Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ජේම්ස් ප්‍රැන්සිස් පීරිස් දොස්තර මහතාට සහ ඈන් ග්ට්රූට් විනිප්‍රීඩා මැතිනියට දාව 1919 අප්‍රේල් මස 05 වැනිදා දෙහිවල‘‘ සිහගිරි’ නිවසේදී, එම යුවළගේ දෙවැනි දරුවා ලෙස උපදින පුතුට නම් තබනුයේ කුරුකුලසූරියගේ ලෙස්ටර් ජේම්ස් පීරිස් යනුවෙනි. ඔහුට එරිකා නමින් වැඩිමහල් සොහොයුරියක් සහ අයිවන් සහ නොයෙල් නමින් බාල සොහොයුරන් දෙදෙනෙක් වූහ.
උපතින්ම කිතුනු බැතිමතෙකු වූ ඔහු මූලික අධ්‍යාපනය ලබනුයේ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. සෑම ඉරිදාවකම දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ උදෑසන දිව්‍ය පූජාවට සහභාගි වන ඔහු නිවසට ගිය සැණින් නිවස පිටුපස ක්‍රීඩා පිටියට ඇදෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම සඳහාය. ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කෙතරම් උනන්දුවක් ඇල්මක් තිබුණද කිවහොත් ලෝකයේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පින්තූර කපා එකතු කිරීමේ උන්මාදයකින්ද පෙළීය. ඔහු පාසලේ කැපීපෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද විය.
ඔහු වරක් මෙලෙස පවසා තිබිණ.
‘‘&අපේ තාත්තට අවශ්‍ය වුණේ මාවත්, මට බාල සොහොයුරන් දෙදෙනාත් ආණ්ඩුවේ රැකියාවලට යොමු කිරීමටයි. ඒ කාලයේ හැටියට ආණ්ඩුවේ රැකියාවක් විතරයි වැදගත්. ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත නම්බුකාර රැකියාවක් හැටියටයි සැලකුවේ. අපිව දොස්තරවරු නොකළාට, අයිවන් මල්ලි චිත්‍ර අඳිනවාටත්, මම සාහිත්‍ය පොත්පත් කියවනවාටත් තාත්තා ප්‍රිය කළේ නැහැ. කලාව එතරම් සැලකිය යුතු නැති දෙයක් විදියට සැලකූ තාත්තා කලාකරුවන්ට විරුද්ධවයි කතා කළේ.*
නවකතාකරුවෙකු වීමේ සිහිනය තුළ ජීවත් වූ ඔහු, පනහ දශකයේදී %The Savee, The Teacher, Mother and Child^ යන නම්වලින් ලියූ කෙටිකතා ටයිම්ස් වාර්ෂිකවල පළවී ඇත. 1945 වසරේදී ලංකාවේ ප්‍රථම චිත්‍රපට සංගමය ඇරඹීමට පුරෝගාමී වූ ඔහු එය කොළඹ චිත්‍රපට සංගමය ලෙස නම් කළේය. මෙය අග්නිදිග ආසියාවේ පිහිටවනු ලැබූ ප්‍රථම චිත්‍රපට සංගමයද විය.
