අමරනාත් රණතුංග ගිටාරය සහ සංගීතය සම්බන්ධයෙන් ලංකාවට සිටින අති විශිෂ්ටයෙකු වන අතර, ඔහුගේ අද්විතීය හැකියාවන් මින් පෙරාතුවද ලාංකේය වේදිකාව තුළ පැසසී ඇත. දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසින් කටයුතු කරන ඔහු, තම ප්‍රසංග පෙළක් පැවැත්වීෙම් අරමුණින් පසුවන අතර මෙම කතාබහ ඒ සම්බන්ධයෙනි.
Q විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු තවමත් සිදුවෙනවාද?
කරගෙන ගිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි වැඩ කටයුතු තාමත් ඒ විදියටම සාර්ථකව කරගෙන යනවා. අද වෙනකොට මගේ සිසුන් 34ක් ලංකාවේ රජයේ පාසල්වල ක්ලැසිකල් සංගීතය උගන්වන්නට දායක වෙනවා. හය දෙනෙක් පෞද්ගලික පාසල්වල ඉන්නවා. ළමයින්ගේ උනන්දුවත් එන්න එන්නම වැඩිවෙලා කියන එක සමස්ත ලංකා තරගවලට ඉදිරිපත් වීම ඇසුරෙන් මට දකින්න ලැබෙනවා.
ඒක ලොකු සතුටක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළේ මෙවර සිවුවැනි වසර විශේෂ ගිටාර් වාදනය හැදෑරීම සඳහා සිසුන් 14 ක් සිටිනවා. එයත් ඉහළ නැගීමක්. මගේ ලොකුම සතුට තමයි පත්වීම් අරගත්තු ගුරුවරු ඈත පාසල්වලට යාම. තනි මට මේක ව්‍යාප්ත කරවන්න අමාරුයි. නමුත් මේ විදියට මගේ සිසුන් හරහා රට පුරාම මේ ක්ලැසිකල් ගිටාර් වාදනයන් සිදුවෙනවා දකින්න ලැබීම මට සතුටක්. ඒ ළමයි ලන්ඩන් විභාගවලටත් සහභාගි වෙන්නට අයදුම් කරලා තියෙනවා.
Q අවසානයට පැවැත්වූ සංදර්ශන පෙළ ගැන කතා කළොත්?
පහුගිය අවුරුදු හතරෙදි මම විශ්වවිද්‍යාල ළමයින්ගෙත් සහභාගිත්වයෙන් ප්‍රසංගයක් කළා. ඒකට මමත්, ළමයිනුත් පමණයි සම්බන්ධ වුණේ. ඒක තමයි ඒ විදියට දකුණු ආසියාවටම තිබුණු කොන්සර්ට් සීරීස් එක. මොකද ක්ලැසිකල් සහ ෆ්ලැමෙන්කෝ ගිටාර් වාදනය දකුණු ආසියාවේ කිසිම විශ්වවිද්‍යාලයක නැහැ. ක්ලැසිකල් ගිටාර් පමණක් ජපානයේ උපාධියක් විදියට තියෙනවා.
නමුත් ක්ලැසිකල් සහ ෆ්ලැමෙන්කෝ ගිටාරය උපාධියක් විදියට ආසියාවෙන්ම තියෙන්නෙ ශ්‍රී ලංකාවේ විතරයි. එහි සිලබස් එක නිර්මාණය කළේ මම. ඒ කොන්සර්ට් එකේ නම 'ආන්දාන්තේ ටූ ඇලිට්රෝ' (Andante to Alletro) ආන්දාන්තේ කියන්නෙ හෙමින්, ඇලිට්රෝ කියන්නෙ වේගයෙන්. ලංකාව පුරා ඒ කරපු කොන්සර්ට් 13 ක සීරීස් එක ජනප්‍රිය වුණා.
Q ඔබේ තනි පුද්ගල ගිටාර් වාදන ප්‍රසංගය පිළිබඳ යමක්?
දැන් මගේ කොන්සර්ට් සීරීස් එකක් කරන්නයි සූදානම් වෙන්නෙ. මේකෙ අරමුණ මේ ගිටාර් වාදනය ලංකාවෙ ව්‍යාප්ත කිරීමයි. ජුනි 17 වැනි සෙනසුරාදා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස හයයි තිහට ප්‍රසංගයක් පැවැත්වෙනවා.
දෙවැන්න ජූලි 15 මහනුවර චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී පවත්වනවා. තෙවැන්න අගෝස්තු 26 වැනිදා කුරුණෑගල සිටි හෝටලයේදී පවත්වනවා. සැප්තැම්බර් 16 වැනිදා හලාවත සුදසුන ශාලාවේදී සිවුවැන්න පැවැත්වෙනවා. තවම දින නියමව නැතත් පස්වැන්න රත්නපුරයේදී පැවැත්වීමට නියමිතයි.
Q ගීතයෙන් මිදී සංගීතය දෙසට යන්නේ ඇයි?
ක්ලැසිකල් සහ ෆ්ලැමෙන්කෝ ගිටාරයට ලෝකයේ දාස් ගණන් නිර්මාණ තියෙනවා. පාසල්වල සිලබස් ගත්තත් ඒවයේ කොහොමත් ගීත නැහැ. තියෙන්නෙ සංගීතය විතරයි. ඒ දේවල් වාදනය කරන්න වාදකයා ගැඹුරු ශිල්පීය ක්‍රම හුරු වූවෙකු විය යුතුයි. අන්න ඒ වාදකයා බිහි කිරීමේ ගුණාංගයයි මම හදන්නේ. ලංකාවෙ ගීත ඉතා ජනප්‍රිය නිසා ගොඩක් අය හිතනවා ගීතයෙන් තොර සංගීතයක් නැහැ කියලා.
නමුත් සංගීතය තමයි ප්‍රබල. සංගීතය විශ්ව භාෂාවක්. සිංහල ගීතය සිංහල ගායකයෙකුට ලෝකෙ ඕන තැනකට ගිහිල්ලා පෆෝම් කරන්න අමාරුයි. නමුත් ගිටාර් වාදනයකට එහෙම සීමා මායිම් නැහැ. සංගීතය විශ්ව භාෂාවක්. මම ඒක නියෝජනය කරනවා සහ ඒක ව්‍යාප්ත කරන්නට දැඩි උත්සාහයක් දරනවා.
Q මින් පෙර සිදුකළ නිර්මාණ අත්දකින්නට විදියක් තිබෙනවාද?
මම මුලින්ම පොතක් ලිවුවා ක්ලැසිකල් සහ ෆ්ලැමෙන්කෝ ගිටාරය ගැන සීඩී එකකුත් එක්ක. ඒ සමග මම හඳුන්වාදීම් සිදුකළා. දැන් සිදුකළ යුත්තේ ව්‍යාප්ත කිරීමයි. මගේ දෙවැනි පොත 'වාදකයෙකු බිහිවීම' නමින් සිදුකළා. එයට පුස්තකාල අනුමැතිය ලැබී තිබෙනවා වගේම විශ්වවිද්‍යාල පුස්තකාල තුළ ඒ පොත තියෙනවා. මගේ දෙවැනි සීඩී එක Guitar Unknown සහ තුන්වැනි සීඩී එක Return to Reality නමින් සිදුකළා.
Q මෙතෙක් ලංකාවේ ක්ලැසිකල් ගිටාරය වෙනුවෙන් සිදුකළ මෙහෙවර?
අවුරුදු දෙකකට කලින් ක්ලැසිකල් ගිටාර් වාදනයට ආචාර්ය උපාධියක් තියෙන ඇමෙරිකානු ජාතිකයෙකු ඒෂියන් ගිටාර් ෆෙඩරේෂන් එකෙන් එවලා තිබුණා. ඒ ලංකාවෙ ක්ලැසිකල් ගිටාර් ප්‍රචලිත කරන්නටයි. එහෙත් ඔහු ඇවිල්ල කිවුවෙ මට තවත් කරන්න දෙයක් නැහැ. ලංකාවෙ ක්ලැසිකල් ගිටාර් ප්‍රචලිත වෙලා ඉවරයි කියලයි. ඔහු එය ඇමෙරිකාවට ගිහිල්ලත් පවසලා තිබුණා.
ආසියාවේම වැඩිම ගෝල පිරිස ක්ලැසිකල් ගිටාර් සම්බන්ධයෙන් ඉන්නෙ අපටයි. ඒ වගේම ඉන්දියාවෙ ඉන්න හොඳම ක්ලැසිකල් ගිටාරිස්ට් වුණු ආකේෂ් සාහා පසුගිය වසරේ ෂෝ එකකට ලංකාවට පැමිණියා. ඔහු පැවසුවෙත් ඉන්දියාවට වඩා අති සුවිශේෂී තැනක ලංකාවෙ ක්ලැසිකල් ගිටාර් තියෙනවා කියලයි. ඉන්දියාවට ක්ලැසිකල් මියුසික් තිබුණට ලංකාවට ළං කරන්නවත් තරමට ක්ලැසිකල් ගිටාර් විහිදිලා නැති බව ඔහු පිළිගත්තා. මට ඕන ඒ තත්ත්වය තවත් ඉස්සරහට අරගෙන යන්නයි.
විමසීම් - 077 0 057 479