Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
ආදායම් වාර්තා තබමින් 'ධර්මයුද්ධය' සිංහල චිත්‍රපටය තිරගත වන මේ මොහොත වනවිට ක්ෂේත්‍ර‘යේ නියුතු බොහෝ දෙනෙක් විවිධ මත ප්‍රකාශ කරමින් සිටිති. චෙයියර් රවී නම් ඉන්දියානු දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ධර්මයුද්ධය' චිත්‍රපටයේ නිර්මාණශීලී විධායක අධ්යක්ෂවරයා සිරස මාධ්‍යජාලයේ ශක්ති ටී.වී. හිටපු නාළිකා ප්‍රධානී චමත් රාජ්‍ය.
අධ්යක්ෂ චෙයියර් රවී මීට මාස දෙකකට පෙර හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර, චමත් රාජ් විසින් වැඩනිමවා ප්‍රදර්ශනයට සූදානම් කරන ලද 'ධර්මයුද්ධය' චිත්‍රපටය ජනතාව අතරට ගෙන යෑමේ ප්‍රධාන මෙහෙයුමට උරදී සිටියේ කැපිටල් මහරාජා සමූහයේ මහරාජා එන්ටර්ටේන්මන්ට් ආයතනයේ උපදේශක තනතුර හොබවන සුසාර දිනාල් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමකි.
ධර්මයුද්ධය චිත්‍රපටය සීමාසහිත කැපිටල් මහරාජා ආයතනය විසින් කරන ලද හතර වැනි සිනමා ව්‍යාපෘතියයි. මේ මහරාජා එන්ටර්ටේන්මන්ට්හි උපදේශක සුසාර දිනාල් සමග අප සිදුකළ සංවාදයකි.
Q මහරාජා එන්ටර්ටේන්මන්ට් ආයතනය සිනමා සමාගමක්ද?
මහරාජා එන්ටර්ටේන්මන්ට් පෞද්ගලික සමාගම පළමුව ප්‍රතිස්ථාපනය කරන ලද්දේ සංගීතයට අදාළ තැටි සමාගමක් ලෙසයි. පසුගිය අවුරුදු අටේ සංගීත තැටි භාවිතයේ ලොකු වෙනස්කම් රැසක් සිදුවුණා. කැසට් නැති වී නිෂ්පාදනය වන සංගීත තැටි අවභාවිතයට පත්වුණා. එම නිසා අපට සිදුවුණා වෙනස් පැති සොයාගෙන යන්න.
ඒ අනුව තමයි සිනමාව මේ ආයතනයට එකතු කළේ. ඊට අමතරව අපේ ආයතනය බුද්ධිමය දේපළ පනතට අදාළව කටයුතු කරන ආයතනයක්. පැරණි චිත්‍රපට, පැරණි ගීත අදටත් අපි මුදල් ගෙවලා ලබාගන්නවා. කොහොමත් මම සිනමාවට කැමතියි.
සිරස ටී.වී. නාළිකා ප්‍රධානී ලෙස කටයුතු කළ වකවානුවේ තමයි මම ඩාන්සින් ස්ටාර් (2009) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. අපේ සභාපතිතුමා සිනමාවට ඉතා කැමතියි. ඔබ දන්නවනේ ගාමිණී ෆොන්සේකා කලාකරුවා අපේ මහරාජා සමූහයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ බව.
Q පවුලේ චිත්‍රපටයකට 'ධර්මයුද්ධය' කියලා නම දැම්මේ ඇයි?
දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් සමහර පවුල්වල දෙමාපියන්ට ධාර්මික දේ මෙන්ම අධාර්මික යැයි සමාජ සම්මත දේත් කරන්න වෙනවා. මින් නිවැරදි කවරක් දැයි තෝරාගැනීම විවාදාත්මක තත්ත්වයක්.
සමාජගත වී ඇති ධර්මය හා අධර්මය අන්ත දෙක අතර ගැටුමක් අපේ සිනමා කෘතියෙන් සාකච්ඡා වෙන නිසා අපි මෙම චිත්‍රපටය 'ධර්මයුද්ධය' ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආවා.
