වසර අටකට පසුව පැවැති ජනාධිපති සම්මාන උලෙළේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳව තවමත් බොහෝ දෙනා අවධානය යොමුකරන අතර, එබැවින් එම ආන්දෝලනාත්මක පසුබිම මත සිනමාව, කර්මාන්තයක් වශයෙන් නංවාලීම උදෙසාද, හෙට දවසේ සිනමාව උදෙසාද විනිශ්චය මණ්ඩලයක් වශයෙන් කළ බලපෑම පිළිබඳ ඔවුන්ගෙන්ම විමසීමට අදහස් කළේ එබැවිනි. ඒ මෙම විනිශ්චය මණ්ඩලය තුළ සිටි බහුතරය සම්භාව්‍ය චිත්‍රපට කෙරේ වැඩි අවධානයක් යොමුකළ පිරිස් යැයි නැගුණු චෝදනා හේතුවෙනි.
එහෙයින් අප පළමුව විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ධර්මසේන පතිරාජ සූරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර, ඒ මොහොත වනවිට එතුමා ඉන්දියාව බලා යාමට සූදානම් වන බැවින් අපගේ උත්සාහය ව්‍යර්ථ විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ සිනමා හා රූපවාහිනී මාධ්‍යය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන් මහතා
''මම තමයි ජනාධිපති සම්මාන උලෙළට අදාළ විනිශ්චය මණ්ඩලයේ සිටි කනිෂ්ඨතම සාමාජිකයා. ඒත් අපි මේ චිත්‍රපට උලෙළේදී සලකා බැලුවේ සම්භාව්‍ය චිත්‍රපට පමණක් කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. මොකද අපි නැරඹූ චිත්‍රපට අතර හොඳ විනෝදාත්මක චිත්‍රපටත් තිබුණා. ඒවා අපි ඉතා ආසාවෙන් නැරඹුවා. ඒත් ඒවයින් සමහර චිත්‍රපට එක මට්ටමකට පැමිණ තිබුණෙ නැහැ. ඒකයි ගැටලුව. ඒ නිසයි අපි අවසානයේදී පොදු එකඟතාවකට පැමිණියේ. ඒ අනුව තමයි තීන්දු තීරණ ගත්තෙ. ඒ හින්දා මේ සම්මාන උලෙළේදී ඔවුන් දැක්වූ කුසලතාවම තමයි සිනමාවේ ධෛර්යය බවට පත්වෙන්නෙ.
චිත්‍රපටවල නිර්ණායක වශයෙන් අපි සොයා ගත්තෙ ඒ ඒ නිර්මාණයට අනන්‍ය වූ නිශ්චිත නිර්ණායක. එහෙම නැතුව එක් සිනමා කෘතියක් සමග තවත් සිනමා කෘතියක් සසඳන්න බැහැ. ඒ නිසා චිත්‍රපටය වාණිජද, කලාත්මකද යන්න අපට වැදගත් නැහැ. උදාහරණයක් හැටියට 'ප්‍රවේගය' වැනි වාණිජමය චිත්‍රපටයක් පවා මෙහිදී අපි හොඳම චිත්‍රපටයට නිර්දේශ කරලා තිබුණා. හොඳම නළුවා සම්මානයටත් නිර්දේශ කරලා තිබුණා. ඒ නිසා එවැනි සිනමා කෘතියක් ජනාධිපති සම්මාන උලෙළකදී සම්මානයකට නිර්දේශ වෙනවා කියන්නෙම සම්මානයක් ලැබීමට සුදුසුයි කියන එකයි.
ජනාධිපති සම්මාන උලෙළේදී අපි කාගෙවත් උප්පැන්න හොයන්න ගියේ නැහැ. අපට වැදගත් වුණේ ශිල්පියාගේ නිර්මාණාත්මක දක්ෂතාව පමණයි. ඒ නිසා මෙහිදී අපි කෞශල්‍යා ප්‍රනාන්දුටත් ජූරියේ විශේෂ සම්මානයක් ලබාදීලා තියෙනවා. අනික ලාංකේය සිනමාව කියන්නෙ ලංකාවේ එපිටට යන දෙයක්. ඒ නිසා කෘතියක් වශයෙන් ගත්තාම සිනමාව කියන්නෙ ශ්‍රව්‍ය දෘශ්‍ය භාෂාත්මක මාධ්‍යයක්. ඒ හින්දා එවැන්නක් අගය කරනවා මිසක වෙනත් කාරණා ගැන සලකා බැලීම සුදුසු නැහැ.''
සම්මානනීය ගත් කතුවරියක මෙන්ම තිර රචිකාවකද වන සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය සම්බන්ධ කර ගැනීමටද අපට හැකිවිය.
