තම නවතම සිනමා නිර්මාණය වන 'සත්ඉම' රූගත කිරීම වාරණය කිරීමට පොලීසිය කටයුතු කිරීම රටේ නිර්මාණකරුවන්ට ප්‍රකාශන අයිතියට නිදහසක් නොමැති බව පැහැදිලි කරන සිදුවීමක් බව චිත්‍රපට අධ්‍යක්ෂක බෙනට් රත්නායක මහතා පවසා සිටී.
'අස්වැසුම', 'සුළඟ' හා 'ඉර හඳ යට' සිනමා නිර්මාණ හරහා ජාතික හා ජාත්‍යන්තර සිනමා උලෙළවලදී ඇගයීමට ලක්වූ නිර්මාණකරුවෙකු වන බෙනට් රත්නායක මහතාගේ නවතම සිනමා නිර්මාණය වන 'Bonafide' (සත්ඉම) රූගත කිරීමට සැලසුම් කර තිබියදී, එය සුදුසු නොවන සිනමා නිර්මාණයක් ලෙස වාරණයට ලක්කරන්නට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ නිර්දේශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා විසින් මෙකී වාරණය පනවා තිබේ.
'අවංක පොලිස් නිලධාරියෙක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය දිනා සිටිනා අයෙක් පසුව දේශපාලන මැදිහත්වීම් මත වෘත්තීය බලය අයුතු ලෙස යොදාගන්නා අන්දම' පිළිබඳ කතා පුවතක් මෙම සිනමා නිර්මාණයට වස්තු විෂය වී තිබේ.
මේ පිළිබඳව සිය මතය මාධ්‍ය නිවේදනයක් හරහා ඉදිරිපත් කරන බෙනට් රත්නායක මහතා පවසා සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ලිපිය සාවද්‍ය බවත්, චිත්‍රපටයක් වාරණය සඳහා අයිතිය ඇත්තේ එය නිර්මාණය කිරීමෙන් පසුව රැඟුම් පාලන මණ්ඩලයට පමණක් බවත්ය. එසේම එහි තිර රචකයා හා අධ්‍යෂකවරයා ලෙස තමන් නීතිය හා සාමය පිළිබඳ අමත්‍යාංශයේ ලේකම්වරයාට මේ පිළිබඳව අභියාචනයක් මගින් දැනුම්දී ඇතත් තවමත් එයට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවත් හෙතෙම පවසයි. පොලිස් දෙපාර්තමේන්තුවේ මෙකී ලිපිය රටේ නිර්මාණකරුවන්ට ප්‍රකාශන අයිතියට නිදහසක් නොමැති බව පැහැදිලි කරන කරුණක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.