සිනමා කර්මාන්තය කඩාවැටී ඇතැයි පසුගිය වකවානුව පුරා පැතිර ගිය අඬෝවැඩියාව යාන්තමින් ගොඩදාගන්නට අතීතය හා බැඳුණු කතාවලට හැකිවුවත් තාරුණ්‍යය ඉලක්ක කරගත් නවතම තේමාවේ සිනමා නිර්මාණ බිහිවූයේ අඩුවෙනි. ප්රශස්ත සිනමාවක් යන ලේබලය යටතට ගැනුණු බොහෝ චිත්‍රපට සිල්ලර ගණයේ හෝ සිනමා උලෙළකට ඉදිරිපත්කර සම්මානයක් දෙකක් දිනාගෙන ඒ හරහා එම සිනමාපටය මාකට් කර, ප්‍රේක්ෂකයන් අද්දවා ගන්නට සැලසුම් කළද ඒවා දින 100 ක් වත් නොගෙවා ගැලවී ගිය අවස්ථාද බහුලය. නමුත් පසුගිය 12දා සිනමාවට පෑයූ 'දේදුනු ආකාසේ' ඒ ඉරණමෙන් සිනමාවේ ගමන් මග වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වනුයේ මෙතෙක් සිනමාව තුළ වූ වට්ටෝරු ස්වභාවයෙන් මිදෙන්නට එහි සමස්තයටම හැකි වී තිබීම හේතුවෙනි.
කතාන්දරය දිගහැරෙන්නේ ප්‍රේක්ෂකයාට කිසිම චිත්ත රූපයක් මවා ගන්නට ඉඩ නොතබමිනි. එක්තරා අවස්ථාවක තරුණයෙකු රිය පදවාගෙන යන බව පෙනෙන්නට ඇතත්, ඔහු සමීපයේ තවත් කිසිවෙකු සිටිනවාය යන්න අඟවනු විනා ඒ කවරෙක්ද යන්න නොපෙන්වයි. නමුත් රිය අනතුරට පත්වූ අවස්ථාවේදීද මහා අඳෝනාවක් පරිද්දෙන් මිය ගොස් ඇති තැනැත්තා කවරෙක්ද යන්න ඉඟි කරනු විනා වෙනත් කිසිවක් සිතාගන්නට ඉඩ තබා නැත. මත්වතුර දුක නැති කිරීමට යොදාගන්නා නිශ්ඵල පානයක් ලෙස මෙහිදීද, කරළියට පැමිණ ඇතත්, අතීතයේ පරසතුමල්හි ගාමිණී ෆොන්සේකා වගේ වෙන්නට හේමාල්ට එහි ඉඩක් නොතැබීම සැබවින්ම අගය කළ යුතු වූවකි. හේමාල් නර්තන ශිල්පියෙකු පරිද්දෙන් යෙදෙන රංගනය තුළ ඇති ශිල්පීය ලකුණු මෙතෙක් ලංකාවේ නළු නිළියන්ට නටන්න බැරි බව කියන කතාවට තිත තැබීමකි. හේමාල් නටන්නේ පොළොව ඇද වුවත් නටන්න පුළුවන් එකාට නටන්නට හැකිය යන තැන සිට බව ඔහුගේ ඉරියව් නිරීක්ෂණය කරන්නෙකුට එකවර පෙනී යන්නකි. කෙසේවෙතත් දේදුනු ආකාසේ නැටුම් අධ්‍යක්ෂණය කළ ගයාන් ශ්‍රීමාල් සහ සංඛ සිනමාවට නවතම ආරක් ගෙනෙන නර්තන වින්‍යාසයක් එක් කළ දෙදෙනෙකු වශයෙන් හඳුන්වන්නට බාධාවක් නොවේ. උදාර සමරවීර පසුබිම් සංගීතයෙන්ද ඉතාම හොඳ සහයක් ලබාදී ඇති බව පෙනේ. දේදුනු ආකාසේ කතාව අපි නිතර දකින සිනමා කතාන්දරයකින් බැහැරය. සරසවි සිසුන් සම්බන්ධ බොහෝ නිර්මාණවල රැඩිකල් බව පෙන්වීම සඳහා යොදාගත් වැඩිහිටියන් නොතකන හිතුවක්කාරකම් මෙහි නොවේ. තම මවුපියන්ගේ අරමුණු අංක එකෙහි තබා ඒ වෙනුවෙන් තමන්ගේ හිතට දැනෙන ආදරය සඟවාගන්නා සමුද්‍ර නම් තරුණයා කෙරෙහි වැඩිහිටියන්ගේ සිත් තුළ දැඩි ආදරයක් හටගන්නේ නම් එය ඉතාම සාධාරණය. තම ජීවිතය තමන්ගේය, එයට අවශ්‍ය අය තීරණය කළ යුත්තේ තමන්මය කියන හැඟීම මෙහිදී පෙනෙන්නට නැතිවාක් මෙන්ම ආදරය යන මනෝභාවය දෙස හෙළා ඇති සානුකම්පිත බැල්ම ඉතාම ප්‍රශංසනීයය.
