මහේෂ් නිස්සංකගේ සුරම්‍ය රාත්‍රිය සමගින් Wayo live in concert ප්‍රසංගය එළඹෙන 26 වැනිදා පස්වරු 7ට බත්තරමුල්ල අපේ ගමේදී පැවැත්වීමට නියමිතය. අපි ඒ ගැන කතාබස් කරනට එම වැඩසටහනේ ගීත නිර්මාණ හා රසික හදවත් සම්බන්ධීකරණය කරන මහේෂ් නිශ්ශංකයන් අද කතාබහට සම්බන්ධ කරගතිමු.
මට සංවිධායකවරුන් ආරාධනා කළා වැනසීගෙන යන සිංහල ගීතය නැවත සමාජයේ තවාන් කරන්න ඕන කියා. මේ වැනසිලා යන සුභාවිත ගීතය යළි තවාන් කරන්න ඕන. එමෙන්ම සුළිසුළඟට ගහගෙන ගියා වගේ සහ සුනාමියට හේදිලා ගියා වගේ වෙච්ච සුන්දර කලා නිර්මාණ නැවත කොහොමද මේ සමාජය තුළ ස්ථාපිත කරන්නේ කියල බලන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඔවුන් එහි අදින්න ඕන සමස්ත බර පද්ධතියම අදිනවා. හැබැයි එයට ලැබිය යුතු සම්පත් දායකත්වය මගෙන් බලාපොරොත්තු වුණා.
පසුව අපි එකඟතාවකට ආවා. වායෝ සංගීත කණ්ඩායම වැනි වෙනස් ආරකට සංගීතය සමාජගත කරන සංගීත කණ්ඩායමක් එක්ක සුභාවිත පැත්තට නැඹුරුවීම ලොකු අවස්ථාවක් ලෙස දැකලා මම එයට කැමති වුණා. එමෙන්ම මේ සත්කාරයෙන් සමාජ සේවයකුත් සිදුකෙරෙනවා. මෙය ලාභ පරමාර්ථයකින් තොරව වියදම් පියවා ගැනීමේ සීමාවේ හැසිරෙමින් කරන වැඩසටහනක් නිසා මෙයින් ලැබෙන ආදායමෙන් තෝරාගත් අපේ සේවය අවශ්‍ය පිරිසටත් සේවය කරනවා කියා ඔවුන් සඳහන් කළා. මෙය සමාජ මෙහෙවරක් ලෙස දැකපු නිසා මමත් ඔවුන් එක්ක එකතු වුණා.
ඇත්තටම මේක ලස්සන වැඩක්. අපි අතීතයේ කරපු 'සුරම්‍ය රාත්‍රිය' වගේම වර්තමානයේ කරන 'සිහිනයකි රෑ' කියන වැඩසටහන් දෙකේම සංකලනයක් ලෙසයි මෙය අපි සමාජයට දෙන්නේ. සාමාන්‍යයෙන් ගීතයක් අහලා අවසන් වුණාම එම ගීතයෙන් ඉවත්වෙන එකනෙ අපිට වෙන්නෙ. එහෙම නැතුව ගීතයක් අහනකොට ගීතය තුළ තිබෙන සැබෑ යටිපෙළ අරුත පිළිබඳව කිසියම් අධ්‍යයනයක් ඇතුව ගීතය අහනවා නම් ඒ ගීතය සම්පූර්ණයෙන්ම අපේ හද තුළ නවතිනවා. අන්න ඒ උදාර කර්තව්‍යය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ කරනවා කියල වායෝ සංගීත කණ්ඩායමට සංගීත් විජේසූරියත් එක්ක මම එකතු වෙනවා. සංගීත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමම මට සතුටක්.
Q ඇත්තටම මොකද්ද ඔබ කියන විදියට ලංකාවේ සංගීතයට වෙලා තියෙන්නේ?
සම්පූර්ණයෙන්ම මුදලාලිකරණයට අහුවෙලයි තියෙන්නේ. සමාජයේ අත්දැකීම්වලින් දැනෙන දේ තමයි තවමත් අපේ මිනිස්සු හැත්තෑව දශකයේ තිබුණු ගීතත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ප්රශ්නය තියෙන්නේ තමන්ගේ හදවතට ගන්න විදියේ මාධ්‍යයක් අපට නෑ. අද සීඩී එකක් අරගෙන ගිහින් ප්ලේයර් එකේ දාලා සින්දු හය හතක් එක දිගට අහන්න පුළුවන් විදියක්නෙ තියෙන්නේ. මේවට මාධ්‍යයක් අවශ්‍යයි. මාධ්‍ය මුදලාලිලා විසින් මාෆියාකරණයට ලක්වෙලා මේක වහලා වෙනම පැත්තකට ඇදගෙන යනවා.
Q මේක ගත්තොත් ආයෙමත් මාධ්‍ය පැත්තටමනේ හැරෙන්නේ. ඔබත් මාධ්‍යවේදියෙක්?
