හොලිවුඩයේ තවත් අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ බොහෝමයක් මෙම වර්ෂය තුළද බිහිවීමට නියමිතය. මෙම මස මුල සිට තිරගත වීම ආරම්භ වූ Deadpool චිත්‍රපටය මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වෙමින් පවතී. නමුත් හෙට දිනයේ එනම් පෙබරවාරි 26 දින ඩෙඩ්පූල් චිත්‍රපටයට තරගකාරීත්වයක් එක් කරමින් තවත් සුවිශේෂී නිර්මාණයක් එළිදැකීමට නියමිතය.
ඒ ඇමරිකානු ෆැන්ටසි වර්ගයට අයත් චිත්‍රපටයක් වන Gods of Egypt සිනමාපටයයි. පුරාතන ඊජිප්තු දෙවිවරුන් පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටය සුප්‍රකට ඔස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ඇටෙලක්ස් ප්රෝයස් ගේ අධ්‍යක්ෂණයකි. තිර රචනය මැට් සැසාමා සහ බර්ක් ෂාප්ලස් විසිනි. මෙහි රංගනයෙන් නිකොලාජ් කෝස්ටර්-වැල්ඩාවු, බ්‍රෙන්ටන් ත්වේට්ස්, චැඩ්වික් බොස්මන්, එලොඩි යන්ග්, කෝට්නි ඊටන්, රිවුෆස් සෙවෙල්, ජෙරාඩ් බට්ලර් සහ ජෙෆ්රි රෂ් දායක වෙයි.
මෙහි කතාවේ පරිදි ඊජිප්තු අන්ධකාරයේ දෙවියා ඊජිප්තු අධිරාජ්‍ය තමන් වෙත පවරා ගනී. මනුෂ්‍ය ලෝකයේ වීරයකු වන බෙක් තම ලෝකය සහ තමාගේ ආදරය බේරා ගැනීම උදෙසා පුරාතන ඊජිප්තු ඇදහීම් තුළ සුවිශේෂී දෙවිෙයකු වන %Horus^ දෙවියන් සමග මිතුරු වෙමින් ගෙන යන සටන ඔස්සේ මෙම සිනමාපටය මිනිත්තු 127ක කාල පරාසයක් ඔස්සේ දිගහැරේ.
Summit Entertainment සමාගම යටතේ 2014 මාර්තු මස සිට ඔස්ට්‍රේලියාවේදී රූගත කිරීම් කරනු ලැබූ Gods of Egypt සිනමාපටය නිර්මාණය උදෙසා ඇ.ඩො මිලියන140ක් පමණ වැයකොට ඇති බව වාර්තා වෙයි. මෙහි එන Osiris දේවස්ථානයේ රූගත කිරීම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Centennial උද්‍යානයේදී සිදුකර ඇති බවද පැවසෙයි.
ඉංග්‍රීසි බසින් නිර්මාණය කොට ඇති මෙහි බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලබන ලයන්ස්ගේට් සමාගම පෙබරවාරි 26 දින සිට ඇමරිකාවේද, අප්‍රේල් 8 දින සිට එංගලන්තයේදීද 2D, RealD 3D, IMAX 3D ආකාරයන්ගෙන් තිරගත කිරීම ආරම්භ කිරීමට කටයුතු සූදානම් කොට ඇත. ෆැන්ටසි මෙන්ම ක්‍රියාදාමය ගණයට අයත් චිත්‍රපට නැරඹීමේ ආසාවෙන් පෙළෙන සිනමාලෝලීන්හට නවමු අත්දැකීමක් ලෙස පැවසිය හැකි Gods of Egypt සිනමාපටය හොලිවුඩයේ තවත් අග්‍රගණ්‍ය ලැයිස්තුවට අයත් නිර්මාණයක් විය හැක.
අනුෂි දන්තනාරායන