'රම්බරී' ගීතය තුළින් සංගීත මාවත තුළ වෙනස් වූ පැතිකඩක් පෙන්වා දුන් ඔහු මේ වන විට කොයි කාගේත් ආදරයට ලක් වූ ගායකයෙකි.
ගායකයෙකු මෙන්ම ශබ්ද පරිපාලකයෙකු ලෙස ක්ෂේත්රය තුළ කටයුතු කරන ළහිරු පෙරේරාගේ නවතම ගීතයක් එළිදැක්වීමට නියමිතව තිබේ. 'චයිනා ටවුන්' නම් වූ එම ගීතය පිළිබඳව සහ ඔහුගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපි ඔහුව මෙලෙස එක්කර ගත්තෙමු.
Q මේ දිනවල ගීත නිර්මාණ කටයුතු පැත්තෙන් ඈත්වෙලාද?
ජූලි මාසයේදී ගීතයක් එන්න තියෙනවා. 'චයිනා ටවුන්' කියලා තමයි එය නම්කරලා තියෙන්නේ. එහි වැඩකටයුතු තමයි මේ දිනවල සිදුවෙන්නේ. තව ගීත කිහිපයක් කරලා තියෙනවා. 'චයිනා ටවුන්' ගීතය තමයි ළඟදී නිකුත් වෙන්නේ.
Q ඒ ගීතය පිළිබඳව විස්තර ටිකක් කියමු නේද?
වෙනදා වගේම මනුරංග තමයි ගීතය ලිව්වේ. මම තමයි මියුසික් කරන්නේ. එහි කතන්දරය ගීතය නිකුත් වුණාට පස්සෙ කියන එක තමයි ඇත්තටම හොඳ. නැති වුණොත් එහි අගය නැතිව යනවා.
Q ඔබේ ගීත සඳහා මනුරංගවම දායක කරගන්නේ ඇයි?
අපි අවුරුදු 10ක පමණ ඉඳන් යාළුවො. අපි කන්නෙ බොන්නෙ, බොහෝ දේවල් කරන්නේ එකට. අපේ තියෙන විලාසිතාවත් එක්ක හරි ලේසියි යාළුවෙක් එක්ක වැඩ කරන්න. මොකද අපි මේ වනවිටත් ඉදිරි අවුරුදු 5කට හරියන්න සිංදු හදලා ඉවරයි. මේ දවස්වලට ගැළපෙන්නේ මොකක්ද කියල බලල තමයි ගීත එළිදක්වන්නේ.
Q අද ගීත ගොඩක් නිර්මාණය වෙනවා. සමහරු කියනවා ඒවායේ කිසිම රසඥතාවයක් නෑ කියලා. ඔබ ඒ දේ දකින්නේ මොන විදියටද?
එහෙම එකක් නැහැ. දැන් ඉස්සරට වඩා නිර්මාණ ඝනත්වය වැඩියි. ඒක තමයි හේතුව. එක කාලයකදී නිෂ්පාදනය වන නිර්මාණ ප්‍රමාණය තමයි නිර්මාණ ඝනත්වය කියන්නේ.
දැන් තියෙන පහසුකම් වැඩි හින්දා ඕනම කෙනෙකුට සිංදුවක් ලියල, සිංදුවක් හදන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඉස්සර මාසෙකට සිංදු දහයයි නම් හැදෙන්නේ දැන් පුළුවන්කම නිසා සිංදු 1000ක් හැදෙනවා. හැබැයි ඒවා පවතින සිංදුද නොපවතින සිංදුද කියලා බලාගන්න වෙන්නේ කාලයක් ගිහිල්ලා තමයි.
Q ඔබ ගායකයෙක් විදිහට ක්ෂේත්රයට ආවාම යම්කිසි රැල්ලක් ඇතිවුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒක මම හිතල කරපු දෙයක් නෙවෙයි. මගේ නිර්මාණ මම ආසාවෙන් කරනවා. නිර්මාණකරණයේදී මට පුළුවන් Styles කිහිපයක් තිබෙනවා. ඒ පුළුවන් Styles කිහිපය මම එකම තැනක ඉන්නේ නැතිව පුළුවන් විදියට ඉදිරිපත් කරන්න තමයි බලන්නේ. ඉතිං ඒ ටිකේදී මිනිස්සු මගේ නිර්මාණ පිළිගන්නවා කියන්නේ මගේ පින තමයි.
Q ගායකයෙක් වීම ඔබේ පොඩි කාලෙ ඉඳන්ම තිබුණ ආසාවක්ද?
පොඩි කාලෙ ඉඳලම මම හිතුවෙ මගේ සිංදුවක් කරනවා කියලා. සිංදුවක් කරලා ගායකයෙක් විදියට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා පොඩි චකිතයක් තිබුණා. නැත්නම් පොඩි කාලෙ ඉඳලම ආසාව තිබුණෙ ගායකයෙක් වෙන්න තමයි.
Q ගායකයෙක් විදියට තනියම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙලාද? පෙර තිබූ චකිතය දැන් නැතිවෙලාද තියෙන්නේ?
අයියෝ කිසිම චකිතයක් නැහැ. මම ඉගෙන ගත්තේ ශබ්ද පරිපාලනය. ශබ්ද පරිපාලනයෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ගායනයෙන් ගායකයෙක් විදියට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා.
ලංකාවේ ගායකයෙක්ට කරන්න පුළුවන් ගොඩක් දේවල්වලින් එන්ටර්ටේයිනර් (විනෝදාස්වාදකයන්) විදියට කරන්න පුළුවන් දෙයක් ලංකාවේ කෙනෙක් කරලා නෑ. ඒවා උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒවායෙන් ලංකාවට වැඩක් වෙන විදියේ දෙයක් කරන්න පුළුවන්. ඒ චකිතය දැන් නැතිවෙලා තියෙන්නේ.
Q ඒ කියන්නේ ඔබ අද වනවිට ළහිරු පෙරේරා කියන නම මාර්කට් කරලා ඉවරද?
අයියෝ නැහැ. තව ගොඩාක් තියෙනවා මාර්කට් කරන්න.
Q ඒ කියන්නේ තව ඉදිරියේදී මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
අනේ ඔව්.
Q අද වනවිට ලංකාවේ ළහිරු පෙරේරා කියන නමට වටිනාකමක් තියෙනවාද?
වටිනාකමක් කියන්නේ මම දැනට අවුරුදු අටක් තිස්සේ සිංදු කියලා ජීවත් වෙනවා.
Q අද කාලේ රැල්ලක් තමයි වීඩියෝ කියන දේ. ගීත අහන එකද ගීත බලන එකද ගොඩක් වැඩිවෙලා තියෙන්නේ? මේ ගැන මොකද හිතෙන්නේ?
එහෙම එකක් නෑ. ඉස්සර අපිට සිංදු අහන්න විතරයි හැකියාව තිබුණේ. මොකද. රූපමය මාධ්‍යයක් තිබුණෙ නෑනෙ. තිබුණේ ශබ්ද මාධ්‍යයක් වන රේඩියෝව විතරයි. ටීවී ආවාට පස්සෙ රූප රචනය කියල එකක් ආවා. දැන් තියෙන්නේ ෆුල් ප්‍රඩක්ෂන් එකක්. ඒ රූප රචනයෙන් සිංදුව අහලා ඒක බලලා තියෙන රසය තමයි අපි ඒ ෆුල් ප්‍රඩක්ෂන් එකෙන්ම දකින්නේ.
ඉතින් එය නිර්මාණයක් විදියට ගත්තොත් එහෙම සංගීතය, ශබ්දය සහ රූප රචනය කියන ඔක්කොම එකතුවෙලා තමයි ඒ ප්‍රඩක්ෂන් එක හැදෙන්නේ. ඒක ඒ විදියට දැන් ලෝකෙ හැදිලා තියෙනවා. ඉතින් දැන් අපිට ඕනෙ නම් අහන්නත් පුළුවන්, ඕනෙ නම් බලන්නත් පුළුවන්, අහ අහ බලන්නත් පුළුවන්. ඕනෙම විදියටකට රසවිඳින්න පුළුවන්.
Q අද ගීතයක් නිර්මාණය වෙනකොට ප්‍රමිතියක් ඇතුවද නිර්මාණය වෙන්නේ?
ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම ප්‍රමිතියක් කියලා දෙයක් ගන්න නෑ. අන්තර්ජාලය තියෙනවනේ. යූටියුබ්, ෆේස්බුක් හරහා අපිට ඕනම දෙයක් කරලා එළියට දාන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම දාපුවාම සමාජය පිළිගත්තොත්, පස්දෙනෙකුට වඩා කැමතිනම් ඔහු ගායකයෙක් හෝ ගායිකාවක් වෙනවා. අපිට එතන ස්ථාවරයක් (Standard) කියලා බලන්න දෙයක් නෑ.
Q ගීත නිර්මාණය සඳහා වාරණ නොමැති නිසාද මෙවැනි කටයුතු වෙන්නේ?
ඔව්, මුළු ලෝකෙම එහෙම දෙයක් නෑනේ. අපිට ඕනම ගීතයක් හදලා ඉන්ටර්නෙට් එකට දාන්න පුළුවන්. පොඩි කෙනෙකුට අහන්න දෙන්න බැරි අසභ්‍යය ගීතත් ගොඩක් දැන් තියෙනවනේ. සිංදුවක් කියන දේ තනියම නිර්මාණය කරලා තනියම එළිදක්වන්න හැකියාව තියෙනවා. එතකොට වාරණයක් දාන්න විදියක් නැහැ.
Q ගීතමය කටයුතුවලට අමතරව ඔබේ අනෙක් වැඩකටයුතු සිදුවෙන්නේ කොහොමද?
Music Oven institute තමයි මගේ අධ්‍යාපන ආයතනය. මධුෂිත අබේවීර, දිනේෂ් කුරේ සහ මම එකතු වෙලා තමයි මෙම ආයතනය පවත්වාගෙන යන්නේ. ශබ්ද පරිපාලනය තමයි එතන උගන්වන්නේ. 32 වෙනි කණ්ඩායම සඳහා පසුගියදා ඉගැන්වීම් කටයුතු ආරම්භ කළා. ඒක අන්තර්ජාතික මට්ටමේ පාඨශාලාවක් කරන්න තමයි අදහස තියෙන්නේ.
Q ගීත නිර්මාණ කටයුතු පිළිබඳව කිව්වොත්?
සංගීතය පැත්තෙන් මගේ ඔක්කොම සිංදු හදන්නේ මම. අනිත් අයගේ ඒව නම් එච්චර කරලා නැහැ.
Q ඉදිරි බලාපොරොත්තු මොනවාද?
රටට බරක් නොවී ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් කිසිම බරක් නෑ. පූළුවන්නම් අපේ ශ්‍රී ලාංකිකයන්ට උදවු කරන්න පුළුවන් තත්ත්වයකට එන්න තමයි ආසාව තියෙන්නේ.