''චිත්‍රපට උලෙළේදී අපට හොඳ විවෘත මනසකින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. කාගෙන්වත් බලපෑමක් ඇතිවුණේ නැහැ. ඒ නිසා අපි විශාල නිදහසකින් තමයි මේ කටයුත්ත කරගෙන ගියේ. අනික අපි හැම චිත්‍රපටයක්ම මුල ඉඳන් අවසානය දක්වාම නැරඹුවා. එක චිත්රපටයක්වත් නොබලා හිටියේ නැහැ. තීරණවලට එළඹෙන අවසාන දවස දක්වාම අවසාන තීරණයකට එළඹුණෙත් නැහැ.
සාකච්ඡාවකට ගියෙත් නැහැ. අනික අපි මෙහිදී කුමන රටක, කුමන ජාතියක, කුමන ආගමක ශිල්පීන්ට සම්මාන ප්රදානය කරනවාද යන්න පවා සලකා බැලුවේ නැහැ. දක්ෂතාව පමණයි වැදගත් වුණේ. චිත්‍රපට සංස්ථාවෙන් පවා විදෙස් ශිල්පීන්ට සම්මාන දෙන්න එපා කියලා අපට නිර්ණායකයක් පනවලා තිබුණෙ නැහැ. අනික එවැනි නිර්ණායකයක් පනවනවා නම් පළමුව කළ යුත්තේ චිත්‍රපට අධ්යක්ෂවරුන් විසින් විදෙස් නිළියන් ගෙන නොඒමට තහනමක් පැනවීමයි. කොහොම නමුත් චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා පවා අපට බලපෑමක් කළේ නැහැ.
අපි මෙහිදී සම්භාව්‍ය චිත්‍රපටවලට පමණක් නෙමෙයි අවධානය යොමුකළේ. හොඳම නැගී එන නළුවා සහ හොඳම නැගී එන නිළිය තෝරා තිබූ ආකාරයම ඊට හොඳම උදාහරණයක්. අනික ජනප්‍රිය චිත්‍රපටයක් වුණත් හොඳම චිත්‍රපටයක් වෙන්න බැරි නැහැ. ඒත් අපටත් විනිශ්චය මණ්ඩලයක් හැටියට අපේම නිර්ණායක තියෙනවා. ඒ නිසා අපි ඒ මොහොතේ ලැබූ නිදහස මත නිවැරදිම තීරණවලට එළඹුණා කියලයි මම නම් හිතන්නෙ.''
මෙහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ 'සත්හඬ' සති අන්ත පුවත්පතේ ප්‍රධාන කර්තෘ දීප්ති කුමාර ගුණරත්න මහතාගෙන්ද අපි මේ පිළිබඳව විමසා සිටියෙමු.
''ලංකාවේ සිනමා කර්මාන්තය අද ඇදවැටිලා. ඊට ප්‍රධාන හේතුව තමයි චිත්‍රපට නැරඹීමට පැමිණෙන පිරිස එන්න එන්න අඩුවීම. ඒ හින්දා අද වෙද්දි චිත්‍රපට ශාලාවකට ප්‍රේක්ෂකයාව කැඳවා ගන්නෙ කොහොමද යන්නත් ගැටලුවක්. ඒ හින්දා ජනප්‍රිය චිත්‍රපට තුළින් තමයි ප්‍රේක්ෂකයාව සිනමා ශාලාවට ගෙන්වා ගන්න සිදුවෙලා තියෙන්නෙ. සම්මාන උලෙළේදී සම්මාන ලබාදීමේදී ඒ ගැනත් අපි සලකා බැලුවා. ඒ හින්දා තමයි අපි සම්භාව්‍ය චිත්‍රපට වගේම ජනප්‍රිය චිත්‍රපටවලටත් අවධානය යොමුකළේ.
සිනමාව කියන්නෙ ලෝක මාධ්‍යයක්. ඒ නිසා මට අනුව නම් කලාවට රටවල්, ජාති, ආගම් කුලමල භේදයක් නැහැ. ඒවා තිබුණේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ න්‍යාය පත්‍රවල. ඒත් ඒක මම වරදක් කියලා කියන්නෙ නැහැ. හැබැයි අපව තෝරාගන්නේ ඒ සීමා බිඳහෙළා සිනමාවේ නිර්ණායක මත පමණක් පදනම් කර ගනිමින් සම්මාන ප්රදානය කිරීමටයි. එය තමයි අපේ ප්‍රධානතම නිර්ණායකය වුණේ. ඒ අනුවයි උදාහරණයක් හැටියට මෙවර හොඳම නිළියගේ සම්මානය අංජලී පටෙල්ට හිමිවෙන්නෙ.
අනික කාලාන්තරයක් පුරා සම්භාව්‍ය චිත්‍රපටවලට පමණක් සම්මාන පිදුණු ජනාධිපති සම්මාන උලෙළේ නිර්ණායක වෙනස් කරමින්, ජනප්‍රිය සංස්කෘතියේ චිත්‍රපටත් සිනමා කෘති වශයෙන් සලකා බලන්න අපට මෙවර හැකියාව ලැබුණා. ඒ නිසයි මෙවර හොඳම නළුවා සම්මානය ශ්‍යාම් ප්‍රනාන්දු සහ ජැක්සන් ඇන්තනී අතර දෝලනය වුණේ.
