සිනමාව උදෙසා කැප කළ 50 වසරක කාලයේ සිංහල සිනමාවට අමතක නොවන නිර්මාණයන් 20කට ආසන්න ප්‍රමාණයක් දායාද කළ ඔහු පෙරේදා (29දා) සිය ජීවන ගමනට සමුදුන්නේය. එහෙත් සිංහල සිනමාවේ කේන්ද්‍රස්ථානය සනිටුහන් කිරීමේ ගෞරවනීය නියමුවා ලෙස සදාකාලික ලෙසම ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ සිංහල සිනමාවේ දැවැන්තයා සිනමා සහෘදයන්ගේ හදවත් තුළත් සිනමා ඉතිහාසය තුළත් වෙසෙස් සලකුණක්ව හිඳිනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



