රාජිත දිසානායකගේ ‘ආදර වස්තුව’ වේදිකා නාට්‍යයේ පස් වැනි වර්ෂ පූර්ණ දැක්ම ජනවාරි 21 වැනිදා සවස 7ට පැවැත්වෙන අතර, ඒ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදීය. 2014 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍ය රචනය සහ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් මෙම නාට්‍ය පිළිබඳ මෙහි නිෂ්පාදක (අධ්‍යක්ෂක) රාජිත දිසානායක සමගින් කතාබහක යෙදීමට අපි සිතුවේ එබැවිනි.
Q ’ආදර වස්තුව’ කොහොමද තත්කාලීන සමාජයට වැදගත් වෙන්නේ
මෙහි ඉසියුම් අර්ථ ඒ කාලේ එතරම් ප්‍රේක්ෂකයාට සමීප වුණේ නැහැ. ඒත් මේ වෙනකොට මේ නාට්‍ය නව අරුත් ප්‍රේක්ෂකයාට සන්නිවේදනය කරමින් පවතිනවා. මොකද ‘ජනවාරි 08’ වෙනස සිදුවීමට අවුරුද්දට කලින් ලංකාව තුළ තමයි මේ නාට්‍ය දිගහැරෙන්නේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සහ විද්යාර්ථයෙක්ගේ ප්‍රේම සබඳතාවක් නිම වී වසර දහයකුත් පසුවූ පසු ආදරවන්තයන් දෙදෙනෙකු පාදක කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරයා සිදුකරමින් සිටින දේශපාලන කුමන්ත්‍රණයක් හෙළිකර ගැනීමට නැවත විද්‍යාර්ථයා ඔහු සොයා ඒම වටා තමයි මෙහි පසුබිම ගොඩනැගෙන්නේ. එහිදී හැඟීම් සහ සිතිවිලි ගැටෙන ආකාරයත්, බලය වෙනස් වන ආකාරයත් ගැන අලුත් කතාබහක් ඇති කිරීමට අපි උත්සාහ කළා.
Q අනාගතය දැකිය හැකි ස්වතන්ත්‍ර නාට්‍ය රචකයන්ගේ රික්තයක් පවතිනවා නේද
රචකයෙක් විදිහට මමත් ඒ විවේචනය දිහා ඉතා කැමැත්තෙන් අවධානය යොමු කරනවා. උදාහරණයකට මගේ අවුරුදු දහ හතරක් පමණ වයසැති ‘සිහින හොරු අරන්’ නාට්‍ය තවමත් මේ සමාජයට අදාළයි කියලයි මට පේන්නේ. ඒ වගේම ‘වීරයා මැරිලා’ වේදිකා නාට්‍යයටත් අවුරුදු දොළහක්.
‘ආපහු හැරෙන්න බෑ’ නාට්‍යයටත් අවුරුදු දහයක්. ඒ නිසා මේවායේ වලංගුභාවය තීරණය කරන්නේ කාලය විසින්මයි. කොහොම වුණත් මගේ ඒ පිටපත් සියල්ල එදාට වඩා අදට වලංගු බවයි පවතින සමාජය දිහා බලද්දි මට පේන්නේ.
Q නාට්‍ය පිටපතක් කියන්නේ තවදුරටත් සාහිත්‍යමය ලියවිල්ලක්ද
නාට්‍යයක් කියන්නේ රංගයකට උචිත ආකාරයෙන් කරනු ලබන ලිවීමක්. ඒත් එය කෘතියක් ලෙස අතට ගෙන සාහිත්‍යමය ලියවිල්ලක් ලෙසින් රසවිඳින සම්ප්‍රදායකුත් අපට තියෙනවා. හැබැයි නාට්‍යයක් කියන්නේ එහි පිටපත නෙමෙයි.
Q කොහොම වුණත් නාට්‍ය කලාව හරහා වත්මන් සමාජයට කළ හැකි බලපෑම එදාට වඩා පහළට ගිහින් නේද
නාට්‍ය කලාව තුළ පවතින ශක්‍යතාවේ අඩුවක් වෙලා නැහැ. මොකද වෙනත් මාධ්‍යයකින් ලබනවාට වඩා සුවිශේෂී රංගයක් නාට්‍ය මාධ්‍ය හරහා සජීවීව අත්විඳින්න පුළුවන්. ඒ නිසා ඒ රසය දන්නා කෙනා ඒ රසය සොයාගෙන යනවා. ඒත් බහුතරයකට වෙලා තියෙන්නේ ඒ රසය හඳුනා ගැනීමට තරම් වාසනාව නැතිකම. අවස්ථාව නැතිකම. එයයි ගැටලුව. මොකද වීඩියෝ පටයකින් හෝ අන්තර්ජාලයෙන් හෝ මේ නාට්‍ය රසය අපට හරියාකාරව ලබන්න බැහැ. ඒ නිසා ඒ විඳීම පැහැදිලිවම කාරණා දෙකක්. කොහොම වුණත් නාට්‍ය කලාව මේ ආකාරයෙන් හෝ පවතින්නේ සජීවී රංගයක පවතින චමත්කාරය හඳුනන සීමිත ප්‍රේක්ෂකයන් පිරිස හින්දයි. එය වැඩිකර ගැනීමයි වඩා වැදගත් වෙන්නේ.
