රූපණ ප්‍රවේශය නමින් පර්යේෂණාත්මක ග්රන්ථයක් සමාජගත කර ඔහු විශ්වවිද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන්නේය. අංග රචනා කලා තාක්ෂණ පුහුණු විද්‍යායතනයේ පරිපාලන අධ්යක්ෂවරයා වන ඔහු ප්‍රවීණ අංග රචනා ශිල්පී ජයන්ත රණවකය.
Q අංග රචනය යන්නට යම් අර්ථකථනයක් එක් කළොත්?
සිනමා කෘතියක් හෝ රූපවාහිනී නිර්මාණ කෘතියක් බිහිවෙන්නේ අධ්යක්ෂවරයා මගින්. ඔහුට එමගින් යම්කිසි දෙයක් සන්නිවේදනය අරමුණු කරගෙන තමයි එය සිදුවෙන්නේ. එහිදී අධ්යක්ෂවරයාගේ ප්‍රධාන මාධ්‍යය බවට පත්වෙන්නේ නළුවන්. අධ්යක්ෂවරයා පිටපතක් අනුවයි වැඩ කරන්නේ. එහි චරිත තිබෙනවා. නළුවා තුළින් චරිතයක් නිර්මාණය කරගැනීම සිදුකෙරෙන්නේ අංග රචන ශිල්පියා අතින්. නළුවාට චරිතය නිරූපණය කිරීම සඳහා අවශ්‍ය බාහිර පෙනුම, පෞරුෂය ලබාදෙන්නේ අංග රචනය තුළින්.
අංග රචනය කියන්නේ කලාවක් වගේම තාක්ෂණයක්. අංග රචනය සිදුවෙන්නේ සජීවී පසුතලයක් මතයි. සජීවී පසුතලයක් ලෙස හඳුන්වන්නේ චර්මය. මෙම චර්මය මත මෙය සිදුකෙරෙන නිසා අනිවාර්යෙන්ම සෞඛ්‍ය පිළිබඳ වගකීමක් තිබෙනවා. සාමාන්‍ය චිත්‍ර ශිල්පියෙකුට වඩා සෞඛ්‍ය පිළිබඳව හදාරලා, සාරධර්ම පිළිබඳ, ආචාරධර්ම පිළිබඳව හැදෑරීමෙන් තමයි අංග රචනා ශිල්පියෙක් බිහිවෙන්නේ. ඒ නිසා ඔහු වගකීමක් දරනවා. ඒ ගැන අංග රචනා ශිල්පීන් දැනුවත් විය යුතුයි.
Q ඔය දැනුවත් වීම ලබාගන්න ලංකාව වැනි රටක තිබෙන්නේ කොයි වගේ අවස්ථාවක්ද? ඔබ එයට මැදිහත් වන්නේ කෙලෙසකද?
මීට පෙර අංග රචනය පිළිබඳ දැනුවත් වීමේ විශාල ගැටලුවක් තිබුණා. ඒකට හේතුව වුණේ මේ ක්ෂේත්රය තුළ නියැලුණ ප්‍රවීණයන් ලෙස සලකන අංග රචනා ශිල්පීන් පවා මෙය ඉගෙන ගෙන තිබෙන්නේ පාරම්පරික ක්‍රමය මත. කාලයක් ගත වන විට මෙම පාරම්පරික ක්‍රමය තුළ අංග රචනා විෂය කියන ක්‍රමය බොහෝ බාල වුණා. තාක්ෂණ ශිල්ප හීන වුණා. මේ තත්ත්වය මත අංග රචනා ශිල්පීන්ගේ විශාල පසුබෑමක් සිදුවුණා. 1996,1997 කාලවල මම පරීක්ෂණයක් සිදුකළා.
මම සොයාගත්ත දෙයක් තමයි අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධාන මාධ්‍ය වන්නේ නළුවාගේ රූපය. එය අධ්යක්ෂවරයාට හා පිටපතට අවශ්‍ය ලෙස වෙනස් කරන්න බැරි තත්ත්වය මත සිනමාව තුළ ඒකාකාරී නිර්මාණ ගොන්නක්ම බිහිවුණා. ඒ බිහිවීම මත අපේ සිනමාවේ ප්‍රවර්ධනය සිදු වුණේ නැහැ. එම නිසා තාක්ෂණ විෂයන් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිව, මනා පුහුණුවක් මෙම ශිල්පීන්ට ලබාදිය යුතුයි. නිර්මාණ ප්රපංචයක් තියෙනවා. මේ ප්රපංචය ගැන නිර්මාණ ශිල්පීන්ගේ දැනුමේ අඩුවක් තිබෙනවා. මේ දැනුම අඩුකම නිර්මාණ බිඳවැටීමට විශේෂයෙන් බලපානවා.
