අවනඩුව, සමාධි, තිළිණය,සුවඳ කූරු, සිරිදුව වැඩිදා, ටින් පැටවු ආදී ඒකාංගික ටෙලි නාට්‍ය මෙන්ම චරිත තුනක්, රන්මිරිවැඩි, සිව් මංසල, ආදී ප්‍රාසාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ මෝහාන් ජී. රංගනාත් ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදකවරයෙකි.ඔහුගේ තින් පැටව් ඒකාංගික ටෙලි නාට්‍යය අන්තර්ජාතික සම්මාන උලෙළ කිහිපයක් නියෝජනය කිරීමට සමත් විය. රංගනාත්ගේ නවතම නාට්‍ය නිර්මාණය වන්නේ සති අන්ත ඉරිදාවේ රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන හිරු දරුවෝ ප්‍රාසාංගික ටෙලි නාට්‍යයයි. මේ සියලු කරුණු පාදක කරගනිමින් මොහාන් ජී. රංගනාත් අධ්‍යක්ෂකවරයා සමග සංවාදය ඇරඹුවෙමු.
Q හිරු දරුවෝ ගැන කතා කරලම කතාව පටන් ගනිමු?
මම තීරණය කළා පරිසරය සම්බන්ධ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න. ඒ සඳහා සුදුසු පිටපතක් සොයමින් සිටින අවස්ථාවේ නාමල් ප්‍රසන්න මහතාගේ පිටපතක් මට ලැබුණා. ඔහු එය නම් කර තිබුණේ හිරු දරුවෝ නමින්. මේ වෙත මගේ විශේෂ අවධානය යොමුවුණා. හිරු දරුවෝ ලෙස මෙය නම් කළේ ඇයි කියා ඇසූවිට ඔහු මට පැවසුවේ &මේ ලෝකයේ පවතින සියලුම දේ හිරුගේ ශක්තිය සහ හිරු නිසා පවතින බවයි. ඒ ශක්තියෙන් පවතින අපි සියලු දෙනා හිරු දරුවෝ යි කියලයි.
Q කතාවේ ගලායාම පිළිබඳව පැවසුවොත් ?
මේ කතාව ගලාගෙන යන්නෙ ලංකාවේ වන විනාශය පිළිබඳව. මෙම නාට්‍යයේ පිටත් රචකයා සමග කිහිප වතාවක් එක්ව මෙය වෙනස් කරමින් කොටස් 42 ක පමණ සීමාවන ටෙලි නාට්‍යයක් අපි නිර්මාණය කරගත්තා. කතා තේමාව පිළිබඳව තවදුරටත් කතා කරනවා නම් ගුරුවරියක් ගමේ පාසලට මාරු වී යනවා. මේ ගමේ පාසලේ දුෂ්කරතාත් විඳ දරාගෙන ඇය ගමේ දරුවන්ට මවක් වෙනවා. පසුව ඇය වන විනාශය නවත්වාගෙන, ගම සංවර්ධනය කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අවධානය යොමුකරනවා. ගමට ගිය පසු ඇය වටා පිරිමි දරුවන් අට දෙනෙකු සහ දැරියක් එකතු වෙනවා. මේ අය සමගම කතාව ඉදිරියට ගලාගෙන යනවා.
Q පවතින තත්ත්වයට වඩා වෙනස් මට්ටමේ නිර්මාණයක් කිරීම පිළිබඳව ඔබේ අදහස් කුමක්ද ?
වර්තමාන තත්ත්වය තුළ මෙම ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම උඩුගම් බලා පිහිනා යාමක් ලෙසයි මම දකින්නෙ. මෙම ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් කොයිතරම් දුරට වැලඳගනීවිද කියන එක බලන්න අවශ්‍යයි. කෙසේ වෙතත් මම ඉල්ලීමක් කරනවා හැමෝටම මෙම ටෙලි නාට්‍ය බලන්න කියලා. මොකද මේ තුළ ලව්, පලහිලව් සහ මලඉලව් නැහැ.
