රංගන ශිල්පියෙකු ලෙසත්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කළ ප්‍රගීත් රත්නායකගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘ආදරෙයි මං’ සිනමා නිර්මාණයයි. මේ දිනවල තිරගත වන එම සිනමා නිර්මාණය පිළිබඳ කතා කිරීමට ඔහු මෙලෙස 'අද'ට සම්බන්ධ විය.
Q ‘ආදරෙයි මං’ සිනමා නිර්මාණය මේ වන විට තිරගත වෙනවා. ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්
ප්‍රචාරණ කටයුතු එතරම් සිදු නොවුණු වෙලාවක තමයි චිත්‍රපටය තිරගත වෙන්න අවස්ථාව හිමිවෙන්නේ. එහෙම වුණත් මේ චිත්‍රපටය නරඹන බොහෝ දෙනෙක් හොඳ ප්‍රතිචාර දක්වනවා. ඉදිරි සති දෙක තුන ඇතුළත මෙය රටම ආදරයෙන් නරඹන චිත්‍රපටය බවට පත්වෙයි කියලා මම හිතනවා.
Q මේ සිනමා නිර්මාණය වසර හතරකට පසුව තමයි තිරගත වෙන්නේ
මේක ප්‍රේමය ගැන කතා කරන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මගේ ප්‍රථම අධ්‍යක්ෂණය. ඒ වගේම මේ තිර පිටපත රචනා කරන්නත් මම කාලයක් ගත්තා. ආදරවන්තයන්ගේ දිනයත් ළඟ නිසා මෙවැනි කාලයකම තිරගත කරන්න ලැබීම ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මේ චිත්‍රපටය බලද්දි කෙනෙක්ට ආදරය දැනෙන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා අපි ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නේ කොහොමද කියන එක මේ සිනමා නිර්මාණය තුළින් කතා කරනවා. මේ චිත්‍රපටය අවශ්‍යම කාලයේ තිරගත වෙනවා කියලා මම හිතන්නේ. ඒකට හේතුව ආදරය කියන දෙය දැන් අපි කතා කරන්නේ ටිකක් වෙනස් විදියට. මම හිතන්නේ මේක ආරම්භ වෙන්නේ අපේ පරපුරින් කියලා. හැත්තෑව දශකයේ, අසූව දශකයේදී ආදරය තුළ තිබූ සුන්දරකම වෙන මොකක්දෝ හේතුවක් නිසා මිනිසුන් විඳින්නේ නැති තත්ත්වයකට පත්ව තිබෙනවා. අපේ පරම්පාරව ආදරය හරියට හඳුනාගෙන නැහැ කියලත් හිතෙනවා. ආදරය කියන්නේ එක්වරම ඇතිවෙන සිතිවිල්ලක් නෙමෙයි. මීට අවුරුදු දහයකට පෙර ෆේස්බුක් හා සමාජ ජාල මාධ්‍යයත් පැමිණෙනවා. මේ දේවල් එක්ක ආදරය දැනුණු කොල්ලෙකුට, කෙල්ලෙකුට ඇතිවෙන හැඟීම සිනමා මාධ්‍යයට ගේන්න තමයි මම උත්සාහ කළේ. මම හිතන්නේ ‘ආදරේ මං’ කියන්නේ හරිම වෙලාවට සිනමා ශාලාවලට පැමිණි චිත්‍රපටයක් කියලා.
Q අවුරුදු හතරක කාලයක් තුළ තාක්ෂණය වැනි කාරණාත් බොහෝ වෙනස්වීම්වලට ලක්ව තිබෙනවා
මගේ මේ සිනමා නිර්මාණය තමයි මේ රටේ තිරගත වන 35 මිලිමීටර්වලින් රූගත කළ අවසන් චිත්‍රපටය. මම සතුටු වෙනවා ඒ ගැන. තවමත් ලෝකයේ බොහෝ අධ්යක්ෂවරුන් 35 මිලිමීටර්වලින් චිත්‍රපට සිදු කරනවා. ඉදිරියේදීත් මට හැකියාව ලැබුණොත් 35 මිලිමීටර්වලින් සිනමා නිර්මාණ සිදු කරනවා. කාලයක් ගත වුණා කියලා කනගාටුවක් නැහැ.
