මේ වෛද්‍ය ක්ෂේත්රයේ පොත් රචනා කරනවිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම ලබාගත්තා
තිස් වසරක පමණ මාධ්‍ය ජීවිතය තුළ තමන් ලබන දැනුම පාදක කරගනිමින් මාධ්‍යවේදිනී ශිරාණි ගල්ලෑල්ල මහත්මිය වෛද්‍ය ක්ෂේත්රයේ යම් යම් තේමා පාදක කරගනිමින් ග්රන්ථ රචනා කරන්නීය. මෙවරද ඇය ග්රන්ථ පහක් රචනා කර තිබේ. එය අද (19දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී දොරට වැඩුම සිදුවෙයි. මේ කතාබහ ඇය සමගිනි.
Q මෙවර එළිදැක්වෙන ග්රන්ථ පහ පිළිබඳ අපි මුලින්ම කතා කරමු?
වෛද්‍ය පොත් පහක් මම රචනා කළා. ඒ අතරින් 'සෙනෙහසේ කිරි සුවඳ' කියන පොතේ අන්තර්ගත වෙන්නේ දරුවෙකු නොමැතිව සිට දරුවෙක් කුස පිළිසිඳගත් දා සිට උපත ලැබීම දක්වා සඳහන් වෙනවා. මීට වසර පහකට පෙර මේ තේමාවෙන්ම 'දරු ගැබක් කුස දරා දසමසක් පෙරුම් පුරන්නේ' කියන ග්‍රන්ථය නිකුත් කළා. සෑම දිනම වෛද්‍ය විද්‍යාව දියුණු වෙනවා. අලුත් දේවල් එකතු වෙනවා. මීට වසර පහකට පෙර වෛද්‍ය විද්‍යාව තිබුණු තැන නෙමෙයි අද වනවිට තිබෙන්නේ. එය වැඩිදියුණු වී තිබෙනවා. ඒ කරුණුත් අන්තර්ගත කරලා තමයි මම විශේෂඥ වෛද්‍ය මධුර ජයවර්ධනගේ මගපෙන්වීමෙන් ' සෙනෙහසේ කිරි සුවඳ^ කියන ග්‍රන්ථය රචනා කළේ.
ඒ වගේම මෙවර 'අවදානමෙන් මිදී මවක් වන්න' කියන ග්‍රන්ථය රචනා කළා. එය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතාගේ මගපෙන්වීමෙන් රචනා වුණේ. නොදැන කරන දේවල් නිසා දරුවන් නැතිවීම ගැන වෛද්‍යවරයා හමුවීමට නිරන්තරව බොහෝ දෙනෙක් පැමිණෙන බව ඔහු සඳහන් කළා. ඒ අවදානම ගැන කතා කරලා තමයි මේ පොත රචනා කළේ.
දියවැඩියාව කියන රෝගය ගැන කතා කරන, 'ජීවිතය විඳින්න - දියවැඩියාවෙන් මිදෙන්න' කියන ග්‍රන්ථය රචනා කළා. මීට පෙර දියවැඩියා රෝගීන්ට ආහාර ගැනීමේ සිට රුව රැකගැනීම ගැන පවා ගැටලුකාරී තත්ත්වයන් ඇතිව තිබුණා. මේ ග්‍රන්ථය රචනා කළේ දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමන තිලකගේ මගපෙන්වීමෙන්. එහිත් දියුණු වෛද්‍ය තාක්ෂණයත් එක්ක අන්තර්ගත කරුණු තිබෙනවා. දියවැඩියා රෝගය ඇති වෙන්න පෙර තිබෙන අවදානම, දියවැඩියා රෝගය හැදුණු පසු කටයුතු කළ යුතු ආකාරය සහ පරිස්සම් වන ආකාරය ගැන එහි අන්තර්ගත වෙනවා.
මම රචනා කළ අනිත් ග්‍රන්ථය තමයි 'සිත ලෙඩ වෙන රුව නැති වෙන සමේ රෝග' කියන ග්‍රන්ථය. ලස්සන වෙන්න භාවිත කරන ක්‍රීම් වර්ග හා අනෙකුත් දේවල් ගැන මම රචනා කළා. මානසික රෝග පිළිබඳවත් ග්රන්ථයක් රචනා කළා. විශේෂඥ වෛද්‍ය ශවීන්ද්‍ර ඩයස්ගේ මගපෙන්වීමෙන්. අද සමාජයේ බොහෝ දෙනෙක් වෙනත් ලෙඩවලට බෙහෙත් ගත්තට අවසානයේදී ඇත්තම රෝගී තත්ත්වය මානසික රෝගයක්. එවැනි ලෙඩ රෝග ගැන මම රචනා කළා. මේ ග්රන්ථ සමනල ප්‍රකාශන ලෙස අද (19දා) එළිදැක්වෙනවා. මගේ ග්රන්ථ පහට අමතරව සුබෝධනී පෙරේරාගේ 'සතුට අහිමි මනසට පිළියම්^ හා ගයාන් සූරියආරච්චිගේ %සුව දිවියයි භෞතික චිකිත්සාවයි' ග්‍රන්ථත් එළිදක්වනවා.
Q පුවත්පත් ක්ෂේත්රය තුළත්, සෞඛ්‍යය සම්බන්ධ ලිපි තමයි ඔබ රචනා කරන්නේ. ඉන්පසු එය පොතක් ලෙස එළිදක්වන්න කටයුතු කළේ ඇයි?
සිරිකත පුවත්පතට සම්පාදනය කළ ලිපි මාලාවම නෙමෙයි, සමහර වැදගත් ලිපි මෙහි අන්තර්ගත වෙනවා. මම සම්පාදනය කළ ග්රන්ථවලට පාඨකයන්ගේ හොඳ ප්‍රතිචාර ලැබුණා. සතිපතා පළවෙන ලිපියක් වෙනුවට පොතකට ඒ ලිපි අන්තර්ගත වුණොත් එය වැදගත් කියන සිතුවිල්ල තුළ සිට තමයි මම මේ ග්රන්ථවලට ඒ සමහර කරුණු එකතු කළේ.
Q වෛද්‍ය ක්ෂේත්රය සම්බන්ධ ග්රන්ථවලට සිටින පාඨක පිරිස ගැන ඔබේ අදහස කෙබඳුද?
මගේ පළමු ග්‍රන්ථය මීට වසර පහකට පෙර රචනා කළේ. එය කර්තෘ ප්රකාශනයක් ලෙස එළිදැක්වුණේ. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ගැබිනි මවුවරුන්ට නොමිලේ බෙදාදෙන්න ආයතන විසින් ඒ පොත ලබාගත්තා. ඒ ගැන ඇත්තටම සතුටුයි. එහි දෙමළ පරිවර්තනයකුත් නිකුත් වුණා. ප්‍රචාරණයක් නැති වුණත් වෛද්‍ය ග්රන්ථ පාඨකයන් අතර ජනප්‍රිය වෙනවා. විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායකගේ හෘදයාබාධ යන ග්‍රන්ථය රචනා කළා. ඊට අමතරව සමේ රෝග කියන පොතත් රචනා කළා. මිනිස්සුන් තමන්ගේ සෞඛ්‍යය ගැන හිතනවා. ඒ ගැන දැනුවත් වෙන්න මිනිස්සු කැමතියි. මම වෛද්‍ය ක්ෂේත්රයේ පොත් රචනා කරන විට විශේෂඥ වෛද්‍යවරුන්ගේ මගපෙන්වීමක් ලබා ගන්නේ. මිනිස්සු කැමති විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. ඒ නිසා මම මගේ ග්‍රන්ථවලටත්, ලිපිවලටත් එය අනුගමනය කරනවා. එයත් මේ ග්රන්ථ මිනිසුන් අතරට යන්න හේතුවක් බවට පත්වෙන්න ඇති.
Q ඉදිරි වැඩ කටයුතු හා මතක් කළ යුතු පිරිස ගැන කතා කළොත්?
කාර්යබහුලත්වයත් එක්ක ග්රන්ථ පහක් රචනා කරන අදහසක් මුලින් මට තිබුණේ නැහැ. එහෙත් නිවසේදී තමයි බොහෝ විට මේ ග්රන්ථ රචනා කරන්න යොමු වුණේ. මම මේ වනවිට තවත් ග්රන්ථ තුනක් රචනා කරමින් පවතිනවා. වසරක පමණ කාලයක සිට ලියන නවකතාවකුත් ඊට ඇතුළත්. එය ඉදිරියේදී එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා.
මම වාණිජ විෂයය ධාරාවෙන් ඉගෙනගත්තේ. පුවත්පත් මාධ්‍යයට යොමු වුණේ අහම්බෙන්. මගේ අක්කාගේ මහත්තයා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. ඔහු තමයි මාව පුවත්පත් කලාවට යොමු කරන්න මූලික වුණේ. මම පුවත්පතට එක් වූ කාලයේ සිටි කර්තෘ එස්. සුභසිංහ මහත්තයා, සිරි රණසිංහ මහත්තයා මතක් කළ යුතුයි. ඔවුන් ගෞරවයෙන් මතක් කළ යුතුයි. ඒ වගේම මගේ මුල් ග්‍රන්ථයේ සිට ග්‍රන්ථවල කවර නිර්මාණය කළ සුදත් රත්නායකත් මතක් කළ යුතුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