ඒ වගේම මේක අනියම් ප්‍රේම සබඳතාවලට ලයිසන් දීමට හදපු නාට්‍යයක් නොවෙයි. මෙය සම්පූර්ණයෙන්ම මානව දයාව පිළිබඳ කතා කරන නාට්‍යයක්. සරල විදිහකින් තොරව ආදරය පිළිබඳවත් මේ තුළ කතා වෙනවා. ඒ වගේම මනුස්සකම තුළින් සෙෙනහස ලබාදෙන්නේ කොහොමද කියලා, හැමදෙනාටම මට කියන්නට අවශ්‍ය වුණා. කතාව ගලායන්නේ අසූව දශකයේ සිදු වූ සිදුවීමක් ලෙසටයි.
Q වර්තමානයේ තිබෙන ජනප්‍රිය යැයි සම්මත ටෙලිනාට්‍ය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
අධ්‍යක්ෂවරයෙකු ලෙසට අනිකුත් නිර්මාණකරුවන්ගේ ටෙලි නාට්‍ය අවමානයට ලක්කරන්න මම කැමති නැහැ. රූප අමුණලා කුමක් හෝ කතාවක් කියන්න අධ්යක්ෂවරයෙක් විශාල මහන්සියක් වෙනවා. නමුත් මේ අධ්යක්ෂවරයාට මාධ්‍ය ආයතනවලින් වගේම නිෂ්පාදකවරුන්ගෙන් විවිධ බලපෑම් එල්ලවෙනවා. එවිට අධ්‍යක්ෂවරුන්ට හදන්න වෙන්නේ ඔවුන් ඉල්ලන දේවල්.
නමුත් මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙය මෙසේ කරන්න කියා කිසිදු බලපෑමක් මගේ ආයතනය හෝ නිෂ්පාදකයන් මට සිදුකළේ නැහැ. ඒ නිසාම මේ නිර්මාණය මට ඕන විදිහට කරන්න නිදහසක් ලැබුණා.
Q ජාතික නාලිකාව කතා මාලා ඉදිරිපත් කිරිමේදී ඒවා වගකීමෙන් ඉදිරිපත් කරන බව ජාතික නාලිකාවේ නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔබ සිතනවාද?
ඔව්. ඒ පිළිබඳව මට තිබෙන විශ්වාසය තමයි ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ සිටින නිර්මාණකරුවන් අට දෙනා කළ නිර්මාණ දෙස බැලීම. කොළඹ අහස, භාව තීර්ථ, භවතරණ, බොරළු පාර, ඉස්සරහට යන්න වගේ නාට්‍ය තුළින් සමාජයට අහිතකර හෝ සමාජය විකෘතිවන දේ සිදුකළේ නෑ. නාට්‍ය නරඹලා මිනිස්සුන්ට විඳින්න, යහපත් වෙන්න දේවල් නාට්‍ය අංශය සිදුකළා. අපි ඉදිරියට යන්නෙ ලංකාවේ සදාචාරයට සහ සභ්‍යත්වයට ගැළපෙන ලෙස හදාගත් නීතී හා රීති පද්ධතියක් මතයි.
Q ඔබ මෙම නිර්මාණ්ය සඳහා වැඩි වශයෙන් නවකයන් යොදාගත්තා. එය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
ඇත්තටම. මම මේ කාරණය කියන්නෙ බොහොම සතුටින්. ලංකාවේ නවකයන් පිළිබඳව මම දකින දේ තමයි පුපුරන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. දක්ෂතාව, හැඟීම් තිබෙන, ශාස්ත්‍රීය ඥානය තිබෙන පිරිසක් ඉන්නවා. ප්රශ්නය තිබෙන්නෙ මොවුන්ට අවස්ථාව නැති එකයි. වැඩිහිටියෙක් විදිහට තරුණ දායකත්වය ඉරිසියාවෙන් තොරව යොදාගත්තා. මගේ අධ්යක්ෂ තනතුර ඇතැම් අවස්ථාවල ඔවුන්ට දුන්නා. ඒ මොකද මම තේරුම් අරගෙන ඉන්නවා මම අභිමානයෙන් හැසිරිලා හීනමානය සාදාගත යුතු කෙනෙක් නොවෙයි කියලා. වැඩිහිටියන් හැටියට තරුණ පරම්පරාවට මගපෙන්වන කාර්යයයි අපි ඉටුකළ යුත්තේ. එවිට ඔවුන් වැඩේ හරියට කරනවා.
Q ලංකාවේ තරුණ පරපුර ඉදිරියට නොඑන්නේ වැඩිහිටි පරපුර ඊර්ෂ්‍යා කරන නිසා කියලද ඔබ කියන්නේ?