Q මේ සිනමා නිර්මාණයේ අන්තර්ගත, තේමාව ගැන කතා කරන්න ඔබ ගීත හයක් යොදා ගන්නවා
මේ චිත්‍රපටයේ ගීත යොදා ගෙන තියෙන්නෙ අවශ්‍ය තැනදී. උදාහරණයක් විදියට කිව්වොත් අපි ආදරය විඳින කොට ගැහැනු ළමයෙකුගේ පස්සෙන් කාලයක් ගිහින් ඇයගෙන් අපට ඉඟියක් ආවාම අපි වොෂ්රූම් එකට ගියත් සින්දුවක් කියකිය නේ ඉන්නේ. ගීත මිමිනෙනවා. ජීවිතයට පෙම්වතියක් ආවම දැනෙන හැඟීම තමයි මම මේ ගීතවලින් ගෙන එන්න උත්සාහ කළේ. ලෝකයේ තිබෙන ආදරය සම්බන්ධයෙන් කළ චිත්‍රපටවල ගීතය එන්න ඕන නිවරදිම තැනකින්. මේ චිත්‍රපටයට බලෙන් ඇතුළත් කළ එක් ගීතයක්වත් නැහැ. මෙහි තිර රචනය සිදු කරන මොහොතේම ගීත අන්තර්ගත විය යුත්තේ කොතැනටද කියන එක මම තීරණය කළා. පස්සේ මම කල්පනා කළේ මේ ගීත කවුද ගායනා කරන්නේ කියන කාරණය. මට අවශ්‍ය වුණේ ප්‍රේමණීය හඬක්. වික්ටර් රත්නායකට තමයි ඒ ප්‍රේමණීය හඬ තිබුණේ. ඒක අභියෝගයක්. මගෙන් ගොඩක් අය ඒ තීරණය ගැන හිතන්න කිව්වා. මම ඔවුන්ට එක් දෙයක් කිව්වා. ඒ ලතා මංගේෂ්කාර්ට අවුරුදු 83ක් වෙලත් කාජල්ට පසුබිම් ගීත ගායනා කරන්න පුළුවන් නම් ඇයි වික්ටර් රත්නායකගේ හඬ යොදාගන්න බැරි කියලා. ඒ අභියෝගය ජයගත්තා කියලා හිතනවා. වික්ටර් රත්නායක සංගීත අධ්‍යක්ෂණය කරලා ගීත ගායනා කරනවා. උරේෂා රවිහාරි ඔහුත් සමග පසුබිම් ගායනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ ගීත හයම රචනා කර තිබෙන්නේ ලංකාවේ විශිෂ්ටතම ගීත රචකයන්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ගීතනාත් කුඩලිගම, වසන්ත කුමාර කොබවක, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රි යන අය ගීත රචනා කළේ. ඒ සංගීතයත් එක්ක මේ චිත්‍රපටය ආදරය ගැන කියැවෙන ආශ්වාදනීය අත්දැකීමක් බවට පත්වෙයි.
Q මේ සිනමා නිර්මාණයට දායක වෙන ශිල්පීන් ගැන කතා කළොත්
ප්‍රගීත් රත්නායක වන මම. ඒ වගේම චතුරිකා පීරිස්, රොබින් ප්‍රනාන්දු, නීල් අලස්, අසංක නිලප්පෙරුම, චමිලා පීරිස්, නයනා රඹුක්කන ආදී පිරිසක් මේ සිනමා නිර්මාණයට රංගන දායකත්වය ලබා දෙනවා.
