වෙසක් දිනය එළැඹුණු අද දිනයේ පටන් විද්‍යුත් මාධ්‍යයේ මෙන්ම මෙන්ම පන්සල්, දන්සල් හා තොරණ ඇසුරෙන් අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ බොදු ගීත බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් ඒ බොදු ගීත බොහොමයක් මීට දශක හතරකට, පහකට ඉහතදී නිර්මාණය වූ ගීතයන්ය.
බොදු ගීය සහ වෙසක් පොහොය දින ඇති සම්බන්ධය මෙන්ම වර්තමාන බොදු ගීත, ගේය පද රචනයන්ට සහ ගායනයන්ට අත්වී ඇති ඉරණම පිළිබඳ සාකච්ඡා කිරීමට මේ වෙසක් පුන් පොහොය දිනයේ 'අද' අපි සිතුවෙමු.
ඒ නිසා අපි මේ සඳහා රඹුකන සිද්ධාර්ථ හිමියන්, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වික්ටර් රත්නායක යන මහත්වරුන් හා ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී මහත්මිය 'අද'ට සම්බන්ධ කර ගත්තෙමු.
රඹුකන සිද්ධාර්ථ හිමි
සංස්කෘත ශ්ලෝක, පාලි ගාථා, සිංහල ගීත මේවා නිර්මාණය වෙලා තියෙන්නේම බුදුන්වහන්සේ හා ධර්මය පිළිබඳව, තමන් තුළ තිබෙන්නා වූ ශ්‍රද්ධාව, පිළිගැනීම, ගෞරවය කියාපෑම සඳහායි. දැන් අපේ සිංහල ගද්‍ය, පද්‍ය සාහිත්‍ය ගත්තත් ඒ ගද්‍ය, පද්‍ය, සාහිත්‍ය පුරාම තිබෙන්නෙ බුදුන් පිළිබඳ කරුණු කාරණායි. ථූපවංශය ගත්තාම ථූපවංශයේ ලියවිලා තිබෙන්නෙ රුවන්වැලි මහාසෑය මුල්කර ගත් විස්තර සහ වර්ණනාවන්.
බෝධිවංශය ගත්තාම එහි තිබෙන්නෙ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ පුරාවෘත්ත සහ ඉතිහාසය. දළදා වහසන්සේ ගත්තාම එහි තිබෙන්නෙ දළදා වහන්සේ පිළිබඳ පුරාවෘත්ත කතාව. ඒ වගේ ගද්‍ය, පද්‍ය ගත්තාම මගේ ගීතයත් යොදා ගන්නවා අනන්ත බුදුගුණ කියා පෑමට. ගීතය කියන්නෙ සියුමැලි කලා මාධ්‍යයක් නිසා ඒ තුළින් අපට පුළුවන් බුදුන් වහන්සේ පිළිබඳ තිබෙන ශ්‍රද්ධාව, ගෞරවය ප්‍රකාශ කරන්න. ඒ නිසා අතීතයේ පටන්ම බුදුගුණ ගීතවලට ලොකු අවස්ථාවක් ලැබුණා. උදාහරණ ලෙස,
''පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයාණෝ''
“අැසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැළවෙන කැළෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්''
''අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත්, මුදිතා, කරුණා ධාරා''
''නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්''
''බුදු පියාණෙනේ ඔබේ පාද කරනෙමි සිරිපා''
මේ ආදී වශයෙන් දහස් ගණනක් බුදුගුණ ගීත තිබෙනවා. ඉතිං ඒ ගීතය කියන සොඳුරු කලා මාධ්‍ය අලංකාරව යොදාගන්න පුළුවන් බුදුගුණ ගීත සඳහා. අපේ රට බෞද්ධ රටක් නිසාම ජනතාවගේ රසවින්දනයට ඉතාම ඉක්මනින් හසුකර ගත හැකි නිසා මේ බොදුගීත යොදාගෙන තිබෙනවා.
නමුත් අද වනවිට මේ බෞද්ධ ගීත නිරිමාණයන් සම්බන්ධව තිබෙන්නෙ කණගාටුදායක තත්ත්වයක්. අද හැමදේම තුළ තිබෙන්නේ වාණිජ පරමාර්ථයක්. නමුත් එදා ගීත නිර්මාණය කළ නිර්මාණකරුවන්ට වාණිජ පරමාර්ථයට වඩා වෙනත් පරමාර්ථයක් තිබුණා. ඒ කියන්නෙ කලාවෙ උන්නතිය උදෙසා ගීතයේ උන්නතිය උදෙසා, මිනිසුන්ගෙ රසවින්දනය උදෙසා තමයි ඒ නිර්මාණ කළේ. අද දවස වනවිට මේ සියලු දේ කරන්නෙ මුදල් උපයා ගැනීම සඳහා. ඒ නිසා ඒ පරමාර්ථයෙන් කරන කොට මෙවැනි නිර්මාණ බිහිවෙන්නෙ නැහැ. ඔවුන්ට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ.