මෙය අරමුණු කරගෙන තමයි මම අංගරචනා ශිල්පය හදාරන්න ස්ථානයක් හා ජාතික නිපුණතා සහතිකයක් අපේ රට තුළ නිර්මාණය කළේ. විශ්වවිද්‍යාලය තුළින් උපාධිය දක්වා යන්න ක්‍රමවේදය නිර්මාණය කළා. ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලබා දී තිබෙනවා. මේ තත්ත්වය මත අද මම බය නැතුව කියනවා ලෝකේ ඕනෑම නිර්මාණයකට දායක විය හැකි අංග රචනා ශිල්පීන් අපේ රට තුළ ඉන්නවා කියලා.
දැන් අපේ රට තුළ සිදුවිය යුත්තේ නිර්මාණකරුවන් විවිධ පැතිකඩ ඔස්සේ නිර්මාණවලට යොමු වීම සඳහා තාක්ෂණ භාවිතයත් එක්ක පුළුල්ව සිතා බැලීමයි. 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටය කියන්නේ එයට හොඳ උදාහරණයක්. නිර්මාණ ප්රපංචයන්ට අතවශ්‍ය ශිල්පීන් ඉතාම මැනවින් තෝරාගෙන එකමුතුව වැඩ කිරීම තුළින් තමයි නිර්මාණය කිසියම් මටටමක ඉහළට පැමිණියේ. ටීම් වර්ක් කියන කාරණයත් අපේ රටේ පහළ මට්ටමක තිබෙන්නේ. මේ තත්ත්වය වෙනස්කර තිබෙනවා. තාක්ෂණ දැනුමක් ඔවුන් තුළ තිබෙනවා. ජාතික නිපුණතා සහතික හතරවන මට්ටමට පත්කිරීම තමයි අප සිදුකරන්නේ.
Q ඒ තත්ත්වය දක්වා පැමිණීමට තිබෙන ඉඩහසර කෙබඳුද?
මේ වන විට තෘතීයීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් විෂය නිර්දේශයක් සකසා තිබෙනවා. ඒ අනුව එහි ප්‍රතීතනය වූ ආයතනයක් ලෙස පන්නිපිටිය අංග රචන කලා තාක්ෂණ පුහුණු විද්‍යායතනය තිබෙනවා. එමගින් NVQ හතර වන මට්ටමේ ශිල්පීන් පුහුණු කරනු ලබනවා. විශේෂයෙන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු කිහිපදෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ වගේම මමත් ඉගැන්වීම් කටයුතු කරනවා.
මම හොලිවුඩ් වල අංග රචනය පිළිබඳ උපාධිධාරියෙක්. විදේශීය චිත්‍රපට කිහිපයකටම දායකත්වය දුන් අයෙක්. මෙම පාඨමාලාව ආරම්භ කළ දින සිට මම මූලිකත්වය ගෙන කටයුතු කරනවා. එලෙස පුහුණුව ලබාදෙන්නේ ක්ෂේත්රයට උචිත ආකාරයට. දැන් රූපලාවණ්‍ය ක්ෂේත්රය ගැන හැම තැනකම පන්ති පවත්වනවා. හැමතැනම රූපලාවණ්‍ය ආයතන බිහිවෙලා. මේ නිසාම එහි වටිනාකමත් නැතිවුණා. තාක්ෂණ දැනුමත් නැති වුණා.
එවැන්නක් උදානොවන්න රජයත් සමග සාකච්ඡාකර වසරකට හය දෙනෙකුට පමණක් පුහුණුව ලබාදෙන්න තීරණය කළා. මෙම පාඨමාලාව විදේශ රටක සිදුකරනවා නම් ලංකා මුදලින් රුපියල් මිලියන දෙකක් වෙනවා. නමුත් මෙම පාඨමාලාවට එතරම් මුදලක් වැය වෙන්නේ නැහැ.