මේක පවුලේ කතාවක්. 'ධර්මයුද්ධය' නම චිත්‍රපටයට වඩා ගැළපෙන නමක් බව ඕනෑම අයෙකුට එය නැරඹීමේදී අවබෝධ වේවි. 'ධර්මයුද්ධය' ප්‍රදර්ශනය ආරම්භ වී මුල් දින 30 අවසානයේ රුපියල් ලක්ෂ 500 ඉක්මවා ආදායම් ලැබීමෙන්ම අපේ චිත්‍රපටය ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් වැලඳගත් බව නේද ප්‍රකාශ වන්නේ.
Q 'ධර්මයුද්ධය' ආදායම් වාර්තා තැබීමේ පසුබිම මහරාජා ආයතනයේ ප්‍රබල ප්රචාරක ජාලය නොවේද?
ඒකත් එක හේතුවක්. ඒ තුළින් 'ධර්මයුද්ධය' ප්‍රදර්ශනය වන පළමුදිනයේදී 'ධර්මයුද්ධය' නමින් අලුත් සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන බව ලාංකේය ප්‍රේක්ෂකයා දැනුවත් කරන්න අපට පුළුවන් වුණා. නරඹන ලද ප්‍රේක්ෂකයා චිත්‍රපටය නැරඹීමට සුදුසු හොඳ චිත්‍රපටයක් බව තම හිතවතුන්ට පැවසීමෙන් මෙය තවදුරටත් ජනතාව අතරට ගියා.
බම්බලපිටියේ මැජෙස්ටික් සිටි සිනමා සංකීර්ණයේ 'ධර්මයුද්ධය' ප්‍රදර්ශනයට අවසර ලැබුණේ සතියකට පමණයි. ආදායම ලැබෙනවා නම් ප්‍රදර්ශනය දීර්ඝ කරන්න බලමු කියලා තමයි පාලනාධිකාරිය පැවසුවේ. මට කියන්න සංතෝෂයි දැන් එක දිනකට දර්ශන වාර හතරක් සහිතව හතර වැනි සතියත් 'ධර්මයුද්ධය' එහි තිරගත වෙනවා. අපේ ප්‍රචාරය ප්‍රබල තමයි. හැබැයි 'ධර්මයුද්ධය' ජනතාව වැලඳගැනීම ඊටත් ප්‍රබලයි.
Q ඔබ ප්‍රබල යැයි කියන මේ චිත්‍රපටය කොපියක් නේද?
ඔව්. කොපියක් තමයි. හැබැයි ඒක හොරකමක් නෙවෙයි. ඉන්දියාවේ අදාළ චිත්‍රපට සමාගම සමග ගිවිසුම් අත්සන් කරලා, අවසර අරගෙන කරපු නිර්මාණයක් තමයි ධර්මයුද්ධය. ධර්මයුද්ධය ලංකාවේ පරිසරයට අනුගතවන ලෙස සකස් කර නැවත ප්‍රතිනිර්මාණය කරන බව සඳහන් කරලා තමයි අපි ගිවිසුම අත්සන් කළේ.
Q ඇත්තටම මේ කතාවේ ආරම්භය කොතැනද?
'ධර්මයුද්ධය' කතා තේමාව ආරම්භය 'ඩිවෝෂන් ඔෆ් සස්පෙක්ට් එක්ස්' (2005) නම් ජපන් පොතක්. එම පොත පදනම් කරගෙන එම නමින්ම ජපන් චිත්‍රපටයක් 2007 දී හැදුවා. ඊටපස්සේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම 2010 වසරේ මේ නමින්ම ටෙලි නාට්‍ය මාලාවකුත් ජපානයේ හැදුණා.
