තුරුණු ශක්ති වේදිකාවෙන් ගායිකාවක ලෙස සංගීත දිවිය ඇරඹූ ඇය පසුකාලීනව ජනප්‍රිය ගීත රැසක් හරහා කතාබහට ලක්වන ගායිකාවක බවට පත්වතිබේ. ඇය මේ දිනවලද වැඩිපුර ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙන්නේ ඇයගේ ඔබ මා හමු වූ දා නම්වූ නවතම ගීතයත් සමගිනි. ඇය ශෂිකා නිසංසලාය. මේ කතාබහ ඇය සමගිනි.
Q මේ දිනවල වැඩිපුර ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙන ඔබ මා හමු වූ දා ගීතය ගැන මුලින්ම කතා කරමු?
මේ ගීතයේ තනු නිර්මාණය කළේ ප්‍රියන්ත නාවලගේ අයියා. මේ ගීතය රචනා කළේ ශෙහාන් ගලහිටියාව. ඒ වගේම මෙහි රූප රචනාව සිදුකළේ ළහිරු මුදලිගේ. අප්‍රේල් මාසයේ තමයි මෙහි රූප රචනාව මාධ්‍යයට ලබාදුන්නේ. මෙය අඩු කාලෙකින් නිර්මාණය කළ ගීතයක්. එහෙත් ගීතය ප්‍රේක්ෂකයන්ට ලබා දී කෙටි කාලයක් තුළ ඉහළම ජනප්‍රියත්වයක් ලබාගත්තා. මේ ගීතය සෑම ප්රසංගයකම ගායනා කරන්න සිදුවෙනවා වගේම මේ ගීතය නිසා ප්‍රසංග කීපයක්ම ලැබුණා.
අද ගායක ගායිකාවන්ට තනි තනි ගීත නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයන් අතරට යන්න සිදුවෙලා. ඇයි ගීත ඇල්බමයක් කරලා රසිකයන්ට ලබාදෙන්න බැරි?
අද එක ගීතයක් නිර්මාණය කරගන්නත් ලොකු වියදමක් යනවා.
සංයුක්ත තැටියකට ගීත දහසයක් පමණ අවශ්‍යයි. ඒ නිසා එහෙම නිර්මාණ කිරීම අපහසුයි. නමුත් මම එක බැගින් නිර්මාණය කර එකතු කරගත් ගීත රැසක් තියෙනවා. අද ගීතයක් වීඩියෝවත් සමග ඉදිරිපත් කළ යුතු නිසා වියදම වැඩි වී තිබෙනවා. අනිත් කාරණය සී.ඩී. පට කරන්නේ නිෂ්පාදන ආයතන හරහායි. ඒ ආයතන බොහෝ ප්‍රමාණයක් අද මේ කටයුත්තේ නියැළෙන්නේ නෑ. මේක ලාභ ලබන්න නොහැකි පාඩු ලබන තැනක් වෙලා තියෙන්නේ. අද සී.ඩී. පටයක් එළිදැක්වුවත් ව්‍යාජ සී.ඩී. පට නිර්මාණය කර විකුණනවා. නමුත් මගේ පෞද්ගලික අදහස නම් කලාකරුවෙක් ලෙස වසරකට වරක්වත් සීඩී පටයක් නිකුත් කරනවා නම් එය ඔහුගේ පැවැත්මට හොඳයි. මගේ නිර්මාණ සියල්ල එක්කර ලබන වසරේදී සී.ඩී. පටයක් එළිදැක්වීමට මගේ අදහසක් තියෙනවා.
Q සංයුක්ත තැටි සඳහා වෙළෙඳ පොළක් නැති වුණත් රිඟින් ටෝන් සඳහා අද වෙද්දි වෙළෙඳ පොළක් නිර්මාණය වී තිබෙනවා නේද?
මම නම් රිඟින් ටෝන්වලට ගීත නිර්මාණය කරන්නෙ නැහැ. සමහර අය රිඟින් ටෝන් වෙනුවෙන්ම ගීත නිර්මාණය කරනවා. එහෙත් මම සිදුකරන්නේ මගේ පැවැත්ම වෙනුවෙන් විවිධ ගීත නිර්මාණය කිරීම. ඒත් අද කාලේ නිර්මාණ කරනවා කියන්නෙම ලොකු වියදමක්. ඒ වියදම හොයාගන්න ගීත රිගින් ටෝන්වලට ලබාදෙන්නත් සිදුවෙනවා. එහි ගායකයා, පද රචකයා, තනු නිර්මාණකරු යන තුන්දෙනාටම මුදල් හිමිවෙනවා.
Q රියලිටි තරගවලින් ක්ෂේත්රයට ගායකයන් පැමිණෙනවා. ඔබත් ක්ෂේත්රයට පැමිණියේ එවන් තරගයකින්. එවැනි ගායන ශිල්පීන්ගේ පැවැත්ම ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
මම තුරුණු ශක්ති ගායනා තරගයකින් තමයි ක්ෂේත්රයට පැමිණියේ. නමුත් ඒ කාලෙ පැවැත්වූ තරග රටාවත් එක්ක අද ලොකු වෙනසක් තියෙනවා. ඒ.එස්.එම්.එස් නිසා. ඒ කාලෙ වෙද්දි ජංගම දුරකථන එතරම් ප්‍රචලිත වෙලා තිබුණෙ නැහැ. ඒ නිසා විනිශ්චය මණ්ඩලය විසින් තමයි තරගයේ තීන්දු තීරණ ලබාදුන්නේ. වික්ටර් රත්නායක මහත්මයා, රෝහණ වීරසිංහ මහත්මයා, නන්දා මාලනී මහත්මිය තමයි අවසන් මහා තරගය විනිශ්චය කළෙත්. නමුත් දැන් සිදු වී තිබෙන්නේ මූලික වටවලදී විනිශ්චය මණ්ඩලය තෝරා අවසන් වටවල එස්.එම්.එස්. මගින් තෝරන්න ජනතාවට ලබාදෙනවා.
ඒක එතරම් සාර්ථක නෑ. සමහර අවස්ථාවලදී ඒ තරග ජයග්‍රහණය කරන්නේ හරි කෙනාමද කියන ප්‍රශ්නයත් තිබෙනවා. ඒ වගේම මම ක්ෂේත්රයට පැමිණි කාලයට වඩා අද තරුණ තරුණියන්ට මේ ක්ෂේත්රයට පිවිසීම හරිම පහසුයි. හැම නාළිකාවකම වගේ තරග පැවැත්වෙනවා. එහෙත් කොතරම් රසික රසිකාවියන් පිරිසක් සිටියත් ඔහුට හෝ ඇයට මෙහි පැවැත්මට එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අද නිර්මාණය වන ගීත ප්‍රමාණය වැඩියි. තමන්ගේ මාර්ගය තමන් නිර්මාණය කරගත යුතුයි.
Q ඔබ ටෙලිනාට්‍ය තේමා ගීතවලට දායක වී සම්මානත් හිමි කරගෙන තියෙනවා. ප්‍රසංග වේදිකාවෙන් මිදී සිදුකරන තවත් එවැනි කටයුතු ගැන කතා කළොත්?
ඇත්තෙන්ම, ටෙලි නාට්‍යවලදී වෙනස්ම තනු අපට ලැබෙනවා. සරල ගීතවලට වඩා වෙනස් සංකීර්ණ තනු නිර්මාණ ලැබෙනවා. ජන සංගීතයෙන් තමයි සමහර විට ඒවා නිර්මාණය වෙන්නෙ. ලැබෙන අවස්ථාව ලොකු අවස්ථාවක්. මේ වනවිට ටෙලි නාට්‍ය තිස්පහක පමණ තේමා ගීත ගායනා කළා. එයිනුත් අමරසිරි පීරිස් මහතා සමග යුග ගීත ගායනා කරන්න ලොකු අවස්ථාවක් ලැබුණා. මේ වනවිට හොඳම ගායනයට සම්මාන එකොළහක් ලබා තිබෙනවා. ඒක ගායිකාවකට ලොකු හයියක්. මම තේමා ගීත ගායනයෙන් දායක වුණ ටෙලිනාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි.
Q සංගීත ගුරුවරියක් වෙන්න හීන දුටු ඔබ එය ඉටු වූ පසු එම වෘත්තිය අත්හැර දැමුවේ ඇයි?
පුංචි කාලෙ ඉඳන්ම සංගීත ගුරුවරියක් වෙන හීනය මට තිබුණා. මම දැන් ස්ථාවරයි. වෘත්තීයමය වශයෙන් තරමක් සාර්ථකයි. මේ වෘත්තිය තරම් තෘප්තියක් ලබන වෙන වෘත්තියක් නැහැ කියලා මම හිතනවා. අද රසිකයන් නෙවෙයි හෙට මුණගැහෙන්නේ. ඒකාකාරී නැහැ. ඒ ගීත විඳින රසිකයො දැක්කාම ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා. මෙහි පැවැත්මට තමන්ට හොඳ ඉල්ලුමක් තමයි හදාගත යුත්තේ.
පුංචි කාලෙ වගේම මට සංගීත ගුරුවරියක් වෙන ආසාව විශ්වවිද්‍යාලයට යනකම්ම තිබුණා. මම ගුරු විභාගයටත් ඉදිරිපත්ව සමත් වී ජාතික පාසලක උගන්වන්න අවස්ථාව ලැබුණා. නමුත් මට ගුරුවරියක ලෙස උගුර වෙහෙසන්න වෙන නිසා මම ගායන ශිල්පිනියක ලෙස ලැබුණු හඬ ආරක්ෂා කරගත්තා. මට පුතාලා දෙන්නගෙ වැඩ කටයුතුත් එක්ක වෘත්තීන් දෙකක් කරන එකේ අපහසුතාව නිසා ගුරු වෘත්තියට සමුදුන්නා. ඉදිරියේදී මම ලබාගත් දැනුම කිහිප දෙනෙකුට හෝ ලබාදෙනවා. එයින් මිදෙන්නේ නැහැ. අඩුම තරමින් එක පුද්ගලයෙකුට හෝ මම ලබාගත් සංගීත දැනුම ලබාදෙනවා. ඒක ලොකු ආත්ම තෘප්තියක් ලැබෙන දෙයක්.
නිදුක් මධුෂික