සිනමාව පිළිබඳ තමත් තුළ ඇල්මක් ඇති වූයේ කෙසේදැයි තමන් නොදනිතත්, කුඩා අවදියේ තම පියා අතින් කරකවන ප්රක්ෂේපණ යන්ත්‍රයක් ගෙනැවිත් දුන් බවත්, එම මි.මී. 08 ප්‍රක්ෂේපණයෙන් චාලි චැප්ලින්ගේ නිහඬ චිත්‍රපට නැරඹූ අයුරුත් විටෙක සිහිපත් කර තිබිණි. 1940 වසරේදී ලංකා ගුවන්විදුලියේ ඉංග්‍රීසි අංශයේ සේවයට එක්ව, එහිදී නවකතා පිළිබඳ විචාරයන් ඉදිරිපත් කළ ඔහු, පසුව වේදිකා නාට්‍ය පිළිබඳවත්, සිනමාව පිළිබඳවත් කතා කළේය. ඒ අතරතුරදීම 1944දී පමණ ‘‘කේසරී නම් ඉංග්‍රීසි පුවත්පතේ සිනමාව පිළිබඳ තීරු ලිපිද කෙටිකතා ද, රචනා කරන්නට විය. ගුවන්විදුලියට ඉංග්‍රීසි නාට්‍ය ගණනාවක්ම රචනා කරමින් ඒවා නිෂ්පාදනය කිරීමටද ඔහු පෙළඹී සිටියේය. 1945දී %ටයිම්ස් ඔෆ් සිලෝන්^ පුවත්පතට එක්ව නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස වසර එකහමාරක් පමණ කටයුතු කළ ඔහු, 1947 වසරේදී එංගලන්තය බලා පිටත්ව යන්නේ, ඊට පෙර 1946 වසරේදී ශිෂ්‍යත්වයක් ලැබ එරටට ගිය තම මලණුවන්ගේ තනි නොතනියටය. එහිදීද පත්‍ර කලාව අතනොහැරි ඔහු ‘‘%ලන්ඩන් ටයිම්ස්’ පුවත්පතට විවිධ විශේෂාංග ලිපි සපයන්නට විය. මිනීමැරුම් ගැන ගවේෂණශීලීව මෙන්ම නිදහස ලබා සිටින ඉන්දියාව සහ ලංකාව පිළිබඳවද ඔහු ලීවේය. 1952 වසර දක්වාම ලන්ඩන් ටයිම්ස්’ පුවත්පතේ ඔහු සේවය කළේය. එම ආයතනයේ සිටි එකම කළු ජාතිකයාද ඔහුම විය.
ඔහු එහිදී හඳුනාගත් කැමරා ශිල්පියෙකු වූ හෙරිවඩ් ජෑන්ස් සමග එක්ව කෙටි චිත්‍රපටයක් තැනීමට පටන් ගනී. විනාඩි 12ක පමණ පර්යේෂණාත්මක චිත්‍රපටයක් වූ Soliloguy හැදෙන්නේ එලෙසිනි. මෙම නිර්මාණය 1951 වසරේදී එරට ආධුනික සහ පර්යේෂණාත්මක චිත්‍රපට නිර්මාණය කරන්නන්ගේ චිත්‍රපට උළෙලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී එයට ඉහළම ශිල්පී ප්‍රවීණතාව පළකරන චිත්‍රපටයට පිරිනැමෙන කෙටි සිනමා අභියෝග කුසලානය හිමිවිය. ලන්ඩනයේ රීජන්ස් පාක් සහ හැම්ස් ටෙඩ්හි එළිමහනේ රූගත කළ ඔහුගේ දෙවැනි චිත්‍රපටය වූයේ %Farewell to Childhood^ය. එය විනාඩි 15කින් යුක්ත වූවකි. එයද බ්‍රිතාන්‍යයේ පැවැති සිනමා උළෙලේදී හොඳම ආධුනික චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.
1952 වසරේදී නැවත ලංකාවට පැමිණෙන ඔහු රජයේ චිත්‍රපට අංශයට ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස එක්ව‘‘ නෙලුම්ගම’ සහ ‘‘ ලංකාවේ උරුමය’ යන වාර්තා චිත්‍රපටවලට සම්බන්ධ විය. එවකට රජයේ චිත්‍රපට අංශය පිහිටා තිබුණේ මොරටුවේ පොල්වත්තේය. 1954 - 1955 කාලයන් දක්වා එහි සේවය කරන ඔහු, එහිදී දැන හඳුනාගත් විලී බෙලෙක් හා ටයිටස් තොටවත්තයන් සමග එම රැකියාවට සමුදී පිටතට එන්නේ සිංහල චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ඒකායන අධිෂ්ඨානයෙනි. ඒ 1955 සැප්තැම්බර් මසදීය.
පසුව සරත් විජේසිංහ මහතාගේ සභාපතීත්වයෙන් හා එච්.ඩබ්. ජයවර්ධන, ජොර්ජ් චිට්ටි, ඕබ්රි කොලට්, ඩග්ලස් ප්‍රනාන්දු සහ ක්‍රිස්ටෝපර් පීරිස් යන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පිරිසත් සමග එක්ව ‘‘චිත්‍ර ලංකා’ යන නමින් චිත්‍රපට සමාගමක් පිහිටුවා ගන්නා ලද අතර, රේඛාව^ට මුල පිරෙනුයේ එතැනිනි. මෙම චිත්‍රපටය සඳහා Arriflex කැමරාවක් සහ RCA Kinevok මැග්නටික් ශබ්ද රෙකෝඩයක් ජර්මනියෙන් හා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලදී. අභිනව චිත්‍රපටයේ කතාව, දෙබස්, තිර රචනය ආදී සියල්ලම ලෙස්ටර් විසින් ඉංග්‍රීසි බසින් ලියන ලදී. The Line of Destiny නමින් ලියැවුණු මෙම කතාව ‘‘ රේඛාව’ නමින් සිංහලයට පරිවර්තනය විය.
1947 වසරේ සිට 1955 දක්වා තිරගතව තිබූ සියලුම සිංහල චිත්‍රපට නරඹා ඔහු ඒවායේ තිබූ අඩුපාඩු හා ඒකාකාරී බව මැනවින් දැන හඳුනාගෙන තිබුණේය. එවකට %රේඩියෝ සිලෝන්^ එකේ සිංහල නාට්‍ය රචනා කරන කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරාද ඔවුන් සමග එක්වන්නේ මෙම චිත්‍රපටයේ දෙබස් රචකයා ලෙසින්ය. ඩී.ආර්. නානායක්කාරද ඒ සඳහා ඔහුට මනා සහයෝගයක් දැක්වූ බව පැවසේ.
එතෙක් චිත්‍රාගාරය තුළට පමණක් සීමාව තිබූ කැමරාව, එළිමහනට ගෙන එමින් සැබෑ සිංහල සිනමාවක රිදී රේඛාව මතු කරලනුයේ එලෙසිනි. 1956 දෙසැම්බර් මස 28 වැනිදා තිරගත වූ ‘‘රේඛාව’ නැරඹීමෙන් පසු එතෙක් චිත්රාගාරයට කොටු වී සිටි බොහෝ පිරිස් එළිමහනට එන්නට වූහ. ලෙස්ටර්ගේ වික්‍රමය ගැන කතා කරන්නට විය. මුල් අවදියේ ඔහුට සරදම් කළ සිනමාවේ ප්‍රවීණයන් සුබ පතන්නට විය. රජයේ රැකියාවට සමුදුන් මිතුරන් තිදෙනා ජය ලබන්නට විය. ඔවුන් දිගින් දිගටම සිනමාව තම ජීවිතය කර ගන්නට පෙළඹිණි. එයින් දේශයට වඩාත් හොඳ සිනමා පට බිහිවීම ඇරඹිණි. ඔවුහු සිනමාවේ දැවැන්තයන් බවට පසුකලකදී පත්වූහ. රේඛාවෙන් ඇරඹී ගමන්මග 2006 වසරේ දෙසැම්බර් මස 30 වැනිදා තිරගත වූ %අම්මාවරුනේ’ චිත්‍රපටය දක්වා වෘත්තාන්ත චිත්‍රපට 20ක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබීය. ඔහු 1972 වසරේ අධ්‍යක්ෂණය කළ‘‘ %නිධානය’ ලෝකයේ හොඳම චිත්‍රපට 10 තුළට ඇතුළත් වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අප ලැබූ ඉහළම සිනමා කීර්තියද වේ. එලෙසම ලෝකයේ හොඳම චිත්‍රපට අධ්යක්ෂවරුන් අතරට ඔහුගේ නම ඇතුළත් වීමද ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාවක්ම විය. ඔහුගේ සිනමා භාවිතය තුළින් හෙළ සිනමාවට, විවිධ අංශයේ කුසලතා පිරි විශාල පිරිසක් දායාද වූහ. ඒ සැමදෙනා ඔහුට සැලකුවේ පියෙකු හා සමානවය. සුමිත්‍රා ගුණවර්ධන ඔහුගේ දිවියට එක්වීමද, ඔහුගේ සිනමා ගමන්මග වඩාත් විචිත්‍රවත් වීමට හේතු කාරණා විය.