එහි සාර්ථකත්වය දුටු කොරියානු සමාගමක් 'සස්පෙක්ට් එක්ස්' නමින් එම කතාවම 2012 වසරේදී කොරියානු චිත්‍රපටයක් ලෙස නිර්මාණය කළා. ඊට සමාගාමීව මලයාලම් (කේරළ) පිටපත් රචකයෙකු වන ජිතූජෝසෆ් මලයාලම් සමාජයට ගැළපෙන අයුරින් මේ කතාව අනුවර්තනය කළා. මලයාලම් චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමග කර්ණාටක සහ තෙළිඟු චිත්‍රපට දෙකකුත් නිර්මාණය වුණා.
ඊටපස්සේ තමයි කමලාහසන් ප්‍රධාන චරිතය මවන 'පාපනාසම්' (2015) නිර්මාණය වුණේ. එහි හින්දි චිත්‍රපටය 'ද්රිෂ්යම්' නමින් 2016 වසරේ අජේ දේව්ගන් සමග නිර්මාණය වුණා. ඊටපස්සේ මෙය චීන නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වුණා. දැන් මෙම චිත්‍රපටය හොලිවුඩ්වලත් නිෂ්පාදය වෙමින් පවතිනවා. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය අයිතිය ගන්නේ මෙහි මුල් පිටපත හිමි ඉන්දීය සමාගමෙන්.
Q 'ධර්මයුද්ධය' චිත්‍රපට ව්‍යාපෘතිය කවරාකාරද?
මේ ධර්මයුද්ධය චිත්‍රපට ව්‍යාපෘතිය ආයතනයට ඉදිරිපත් කළේ එවකට ශක්ති ටී.වී. නාළිකා ප්‍රධානී ලෙස කටයුතු කළ චමත් රාජ් මහතායි. ඔහු සිනමාව ඉන්දියාවේදී හදාරලා තියෙන ඉහළ කලා රසාස්වාදයක් ඇති භාවනාව දිවියට එකතු කරගත්ත අපූරු පුද්ගලයෙක්. ඔහු සමග ඉන්දියාවේ සිනමා පාසලේ එකට ඉගෙනගත්ත චෙයියර් රවිට 'ධර්මයුද්ධය' අධ්‍යක්ෂණය බාරදීමත් ඔහුගේ අදහසක්.
2013 වසරේ මහරාජා ආයතනයේ අලුත් සිනමා එළඹුම වනවිට අපේ සිනමා කර්මාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් තලයකට පත්වෙලා තිබුණේ. අප ආයතනය විසින් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට මේ අලුත් තත්ත්වයන් අධ්‍යයනය කරන්න කරන්න එවකට කාලය මදි වුණා.
ඒ සඳහා තමයි අපි ශමීර රංගන නාඔටුන්නගේ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය මිලදී අරගෙන අපේ ආයතනයේ නිෂ්පාදන ව්‍යාපෘතියක් ලෙස ප්‍රදර්ශනය කළේ. අපි ඒ තුළින් බොහෝ පාඩම් ඉගෙනගත්තා. එම චිත්‍රපටය අපි ප්‍රචාරය කළේ පවුලේ සැමට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් ලෙස.
නමුත් පවුල් පිටින් සිනමාහල්වලට ඇවිත් මෝටර් බයිසිකල් නරඹද්දී පියවරුන් කෝපයෙන් සිනමාහල් කළමනාකරුවන්ට බැණ වදින්න පටන්ගත්තා. ඒ ගොල්ලො කිව්වේ පෙම්වතුන් යුවළ හෝටල් කාමරයක සිටින දර්ශන ඇතුළත් චිත්‍රපටයක් පවුලේ චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය වීම වරදක් බවයි.
මට හරි පුදුමයි, මීට වඩා බරපතළ කාරණා ටෙලිවිෂන් එකේ යනවනේ. ටෙලිවිෂන් එකේ පෙන්වන දේවල් පවුලේ කට්ටිය ඔක්කොම එකට සිට නරඹනවා නේ? ඒත් ඒකෙන් අපි ඉගෙනගත්තා අද ලංකාවේ පවුල් පිටින් ටිකට් අරගෙන සිනමාහලකට ගිහින් චිත්‍රපට නැරඹීමේ සංකල්පය විශේෂ දෙයක් බව.
ඒකට අනුගත වෙන්න අපි ඇතැම් සිනමාහල්වල පෙන්වූ දළ සේයාපට පිටපත්වල අදාළ දර්ශන කතුරෙන් කපල ඉවත් කළා. මට ආරංචියි ඇතැම් සිනමාහල්වල එම දර්ශනය යන මොහොතේ කාඩ්බෝඩ් කෑල්ලක් දාලා ඒ දර්ශනය අඳුරු කළ බව. ඕක තමයි අපේ රටේ චිත්‍රපට රසාස්වාදයේ තත්ත්වය.
ඒකට අනුගතවන ලෙස මෙවර 'ධර්මයුද්ධය' ඉදිරිපත් කළ නිසා 'මෝටර් බයිසිකල්' චිත්‍රපටයට වඩා විශාල ආකර්ෂණයක් ලබාගැනීමට මෙවර අපට හැකි වුණා. අපේ රටේ සිනමාව හරිම සංවේදී විෂයයක්. ඔබ දන්නවාද, පවුලේ චිත්‍රපටයක මුල හා මැද යන 'ට්‍රේලර්' එකත් විවාදාත්මක තත්ත්ව ඇති කරන බව.
ඇතැම් සිනමාහල් තුළදී අපි දැනුත් ඒ අත්දැකීම 'ධර්මයුද්ධය' ඔස්සේ අත්විඳිනවා. පවුලේ අයට ධර්මයුද්ධය නරඹද්දි, එකට සිට බලන්න බැරි ට්‍රේලර්ස් පවා ගලවන ලෙස අපි සිනමාහල්වලින් ඉල්ලා සිටිනවා.
Q එතකොට ඔබ ආයතනය ඉදිරියේ හදන්නේ පවුලේ චිත්රපටද?
ඔව්. මගේ ආයතනයට මුදල් ලැබෙන ව්‍යාපෘතියක් කරන්න තමයි අපි හැමවිටම අවධානය යොමු කරන්නේ. හැබැයි ඒක ගුණාත්මක බවින් පිරිපුන් ව්‍යාපෘතියක් වෙන්නත් ඕන. අද හොලිවුඩ්, බොලිවුඩ් සියලු චිත්‍රපට ජාත්‍යන්තර සමගාමී ආරම්භක ප්‍රදර්ශනය ලංකාවෙත් සිදුවෙනවා.
එම චිත්‍රපටවලට තරගයක් දෙන්න පුළුවන් චිත්‍රපට ව්‍යාපෘති කිරීමයි අපේ වෑයම. මෙවේලේ සිංහල සිනමාව ලොකු අර්බුදකාරී තත්ත්වයකයි පවතින්නේ. සිංහල චිත්‍රපට පෙන්වන සිනමාහල් හිමියන්ගෙන් විශාල පිරිසක් අන්තයටම වැටිලා ඉන්නේ. මොකද ප්‍රදර්ශනය කරන්න ඒ අයට ලැබෙන සිංහල චිත්‍රපට බහුතරයක්ම නැරඹීමට ප්‍රේක්ෂකයන් නොඑන නිසා.
සිනමාහලට ආදායම නැතිවුණාම එම සිනමාහල් නඩත්තු කරන්න මුදල් නැහැ. නියමිත සේවක සංඛ්‍යාවක් සේවයේ යොදවලා වැටුප් ගෙවන්න බැරි නිසා අවශ්‍ය සේවකයන් ප්‍රමාණය අද ග්‍රාමීය පළාත්වල සිනමාහල්වල ඇත්තේම නැහැ.
අපි දැන් චිත්‍රපට දෙකක් සමග රට වටේ ඇවිද්ද නිසා දන්නවා 'ධර්මයුද්ධය' නරඹන්න සිනමාහලට සෙනඟ ආවත් අඩුම තරමේ දවසට 400කට අධික පිරිසක් පාවිච්චි කරන වැසිකිළිය වතුර ගහල හෝදන්න සේවකයන් යොදාගන්න බැරි තත්ත්වයක අද ඇතැම් සිනමාහල් හිමියන් සහ කළමනාකරුවන් ඉන්නේ.
අවුරුද්දට 'ධර්මයුද්ධය' වගේ චිත්‍රපටයක් දෙකක් ආදායම් වාර්තා තැබුව කියලා අලුත් සේවකයන් අනුයුක්ත කරන්න ඒ අයට බැහැ. ඊටපස්සේ එන චිත්‍රපට ආදායම ලබාවි කියන බලාපොරොත්තුව ඒ අයට නැහැ. හැදෙන හැම චිත්‍රපටයක්ම 'ධර්මයුද්ධය' වගේ ආදයම් වාර්තා තැබුවොත් සිංහල සිනමාවේ මේ ඇතිවෙලා තියෙන අර්බුදය අවසන් වේවි.
මේක කර්මාන්තයක්. කර්මාන්තයේ සාර්ථකත්වය තුළ තමයි කලාව රැකෙන්නේ. පවුල කියන සංකල්පයට ගැළපෙන සිනමාව සිනමාහල්වලින් දුරස්වීම තමයි කඩාවැටීමේ මුල.
Q තම චිත්‍රපට ප්‍රදර්ශනය කරගන්න නොහැකිව ඉන්න තරුණ සිනමාකරුවන්ගේ නිර්මාණ ඔබ ආයතනයට මිලදීගන්න බලාපොරොත්තුවක් නැද්ද?
අපේ වර්ගීකරණයට ගැළපෙන තරුණ නිර්මාණකරුවන්ගේ හොඳ නිර්මාණ මුදල් ගෙවා මිලදී අරගෙන ප්‍රදර්ශනය කරන්න අපි සූදානම්. දැනට නිෂ්පාදනය අවසන් කරල ප්‍රදර්ශනය කරගන්න බැරි බොහෝ සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාවකුත් අපට ලැබුණා.
පිටරට සිනමා සම්මාන උලෙළවල පෙන්වන්න කියල හිතාගෙන ඇතැම් චිත්‍රපට අරමුදල්වලින් ලැබෙන මුදලින් කරන චිත්‍රපට අරගෙන පෙන්වන්න අපට බැහැ. ඉතාම නුදුරු දිනකදී ලංකාවේ සුපිරි සිනමා සංකීර්ණ සහිත ගොඩනැගිලි කිහිපයක් කොළඹ බිහි වෙනවා.
ඒවායේ ප්‍රදර්ශනය කරන්න අනුමැතිය ලැබෙන තත්ත්වගත ජාත්‍යන්තර මට්ටමේ පවුලේ චිත්‍රපට කෙරෙහි තමයි මේ මොහොතේ අපේ අවධානය තියෙන්නේ. ධර්මයුද්ධයෙන් ප්‍රේක්ෂකයා තැබූ විශ්වාසය, මීළඟට අපි ප්‍රේක්ෂකයා වෙතට ගෙනෙන රොහාන් පෙරේරාගේ 'A Level' (ඒ ලෙවල්) චිත්‍රපටයෙනුත් ඇති වේවි.
Q ඔබත් චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. ඔබට අලුත් අයට අතදීමේදී යම්කිසි ගැටලුකාරී මානසිකත්වයක් ඇතිවෙන්නේ නැද්ද?
මහරාජා ආයතනයේ මීළඟ නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කළේ මම. එම පිටපතේ මූලික අදියර කරගෙන ඉන්නකොට 'A Level' සහ 'හීන සොයන සමනල්ලු' හදපු රොහාන් පෙරේරා ඔහුගේ ඊළඟ සිනමා ප්‍රොජෙක්ට් එකේ චිත්‍රපට තිරනාටකය මට කියවන්න දුන්නා. එම තිරනාටකය කියවපු මට අදහගන්න බැරි වුණා. ඒක ඒ තරමටම ලස්සන කතාවක්.
මම මගේ චිත්‍රපට ව්‍යාපෘතිය පැත්තකින් තියලා ආයතනයත් එකඟ කරගෙනයි රොහාන් පෙරේරාගේ එම චිත්‍රපටය අපේ මීළඟ චිත්‍රපටය ලෙස වැඩ කටයුතු පටන්ගත්තෙ. එහි රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා.
පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන වයස 12ක දරුවන් පිරිසක් පිළිබඳ නිර්මාණය වන එම චිත්‍රපටයේ නම 'ගෝල්'. පාපන්දු ක්‍රීඩාවේදී ගෝල් එකක් ගහනවා කියන අර්ථය දෙන්න තමයි චිත්‍රපටය ගෝල් ලෙස නම් කළේ. මෙහි අධ්යක්ෂ රොහාන් පෙරේරා මාස හතරක් ලංකාව පුරා ඇවිදිමින් දරුවන් දහදාහකට අධික පිරිසක් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරලා තමයි චිත්‍රපටයේ නළු නිළි කැල තෝරාගත්තේ.
Q අපේ සිනමාවේ නිවැරදි කරගත යුතු ඉලක්ක මොනවාද?
අපේ සිනමාවට වෘත්තීයමය තත්ත්වයක් ඇතිකිරීම ඉක්මනින්ම කළ යුතුයි. අපේ රටේ ක්‍රමය අධ්යක්ෂවරයා විසින්ම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ කටයුත්තටත් මැදිහත්වීම. ඇතැම් විට අධ්‍යක්ෂවරයාම නිෂ්පාදකත් වෙනවා. ඒ නිෂ්පාදකවරුන්ට සමහර අවස්ථාවලදී සිනමාහල් පවා තියෙනවා.
චිත්‍රපට අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, බෙදාහැරීම, ප්‍රදර්ශනය හාත්පසින්ම වෙනස්, වෙන වෙනම අධ්‍යයනය කොට කළ යුතුභාරදූර විෂයයන් හතරක්. මේ විෂයයන් හතරම එක්කෙනෙක් හෝ දෙන්නෙක් කරන්න ගිය නිසා තමයි අපේ සිනමාවේ වෘත්තීය මට්ටම වැටුණේ.
චිත්‍රපට අධ්යක්ෂවරයා නළු නිළි,කාර්මික පිරිසට ගරු කරන්න ඕන. චිත්‍රපට අධ්යක්ෂවරයා කොච්චර තරුණ වුණත් ප්‍රවීණ නළු නිළි, කාර්මික පිරිස ඔහුගේ විධානයට යටත් විය යුතුයි. මූල්‍ය කළමනාකරණය නිවැරදිව කළ යුතුයි. ඒක තමයි වෘත්තීයමය ගුණය.
මිනිසුන්ගේ සිතුම්පැතුම් හඳුනාගෙන මිනිසුන් චිත්‍රපටයක් බලන්න පොළඹවනවා කියන 'මාර්කටිං' සහ ඩිස්ට්‍රිබියුෂන් (බෙදාහැරීම) විශාල පරාසයක් තියෙන භාරදූර විද්‍යාවක්. මම අධ්යක්ෂණයට කැමති වීම වෙන පෞද්ගලික කාරණාවක්. මගේ ආයතනය තුළ මේ මොහොතේ සිදුවන්නේ චිත්‍රපට නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිකරණයයි.
අපට ලැබෙන අලුත් අධ්‍යක්ෂවරුන්ගේ සුදුසු සිනමා ව්‍යාපෘති, චිත්‍රපට ලෙස නිෂ්පාදනය කරන්න අපි සූදානම්. මිනිසුන් අපේ නිර්මාණ තුළින් ධනාත්මක තලයකට රැගෙන යා යුතුයි කියන මතයෙයි මම ඉන්නේ. හැබැයි අවංකවම කිව්වොත් පාඩු ලබන්න අපි චිත්‍රපට කරන්නේ නැහැ.
සටහන - පද්මකුමා පී. මෙත්තසේන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd