අමරදේවයන් අප අතරින් වෙන්ව වසරක් ගතවී අවසන්ය. එසේ වුවද අමරදේවයන් අප අතර නැතැයි මොහොතකට හෝ නොසිතෙන අරුමය නම් පුදුමාකාර යැයි ඔබ සිතුවා නොවෙද? සංගීත ලොවේ නැගිය හැකි ඉහළම හිණිපෙත දක්වා සපැමිණි නමුත් කිසිදිනෙක අහංකාරයෙන් හිස උදුම්මවා නොගත් අමරදේවයන් වදනකිනිදු කිසිවෙකුට රිදවීමක් නොකර තම ජීවිතයේදී ලබාගත් මහා දැනුම් සම්භාරයෙන් සැමවිටම උත්සාහ දරන ලද්දේ මුළුමහත් රටට සෙතක් වනු දැකීමටය. ඔහු විසින් හෙළි කරන ලද තම ආරම්භය පිළිබඳ මේ කතාව අප ඔබවෙත ගෙන එන්නේ ඒ සොඳුරු වූ මිනිසා පිළිබඳ ඔබ මතකයේ ඇති යටගියාව නැවත සිහිපත් කරවීමටය.
වන්නකුවත්තවඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා නම් වඩු කර්මාන්තයෙහි කෙළ පැමිණි මොරටුව කොරලවැල්ල නම් ගමේ විසූ දක්ෂතම නිර්මාණ ශිල්පියාගේ නිවසට මම ඔබ කැඳවාගෙන යමි. එන්න මා සමග ඔබටද එහි මේ දැන්ම යා හැකිය. අල්මාරි පුටු ආදියෙහි ලියකම්, මල්කම් මවන ඔහුගේ නිවසේ හැම තැනකම පාහේ මොරටු පුරවරයේ හා ඒ අවට සංගීත ඇඳුරන්ගේ තත් බිඳුණු වයලීන පිරී තිබේ. ඒවායෙන් එම නිවස හැඩවී ඇතැයි ඔබ දකිනවා වන්නට පුළුවන. ජිනොරිස් පෙරේරා මහතා බොදුනුවෙකි. නමුත් ඔහුගේ බිරිඳ වූ බලාපුවඩුගේ වෙස්ලියානා මැන්දිස් මෙතෝදිස්ත ආගමේය. ඔය සිටින හුරුබුහුටි ඒ කුඩා දරුවාගේ නම ඇල්බට්ය. ඒ පුංචි කාලයේ ඔහුට තැබෙන නමයි. ඔබටත්, මටත් ජීවිත කාලයට ඇත්තේ එක නමක් නෙවේද? පුංචි ඇල්බට්ට ජීවිතයේ තරුණම අවදියේ වෙනත් නමක් දමන්නට වෙන්නේ ඇයි දැයි මම ඔබට පසුව කියමි.
ඇඳ, පුටු, මේස, අල්මාරිවලට කලාව කාවද්දන මේ නිවසෙන් ඇහෙන ඒ නාදය කුමක්දැයි ඔබට කිව යුතුමය. ඒ ජිනොරිස් මහතා වයලීන සුසර කරන නාදයයි. නිසි ස්වරය එන තෙක් සුසර කරමින් කැඩුණු වයලීන සහ තම අතින්ම අලුත් වයලීන හදන ඔහු තමන්ගේ කැඩුණු වයලීනය හදාගන්නට ආ මොරටු පුරවරයේ සංගීත ගුරුවරු හා සංගීතකරුවන් හැරුණු කොට ඔහුගේ කුඩා පුතු මේ කාර්යයට සිය ජීවිතයම කැප කරාවි යැයි කවුරුත් නොසිතුවේය. හත් අවුරුදු වියට පා තැබූ එම පුංචි කොලු පැටියා දෙස බලන්න. ඔහු තවමත් ඇල්බට් පෙරේරාය.
මෙතැන් සිට ගොනුවෙන්නේ ඇල්බට් නම් කුඩා දරුවාගේ අප්‍රකට කතාවය. ඇල්බට්ගේ උපන්දිනයට වයලීනයක් ලැබුණේ ඔහුගේම පියාගෙනි. පුංචි කොලු පැටියා සංගීතයට අත්පොත් තැබුවේ එලෙසය. වරෙක පන්සලේ දොරකඩ අස්න ගායන කරන ඔහු මෙතෝදිස්ත මව අනුව යමින් පල්ලියේ කැරොල් ගායනයටද එකතු විය. පෙර අපර දෙදිග සංගීතය ඇල්බට් පෙරේරාට හුරුවූයේ එලෙසය.
