පසුගියදා පැවැති සුමති සම්මාන උලෙළෙහිදී, හොඳම පිටපත් රචනය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා ඇතුළු සම්මාන නවයක් දිනාගත් මද්දහන ටෙලි නාට්‍යයේ නිර්මාණකරුවා සුමිත් රත්නායකය. මේ කතාබහ ඔහු සමගිනි.
Q මද්දහන ටෙලි නාට්‍ය ගැන මුලින්ම කතා කරමු ?
ශාන්ති දිසානායකගේ %හිරු මඬල^ කියන නවකතාව ඇසුරු කරගෙන තමයි මම මද්දහන පිටපත රචනා කරන්නේ. මට හොඳ හරවත් නිර්මාණයක් කිරීමේ වුවමනාව තිබුණා. මම මේ නවකතාව කියවන කොට හිතුණා හොඳ කතාබහක් ඇති වෙන නිර්මාණයක් කරන්න පුළුවන් කියලා. ඒක තමයි මේ නවකතාව ටෙලි නාට්‍ය නිර්මාණයකට යොදා ගන්න හේතු වුණේ. මෙය සම්මාන බලාපොරොත්තුවෙන් සිදුවුණු දෙයක් නෙමෙයි. හොඳ නිර්මාණයක් කිරීම අරමුණු කරගෙන වුණ දෙයක්. එයට සම්මාන හිමි වුණා.
Q මෙවැනි නිර්මාණවලට මාධ්‍ය තුළින් ලැබෙන ඉඩ සහ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයා ගැන ඔබේ අදහස කෙබඳුද?
මම හැමදාම විශ්වාස කළ දෙයක් තියෙනවා. හොඳ නිර්මාණයක් කළොත් එයට ඉඩක් තිබෙනවා. ප්‍රේක්ෂකයා හොඳ නිර්මාණ රස විඳින්න බලාගෙන ඉන්නවා. අපි සමහර වෙලාවට හිතනවා ලාභ හරසුන් නිර්මාණම ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙනවා කියලා. ඒ නිසා එවැනි නිර්මාණවලට ලොකු ඉඩක් ලබාදෙනවා. නමුත් ප්‍රේක්ෂකයා එහෙම නිර්මාණ බලාපොරොත්තු වෙනවා කියලා මම හිතන්නේ නැහැ. මාධ්‍ය මගින් කරන්නේ ප්‍රේක්ෂකයාට එහෙම නිර්මාණ දෙන්න උත්සාහ කරන එක. මගේ නාට්‍ය ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වුණේ. මේ නිර්මාණය නැරඹූ පසු ඔවුන් බොහෝ කැමැත්තෙන් මේ නාට්‍ය විකාශය කරන්න බාරගත්තා. මම කියන්නේ මේ ක්ෂේත්රය තුළ හොඳ නිර්මාණවලට ඉඩක් තියෙනවා. ප්‍රේක්ෂකයාගේ බුද්ධි මට්ටම හරි පහත තිබෙන්නේ කියලා සමහර අය හිතනවා. එය සම්පූර්ණ මුසාවක් කියලා මම හිතනවා. මද්දහන විකාශය වීමත් එක්ක ඔවුන් බොහෝ ඉහළ රස වින්දනයක් ලබන ප්‍රේක්ෂකයන් කියලා මට හිතුණා. සමාජ මාධ්‍ය මගින් ඔවුන්ගේ අදහස් දකින විට මට එය සිතුණා. මේ ගැන ලිපි පළ කරලා තියෙනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයේ ඉහළ පිළිගැනීමක් ලැබුණා. ප්‍රේක්ෂකයන් ඒ තරම් බුද්ධිමත් නැහැ කියලා හිතන පිරිසක් ඉන්නවා. එහෙත් එහෙම නැහැ. හොඳ නිර්මාණ ගෙන ආවොත් ප්‍රේක්ෂකයා තුළ ඒ ගැන හොඳ කියවීමක් තියෙනවා කියලා මම හිතනවා.
Q රංගන ශිල්පියෙකු ලෙස ක්ෂේත්රයට පැමිණි ඔබ මේ ක්ෂේත්රයේ විවිධ භූමිකාවලට යොමු වීම හරහා ඔබ තුළ සිටි රංගන ශිල්පියාට අසාධාරණයක් වුණා නේද?