එතැනදී අපිට ජැක්සන්ගේ චරිත තුනක් ගැන සලකා බලන්න සිදුවුණා. මොකද ඔහුගේ චරිත තුනම ජනප්‍රිය සංස්කෘතියේ චිත්‍රපට චරිත. ඒ නිසා ජනප්‍රිය සංස්කෘතියක චිත්‍රපටයකට සම්මාන දෙන්නෙ කොහොමද කියන ගැටලුව අපටත් ඇතිවුණා. අනිත් එක අපිත් ජනප්‍රිය සංස්කෘතියේ චිත්‍රපට චරිතයකට හොඳම නළුවා සම්මානය දෙන්න බොහොම කැමැත්තෙන් හිටියා. හැබැයි ජැක්සන් ඇන්තනී රඟපෑ චරිත තුනේම පැවතුණේ එකම ආකාරයක ශරීර භාෂාවක්.
ඒකයි ජැක්සන්ගේ ගැටලුව වුණේ. ඒ හින්දයි අපේ නිර්ණායකවලට පැමිණියේ නැති නිසා ජැක්සන්ට ඒ සම්මානය අහිමිවෙන්නෙ. එහෙම නැතුව ඔහුගේ දක්ෂතාව හෑල්ලු කිරීමක් එතැනදී සිදුවුණේ නැහැ. අනික ජනප්‍රිය චිත්‍රපටවලට මෙවර මීට වඩා ඉදිරියට ඒමට පුළුවන්කම ලැබුණා නම් හොඳයි කියලයි මමත් පෞද්ගලිකව විශ්වාස කරන්නෙ. ඒත් මගේ උපරිමය මම එතැනදී ඉෂ්ට කළා.''
විශ්‍රාමික පරිපාලන නිලධාරියෙකු මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ සුනිල් එස්. සිරිසේන මහතාද අප සමග මෙම කතාබහට එක්විය.
''විනිශ්චය මණ්ඩලයක් හැටියට අපි මෙහිදී යම්යම් නිර්ණායක මත පදනම් වෙලා තමයි සම්මාන ලබාදුන්නෙ. ඒ නිසා අපි මෙහි එන ප්‍රධානතම සම්මාන තේරුවේ ප්‍රශස්තම නිෂ්පාදනය, ප්‍රශස්තම රංගනය වශයෙන්. ඒත් ඇතැම් අවස්ථාවලදී විනිශ්චය මණ්ඩලය ඇතුළෙත් ගැටලු සහගත තත්ත්වයන් මතුවුණා. හැබැයි අපි අවසානයේදී පොදු එකඟතාවකට පැමිණියා. ඒ අනුව තමයි මෙම තීරණ ලබාදුන්නෙ.
චිත්‍රපට කලාව වගේම සිනමා කර්මාන්තය පිළිබඳවත් උගත්කමක් ඇති ආචාර්යවරයෙකු තමයි මෙම විනිශ්චය මණ්ඩලයේ සභාපතිත්වයේ කටයුතු කළේ. ඒ නිසා අප තෝරාගත යුත්තේ කුමන ආකාරයක චිත්රපටද යන්න ගැන පුළුල් පැහැදිලි කිරීමක් අපට ලැබුණා. ඒ අනුවයි අප මේ කටයුත්තට සම්බන්ධ වුණේ. අනික වෙනදා වගේම සාමාන්‍ය නිර්ණායක ඔස්සේ තමයි මෙවරත් තේරීම් සිදුකළේ. ඊට වඩා පටහැනි ස්වභාවයක් මෙවර පැවතුණේ නැහැ.
අපි මෙහිදී වාණිජමය චිත්‍රපටවලට විශේෂත්වයක් දැක්විය යුතුය යන පදනමේ හිටියේ නැහැ. ඒ වගේම සිනමා කර්මාන්තය ආරක්ෂා කරගත යුතුය යන පදනමේ ඉඳන් නෙමෙයි මේ සම්මාන උලෙළේ කුසලතාව ඇගයීමට ලක්කළේ.
හොඳම නිළියගේ සම්මානය ගැන අපිත් සාකච්ඡා කළා. අපටත් ඒ ගැන මුලින් ගැටලුසහගත බවක් ඇතිවුණා. ඒත් අවසානයේදී අපි අපේ හෘදසාක්ෂිවලට එකඟ වුණා. ඒ අනුව තමයි එම සම්මානය සුදුස්සාටම අපි ලබා දුන්නෙ.''
විනිශ්චය මණ්ඩල මගින් ලබාදුන් තීරණ සහ විනිශ්චය මණ්ඩලයේ බහුතරය දැක්වූ අදහස් සන්සන්දනය කරමින් සිනමාවේ හෙට දවස රැකගැනීම වෙනුවෙන් මේ හරහා කළ බලපෑම සාධාරණද යන්න විමසා බැලීම ඔබට බාරය.