Q ඒත් සියල්ලම විකිණෙන සමාජයක ගුණාත්මක යමක් වෙනුවෙන් අලෙවි වීමේදී ඒ ජනප්‍රියත්වය ප්‍රයෝජනය ගත හැකියි නේද
ඔව්. හැබැයි වඩා වැදගත් වෙන්නේ අදාළ ජනප්‍රිය රූපණ ශිල්පීන් කලාව පිළිබඳ හිතන විදිහ, කලාව පිළිබඳ තියෙන ඇල්ම සහ සමාජය පිළිබඳ අදහස නොසිඳී පෝසත්ව පවත්වාගන්න පුළුවන්ද යන්නයි. එවැනි පිරිස් තමන්ගේ ප්රකාශනය සඳහා භාවිත කළාට කමක් නැහැ. මොකද නැත්නම් සිදුවෙන්නේ අදාළ ජනප්‍රියත්වය විසින්ම ඔවුන්ව හුදු වෙළෙඳ භාණ්ඩ බවට පත්කිරීම පමණයි. එයින් සමාජයට සැලසෙන සෙතක් නැහැ.
Q නිවෙස්වල සිටි ප්‍රේක්ෂකයාව රඟහලට රැගෙන ආ රැල්ල අපට එදා ගුණාත්මක රැල්ලක් බවට පත්කර ගැනීමට අවස්ථාවක් තිබුණා නේද
ඒක කවදාවත් සිදුවෙන දෙයක් නෙමෙයි. පුහු හාස්‍ය රැල්ලකට හසුවූ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ට ගුණාත්මක රසිකත්වයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. ඒ නිසා එතැනින් අපට ස්ථාවර රසිකයෙක් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද ඒ නාට්‍ය බොහොමයකම කලාත්මක බවක් තිබුණා කියල හිතන්න අමාරුයි.
Q නාට්‍ය හා රංග කලාව අධ්‍යාපනික විෂයයක් වුණත් එවන් විෂයයක් නොතිබුණු කාලයේ තරම්වත් දියුණු නාට්‍ය කලාවක් බිහිකර ගැනීමට තවමත් අපොහොසත් වී ඇති බවට චෝදනාවක් තියෙනවා
ඒ චෝදනාව සාධාරණයි. මොකද පොදුවේ විවිධ නාට්‍ය ධාරාවන් රසවිඳින රසිකයෙක් මේ හරහා බිහිවෙන්නේ නැහැ. කලාවට ගරු කරන නිදහස් රසිකයෙක් බිහිවෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා සිදුකරන්නේ තමන් කැමති නාට්‍ය කෘති කිහිපයක් පමණක් හැදෑරීමට ලබාදීම පමණයි. එහෙම නැත්නම් තමන්ගේ වෙනත් දාර්ශනික දේවල් තමයි උගැන්වීම පමණයි. එහෙම නැතුව මේ මොහොතේ වේදිකාගත වන නාට්‍ය නැරඹීමට අවශ්‍ය පෙළඹවීම ඔවුන් ඇති කරන්නේ නැහැ. අනික තමන් අකමැති නාට්‍යකරුවන් ප්‍රතික්ෂේප කිරීම ඇරුණම විචාරශීලී රසිකයෙක් ඇති කරන්න ඔවුන් මහන්සි ගන්නේ නැහැ.
Q එදා සිදුවූ තරුණ කැරළි, තිස් අවුරුදු යුද්ධය ආදී ලාංකේය තත්කාලීන සිදුවීම් නාට්‍යකරුවන්ට අහුවුණාද
සංඛ්‍යාත්මකව මදි. මොකද ප්‍රමාණවත් පරිද්දෙන් කලාත්මක ප්‍රකාශන ලෙස ඒවා තවමත් නිසියාකාරව එළියට ඇවිත් නැහැ. හැබැයි මමත් තිස් අවුරුදු යුද්ධයකට පස්සේ ජාතිවාදය, ආගම යනාදී සාධක බලය වෙනුවෙන් කොයිතරම් අවස්ථාවාදීව අපේ ආකල්පවලට නරක විදිහට බලපෑම් කරනවද යන්නයි ‘නැතුව බැරි මිනිහෙක්’ නාට්‍ය හරහා කතාබහකට ලක් කරන්න උත්සාහ කළේ.
Q ’රාජිත දිසානායක’ නාට්‍යකරුවාට ජාත්‍යන්තරයට යාමට අවශ්‍යතාවක් තියෙනවාද
මගේ වේදිකා නාට්‍ය කිහිපයක් ඉංග්‍රීසියට පරිවර්තනය වෙලයි තියෙන්නේ. ‘ආපහු හැරෙන්න බෑ’ නාට්‍යයේ ඉංග්‍රීසි පරිවර්තනය මේ වෙද්දි මුද්‍රණය වෙලත් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මහාචාර්ය රංජනී ඔබේසේකර විසින් ‘මට වෙඩි තියන් නැද්ද’ නාට්‍ය ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. හැබැයි අපේම නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යාමේදී නම් ඊට යම් යම් සීමා තියෙනවා. මොකද එහිදී අපට භාෂා ගැටලුවක් පැන නගිනවා. ඒ නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම නාට්‍යය වටහා ගනීවිද යන්න සැක සහිතයි.
Q ඇයි නාට්‍ය කලාවක් ජනතාවට වැදගත් වෙන්නේ
මේ රට පාලනය කරන පාලකයන්ගේ ක්‍රියාකලාපයන්ගේ පවතින අතිනාටකීය බව සැලකීමේදී මෙහෙමවත් නාට්‍ය කලාව ඉතිරි වී පැවතීම විශාල සතුටක්. ඒත් ඔවුන් තව තව හානි කරන්න නියමිතයි. සංස්කෘතියට හානි කිරීමට නියමිතයි. ඒ නිසා ලොකු අනතුරක් අපි ඉදිරියේ නැතුවා නෙමෙයි. අපේ ඒ සමාජ ජීවිතය සුරක්ෂිත කර ගැනීම උදෙසා ගුණාත්මක නාට්‍ය කලාවක් පැවතීම ඉතා වැදගත්.