මම මේ වනවිට අධ්යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක්, ගීත රචකයෙක් යන හැම අංශයකම කටයුතු කරනවා. මම හිතන්නේ මම කලාකරුවෙක් කියලා. සමාජයට කිසියම් වැඩ කොටසක් කරන සහ කලාව මිනිසාගේ යහපත උදෙසා කියලා සිතා කටයුතු කරන කෙනෙක් ලෙස තමයි මම මාව දකින්නේ. මා තුළ සිටින රංගන ශිල්පියාට ඉඩක් තිබෙනවා. ඒ රංගන ශිල්පියාට දායක වෙන්න හොඳ නිර්මාණ සිදු වෙනවාද කියා තමයි නැවත සලකා බලන්න සිදුව තිබෙන්නේ. හරසුන් දීර්ඝ නාට්‍ය තමයි බොහෝ විට නිර්මාණය වෙන්නේ. ඒ නාට්‍යවලට මම රංගනයෙන් දායකත්වයක් සපයන්නේ නැහැ. ප්‍රතිපත්තියක් ලෙස යොමුවෙන්නේ නැහැ. හොඳ අධ්යක්ෂවරයෙක් හොඳ පිටපතක් එක්ක වැඩකට කතා කළොත් මම එයට සම්බන්ධ වෙනවා. එසේ නොමැති නම් බොහෝ අවස්ථාවල මගේ නිර්මාණවල රංගනයේ යෙදෙනවා ඇරෙන්න මම නිර්මාණවලට සහභාගි වෙන්නේ නැහැ. නමුත් වේදිකාව තුළ නම් මම රංගන කටයුතුවලට සහභාගි වෙනවා. මේ වනවිටත් බුද්ධික දමයන්තගේ හැම්ලට් කියන වේදිකා නාට්‍යයේ හැම්ලට්ගේ චරිතය රඟපානවා. මගේ %මී හරක්^ නාට්‍යයත් වේදිකාගත වෙනවා. එහි රංගනයන්ට මම දායක වෙනවා.
Q ඔබ සිනමා නිර්මාණයක් කරන්න යොමු වෙන්නේ නැවත ටෙලි නාට්‍යයකට යොමු වීමට තිබෙන අකමැත්ත නිසාද?
නැහැ. මම සිනමා නිර්මාණයක් කරන්න හිතුවේ ටෙලි නාට්‍ය කරන එක ඇති වෙලා නෙමෙයි. වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන කලා මාධ්‍ය තුනේම වැඩ කළ යුතුයි කියලා මම හිතනවා. ඒ නිසා ඒ මාධ්‍යයන් තුනම අත්නොහැර නිර්මාණ කටයුතුවල යෙදෙන්න කැමතියි. ඒ නිසා තමයි මම සිනමා නිර්මාණයක් කළේ. %රං කොල්ලා^ කියන මගේ සිනමා නිර්මාණයේ පසු නිෂ්පාදන කටයුතු මේ වනවිට සිදුවෙන්නේ. එය හැත්තෑව දශකයේ ළමයෙක් වටා ගොඩනැගෙන කතාවක්. ලබන වසරේදී ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වෙයි. සුභාවිත ටෙලි නාට්‍යයක් කරන්න මට ඒ සඳහා අවශ්‍ය නිදහස ලබාදෙන නිෂ්පාදකවරයෙක් හමුවුණොත් මම හොඳ ටෙලි නාට්‍ය නිර්මාණයක් නැවත සිදු කරනවා. මම දීර්ඝ නාට්‍ය නිර්මාණය කරන්නේ නැහැ. මෙගා නාට්‍යවලට ප්‍රතිපත්තියක් ලෙස මම විරුද්ධයි. ඉතා කෙටි කොටස් සංඛ්‍යාවක් තියන ඉතා ගුණාත්මක ටෙලි නාට්‍යයක් හදන්න නිෂ්පාදකවරයෙක් ආරාධනා කළොත් මම ඒ ටෙලි නාට්‍ය කරනවා.
Q මෙගාවලට ඔබ ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ වෙන්නේ ඇයි?
ටෙලි නාට්‍ය කලාවෙන් මිනිසුන් ඥානනය කළ හැකියි කියලා මම හිතනවා. රූපවාහිනිය ගුණාත්මක වෙන්න ඕන. ලංකාවට රූපවාහිනිය ගෙන ආවෙත් අධ්‍යාපනය මූලික කරගෙන. විනෝදය කියන දේත් ඇතුළත්ව තිබුණා. ඒ වගේම රූපවාහිනිය නිවසේ ප්‍රේක්ෂකයා එක්ක ගොඩක් බද්ධ වෙලයි තියෙන්නේ. මම ඒ නිසා නිතරම හිතන දෙයක් තරමයි රූපවාහිනී වැඩසටහන් ගුණාත්මකව සැකසෙන්න ඕන කියන දෙය. හරවත් ටෙලි නාට්‍ය තුළින් මේ සමාජය යහපත් කරන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. ඒ වගකීම නිර්මාණකරුවාට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මම එවැනි නිර්මාණ කරන්න උත්සාහ කරන්නේ.
ඡායාරූප - කවිත් මිලින්ද