Q වාණිජ ධාරාවේ සිනමා නිර්මාණයක් තමයි ඔබ පළමු අධ්‍යක්ෂණය ලෙස තෝර ගන්නේ
ලෝකයේ එක එක සිනමා රැලි තිබෙනවා. මට අවශ්‍ය වෙලා තිබුණේ අපේ රටට ගැළපෙනඑච්.ඩී. ප්‍රේමරත්න වැනි සිනමාකරුවන්ගේ තිබූ සිනමා ශෛල්‍යයක් තුළට යන්නයි. මම චිත්‍රපට ගැන හිතන විදිය වාණිජද, කලාත්මකද කියලා නැහැ. චිත්‍රපටයක් කියන්නේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවකට පිවිසුණාම ඔවුන්ගේ හදවතට කුමක් හෝ දැනෙන දෙයක් ඒ තුළ තිබුණා නම්, එය තමයි නිර්මාණය කියලා. ඒ වගේම කලා නිර්මාණයක් තුළ ආනන්දය තිබිය යුතුයි. ආනන්දය නැතිනම් කරන නිර්මාණ කලාත්මක වෙන්නෙත් නෑ. ඒ නිර්මාණකරුවා කලාකාරයෙක් වෙන්නෙත් නෑ. ආනන්දයට පත්වන කෙනෙකුට ප්‍රඥාව ලබා දෙන්න හරිම ලේසියි.
Q ඔබ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කළා. ඉදිරියේදී සිනමා නිර්මාණවලටද යොමුවෙන්න අදහස් කරන්නේ
ලංකාවේ ටෙලිනාට්‍ය කලාව මේ තියෙන තත්ත්වයට වෙනස් වුණේ ‘දෙහදක් ආදරෙන්’ ටෙලිනාට්‍යයට පසුව. නමුත් මම කනගාටු වෙනවා මම කරන්න හදපු දේ සියලු නාළිකා වැරදි විදියට අවබෝධ කර ගත්තෙ.එය කොටස් තිහක ටෙලිනාට්‍යයක්. නමුත් එහිම තේමාව ගෙන ගොඩක් ටෙලිනාට්‍ය බිහි වුණා. ඒවා දීර්ඝ ටෙලිනාට්‍ය බවටත් පත් වුණා. ඉන් ටෙලිනාට්‍ය කලාව විනාශ වී ගියා කියලා මම හිතන්නෙ. ඒ වගේම මේ සිනමා නිර්මාණයෙන් පස්සෙ ආදරය ගැන කතා කරන මෙවැනි නිර්මාණ ඇතිවෙයි කියලා. මම මේ චිත්‍රපටය සිදු කර පසුගිය වසර දෙකහමාරක පමණ කාලය තුළ මම තිරගත කරන්න තමයි උත්සාහ කළේ. වෙනත් නිර්මාණයකට දායක වෙනවාට වඩා මෙය නිර්මාණයක් ලෙස සාර්ථකව ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙන එන්න මට අවශ්‍ය වුණේ. මේ චිත්‍රපටය නරඹා තවත් සිනමා නිර්මාණ කරන්න චිත්‍රපට නිෂ්පාදකවරුන් දෙදෙනෙක් කතා කළා. මේ චිත්‍රපටයෙන් පසුව මම එයට සූදානම් වෙනවා.
Q ඒ තුළ ප්‍රගීත් කියන රංගන ශිල්පියාට කෙතරම් ඉඩක්ද තියෙන්නේ
මම අධ්යක්ෂණයට පිවිසෙන්නෙත් මට රංගනයේ යෙදීමට අවශ්‍ය නිසා. මම ආචාර්ය සලමන් ෆොන්සේකාගේ ගෝලයෙක්. මම හිතන්නේ හොඳ අධ්‍යක්ෂවරයෙකු වීම වඩා පහසුයි හොඳ නළුවෙකුට. ඒ වගේම මට හිතුණා මම අධෂක්ෂවරයෙකුගේ කාර්යය ගැන ඉගෙන ගන්න එක රඟපෑම ගැන හදාරන්න සහ රඟපෑම ගැන දන්න දේවල් මට එළිදක්වන්න තෝතැන්නක් වෙයි කියලා. රංගනය නිවැරදිව ගෙන එන්න මට හැකි වෙනවා.