කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘ගමට කලින් හිරු’, සුනිල් එදිරිසිංහ ගායනා කරන ‘මහ වැස්සක් බිමට හෙළා’ (පද රචනය හා සංගීතය), නන්දා මාලිනී ගයන ‘වහින්නට හැකිනම්’, වික්ටර් රත්නායකගේ 'එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට' හා හර්ෂණ දිසානායකගේ 'දිය බෙරලිය' හා ආදී ජනප්‍රිය ගීත ගණනාවක පද රචනය හා සංගීත තනු නිර්මාණ ශිල්පියා වූ විශාරද සුනිල් දයානන්ද කෝනාර මහතා ඊයේ (07දා) මෙලොවින් සදහටම සමුගත්තේය.
මිය යන විට 64 වන වියේ පසු වූ එතුමා දින කිහිපයක සිට රෝගාතුරව දඹදෙණිය රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් හිඳ ඇත. ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු වශයෙන් දීර්ඝකාලීන සේවයක නිරතවී විශ්‍රාම ලබා සිටි හෙතෙම 2006 වසරේ රාජ්‍ය සම්මානද දිනාගනු ලැබ තිබේ. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 10 වන සෙනසුරාදා සවස 4.00ට දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අපි ඔහුගේ මතකයන් පිළිබඳව ප්‍රවීණ සංගීත අධ්යක්ෂ දර්ශන වික්‍රමතුංගගෙන් විමසා සිටියෙමු.
විශාරද සුනිල් දයානන්ද කෝණාර
"පවන සංයුක්ත තැටිය අපේ ගෙදර ගෙනාවාම, එහි ගීත ඇහුවම, හිතට සුනිල් දයානන්ද කෝනාරයන් ගැන පුදුම හැඟීමක් දැනුණා. එක්තරා කාලෙක ජනතා විමුක්ති පෙරමුණේ කලා කටයුත්තකට කතා කළාම සුනිල් දයානන්ද කෝනාරයන් එනවා කිව්වම මාත් බලන් හිටිය කොයි වගේ මනුස්සයෙක්ද කියල. බෑග් එකකුත් එල්ලගෙන අත්දිග ෂර්ට් එකක් කොටට නවල කෝචිචියෙ නැගල ආපු සුනිල් අයියා කියන සරල මනුස්සයා වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ පළවෙනි හමුව. ඔහු මිනිස්සුන්ව පුදුමාකාර විදියට අගයන්නෙක්.
ඒත් එක්කම හර්ෂණ දිසානායකව සංගීත ක්ෂේත්රයට ගේන්නෙ ඔහුයි. හර්ෂණ වගේ ගෝලයො රොත්තක් එතුමාට ඉන්නවා. ගෝලයො හදන්න මහන්සි ගත්තා මිස කසාද බඳින්නවත් උනන්දුවක් තිබුණෙ නෑ. එනිසාම කසාදයත් පරක්කු වුණා. අවුරුදු පහක විතර පොඩි දුවෙක් ඔහුට ඉන්නෙ. ඔහු සියලු දේවල් කළේ මිනිස්සුන්ට ආදරෙන්. ඔහු අනිත් මිනිස්සු දිහා බලල සතුටු වෙච්ච මිනිහෙක්. තමන්ගෙ නිර්මාණ ටිකක් එකතු කරගෙන මගේ ප්‍රසංගයක් මේක කියන්න උත්සාහ දරපු කෙනෙක් නෙවෙයි. හැමවෙලාවෙම අතිනුත් වියදම් කරගෙන ළමයින්ගෙ ප්‍රසංග කළා.
පොඩි ළමයින්ගෙ කැසට්පට කොච්චරක් නම් ඔහු නිර්මාණය කළාද? නිහතමානීකම මනුස්සකම හා හොඳම දේ මිනිස්සුන්ට දෙන්න බලාගෙන ඉන්න එක ආදී තත්ත්වයන් යටතේ ඔහුගේ වියෝවීම ඇත්තටම හදවතට දරාගන්න අමාරු කාරණයක්. අසනීපවලටත් බොහොම බයකිනුයි ඔහු හිටියෙ. අසනීප වෙලා ඉද්දි රෝහලට සුගත් සෝමවීරයි, මමයි නිර්මාණය කරපු සින්දුවක් අරන් ගියාම අසනීප මැද්දෙත් ඔහු බොහොම ඉහළින් ඒ ගැන කතා කරල තිබුණා. කවුරුහරි අලුත් නිර්මාණකරුවෙක්ව ලෝබකමක් නැතුව අගයන මනුස්සයෙක්.
තමන් මතුවෙන්න හදපු කෙනෙක් නෙවෙයි. ඇත්තටම අද සංගීත ක්ෂේත්රයේ නම් දරා සිටින රෝහණ ධර්මකීර්ති, පාලිත ලොකු පෝතාගම, හර්ෂණ දිසානායක වැන්නවුන් එතුමාගේ ගුරුහරුකම් තුළින් අපට ලැබුණු දායාද කියන්නට පුළුවන්.සංගීතඥයෝ ගීත රචනා ලිව්වට ගහට පොත්ත වගේ නිර්මාණයක් කළානම් ඒ සුනිල් දයානන්ද කෝනාරම තමයි. මහ වැස්සක් බිමට හෙළා ගීතය ගත්තොත් එහෙම ගීතයක්. රචනාවත් ඉහළ මට්ටමේ තිබෙන ප්රශස්ත මට්ටමේ ගීතයක් නිර්මාණය කරන්න ඔහු සතු හැකියාව ප්‍රබලයි. ඔහු සතුව ප්‍රබල ගීත රචනා පෞරුෂයක් තිබුණා. සුනිල් දයානන්ද කෝනාර කියන්නේ මේ ක්ෂේත්රයට වටිනා මනුස්සයෙක්. හැම කලාකරුවෙක්ගෙම කැසට්පටයක ඔහුගේ ගීතයක් තිබෙනවා. ඔහුගේ වියෝවීම දරාගන්න බැරි පාඩුවක්"