දැන් ගේයපද රචකයො ගත්විටත් ඔවුන්ට බැහැ මිනිසුන්ගෙ මතකයේ රැඳෙන ගීත තනන්න. එයට ප්‍රධාන හේතුවක් තමයි සාහිත්‍ය කියවීමක් නොමැතිකම. සාහිත්‍ය පොත්පත්, පද්‍ය පොත්පත්, ගද්‍ය පොත්පත් පිළිබඳ හැදෑරීමක් නොකළ කෙනෙකු හරියට කවදාවත් කුඹුරට බැහැලා නැතිව උදැල්ල අරගෙන කුඹුරට බැස්ස වගේ තමයි.
කුඹුරක් කොටනකොට ගොවියාට තිබෙනවා කරුණු කාරණා ගොඩක්. ඒ කියන්නෙ ඇළවේලි සුද්ධ කරලා ඒවා කැඩුණු, බිඳුණු තැන් හදලා පුරං කොටලා, වී වපුරන තත්ත්වයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් තියෙනවනෙ. ඒක හොඳටම දන්නවා ගොවියා. නමුත් කවදාවත් කුඹුරට නොබැස්ස කෙනෙකුට උදැල්ලක් දුන්නොතින් එයාගේ නුපුරුදු බව, නුහුරු බව පේනවා.
අන්න ඒ වගේ තමයි භාෂාව පාවිච්චි කිරීමේදීත්. භාෂාව නුහුරු, නුපුරුදු කෙනා, සාහිත්‍ය නුහුරු නුපුරුදු කෙනා ඒක භාවිත කරන්න ගියාම ඒ අයගෙ නුහුරු, නුපුරුදු ගතිය නිර්මාණය තුළින් පේනවා. එමගින් වෙන්නෙ ගීත සාහිත්‍යත් විනාශ වෙනවා. ඒවාට සවන් දෙන අපේ මනසත් විනාශ වෙනවා.
ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
බොදු ගීතය සම්බන්ධ මගේ විවේචනාත්මක අදහසකුත් පවතිනවා. ග්රැමෆෝන්, ගුවන්විදුලි වගේ වකවානුවල බොදු ගීත ඉතාම බරපතළ දර්ශනයක්, දෘෂ්ටියක් සහිතව ගොඩනැගුණෙ. ඒ වගේම මේ කාලයේ තිබුණා ගීත නිබන්ධන කියා තනතුරක්. මුල්ම කාලයේ විමල් අභයසුන්දර, චිත්‍රානන්ද අභයකෝන්, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස් වැනි අය මුල් කාලයේ සම්බන්ධ වන්නෙ ගුවන්විදුලියේ ගීත නිබන්ධක තනතුරට.
එවිට ඒ අයට සිදුවුණා වෙසක් පොහොයන් වැනි පොහොය දිනයක් මුල්කර ගෙන බෞද්ධ ගීත ලියන්න. ඉන් පසු යුගයක රූපවාහිනිය ආවිට එද්දි මෙය හෑල්ලු වීම තරමක් දුරට ආරම්භ වෙනවා. නමුත් මුල්යුගයේ රූපවාහිනියේ බෞද්ධ ගීත ආරක්ෂා වුණා. එහිදී රසය, පදමාලාව, සංගීතය, ගායනය වැනි හැම පැත්තෙන්ම ඉතා හොඳ නිර්මාණ බිහිවුණා. නමුත් රූපවාහිනියේ පසු කාලයේ මේ සම්බන්ධව තබන බර තැබීම, ගැඹුර අඩුවෙන්න පටන් ගත්තා. ගුවන් විදුලියෙත් මේ වනවිට මේ තත්ත්වය උදාවී තිබෙනවා.
බුදු දහම කියන්නෙ ඉතාම අනිත්‍ය, ප්‍රතිසංයුක්ත, ගැඹුරු දර්ශනයක් සහිත, ඒ වගේම අනිත්‍යතාව මුල්කර ගත් දර්ශනයක්. කිසිදු ව්‍යාපාරයකට පොළඹවා ගත නොහැකි දර්ශනයක්. මේ දර්ශනයෙන් කාටවත් වෙළෙඳාම් කරන්න, ව්‍යාපාර කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් අද බුදුදහමට වෙසක් පොහොයට සිදුවෙලා තියෙන දේ දැකගන්න පුළුවන්. ඒක ආරාම, පන්සල් ඇතුළු සමස්ත සාමාන්‍ය සමාජයත් එක්කම පිරිහීමට ලක්වෙලා. මේ වෙසක් සතියේ ඔබට මෙහෙම යෝජනාවක් කරනවා. එළියට බැස්සාම තොරණ කියලා ඔබට මුණගැසෙන්නෙ මොනවාද?
තොරණ කියන්නෙ විදුලි ආලෝකයේ විශ්මිත තාක්ෂණික නිමවුමක්. ඒ කිසිම තොරණක තිබෙන බෞද්ධ කතා වස්තුව බලා ගන්නවත් බැරි තරම්. ඒ කතා වස්තුව බලාගන්න උදේට යන්න ඕන. තොරණ සම්බන්ධව අතිවිශාල වෙළෙඳ ව්‍යාපාරයකට භික්ෂු සංස්ථාව, දේශපාලන සංස්ථාව, ප්රභූවරු ඇතුළු සියලු දෙනාගේ ආශීර්වාදය, අනුමැතිය සහිතව අහිංසක පුරවැසි සමාජය සම්පූර්ණම ගොදුරක් බවට පත්වෙනවා.
මම ඔබට යෝජනා කරනවා පන්සලක් අරන් බලන්න. පන්සලක තිබෙන විදුලි බුබුළු සහ ගස්වැල් ආලෝක කරලා තියෙන විදිය බැලුවාම සම්පූර්ණ මඟුල් ගෙදරක් සහ පන්සල වෙන්කර ගන්න බැහැ ඔබට. ඒ වගේම පෙරහරක් බැලුවාම අහිංසක අලි ඇතුන්ට යකඩ විලංගු දමාගෙන යනවා. එහිදී බුදුදහමේ කිසිම තැනක නැති අතිවිශාල හිංසාකාරී වගේම අනිත්‍යයට පාර නොපෙන්වන ගැඹුරු සංවාදයක් ගොඩනැගුණු අශිෂ්ටත්වයක් අද බුදු දහමට ඇතුළු වෙලා තියෙනවා.
අද බෞද්ධ ගීතයත් මේ වෙළෙඳ ප්රවාහයට අසුවෙලා තියෙනවා. අද රූපවාහිනියේ ඉදිරිපත් කරන බෞද්ධ ගීතවලට රූප රචනා යොදලා ඉදිරිපත් කරන ස්වභාවය ගතහොත් ඒවා ඉදිරිපත් කරන ශෛලිය දියුණු වෙලා කියලා කෙනෙක් තර්ක කරාවි. තාක්ෂණයෙන් ඉහළ මනරම් රූපරාමු දකින්න පුළුවන්.
නමුත් අද තිබෙන ඛේදවාචකය තමයි පරිකල්පනයේ ඉහළ ගුවන්විදුලියේ ඇසුණු බොදු ගීතය මගින් සමාජයට කළ බලපෑම, පුද්ගල පෞරුෂය සහ රසය වෙනස් කරන්න, පුද්ගලයා ගොඩ නගන්න ඒ බොදු ගීතය දැක්වූ දායකත්වය අද මේ මහා වෙළෙඳ සැණකෙළියක් බවට පත්වෙලා තිබෙන බුද්ධාගමේ බොදු ගීතය තුළ දකින්න නැහැ.
මේ සියලු පිරිහීම් සහ විපර්යාස මැද අතිශය විරල කොට්ඨාසයක් වටිනා නිර්මල බෞද්ධ ගීත නිර්මාණය කරමින්, ජනප්‍රිය නොවන ගමනක යෙදිලා ඉන්න කුඩා පිරිසකුත් ඉන්නවා. නමුත් අද බැති ගී සංදර්ශනවල සාරි ඇඳලා, විදුලි බුබුළු මැද කැමරා ආම්පන්න මැද සංවිධානාත්මකව, තාක්ෂණයෙන් ඉතාම ඉහළ මෙවලම් මැද්දෙ කියන භක්ති ගීත වලින් ඇතිවන සංහිඳියාව කොතැනටද සේවය කරන්නෙ කියන දේ ගැටලුවක්.
ඒ වගේම දන්සල කියා දකින්නෙ මොකක්ද? බෞද්ධ කොඩිය පොළවෙ ගහලා වාහන නවත්තනවා. එහි මූලික හරය අද විනාශවෙලා තිබෙනවා. අද දකින්න තිබෙන්නෙ කාර්වලින් 'ත්‍රීක්වාටර්' ඇඳගත් අම්මලා, දුවලා දන්සල්වල විනෝද වෙන විදිහ. දන්සල කියන්නෙ ව්‍යාපාරික ගොදුරක්. මේ පිටුපසත් භික්ෂුව සිටිනවා. ඒ වගේම අද වනවිට බොදුගීය ප්රභූවරු, දේශපාලන නායකයො මේ සියල්ලගේම ගොදුරක් බවට පත්වෙලා.