චාර්ල්ස් පෙරේරා නම් වූ මේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා තම බාල සහෝදරයාට රාගධාරී සංගීතය හඳුන්වා දෙන්නට මුල්වූයේ කදිමට ගයන තම සහෝදරයාට හොඳ තල්ලුවක් දෙමිනි.
ගමේ පාසලේ මුල් ගුරුවරයා වූ කු.ජෝ පෙරේරා මහතාත්, චාර්ල්ස් පෙරේරා නම් වූ වැඩිමල් සොහොයුරාත් එක්ව කුමාරතුංග මුනිදාසයන්ගේ ඇසුරට පත්කරන ලද ඇල්බට් පෙරේරා හොඳින් නිවැරදි භාෂා ඥානය ලබාගත් අතර, පොඩි අක්කා වූ ජස්ලින් පෙරේරා සහ ගමේ පාසලේ මුල්ම සංගීත ගුරුවරයා වූ ඩබ්ලිව්.ජේ. ප්‍රනාන්දු මහතාද ගැටවරයෙකු වෙමින් සිටින ඇල්බට් පෙරේරාගේ හඬ දියුණු කරගන්නට උදව් කළ පිරිසය.
පාසල් අධ්‍යාපනය නිමවා වෘත්තීය වශයෙන් සංගීතයට පිවිසි ඇල්බට් පෙරේරාට අතදෙනුයේ අශෝකමාලා චිත්‍රපටයේ සංගීත නිර්මාණය බාරව කටයුතු කළ මොහොමඩ් ගවුස් සංගීතවේදියාය. ඔහුගේ අත දීමෙන් ඇල්බට් පෙරේරා නම් ඒ ආධුනික සංගීත ශිල්පියාගේ නිර්මාණ රීතිය ගොඩනැගිණි. ඉන් අනතුරුව චිත්‍රසේන, ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ප්‍රේමකුමාර යන කලාශිල්පීන් ඔහුගේ සංගීත නිර්මාණ රසිකයන් වෙත ගෙන යෑමට උපකාරයක් වූ අතර, පණීභාරතයන්, අල්ගම කිරිගණිත, රංගම ගුණමලා, නිත්තවෙල උක්කුවා, ගල්පොත්තේපොළ සුරඹා යන පාරම්පරික ආචාර්යවරුන්ගේ ඇසුරද ඇල්බට් පෙරේරාට ලැබිණි.
ඒ 1950 වසරයි. මුද්‍රා නාටකයක් ලෙස බිහිවූ සැළලිහිණි සන්දේශයහි සමුද්‍රඝෝෂ විරිතෙන් කවිගායනා කිරීමේ දුලබ වාසනාව ඇල්බට් පෙරේරා තරුණයාට ලැබිණි.
සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳි මුනි සිරි පා තඹර
සකිසඳ පෙනේ සමනොල ගල නැගෙනහිර
මෙහි සකිසඳ යන අවසන් පේළිය ගයද්දී වේදිකාවේ මදින් මද දිගහැරුණු තිරය අතරින් සෝමබන්දු විද්‍යාපති විසින් නිර්මාණය කරන ලද සමනොල කන්දේ චිත්‍රය නරඹන්නන්ට දකින්නට ලැබුණු අතර, ඒ සමගම සාදු නදින් ප්‍රේක්ෂකාගාරය රැව් පිළිරැව් නැඟිණි. ඒ අමරදේවයන්ගේ උපතයි. ඇල්බට් පෙරේරා නම් වූ ඔහු අමරදේව නමින් නව ජන්මයක් ලබන්නට මගපෑදීම එසේ කියන්නට හේතුවය.
මෙම උපත දෙන්නට මුල්වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය. මතුයම් දිනෙක ජගත් කීර්තිය ලබමින් පිට දේශ දේශාන්තරවල ශ්‍රී ලංකාව නියෝජනය කරන කලා ශිල්පියෙකු වීමේ වාසනාගුණයක් මොහුට ඇතැයි දුරදක්නා නුවණින් දුටු එතුමන් ඇල්බට් පෙරේරා යන පෘතුගීසි නම වෙනුවට අමරදේව නම් දේශීය නමින් පෙනීසිටීම යුතු යැයි පවසමින් ඇල්බට් පෙරේරා යන නම ඉවත් කර අමරදේව යැයි නම් තැබීය. අප දැන් මෙතැන් සිට පවසන්නේ අමරදේවයන් පිළිබඳ තොරතුරු බව සලකන්න.
සැළලිහිණියේ කවි ගායනයට සාදුකාර ලැබූ අවස්ථාවේ එහි උන් පිරිස අතර මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් සමග ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතුවරයා වූ මාධ්‍යවේදී ඩී.බී. ධනපාල මහතාද එහි වූහ. කවි ගායනයෙන් මෝහනයට පත් ඔවුන් දෙදෙනා ඉන්දියාවේ ලක්නව්හි භාත්කණ්ඩේ සංගීත පීඨයට අමරදේවයන් යැවීම සඳහා ලංකාදීප පුවත්පත අනුග්‍රහයෙන් අමරදේව ලංකාදීප ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවන්නට කටයුතු කළේය.
ඒ අතර ගුවන්විදුලි සේවයේ ආරාධනය පරිදි ලංකාවට පැමිණ ශිල්පීන් ශේණිගත කිරීම් සිදුකළ ලක්නව්හි භාත්කණ්ඩේ විද්‍යාලයේ පීඨාධිපති ශ්‍රී කිෂ්ණ නාරායන් රතන්ජංකර් පඬිතුමන් විසින් අමරදේවයන් විශිෂ්ට ගණයේ ගායන හා වයලීන වාදන ශිල්පියෙකු වශයෙන් ශ්‍රේණිගත කිරීම හරහා රසික ජනප්‍රසාදයට පත්වීමද මෙම ශිෂ්‍යත්ව අරමුදල බිහිවීමට හේතුකාරක විය.
පස් වසරක අධ්‍යයන කාලයෙන් පසු නැවත මවුරටට පැමිණි අමරදේවයන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ සිංහල වාද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස වෘත්තීය ජීවිතය ඇරඹුවේය. එතැන් සිට වූ සියල්ල ඔබත්, මමත් හොඳින්ම දන්නා හෙයින් නැවත නොලියමි. ඔහු තරම් ගරු සම්මානයට, සම්භාවනාවට පාත්‍ර වූ වෙනත් සංගීතඥයෙක් නැත.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් අසූනව වැනි විය එළැඹෙන්නට මසක් පමණක් ඉතිරිව තිබියදී දැයෙන් සමුගත්තේ සංගීත ක්ෂේත්රයට කළ හැකි විශාලතම සේවාවකට සිය අමරණීය දායකත්වය දක්වමිනි. ශ්‍රී ලාංකේය සංගීතයේ අමරදේව යුගය පිළිබඳ හදාරන්නට, සංගීතයේ උන්නතිය පිළිබඳ කටයුතු කරන්නට, නිදහස් තැනක් ඉදිවේවා යැයි එතුමා නිරන්තරයෙන් දැරූ අදහසකට අනුව පසුගියදා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අමරදේව අසපුව නමින් ස්ථානයකට මුල්ගල තැබුණු අතර, එය සුවහසක් සංගීත රසිකයන්ටත්, සංගීත ශිල්පීන්ටත් සංගීතය විෂය හදාරන සිසුන්ටත් නිසිමග යමින් සිය නිර්මාණ කටයුතුවල යෙදෙන්නට මං සලසනු ඇත.
ඉතිං ඔහු මියගියායැයි සිතන්නට අපට අවස්ථාවක් තිබේද? නැත. ඔහු නික්ම ගිය මුත් අප අතරට පැමිණ සිටියි. ඔහුගේම අතිජාත මිත්රයෙකුව සිටි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවසන පරිදි ආවොතින් යායුතුය. නොගොසින් ආයෙත් එන්නට බැරිය යැයි අපිද සිතන්නෙමු. එහෙයින් අපි මගබලා සිටිමු. අමරදේවයන් නික්ම නොගොස් නැවත අප අතරට එනතෙක් හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, සසර වසන තුරු, නිවන් දකින තුරු, පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා, හේතු වාසනා...!