මම හිතන්නෙ මහ ගස් යට කුඩා පැළෑටිවලට වැඩෙන්න අවකාශ නැහැ. නමුත් හැමෝම ඊර්ෂ්‍යා කරනවා කියලා මම කියන්නෙ නැහැ. ඒ වගේම තරුණ දායකත්වය යොදාගන්නා විට හරි පරිස්සම් වෙන්න ඕන. මොකද උචිත කෙනා උචිත තැනට අරගෙන ශක්තිය දුන්නාම එය කරනවා. නමුත් අනුචිත කෙනෙකුට ඒ ශක්තිය දුන්නොත් ඔහු එයට ගරු කරනවා.
කවුද උචිත, අනුචිත කියලා තෝරාගන්න මම දැනගත යුතුයි. නමුත් මහ ගස්යට තණකොළවත් හැදෙන්නේ නෑ කියන දේ සොබාදහමේම දකින්න තිබෙන කාරණයක්.
Q ඔබ නිර්මාණය කළ ඒකාංගික ටින් පැටව් ටෙලි නාට්‍ය අන්තර් ජාතික සම්මාන උළෙල කිහිපයක් පවා නියෝජනය කළා නේද?
2014 වර්ෂයේ අප්‍රේල් මාසයේ තමයි ටින් පැටව් නාට්‍ය විකාශය වුණේ. මගේ සිතුවිල්ලක් තිබුණා කැවුම් කොකිස්වලින් තොරව මිනිස්සුන්ට දැනෙන අවුරුදු කතාවක් නිර්මාණය කරන්න.
ඒ අතර රංග බණ්ඩාරනායක මට හොඳ පිටපතක් ලබාදුන්නා. එය රචනා කරලා තිබුණෙ දිනුක රංගන පෙරේරා. අපි සියලු දෙනා එකතු වෙලා මෙය නිර්මාණය කළා. කතා තේමාව තිබුණෙ වීදි දරුවන් පිළිබඳව. මෙය විකාශය කළ පසු ආයතන කළමනාකාරීත්වය දැඩි ඉල්ලීමක් කළා මෙම නාට්‍යය විදෙස් සම්මාන උලෙළවල් සඳහා යොමුකරන ලෙස.
ඒ අනුව ජර්මනියේ මියුනිච් නුවර පැවැති ප්‍රික්ස් ජුනිසේ සම්මාන උලෙළට යොමුකළා. එහිදී අවසන් වටයට මෙම ටෙලි නාට්‍යය යෝජනා වුණා. පසුව සෝල් ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ විශේෂ සම්මානය සඳහා මෙම නාට්‍ය තේරුණා. රටවල් දෙසිය ගණනක ඉල්ලුම්පත් නවසියයකින් මෙම ටෙලිනාට්‍ය විශේෂ සම්මානයෙන් පුද ලැබුවා.
ඒ වගේම තවත් විශේෂ සිදුවීමක් තමයි සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මානය සඳහා ටින් පැටව් නාට්‍යයේ අසදි දෙව්තිළිණි නිර්දේශ වීම. ඇය නිර්දේශ වනවිට ඇගේ වයස අවුරුදු පහයි. නමුත් මෙය ළමා සම්මානයක් නොවෙයි. ඇය සමග නිර්දේශ වී තිබුණේ වයසින් වැඩි නිළියක්.
Q ඔබේ ඉදිරි නිර්මාණ පිළිබඳවත් මතක් කරමුද?
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හීනයක් තිබෙනවා. ඒ වගේම මම චිත්‍රපට සංස්ථාවට ගොඩ වූ අරමුණක් තිබෙනවා. ඒ තමයි ලංකාවේ තිබෙන ශාන්තිකර්ම සියල්ල නිසිලෙස විද්‍යාත්මක ක්‍රමයකට සංරක්ෂණය කරගැනීම. නමුත් ඒ හීනය තාමත් එසේම තිබෙනවා. එයත් යථාර්ථයක් කරගැනීමට වෙහෙසෙනවා. ඒ වගේම මෙම නිර්මාණය සඳහා උදවු උපකාර කළ ගිරිඋල්ලේ පාලිත ලොකුපෝතාගම, පන්නල කෝකිලා උඩගම යන අයට වගේම නිෂ්පාදක මහත්වරුන්ට, ජාතික රූපවාහිනියට සහ මගේ කාර්යමණ්ඩලයට මගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.