ඒ වගේම සමහර රූපවාහිනී නාළිකාවල බෞද්ධ වැඩසටහන්වලට දායකත්වය ලබාදෙන්නෙ බැතිබර දායකත්වය කියාය. දායකත්වය කියනදේ 'බැතිබර' කියන වචනයෙන් ගසා කාලා තියෙනවා. මෙන්න මේ වෙළෙඳ ප්‍රවාහය තුළ නායයන, අපේ ජීවිත ඇතුළේ බොදුගීයත් එක ඇණයක්, මුරිච්චියක් බවට පත්වෙලා තිබෙනවා. අද තිබෙන ඛේදවාචකය තමයි මේවාගෙන් මිනිසුන් මුදවලා සැබෑ රසිකත්වය තිළිණ කරන්න අද අපට ගුවන් විදුලියක්වත්, රූපවාහිනියක්වත් රැකිලා නැහැ.
විශාරද නන්දා මාලිනී
අපේ ආරම්භය වුණේ ගුවන්විදුලියයි. ඒ කාලේ ගුවන්විදුලියේ සරල ගී වැඩසටහන් සඳහා ගායනා කිරිමේදී නීතිරීති තිබුණා. එහිදී ගායන ශිල්පීන්ට බොදුගීත, මව්ගුණ ගීත, දේශාභිමානී ගීත අනිවාර්ය වෙලා තිබුණා. ඒ නිසා ඒ කාලයේ ගායනා කරන ශිල්පීන්ගේ ගීත බොහොමයකට බොදුගීත ඇතුළත් වුණා.
බොදු ගීතයේ ශාන්ත රසය අත්‍යවශ්‍යයි. එයට පාදකවුණු ගේයපද මාලාවත් ප්‍රධාන වෙනවා. එතැනින් එහා බුදුහාමුදුරුවො ගැන, යශෝධරාව ගැන, ගෝතමිය ගැන බොහෝවිට මේ ගීතවල පදනම වෙනවා. බොදු ගීතයකින් විනාඩි 2,3කින් කෙනෙකුට ශාන්ත රසය, බුද්ධාලම්භන ප්‍රීතිය ගෙනදී මනසට සුවයක් ලබාදිය යුතුයි.
විශාරද වික්ටර් රත්නායක
බෞද්ධ ගීතයට 'බොදු ගී' කියන වචනය හරියටම හරි. ඒ වගේම තමයි බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන ගීතවලට කියන්නෙ බැති ගී නොවේ. බැති ගී කියලා අපි සඳහන් කළොත් එහි යම් වැරැද්දක් තිබෙනවා. මේ බොදුගීතවලට කියන්නෙ ශ්‍රද්ධා ගී කියලා.
ශ්‍රද්ධා ගී යනු බුදුන් ගැන, බුද්ධ ධර්මය ගැන කියවෙන ගීතවලට. බැති ගී බොහෝ විට ඇත්තේ හින්දු භක්තිකයන්ගේ දේව යාඥාවලදී. බුදුන්ට කරන ගෞරවයක් හැටියට මෙන්ම බුද්ධාලම්භන ප්‍රීතිය යන හැඟීම තවත් තීව්ර කරන්න මේ ශ්‍රද්ධා ගීතවලට හැකියාව තිබෙනවා.
නමුත් අද ශ්‍රද්ධා ගීත නිර්මාණය නොවන තරම්. දැන් අවශ්‍ය ප්රේමයාදිනී මිසක් ශ්‍රද්ධා ගී නොවේ. මාධ්‍යවලින් අද වනවිට මේ ගීත ප්‍රචාරය කිරීම් නැහැ. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යවල පොහොය දවස වගේ දවසක බොදු ගීතයක් ඇසෙනවා මිසක් නැතිනම් බොදු ගීත ඇහෙන්නෙ නැති තරම්ය.
අලුත් පරපුරේ අයට බුද්ධාලම්භන ප්‍රීතිය කියන දේ උගන්වන්න ඕන. අලුත් පරපුර දැනගන්න ඕන බොදුගීත ගායනා කළ යුතු බව. මම බොදු ගීත 18ක සී.ඩී. තැටියක් කළා 'සමිඳු පාමුල' කියලා. ලංකාවේ කිසිම ගායකයෙක් ස්වතන්ත්‍ර නිර්මාණ හැටියට ගැනෙන බොදුගීත මෙතරම් ප්‍රමාණයක් සී.ඩී. තැටියක් කරලා නෑ.