මගේ පෞද්ගලික අදහස තමයි කලාව පාලනය කරන්න, සංස්කෘතිය පාලනය කරන්න, දේශපාලනය පාලනය කරන්න, අභිමානය ගොඩනගන්න, නීතිය පාලනය කරන්න අඩුවක් නැතුව නිලධාරීන් ඉන්නවා, නමුත් මේ නිලධාරීන්ගෙන් මේක හරියටම කෙරෙනවාද බලන්න නිලධාරියෙක් නෑ. ගුවන් විදුලි හෝ රූපවාහිනී හෝ නාළිකාවකට බලපත්‍ර දෙන්න නම් හරි උනන්දුවක් තිබෙනවා.
බලපත්‍ර දුන්නාම මේ ආයතන ක්‍රියාපටිපාටිය තුළ අපේ රට තුළ සිදුවන හානිය හෝ කලාවට සිදුවෙන හානිය හා ඉදිරි පරපුරට සිදුවන හානිය ගැන අඩුම තරමේ පර්යේෂණයක් කරපු නිලධාරියෙක් හොයල දෙන්න. එහෙම නෑ. ඒක තමයි ප්‍රශ්නෙ. එක රැයින් එය නිවැරදි කරන්න බෑ. බැහැ කියල අතෑරියොත් කඹේ අතෑරියා වගේ තමයි. අතෑරිලාම යනවා. මේක දහ පහළොස් දෙනා බැගින් ඇදලම සුභාවිත ගීතයට ගේන්න ඕන.
Q මොකද්ද මේ වෙලා තියෙන්නෙ?
හැමදාම එකම තැන කිසිම දෙයක් තියාගන්න බෑ. ඒවා මිනිස්සුත් එක්ක දවසින් දවස වෙනස් වෙන්න ඕන. අන්න ඒ වෙනස්වීම පිළිබඳව අවබෝධයක් නොතිබීම තමයි ප්‍රධානම කාරණාව. වෙනස සොයාගෙන ගියා මිස වෙනස් කළ යුත්තේ කෙසේද යන්න සොයාගත්තේ නැති එකයි තියෙන්නේ. ඉන්දියාවේ මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ, මුකේෂ් වැනි අය ගායනා කළ ගීත අදටත් ඇහෙනවා. හැබැයි එම ගීතම අපිට තව පරම්පරාවකිනුත් ඇහෙනවා. තවත් පරම්පරාවකට අරන් ගිහින් තිබෙනවා. ඒ රට තුළ තිබෙනවා කිසියම් ක්‍රමවේදයක්. නිර්මාණයක් තිබෙනවා නම් එය සංරක්ෂණය වෙන්න ඕන වගේම එය සමාජගත වෙන්නත් ඕනේ.
අපේ නිර්මාණ එහෙම බෑ .අතින් අල්ලන්නවත් බෑ. රසවිඳින්න විතරයි පුළුවන්. ඒ දිහා හැරිල බලන්නවත් බෑ. මේක මගේ තාත්තගෙ, මේක මගේ කුඩප්පගෙ කියල පෙට්ටගමේ දාල තියාගෙන තමයි ඉන්න හදන්නේ. සමහරු දන්නෙ නෑ මියගිය කලාකරුවා දෙවැනි වතාවටත් ඔවුන් ඝාතනය කරනවා කියා. උදාහරණයක් ලෙස මහගමසේකර මැතිතුමාගේ ගීතයක් තවත් කෙනෙක් රසවින්දනය කරනකොට, එතුමාගේ උරුමක්කාරයෙක් ගායනා කරනකොට ඕක එහෙම තමුසෙ ගායනා කරන්න එපා කිව්වෙත් එතකොට වෙන්නෙ මහගමසේකරගේ නිර්මාණය අපි පෙට්ටගමේ දාල හංගන්නනෙ හදන්නෙ. අපි මේ කරන්නෙ දැන හෝ නොදැන දෙවැනි වරට තාත්තාව ඝාතනය කිරීමයි.
අපේ තාත්තා ජීවත් වෙනවා කියල දැනෙන්නනම් අපේ තාත්තගෙ නිර්මාණ සමාජය තුළ පවතින්න ඕන. සමාජය කියන්නෙ පරම්පරාවක් දෙකක් විතරක් නෙවෙයි. සමස්ත සංහතියම. දෙන්නෙ නෑනෙ ඒකනෙ ප්‍රශ්නෙ. ඒ නිසා හිත්වල තිබෙන ජුගුප්සාජනක බොළඳ අදහස් පැත්තකට දාල මතු පරපුරට නිසි සේ පරිහරණය කරන්න දෙන්න ඕන. නමුත් බලාගෙන ඉන්න ඕන. මොකද්ද වෙන්නෙ කියල. ඔන්න ඔය බලාගෙන ඉන්න එක තමයි අපේ අයට කරන්න තේරෙන්නෙ නැත්තෙ. එනිසා මම අවසාන වශයෙන් මේ කර්තව්‍යයට බොහොම කැමතියි. තරුණ නායකත්වයක් තමයි මෙය කරන්නේ. චමින්ද කියන තරුණයාට සුභාවිත ගීතය සමාජගත කරන්න ඕන කියන සිතුවිල්ල ආපු එකෙන්ම අපි දිනුම්. ඉතුරු ටික අපිට කරන්න පුළුවන් වෙන්න ඕන. එනිසා මම අපේ රසිකයන්ට මම ආරාධනා කරනවා අපේ ගමට 26 වෙනිදා ඇවිත් මේ ගීත රසවිඳින්න කියා.