සමුද්‍ර නම් ධනවත් තරුණයාට විහඟි නම් මධ්‍යම පාන්තික තරුණිය මුණගැහෙන්නේ සරසවි ජීවිතය තුළය. සරසවිය තුළ කුමන බැඳීම් පැවතියත් එයින් බැහැර වූ කල එම බැඳීම් යටපත් වී යන ආකාරය ඉතා සියුම්ව මෙම කතාව තුළින් මතුවෙයි. විහඟි නම් තරුණිය ඉතා අනපේක්ෂිත අයුරින් සිය ආදරය දිනූ තරුණයා සමග සමීප ඇසුරකට පත්වුවද ඒ දසුන්වලට කිසිදු ආකාරයකින් ලිංගික දර්ශනවල සහාය ලබා නොගෙන කතාව පෙරට ගෙන යමින් සිය නිර්මාණය තුළ ප්‍රියන්ත දැඩි සංයමයක් පෙන්වයි. මුල් දර්ශන පෙළෙහි එතරම් කුතුහලයන් නොදැනෙන තරමක මන්දගාමී රටාවක් පෙන්නුම් කළද සිනමාපටයේ මැද සිට අග දක්වා එක මොහොතක්වත් අපතේ නොයවා ප්‍රේක්ෂක අවධානය තිරය මතම රඳවා ගන්නට ප්‍රියන්ත සූක්ෂම වී තිබෙන ආකාරය අපූරුය. රූප රාමුවෙන් රාමුවට ඇත්තේ විචිත්‍රවත් වර්ණ සංකලනයකි. සම්මාන වෙනුවෙන් තැනෙන සම්භාව්‍ය ලේබලය සහිත සිනමාපටවල පෙනෙන ජීවිතේ දුක සහ වැරහැලි පොරවා ගත්, දැලි කුණු පොරවා ගත් ගැහැනු පිරිමි හෝ කුණු ගොඩවල් වැනි එකම දසුනක්වත් මෙහි නැත. ඒ නිසා ලස්සන ගැන පෙන්වන්න, සිත් සුන්දරත්වයෙන් පුරවන්න චිත්‍රපට හදන ප්‍රියන්ත කොළඹගේලා වැනි නිර්මාණකරුවන්ට පිටරට සම්මාන නම් හීනයක් යැයි කිවහැකි ගණයේ සිනමා නිර්මාණයක් ලෙස දේදුනු ආකාසේ නිම වී තිබේ. කලා අධ්යක්ෂවරයා වූ මංගල ප්‍රනාන්දු හා ඇඳුම් නිර්මාණය කළ ජානක උල්ලදුපිටිය නිර්මාණයට ඉතා හොඳ සාධාරණයක් ඉටුකොට තිබේ. ඇඳුම් නිර්මාණ දෙස බලන විට ඇතැමුන් අම්මෝ ඒවායේ කොට යැයි කියන්නට ඉඩ ඇතත්, සිනමාවේ මිනි ගවුම් යුගය හා සසඳන කළ එදා කොට ගවුම් හා මෙදා කොට ගවුම් අතරින් පැහැදිලි වෙනසක් දැකිය හැකිය. මෙදා ඒවා ඇඳ සිටින හැඩැති සිරුරු හා එදා ඒවා ඇඳ සිටි අයගේ සිරුරු සංසන්දනය කළහොත් මෙදා එම ඇඳුම් ඇඳි අයගේ සුන්දරත්වය ඒ ඇඳුම්වලින් ඔප්නැංවී ඇතිවා මිස එදා මෙන් ඒවා බලා ප්‍රලාප කියන්නට කිසිවෙකුට සිතක් පහළ නොවීම ගැන පුදුම විය යුතු නොවේ. කලර් ග්‍රේඩින් සම්බන්ධව සහ සංස්කරණයෙන් ඉන්දික තුෂාර සුරවීර හා එක්ව සිය ශිල්පීයත්වය චිත්‍රපටයට එක් කළ මේඝ කාවින්ද කොළඹගේද තම තමන්ගේ උපරිම දක්ෂතා පෙන්වා ඇති අයුරු පෙනේ.
කිසියම් තරුණියෙකු, තරුණයෙකු සමග වූ සබඳතාවක් හේතුවෙන් අවිවාහකව සිටියදී දරු පිළිසිඳ ගැනීමක් ඇති වී නම් එයින් තමන්ගේ ජීවිතයේ තීරණාත්මක පසුබෑමකට ලක්වූ තරුණියකගේ ඊළඟ අරමුණ ලෝක අපවාදයෙන් ගැලවෙන්නට කෙසේ හෝ එම තරුණයා පසුපස යමින් තමන්ගේ ජීවිතයට සාධාරණයක් ඉල්ලීමය. එහිදී පෙම්වතාගේ දෙමවුපියන් ගැන නොව ලෝකයේ කිසිවෙකු ගැන සිතීම කාන්තාවකගේ සිරිත නොවේ. නමුත් විහඟි තම කුසට පැමිණි දරුවා තනිව හදාවඩා ගනිමින් තනිකඩව ජීවිතයට මුහුණ දෙනු විනා තම පෙම්වතාගේ දෙමවුපියන්ට එරෙහි වී තමන්ට සාධාරණයක් ලබාදෙන්නැයි නොඉල්ලන යුවතියක් බව පෙනෙන්නට සලස්වා තිබේ. ඉන් ආදරය නම් කිසිම අවස්ථාවක ආදරයම මිස වෙන අන් යමක් නොවන බව සියුම්ව චිත්රණය කරන්නට ප්‍රියන්ත ප්‍රවේශම් වී තිබේ. සිනමාපටයේ ඇතැම් දසුන් තුළ ආදරණීය කතාවක් හි සෙවනැලි පෙනෙන්නට තිබෙනා අතරම යම් යම් අඩුපාඩුකම්ද නැතිවා නොවේ. නමුත් සමස්තයක් ලෙස ඒ අඩුපාඩු නොසලකා හැරිය හැකි අන්දමේ සාධනීය බවක් දේදුනු ආකාසේ තුළ තිබේ. තාරක හේරත් හා වජිර කස්තුරි සමග ප්‍රියන්ත කොළඹගේ විසින්ම ලියූ තිර රචනය වඩාත් දයාර්ද බැල්මක් වැඩිහිටියන් කෙරහිද එල්ලකොට තිබීම සුවිශේෂය. එමෙන්ම ගැහැනියක් තවත් ගැහැනියක් ගැන සානුකම්පිත වීමද සියුම් අගය කිරීමකට ලක්ව තිබේ. කලකට පසුව මුණගැසුණු තම දරුවාගේ පියා තමන් සිපගන්නට ඉදිරිපත් වෙන මොහොතේ පවා ඊට අකමැත්ත ප්‍රකාශ කරමින්, තවත් කාන්තාවකට ද්‍රෝහිකමක් සිදුවන බැවින් තමාට සමීප නොවන්නැයි ඇය ඉල්ලයි. අතීත පෙම්වතා කිසිවෙකුගේ සැමියෙකුව සිටී නම් තමන් හා සබඳකමක් ඇතිවන්නට ඉඩ තැබීම පාපයක් සේ ඈ විසින් බැහැර කරන්නේ ආදරය යනු අනුන්ගේ ජීවිතවලට දුක්දී උදුරාගත යුතු යමක් නොවන බව හදවතටම දනවමිනි. අයිතිවාසිකම් යනු ආදරයේදී කුමක්ද යන වග අඟවන අනෙක් චරිතය පවනි පිළිබඳවද යමක් කිව යුතුමය.
ආදරය යනු ජීවත් වන මොහොතේදී රූපය මත පදනම්ව පවතින්නක් නොවන බව පවනිගේ චරිතය ඇසුරෙන් දෙයාකාරයකට මවන්නට වීම ඉතාම සිත්ගන්නා සුලුය. තම ස්වාමියා වෙනත් ගැහැනියකට දරුවෙකු ඇති කළ අයෙකු බව දැන නමුත් ඇය ඒ වෙනුවෙන් රණ්ඩු කරගන්නා බවක් කොතැනකවත් නොදකී. නමුත් තම ස්වාමියාගේ දරුවාට තම පියාව මුණගැස්වීමට ඇය මරණයෙන් පසු සිය ආත්මීය ආදරය කැපකිරීම ඇතමෙකුගේ දෑස කඳුළින් පොඟවන්නට සමත් වෙයි. පුංචි සයුරිගේ රඟපෑම්ද අගය නොකළහොත් වරදකි. ඇගේ චරිතය හරහාද ප්‍රියන්ත යම් සියුම් පණිවිඩයක් සමාජය වෙත තබයි. ඒ ඈත ආකාසේ තරුව තමන්ගේ වීම නිසා පවනි ආන්ටිට දුක හිතුණාදැයි අසන තරමට අහිමි වීම කෙනෙකුගේ දුකට හේතුවක් වන බව පැවසීම හරහාය. සෙසු සෑම චරිතයක්ම තම තමන්ගේ චරිතවලට ඉටුකර ඇති සාධාරණය අතිවිශාලය. අවසානයේදී අනතුරින් මිය යන්නේ පවනි බව හෙළිකරන අධ්‍යක්ෂණවරයා ඒ අනතුරට හේතුවද අනාවරණය කරයි. සමුද්‍ර පවනි සමග විහිළු තහළු කරමින් ඇය සිපගනිමින් රිය පදවන අතර පස් කඳු අතරින් මතුවන ටිපර් රථයේ රියදුරන්ද පාර ගැන අවධානයකින් තොරව වතුර පානය කරමින් රිය පැදවීම නිසා පාර වතුර බෝතලයෙන් වැසී යෑම හේතුවෙන් අනතුර වළක්වා ගැනීමට නොහැකි වූ බවක් අඟවා තිබේ. රිය පදවන විට මොහොතකට ඉවතට යන අවධානය කොතරම් විනාශයක් ඇතිකරයිද යන්න සිතන්නටද එයින් සමාජයට ඇරයුමක් තබයි. රංගන එස්. බණ්ඩාරගේ කැමරාකරණයද මෙහිදී ඇගයිය යුතුය. ස්වර්ණවාහිනී නාළිකාව විසින් නිෂ්පාදනය කරන්නට යෙදුණු පළමු චිත්‍රපටය ලෙස තිරගත වන දේදුනු ආකාසේ ප්‍රියන්ත කොළඹගේ විසින් නිර්මාණ කළ පස්වැනි සිනමා සිත්තමයි. මෙහි සහාය අධ්යක්ෂවරයා ලෙස ප්‍රියන්තට සහය වනුයේ ඩොනල්ඩ් ජයන්තයි. සිනමාවට එක්වන නවක නිළියන් දෙදෙනෙකු වන ශනෙල් ප්‍රනාන්දු සහ චූලක්ෂි රණතුංග නර්තනයෙන් මෙන්ම රුවෙන්ද, රංගනයෙන්ද සිනමාවේ දිගු ගමනකට හිමිකම් කියනු ඇතැයි දේදුනු ආකාසේ තුළ සිය ගමන පිළිබඳ අනාවැකියක් සටහන් කරයි.