ඔහු සිනමාව වෙනුවෙන් ලද සම්මානයන්ද අතිවිශාලය. ඔහු පිළිබඳ හා ඔහුගේ සිනමා දිවිය පිළිබඳ ලියැවී පළවී ඇති පොත්පත් ප්‍රමාණය මෙතෙක් හෙළයේ සිනමාකරුවෙකු වෙනුවෙන් පළ වූ විශාලතම ග්රන්ථ එකතුව වේ. ඔහු පිළිබඳ පුවත්පත්වල පළ වූ ලිපි ප්‍රමාණයද එලෙසම විය. සැබැවින්ම ඔහු එලෙස කතිකාවට ලක්විය යුතු, ඇගයිය යුතු, විශේෂිත වූ චරිතයක්ම විය.
ඔහු පිළිබඳ එදාමෙදා විද්වතුන්, රංගනවේදීන් පළකළ අදහස් කිහිපයක් මෙලෙස පෙළගස්වමි.
‘‘අයින්ස්ටයින්ගේ සමෝධාන ශිල්පී ධර්මයන්ගෙනුත්, ප්‍රංශ සිනමා රීතියෙනුත්, තාත්ත්විකවාදී ඉහළ සිනමාවෙනුත් අාභාසය ලබමින් වාර්තා චිත්‍රපට තැනූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ස්වාධීන වෘත්තීය සිනමාකරුවෙකු ලෙස දොරට බැස්සේ ‘ %රේඛාව’ත් සමගය. ඒ ඔහු වැනිම තවත් තරුණ සිනමා ශිල්පීන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙනි.‘ %රේඛාව’ මගින් සිංහල සිනමාව තුළ කළ හිතුවක්කාරකමේ කුළුගැන්වීමක් දක්නට ලැබුණේ, %ගම්පෙරළියෙනි^. චිත්‍රපටයේ භාෂාව, සිනමාත්මක භූමිකා රංගනය, ශබ්දයේ හා සංගීතයේ සමායෝජනය ආදී වශයෙන් ඔහු කළ හිතුවක්කාරකම් පසු කලෙක සිංහල සිනමාව කෙරෙහි බලපෑම් කළ ශික්ෂණයක් සහ රීතියක් බවට පත් වූයේය. ඉන්දියානු සිනමාවෙන් පෝෂණය ලබමින් ඉන්දියානු චිත්රාගාරවල උපන් සිංහල සිනමාවට හිතුවක්කාර පුත්‍රයෙකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් කාලයාගේ ඇවෑමෙන් සිංහල සිනමාවේ පියෙකු වූ විට ඔහුගේ පුත්‍රයෝ පියාගේ ශික්ෂිත හා විනීත බව පිළිබඳ මැසිවිලි නගන්නට වූහ. සිංහල සිනමාවේ ලෙස්ටර් ලකුණ එබඳුය.
‘‘රූපය මූලික කරගන්නා වූ සිනමා කෘතියකදී ආනුශංගික අංගවලට සිනමානුරූපී බව එක්වීම අනිවාර්යය සංසිද්ධියකි. පළමු වරට කටවහරට සමීප දෙබස් ගෙන ආ %රේඛාව^ චිත්‍රපට ගීත සාහිත්‍යයේද සමාරම්භකයා බවට පත් විය. එහි ප්රකාශනයේ තියුණු බව සංවේදී බව මෙන්ම අනාගත දැක්මද සුවිශේෂී වෙයි. ගැමි දරුවෙකු ගම තුළ මුහුණදෙන ඛේදනීය සිදුවීම් තේමා කරගත් %රේඛාවේ^ අත්දැකීම එවකට විශාල කම්පනයක් ඇති කළේ නැත. ගම හා එහි ජීවිතය නොහඳුනන ලෙස්ටර් ඒ පිළිබඳ විකෘති චිත්‍රයක් සම්පාදනය කර ඇති බවටද මත පළ විය. එහෙත්, ඒ තර්කය යථාවෙන් දුරස්ය. සර්ව සම්පූර්ණ මිනිසුන් සහිත ගම හුදෙක් නාගරිකයන්ගේ සිහිනයක්ම විය. ලෙස්ටර් සිදුරු කරන්නට තැත් දරන්නේ මේ ව්‍යාජ ආවරණයයි. ලෙස්ටර්ගේ අනාගත දැක්ම පිළිබඳ පළමු ඉඟිය මැනවින් වටහාගත හැක්කේ %රේඛාව^ ගම හා වර්තමාන ගම සසඳන විටය. රේඛාව අනාගත සිනමාව පෝෂණය කරන්නට දායක වන සිනමා කලාකරුවන් රැසක් බිහි කිරීමෙන්ද, පුරෝගාමී කාර්යයක් ඉටු කළේය. ටයිටස් තොටවත්ත, විලී බ්ලේක්, ගාමිණී ෆොන්සේකා, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, අයිරාංගනී සේරසිංහ ඒ අතර ප්රමුඛ වෙති. රේඛාව මෙරට සිනමාව ජාත්‍යන්තරයට හඳුන්වා දීමටද පුරෝගාමී විය.
‘‘වෘත්තීය ජීවිතයෙන් මිදුණු කල ලෙස්ටර් ඉතා විනෝදශීලී මිතුරෙකි. අපි සැම සිනාගැන්වීමට සමත් පුංචි පුංචි කතාන්දර ඔහුට බොහෝ වේ. බොහෝ සැහැල්ලුවෙන්, විනෝදශීලීව සිය නිර්මාණ කාර්යයේ යෙදුණත් ඔහුගේ නිර්මාණ අතිශය සම්භාව්‍යය, පිරිපුන්ය. මේ පරිපූර්ණත්වය ඔහු ලද දැනුම, අත්දැකීම හා අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයන්ය. එදා මෙදාතුර සිංහල සිනමාවේ ලෙස්ටර් ඔබට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඒ අද්විතීය බව මැද ඔබ නිරහංකාරව සිනාසුන සරල මිනිසෙකි.
‘‘ලෙස්ටර් මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති විද්වතෙකි. ඔහු විවිධ විෂය පිළිබඳ බොහෝ දැනුම ඇත්තෙකි. ලෝකයේ බොහෝ වටිනා පොත් ඔහු කියවා ඇත. මතකයෙහිද ඇත. ඇතැම් සිංහල පොත්, (නිදසුන් ලෙස කව්සිළුමිණ වැනි) ඔහු ඉංග්‍රීසියෙන් කියවා ඇත. ආනන්ද කුමාරස්වාමි, එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ ආදීන් ගැන පමණක් නොව, නූතන ලේඛක - ලේඛිකාවන් ගැනද ඔහු දනියි. එම නිසා ඔහුගේ දැනුම නිරතුරුව අලුත් වෙයි.
‘‘ලෙස්ටර් හා මා අතර ඇති සබැඳියාව පිළිබඳ සඳහන් කරනවා නම් මුලින්ම ප්‍රදර්ශනයට නොආ චිත්‍රපටයක රඟපෑවද මගේ මුල්ම රංගනය ඇතුළත් චිත්‍රපටය වූයේ ලෙස්ටර්ගේ %ගම්පෙරළිය^ චිත්‍රපටයයි. එහි සුළු චරිතයක් වන බාලදාසගේ චරිතය මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකි. %සුළු චරිත නැත, ඉන්නේ සුළු නළුවන් පමණි^ යනුවෙන් සාමාන්‍ය කියමනක් තිබේ. හොඳ නළුවෙකු කුඩා චරිතයකට පවා ඔදවත් තෙදවත් බවක් දෙන්නට හැකිය. ගම්පෙරළියේ බාලදාසගේ චරිතය කරද්දී දර්ශන තලයේ දින කිහිපයක් මම රැඳී සිටියෙමි. වික්‍රම බෝගොඩ, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර වැනි අයත් සමග අපි ලෙස්ටර්ගේ අධ්යක්ෂණ කාර්යය දෙස අධ්‍යයනයෙන් යුතුව බලා සිටියෙමු. ඔහු කිසිවිටෙකත් අධ්යක්ෂවරයා ලෙසට කෑ කෝ ගසමින් රළු හඬින් කතා කරන අයෙක් නොවේ. චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර වුවද සෑම නළුවෙකු නිළියක වෙනුවෙන්ම උපදෙස් ලබා දේ.
‘‘චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ඔහු තුළ ඇති, මා පුදන එක් ගුණාංගයකි. ඒ නළු නිළියන් වෙත රඟපෑමේදී දෙන නිදහසයි. එය සීමිත ද නොවේ, අසීමිත ද නොවේ. නළුවා තුළ සැඟවී ඇති කුසලතාව අවබෝධ කොටගෙන ඉතා සියුම් ලෙසින් ප්‍රයෝජනයට ගැනීමේ සූක්ෂ්මතාව ඔහු සතුය. රඟපෑමේදී කිසි විටක අපේ රැඟුම් ඉබේ කැමරාගත වෙන්නට කරුණු සැලසීම පමණක් ඔහු කරයි. නළුවාට ඔහු අසීමිත නිදහසක් දෙන්නේ අන්‍යොන්‍ය අවබෝධය උඩයි. අධ්යක්ෂවරයාගේ අදහස් ඒ ලෙසින්ම හඳුනාගැනීමේ ශක්තිය නළුවා තුළ දුටු විට ඔහු නළුවා නිදහස් කරයි. උසස් රැඟුම් ඉබේ ගලා යන්නට ඉඩ හැර ඔහු නෙතිත් තෘප්තියක් විඳිනු මම දැක ඇත්තෙමි. එවිට ලෙස්ටර්ගේ මුහුණේ මතුවන තෘප්තිමත් සිනාව ඔහුද එකී ජවනිකාවට ඇතුළු වී ජීවත්වන බව කියන - ජයග්‍රහණයක කතාව කියන පැහැදිලි සිතුවම් පටක් බඳුය.
‘‘ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම ගණයේ සිනමාවේදියෙකු මෙන්ම, ස්වාභාවික රංගනය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඇති, එමෙන්ම අධි රංගනය පිළිබඳ එලෙසම අවබෝධයක් කරගත හැකි පුද්ගලයෙකු ලෙසත්, ඒ ස්ථාවරයේ සිට නළු නිළියන්ගේ ඉතා සියුම් අභිනයන් ලබාගැනීමට හැකි විශිෂ්ටයෙකු ලෙසත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිටින්නේ ඉතාමත් ඉහළ තලයක බව වරක් තිස්ස අබේසේකර මහතා ඉතා නිවැරදිව පහදා දුන් අන්දම මට තවමත් මතකයි.
‘‘කාර්මික ශිල්පීන් කෙරේ වුවද ඔහු තම බලපෑම ඇති කරන සැටි ලෙස්ටර්ගේ චිත්‍රපටවල කැමරා ශිල්පය, සංස්කරණය, සංගීතය ආදී අංශවලදී මැනවින් දැකිය හැකිය. ලෙස්ටර්ගේ චිත්‍රපට හොඳ වගේම ඒවා ඔහු නිපදවන්නේ අඩු වියදමකිනි. ‘ %සංදේශය’ හැරුණු කල ඔහුගේ අනෙක් බොහෝ චිත්‍රපටවල ප්‍රදර්ශන පිටපත් සකස් කෙරෙන තෙක් බලාපොරොත්තු වූවාට වඩා වියදම වැඩි වූයේ කලාතුරකිනි.
මහා සිනමාවේදියාණෙනි, ඔබගේ ඥානාන්විත දැක්මෙන් පිවිතුරු සිංහල සිනමාවක් බිහි විය. ඔබගේ නාමය සදාකාලයෙන් සදා කාලයට නින්නාද නංවමින් මතකය තුළ සැරිසරනු ඇත. ඔබට සුබ ගමන්
- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd