Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ඇසෑම් ප්‍රදේශයේ හා උතුරු, නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක මෙය සමරනු ලබන්නේ අලුත් අවුරුද්දේ ආරම්භයක් ලෙසිනි. සාමාන්‍යයෙන් ඔවුන් අස්වැන්න නෙළා ගන්නා කාලය හෙවත් අප්‍රේල් මාසයේ දෙවැනි සතියේදී එනම් 14වැනිදා සිට එය පවත්වනු ලබයි. මෙය ආගමික පදනමින් ඔවුන් සමරන සංස්කෘතික උත්සවයකි. ඇසෑම්වල ජනතාව තමන්ගේ ආගම කුමක් වුවත් එකිනෙකා හා සුහදත්වයෙන් සාමූහිකව මෙය සැමරීමද සුවිශේෂී වේ. මෙය රංගාලි බයිහු, කොන්ගාලි බයිහු හා භෝගාලි බයිහු ආදී වශයෙන්ද ව්‍යවහාර කරනු ලැබේ.
විවිධ නම්වලින් මෙම උත්සවය හැඳින්වුවත් පොදුවේ කුඹුර මත පදනම් වූ කෘෂිකාර්මික චක්‍රයක් තුළින් මෙය පවත්වාගෙන යනු ලබයි. මෙහි දෙවැනි නාමයෙන් හඳුන්වන රංගාලි බයිහු කොටස් 7කින් යුක්තය. රාටි බයිහු, චොටු බයිහු, ගොරු බයිහු, මනු බයිහු, කුටුම් බයිහු, මෙලා බයිහු හා චෙරා බයිහු ලෙසිනි. විශේෂයන්ම මෙය ගම්බදව පවත්වනු ලබන උත්සවයකි. ඔවුන් දෙවියන් සේ අදහන ගවයා පළමු දිනයේ ගඟට හෝ පොකුණට රැගෙන ගොස් දෝවනය කරයි. දෙවැනි දිනයේදී කුඹුරෙන් ලබාගත් අස්වැන්නෙන් බත් උයා රසකැවිලි පිළියෙල කිරීම සුවිශේෂී වේ. තෙවැනි දිනය හෙවත් අවසන් දිනයේ සෑම නිවසකම පිරිස් එක්රැස් වී බයිහු නර්තනයේ යෙදෙන්නේ උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමිනි.
හින්දු බැතිමතුන් හනුමාන්ගේ උපන් දිනය වශයෙන්ද විශ්වාස කරන මෙදින දේවි නම් හින්දු කෝවිල වැඳ පුදා ගැනීමට යයි. මෙය බෞද්ධ හින්දු බැතිමතුන් විසින් මහා බිසුබ සංක්‍රාන්ති යන නමින් හඳුන්වනු ලබයි. ඒ වැසියන් %ඕදියා^ (Odhiya) යන නමින්ද හඳුන්වනු ලැබේ. මෙම උත්සවයේදී බෙලා නමැති සුවිශේෂී පානයක් සකස් කරනු ලබයි. මෙම උත්සවය අප්‍රේල් මස 14 වැනි දිනෙන් ආරම්භ වන අතර, 21 වැනිදා දක්වා පුරා සතියක් පැවැත්වේ. ඒ ප්‍රදේශයේ වැසියන් විසින් මෙය මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.
සංස්කෘතික උත්සවයක් වූ මෙය අරුනාචල් ප්‍රදේශයේ සහ ඉන්දියාවේ ඇසෑම්හි ඇතැම් ප්‍රදේශවල සමරනු ලබයි. අප්‍රේල් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා පවත්වන මෙම සංස්කෘතික උත්සවය ථේරවාදී බෞද්ධ ජනතාව විසින් පවත්වාගෙන යනු ලබයි. ලූනාර් නව අවුරුදු උත්සවය නමින් හඳුන්වන්නේ මෙයයි. මෙය සංපෝ, ටැන්සා, තායි, ඊසානදිග ඉන්දියාවේ ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. සාමය සහ පාරිශුද්ධතාව පිළිබිඹු කරන මෙය ජලය මුල්කරගෙන පැවැත්වේ. මෙම උත්සවය තායිලන්තයේ සොන්ක්‍රාන් (Songkran) උත්සවයට හා හෝලි උත්සවයට සමානකමක් දක්වයි. මෙහිදී බුදු පිළිම වහන්සේ ප්‍රථමයෙන්ම දෝවනය කරන අතර, විනෝදයටත් මූලිකත්වය දෙනු ලැබේ. මෙම උත්සවයේ එකිනෙකා හා ජල ප්‍රහාර එල්ල කරමින් විනෝද වීමක්ද දැකගත හැකි අතර, තෑගි හුවමාරුවද පොදු ලක්ෂණයකි.
පාරිශුද්ධත්වය පිළිඹිඹු කරන මෙම උත්සවය ආරම්භයට ප්‍රථම සෑම නිවෙසක්ම පිරිසුදු කරන අතර, රසකැවිලි සකස් කරයි. එසේ සකස් කළ රසකැවිලි උත්සවය අතර වාරයේ නිවෙස්වල බෙදා ගැනීමක් ප්‍රදේශවාසීන් විසින් සිදුකරනු ලබයි. උත්සවය අවසානයේ නැවතත් පිළිම වහන්සේ දෝවනයෙන් අනතුරුව තිබූ ස්ථානයේම තැන්පත් කරනු ලැබේ.
අතීතයේ සිට ආගමික උත්සවයක්ව පැවතුණත් එය අද වන විට විනෝදය හා ආගම මුසු සංස්කෘතික උත්සවයක් බවට පරිවර්තනය වී තිබේ. ඔවුන් මෙම උත්සවයේදී ස්වකීය ආත්මය පවිත්‍ර වේ යැයි විශ්වාස කරන අතර, ඒ තුළින් ඉදිරියේදී නැවුම් දර්ශනයකින් ජීවිතය ආරම්භ කළ හැකිය යන්න තරයේ විශ්වාස කරයි.
සංස්කෘත භාෂාවෙන් %විෂු^ යන්න %සමාන^ යන අරුත් ගෙන දෙයි. මෙම උත්සවය මලයාලම් ජනතාව අති උත්සවශ්‍රීයෙන් සමරන අතර, මෙය මලයාලම් ජනතාවට පමණක් ආවේණික උත්සවයක් නොවේ. මෙම උත්සවය ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල වාසය කරන ජනයා විවිධාකර නම්වලින් හඳුන්වනු ලබයි. පන්ජාබයේ බයිසාකි (Baisakhi) නමින් සමරනු ලබයි. අප්‍රේල් 14 වැනිදාට සමරන මෙහි චාරිත්‍ර - වාරිත්රද එකිනෙකින් වෙනස් වේ. සාමකාමී සෞභාග්‍යමත් වසරක් උදාකර ගැනීම නිමිත්තෙන් දෙවියන්ට පූජා පැවැත්වීම මෙහි ප්‍රධාන චාරිත්රයකි. මෙහිදී උදා වූ නව වසර එකිනෙකා හා සුභපැතුම් එකතු කර ගනිමින් සමරන අතර, විනෝදය උදෙසා ඔවුන් විසින් ගිනිකෙළි සන්දර්ශනද පවත්වනු ලබයි. කේරළයේ ජනතාව තමන් මහන්සියෙන් වගා කළ අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව මෙය සමරන අතර, මෙම උත්සවය සැමරීමේ ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී විෂ්ණු විසින් නරකසුරා මරා දැමීම නිමිත්තෙනි. මෙම උත්සවයේ තවත් වැදගත්කමක් වන්නේ පවුල් බන්ධනය මේ තුළින් තවත් ශක්තිමත් කිරීමයි. එක්ව සිට ආහාර අනුභවය සිදුකරන ඔවුන් එකී මංගල්‍යයේ ප්‍රධාන අංගයක් වන විෂුකෛයිනීට්ටම් ලෙස හඳුන්වන වැඩිහිටියන් විසින් බාල ළමයින්ට මුදල් දී ගනුදෙනු කිරීමද සිදුකරනු ලබයි. එමෙන්ම කෘෂිකාර්මික දිවිපෙවතක් තුළින් ජීවත්වන ගොවීන්ගේ අතමිට යහමින් සරු වන්නේ මේ කාලය තුළයි. ඔවුන්ට අලුත් ඇඳුම් පැලඳුම් මිලදී ගන්නේද මේ කාලයටයි. එබැවින් සෑම කෙනෙකුම අලුත් ඇඳුමකින් සැරසී අලංකාරවත්ව සිටීම මෙම උත්සවය දිනයේ සිදුකරන තවත් සුවිශේෂී දෙයකි.
දෙමළ ජනයා විසින් සමරනු ලබන අලුත් අවුරුද්ද පුත්තාන්ඩු වශයෙන් හඳුන්වනු ලැබේ. අප්‍රේල් 14 වැනිදා සමරන මෙම උත්සවය ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව යන රටවල්වල වාසය කරන දමිළ ජනයා විසින් උත්වශ්‍රීයෙන් සමරනු ලබයි. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සංස්කෘත දින දර්ශනය තුළ වසරේ පැවැත්වෙන පළමු උත්සවය වශයෙන් මෙය හැඳින්වේ. මෙම උත්සවයේදී තෑගී හුවමාරු කරගනිමින් එකිනෙකා හා සුහදත්වයෙන් නෑදෑ නිවෙස්වල සංචාරය කරමින් උත්සවය සමරයි.
ශ්‍රී ලංකා දෙමළ ජනයා මෙහිදී දරුවන්ට හා තරුණයන්ට ඉදිරි කාලය යහපත් වීම සඳහා %කෛයි විශේෂම්^ යන නමින් හඳුන්වන වර්ෂයේ පළමු මුදල් ගනුදෙනුව සුබ මොහොතින් සිදුකරනු ලබයි. කෘෂිකාර්මික චක්‍රයක් තුළ ජීවිකාව ගෙන යන මොවුන්ගේ වසරේ පළමු අස්වැන්න මෙම කාලයේදී නෙළා ගැනීම සිදුකරයි. එකී පළමු අස්වැන්න ඔවුන් හඳුන්වන්නේ %ආර්පුඩු^ නමිනි.
මැලේසියාවේ හා සිංගප්පූරුවේ වෙසෙන දමිළ ජනයා මෙම පුත්තාන්ඩු නමින් හඳුන්වන අලුත් අවුරුද්දේ හින්දු කෝවිල්වලට ගොස් දෙවියන් වැඳපුදා ගනිමින් උත්සවශ්‍රීයෙන් මෙය ඇරඹීම සිදුකරයි.
ශ්‍රී ලංකාව තුළ වාසය කරන දමිළ ජනයා හා අන්‍යෝන්‍ය සුහදත්වයෙන් හා සංහිඳියාව තුළින් සිංහලයන් මෙය සමරන නිසා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නමින් මෙය හඳුන්වනු ලබයි. ජ්‍යෝතිෂයට අනුව සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමක් ලෙස හඳුන්වන මෙය සුර්ය මංගල්‍යය යන නමින්ද හැඳින්වේ. බක් මාසය හෙවත් මහා මාසයේ එරබදු මල් පිපෙන පරිසරයෙන් පවා ආශීර්වාදය එක්කරන බව සිංහලයන් විශ්වාස කෙරේ. අප්‍රේල් 14 වැනිදා සමරන මෙය සෑම දෙනාටම සෞභාග්‍යය, සතුට හා සාමය සපිරි සමෘද්ධිමත් වසරක් අපේක්ෂා කෙරේ. සිංහල අලුත් අවුරුද්ද චාරිත්‍ර - වාරිත්‍ර රැසකින් සැදුම්ලත් අතර, එයට ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව නැකැත් පත්‍රයක් සකස් වේ.
අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිප ගිනි මෙලවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, හිසතෙල් ගෑම හා රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම වැනි සෑමදෙයක්ම එකී නැකැත් පත්‍රයට අනුව නියමිත වේලාවට ඒ වෙනුවෙන් කැප වී සිදුකරනු ලබයි. මේ හා බැඳි හෙළ සංස්කෘතියක් පවා බිහිවී ඇති අතර, සංස්කෘතිකාංග රාශියකින් සැදුම්ලත්ය. එමෙන්ම කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා, ආස්මි වැනි රසකැවිලි රැසකින් අලුත් අවුරුදු කෑම මේසය හැඩ කිරීමට සිංහල ජනයා අමතක නොකරයි.
දෙමළ ජනයාද අවුරුදු සැමරීම උත්සවශ්‍රීයෙන් සිදුකරන අතර, රන්දෝලි ඇඳ, උළුදු වඩේ, අග්ගලා, පැණි වළලු, පායාසම් වැනි රසවත් කෑමවලින් රස ගන්වයි.
අග්නිදිග ආසියාවේ අවුරුදු සැමරුම
ග්‍රේගරියන් ( Gregorian) දින දර්ශනය අනුගමනය කරන කාම්බෝජ වැසියන් ඔවුන්ගේ අලුත් අවුරුද්ද සමරනු ලබන්නේ අප්‍රේල් 13 වැනිදා සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළයි. මියන්මාර්, තායිලන්තය, ලාඕසය වැනි බෞද්ධ රටවල ඒ දිනයන්වලට පවත්වන උත්සවයට සමාන මුහුණුවරකින් කාම්බෝජ වැසියන් මෙය සමරනු ලබයි. අස්වැන්න නෙළන ගොවීන් ඒ ධාන්‍ය නිවසට ගෙනැවිත් සතුටෙන් ගත කරන කාලයක් ලෙස මෙම කාලය හඳුනාගත හැකිය. 13 වැනි ශතවර්ෂය වන තෙක් කාම්බෝජයේ වැසියන් නව අවුරුදු සැමරීම සිදුකර ඇත්තේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදීය. පසුකාලයේදී මෙම උත්සවය අස්වැන්න කපන කාලය ලෙස වෙනස් කර තිබේ.
බෞද්ධ දින දර්ශනයයට අනුව 5 වැනි චන්ද්‍ර මාසය වන අප්‍රේල් මාසයේ 13 වැනිදා සිට 16 වැනිදා දක්වා මෙම උත්සවය එරට වැසියන් විසින් සමරනු ලබයි. ලාඕසය තුළ මල් පිපෙන මෙම කාලයේදී ඕකිඩ්වලට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. තෙදිනක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේදී එකිනෙකා හා වතුර ගසා ගනිමින් විනෝදාත්මකව ගතකරයි. ඔවුන් පළමු දිනයේ බුද්ධ රූපය ජලයෙන් පවිත්‍ර කරයි. දෙවැනි දිනයේදී බෞද්ධ විහාරස්ථානවලට ගොසින් වැඳුම් - පිදුම් කටයුතු කර භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගැනීම මූලික දෙයකි. තෙවැනි දිනයේදී උත්සවාකාරයෙන් පෙරහර ආදිය පැවැත්වීමෙන් අවසන් කරනු ලැබේ. මේ ආකාරයට ආගමික හා සංස්කෘතික පසුබිම තුළින් අග්නිදිග ආසියාවේ මියන්මාරය හා තායිලන්තය තුළද මේ හා සමාන උත්සව පැවැත්වේ.
චීනයේ ජනතාව එකිනෙකා හා වතුර ගසා ගනිමින් තරගකාරී ලෙස පවත්වන උත්සවයකින් නව වසර සමරනු ලැබේ. සිෂුආන්ග්බෙනා (Xishuangbanna) නම් ප්‍රාන්ත වැසියන් %දායි^ නමින් හඳුන්වන ඔවුන්ගේ සාම්ප්‍රදායික දින දර්ශනයට අනුව මෙසේ සිදුකරනු ලබයි. ජලය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම උත්සවය ආගමික මුහුණුවරක් ගැනීමද දැකගත හැකිය. අප්‍රේල් මස 16 වැනිදායින් ආරම්භ වන මෙම උත්සවය අවම වශයෙන් තෙදිනක් පැවැත්වේ. පළමු දිනය උත්සවශ්‍රීයෙන් ආරම්භ කරන ඔවුන් දේශීය ආහාරවලට මෙන්ම සෝස් වර්ගවලටද මූලිකත්වයක් දේ. සවස් කාලයේදී ලැන්කැන් (Lancang) නදියෙහි පවත්වන බෝට්ටු තරගය බොහෝ දෙනා උනන්දුවෙන් නරඹන්නකි. තෙවැනි දිනයේ ආගමික වතාවත්වලින් පසුව ජල ක්‍රීඩාවල මොවුන් නිරත වේ. නව වසරේ පවිත්‍ර වීම මෙයින් අදහස් කෙරේ. ඒ තුළින් සෞභාග්‍යය හා වාසනාව පුද්ගල ජීවිතයට ළඟා වේ යැයි බොහෝ දෙනාගේ මතයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd