සුගන්ධි කාංචනා පෙරේරා, ජාතික ගුවන් විදුලියෙන් මාධ්‍ය ක්ෂේත්රයට අත්පොත් තැබූ නිවේදිකාවකි. ජනමාධ්‍ය ක්ෂේත්රයේ අග්‍රඵල ලබමින් පසුගියදා නෙළුම් පොකුණේදී අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ගුවන් විදුලි රාජ්‍ය උපදේශක මණ්ඩලය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේදී ඇය විශිෂ්ටතම විචිත්රාංග වැඩසටහන වෙනුවෙන් සම්මාන හිමිකර ගත්තාය. අද කතාබහ දිගහැරෙනුයේ ඇය සමගිනි.
දිනූ සම්මානය
පසුගියදා පැවැත්වුණු ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළේදී මගේ නම අංශ දෙකක් යටතේ නිර්දේශ වෙලා තිබුණා. විශිෂ්ටතම විචිත්රාංග වැඩසටහන සහ විශිෂ්ටතම වාර්තා වැඩසටහන යන අංශ දෙක යටතේ තමයි මගේ නම නිර්දේශ වෙලා තිබුණේ. එහිදී මට විශිෂ්ටතම විචිත්රාංග වැඩසටහන යටතේ රාජ්‍ය සම්මානය ලැබුණා. ඒ ලැබෙන්නේ ස්වදේශීය සේවයේ විදුල ළමා ගුවන් විදුලියේ විස්මලන්තය අතරතුර ප්‍රචාරය වූ විචිත්රාංග වැඩසටහනක් වෙනුවෙන්. ඒ 'අමුත්තෙක් ඇවිත්' නම් වූ වැඩසටහනයි. මම වාර්තා වැඩසටහනක් ලෙස සිටි එෆ් එම් නාළිකාවේ ඉදිරිපත් කළ 'පෝදා වරුණ' වැඩසටහනත් මේ සඳහා නිර්දේශ වෙලා තිබුණා.
මම ගුවන් විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කළාට බොහෝදුරට වැඩසටහන් නිෂ්පාදනය තමයි සිදුකරන්නේ. මම හැමවිටම උත්සාහ කරන්නේ සාම්ප්‍රදායික වැඩසටහන් කියන මතයෙන් බැහැර වෙලා සාම්ප්‍රදායික වැඩසටහන්වලට අලුත් දෙයක් එකතු කරන්නයි. එලෙස ඉදිරිපත් කරපු වැඩසටහනක් තමයි මේ විදියට සම්මානයට පාත්‍ර වුණේ.
සිදුකළ වෙනස්කම්
මම වේදිකා නාට්‍යකරණය හදාරලා තිබෙනවා. වේදිකා නාට්‍යවල රඟපාල තිබෙනවා. ඒ වගේම සමස්ත ලංකා වේදිකා නාට්‍ය තරගවල ජයග්‍රහණත් හිමිකරගෙන තිබෙනවා. නමුත් පාසලෙන් ඉවත් වෙනකොට මගෙන් වේදිකා නාට්‍ය ඈත් වෙනවා. හැබැයි මම දිගටම ඒ පිළිබඳව අධ්‍යයනය කරනවා. මම ශාස්ත්‍රවේදී උපාධියට නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරනවා. ගුවන් විදුලි නාට්‍යකරණයේදී දෙබස් භාවිත කරන ක්‍රමවේදයක් තිබෙනවා. මා වේදිකා නාට්‍යයක වචන උච්චාරණය කරන ආකාරය ගුවන් විදුලි වැඩසටහනකට රැගෙන එනවා. එසේම ශබ්ද ප්‍රයෝග භාවිත කරමින් මනස් සිතුවම් මවනවා. දරුවන්ගේ අව්‍යාජ භාව ප්‍රකාශන භාවිත කරනවා. එය මෙහි එක් සුවිශේෂත්වයක්.
ජාතික ගුවන් විදුලියට පැමිණි ගමන
මම ජාතික ගුවන් විදුලියට මුලින්ම ආවේ 1995දී. ඒ ළමා ශිල්පිනියක් විදියට, ළමා පිටියට. මම පානදුර ශ්‍රී සුමංගල බාලිකාවේ ආදි ශිෂ්‍යාවක්. පාසල් යන කාලෙ ඉඳලම ළමා ශිල්පිනියක් විදියට මහින්ද අල්ගම මාමා, හසිතා ගුණරත්න නැන්දා වැනි ඇසූ පිරූ තැන් ඇති අයගේ ගුරුහරුකම් මැද ළමා පිටියේ නිවේදන කටයුතු කරන්න මට අවකාශ සැලසෙනවා. සහන නිවේදිකාවක් විදියට 2006 දී ගුවන් විදුලියේ සිටි එෆ් එම් නාළිකාවට වෘත්තීමය වශයෙන් මම එකතු වෙනවා.
එදා සිට අද දක්වාම සිටි එෆ්.එම් සේවයේ තමයි මා සේවය කරන්නේ. එහි නිවේදිකාවක් හා නිෂ්පාදිකාවක් විදියට සේවය කිරීමට මට අවකාශ සැලසෙනවා. මෙහිදී මා මතක් කරන්න ඕන එකල සිටි.එෆ් එම් නාළිකාවේ අධ්යක්ෂව සිටි ප්‍රවීණ නිවේදක ස්වර්ණ ගුණවර්ධන මහතා. එකල මා නිෂ්පාදනය කළ 'නිශාචර මැදියම' වැඩසටහනත් සුවිශේෂයි. අද්භූත බලවේග පිළිබඳ සමාජ විද්‍යාත්මකව, ආගමික කෝණවලින් සහ විද්‍යාත්මකව තෙවැනි ඇසකින් වාර්තා කළ එම වැඩසටහන් මාලාව, එකල ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුණා.
එමෙන්ම 2009 දී තමයි සිටි එෆ් එම් සේවය මුලින්ම ඔටෝමෙන්ෂන් පද්ධතිය අත්හදා බැලීම ආරම්භ කරන්නේ. එය භාරවෙන්නෙත් මටයි. එදා සිට අද දක්වාම ස්වයංක්‍රීයකරණ පද්ධතියට දත්ත ඇතුළත් කිරීම මගේ දෛනික රාජකාරි අතර ප්‍රධාන තැනක් ගන්නවා. නිවේදිකාවක් විදියට සිකුරාදා රෑ දහයට සිටි එෆ් එම් සේවයේ 'මැදපෙරදිග' වැඩසටහන මෙහෙයවනවා. නිවේදිකාවක් විදියට කටයුතු කරනවා සේම මම වැඩසටහන් නිෂ්පාදනය කරනවා. හැම පෝය දවසකටම 'පෝදා වරුණ' නමින් පෝය දිනයට වැදගත් වූ ලංකාවේ ස්ථාන සොයා යමින් වාර්තා වැඩසටහනක් නිෂ්පාදනය කරනවා.
එමෙන්ම හැම ඉරිදාම හවස දෙකට සිටි එෆ් එම් සේවයේ වීක් එන්ඩ් ගේම් ෂෝ (Weekend Game show ) නම් වැඩසටහන නිෂ්පාදනය කරනවා. ඊට අමතරව විශේෂ දින සහ සැමරුම් දින අරඹයා විශේෂ වැඩසටහන් නිර්මාණය කරන්න පැවරිලා තිබෙන්නෙ මට.
ඉදිරි කටයුතු
මගේ පාසල පානදුර සුමංගල බාලිකා විදුහල. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළේදී ප්‍රතිභා ප්රණාම සම්මාන ලැබූ ගුවන්විදුලියේ ප්‍රථම සිංහල නිවේදිකාව ප්‍රභා රණතුංග මහත්මියත් මගේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. එකම වේදිකාවේ ප්‍රභා රණතුංග නම් වූ ලංකාවේ ප්‍රථම සිංහල නිවේදිකාවත් මමත් සම්මාන ලැබුවා කියන්නේ මටත්, මගේ පාසලටත් ආඩම්බරයක්. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය අවසන් වසර නිමා කරලා, මේ දිනවල රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී උපාධිය හදාරනවා.
මම චිත්‍රපට පිළිබඳව හදාරන්නේ එහිදීයි. මගේ පළවෙනි කෙටි චිත්‍රපටය කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2014 වසරේදී කාන්තා දිනය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සමස්ත ලංකා කෙටි චිත්‍රපට තරගාවලිය වෙනුවෙන් අධ්‍යක්ෂණය කළා. එහිදී හර්ෂණී අතපත්තු රචනා කළ, මම අධ්‍යක්ෂණය කළ, 'අවංකා' කෙටි චිත්‍රපටයට තුන්වැනි ස්ථානය ලැබෙනවා
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවෙගම මහතා සහ වත්මන් අධ්යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා වගේම නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වැඩසටහන්) මයුරි අබේසිංහ මහත්මියත් තරුණ අපට ලබාදෙන මඟපෙන්වීමත්, මෙම ජයග්‍රහණ සඳහා මහඟු පිටුවහලක් වුණා. එසේම සිටි එෆ් එම් සහකාර අධ්‍යක්ෂිකා අනූෂා ජීවන්ති මහත්මිය සේම සිටි එෆ් එම් පාලක අරුණ ප්‍රියන්ත එදිරිසිංහ මහතා ඇතුළු සිටි එෆ් එම් පවුලේ සැමත්, ජාතික ගුවන් විදුලියේ ජාතික සම්පත් බදු ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් සහ නිෂ්පාදන කාර්ය මණ්ඩලය, විධායක ශ්‍රේණියේ නිලධාරීන් සේම සමස්ත කාර්ය මණ්ඩලය අපට ලබාදෙන දිරිගැන්වීමත් ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.
[email protected]