Q ඒ හයදෙනා තෝරාගනු ලබන ක්‍රමවේදය කුමක්ද?
වයස 40ට අඩු විය යුතුයි. සාමාන්‍ය පෙළ සමත් විය යුතුයි. ඔහුගේ ශරීර සෞඛ්‍යය පවා පරීක්ෂාවට ලක්කරනවා. තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් පරීක්ෂකයන් පස්දෙනෙකු පැමිණෙනවා. මෙහි මාස හයක් ආයතනගත පුහුණුව ලබාදෙනවා. අනිත් හය මස තුළ ක්ෂේත්‍ර පුහුණුවක් ලබාදෙනවා. ඔවුන් චිත්‍රපට, ටෙලිනාට්‍යවල වැඩ කරන්න යොමු කරනවා. ඒ කාලසීමාවේදී ඔවුන්ට රජයේ නියමිත වේතනයකුත් හිමිවෙනවා. ඔවුන් අධ්‍යයනය කරන කාලය තුළ ආයතනයට ගෙවිය යුතුයි. ආයතනය මගින් අංග රචනයට අවශ්‍ය භාණ්ඩ කට්ටලයක් හිමිවෙනවා. පූර්ණ ශිල්පියෙක් ලෙස ඔහු සමාජයට පැමිණෙනවා.
Q එහෙම සමාජයට පැමිණෙන ශිල්පියෙකුට තිබෙන රැකියා වෙළෙඳපොළ කෙබඳුද?
පසුගිය කාලේ බෙන් කිංස්ලි කියන විදේශීය නළුවා ලංකාවට ආවා. මෙරටට පැමිණි අධ්‍යක්ෂකවරුනුත් පැමිණියා. ඔවුන් කියන්නේ ලංකාවට මේකප් ආටිස්ලා ගෙන ආ යුතු නැහැ කියලයි. ඔවුන්ටත් අපේ රටේ වෘත්තිකයන් පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා. මේ නිසා වෙළෙඳපොළ පුළුල් වෙමින් තිබෙනවා. අද රූපවාහිනී නාළිකා බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මියුසික් වීඩියෝ තිබෙනවා. වෙළෙඳ දැන්වීම් තිබෙනවා, චිත්‍රපට තිබෙනවා. මෙලෙස මාධ්‍ය ක්ෂත්රයේ ප්රවර්ධනයත් එක්ක ඊට සාපේක්ෂව ඉඩ නිර්මාණය වෙනවා. අද වෘත්තිකයන්ගේ හිඟයක් තිබෙනවා.
අද පාඨමාලා රැසකම උගන්වන්නේ සිනමාව පිළිබඳ අන්තර්ගතය. ටෙලිනාට්‍ය පිළිබඳ අන්තර්ගතය. විශ්වවිද්‍යාලයෙන් බිහිවන සිනමාකරුවන් අන්තර්ගතය දැනගත්තට කරන ආකාරය දන්නෑ. අපි සිදුකරන්නේ එම නිර්මාණකරුවන්ට එහි නියැළෙන ආකාරය ඉගැන්වීමයි. ලෝක සිනමාවට අත්‍යවශ්‍යම ශිල්පීන් අපේ සිනමාව තුළ නැහැ. ප්‍රඩක්ෂන් ඩිසයිනර් කියන කෙනා අපේ සිනමාව තුළ නෑ. විශේෂ ප්‍රයෝග ශිල්පියා අපේ සිනමාව තුළ නෑ.
ඔහු සිනමාව පිළිබඳව විශ්වසනීයත්වය කියන වගකීම දැරිය යුතුයි. එවැනි අය අපේ සිනමාව තුළ නෑ. ඒ නිසා තමයි සිනමාව පහත වැටෙන්න හේතු වෙන්නෙත්. අපි මෙම පාඨමාලාව සමගම තවත් පාඨමාලා කිහිපයක්ම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව සැලසුම් කරමින් ඉන්නවා. ත්‍රිමාණ අංග රචනය පවා මෙම පාඨමාලාවලට ඇතුළත් වෙනවා.
දුරකථන - 011 2 882 516
ලිපිනය - AMATT, පරණ පාර, පන්නිපිටිය