ගිරිරාජ් කෞෂල්‍යගේ දෙවන සිනමා නිර්මාණය වන සුහද කොකා පෙරේදා (23දා) සිට රීගල් ප්රමුඛ CEL මණ්ඩලයේ සිනමාහල්වලදී ප්‍රදර්ශනය කිරීම අැරඹීය. දේශපාලන ප්‍රහසනයක් ලෙසින් නිර්මාණය කෙරුණු සුහද කොකා නිෂ්පාදනය ද වීඩියෝ ටීම් ආයතනය විසිනි.
සිනමාපටය ආරම්භ වන්නේ මැතිවරණ ව්‍යාපාරයකිනි. රාජමන්ත්රී මන්ත්‍රීතුමා තමාගේ ආසනය පුරා මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටී. නමුත් අවසානයේදී මැතිවරණ ප්‍රතිඵලවලට අනුව රාජමන්ත්රී පරාජය වී ඇති බව පෙනේ. මන්ත්‍රී හඬා වැළපේ.
මේ මොහොතේ ඔවුන්ට සුභ ආරංචියක් ලැබෙයි. එනම් වැඩිම මනාප ලබාගත් මනාප ලැයිස්තුවේ මුලින්ම සිටි ධනංජය ඇමතිතුමා සතුට උහුලාගැනීමට නොහැකිව හෘදයාබාධයකින් මිය යෑමේ පුවතයි. එතුමා මිය යෑමෙන් පුරප්පාඩු වන ස්ථානයට පත්වන්නේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින රාජමන්ත්රී තුමාය.
රාජමන්ත්රී වටා සිටින කළු මුදලාලි ඇතුළු මුදලාලි කණ්ඩායමට (ව්‍යාපාරිකයන් පිරිසට) රාජමන්ත්රී තුමාව ඇමතිවරයෙකු කරගැනීමට අවශ්‍ය වෙයි. එතැන් සිට විවිධ උපක්‍රම යොදමින් රාජමන්ත්රී මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයේ සිත දිනාගැනීමට උත්සාහ දරමින් ඇමතිවරයෙකු වීම දක්වා යන ගමන හාස්‍ය උපදවන සිදුවීම් මාලාවක් සමග සිනමාපටය තුළ දිග හැරේ.
අවසානයේදී රාජමන්ත්රී ඇමතිවරයෙකු වශයෙන් පත්වෙයි. නමුත් රාජමන්ත්රී ඔහුට ඇමතිවරයෙකු වීමට ශ්‍රමය, ධනය කැප කරමින් උදව් උපකාර කළ සියලු දෙනා අමතක කරමින්, ඔවුන්ව නොසලකා හරිමින් තම ඇමති ධුරයේ වැඩ බාර ගැනීමට පිටත්වෙයි. ඔහුට උදව් කළ සියලුදෙනා අසරණව බලා සිටී.