පසුගිය වකවානුවේ ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වූ නාට්‍ය ද්විත්වයක් වන බල්ලොත් එක්ක බෑ සහ චරිතෙ හොරු අරං නිර්මාණය කළ රවීන්ද්‍ර ආරියරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය මිට නැති කුඩ හෙට (23 දා) මරදාන ටවර් රඟහලේදී පස්වරු 3.30 සහ 6.30 ට වේදිකාගත කිරීමට නියමිතය. මේ ඒ පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
Q මිට නැති කුඩ ගැන හැඳින්වීම කළොත්?
මේක මගේ තෙවන නාට්‍ය නිර්මාණයයි. මෙය මම කලින් නිර්මාණය බල්ලොත් එක්ක බෑ, චරිතෙ හොරු අරන් නාට්‍යවලට වඩා වෙනස් ආරක නාට්‍යයක්. නිර්මාණයක් කිව්වාම එහි අපූරු දෙයක් වෙන්න ඕන. මෙතනදී වෙනස් නාට්‍යයක් කිරීමේ උත්සාහයක තමයි නිරත වුණේ.
Q මිට නැති කුඩ කියන නම නාට්‍ය සඳහා යොදන්න අදහස් කළේ ඇයි?
මම නාට්‍යයකට නමක් යොදද්දී උත්සාහ කරනවා එහි යටි අරුත් ගම්‍ය වන නමක් ගේන්න. උදාහරණයක් ලෙස බල්ලොත් එක්ක බෑ කියනකොට විවිධ යටි අරුත් ගැබ් වුණා. මෙතනදී මට අවශ්‍ය වුණා එක් එක් අයට විවිධ අයුරින් විග්රහ කළ හැකි නමක් යොදාගන්න. අනෙක මං ආසයි නාට්‍යයක නමක වුණත් අපූර්වත්වයක් තියෙනවට. මිට නැති කුඩ කිව්වම විවිධ අරුත් මතුවෙනවා. උදාහරණයක් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා කියල හිටියට දේශපාලඥයෝ එහෙම නැහැනේ. ඒකෙන් කියවෙන්නේ දේශපාලඥයෝ හිටියට වැඩක් නැහැ කියන එකයි.
හරියට මිට නැති කුඩයක් වගේ. මගේ මිත්‍රයෙක් ඔය නම සම්බන්ධයෙන් කිව්වෙ &කුඩයක් පවතින්න නම් මිට නැතිවෙන්න ඕන, මිට තිබුණොත් කවුරුහරි අරගෙන යනවනේ* කියලයි. මේ වගේ විවිධ අර්ථකථන දැනටමත් ඔය සම්බන්ධව ඇති වෙලා තියෙනවා. මෙතනින් මම ගම්‍ය කරන්නේ මෙහි යටි පෙළක් තියෙනවා කියන එකයි.
Q මේ නාට්‍යයට තේමාව වුණේ කවරක්ද?
මිට නැති කුඩ ජන සම්ප්රදාය හා නූතන සම්ප්රදාය කියන දෙකම සම්මිශ්‍රණය කරලා තමයි නිර්මාණය කළේ. මෙතනදී ප්‍රබල ලෙස ජනශ්‍රැතිකාංග කියන දේ භාවිතයට ගන්නවා. ජනශ්රැතිය නූතන රංග විධි හා නූතන නාට්‍ය ක්‍රම‘වේදයන් එක්ක ගළපමින් තමයි නිර්මාණය කළේ. ඒ වගේම මෙය සංගීතමය නාට්‍යයක් ලෙසින් හැඳින්විය හැකියි. ඒ නිසා මෙය ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් වෙයි. මේ නාට්‍යය පන්ති අරගලය පාදක කරගත්තක්. මේ තුළ එකිකෙනා අනෙකාව ඇන්දවීම හා ඇඳගැනීම යන සංස්කෘතිය තමයි කතාබහට ලක්වෙන්නේ.
Q චරිතෙ හොරු අරන් නිර්මාණයකොට සුළු කලක් තුළ තවත් නාට්‍යයක් කිරීම එම නාට්‍යයට අහිතකර ලෙස බලපාවි නේද?
චරිතෙ හොරු අරං නිර්මාණයකොට කෙටි කලක් තුළ මේ නාට්‍ය නිර්මාණය කරන්න බලපාපු හේතු කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි අනිත් නාට්‍ය දෙකේම ඉන්නෙ එකම රංගන ශිල්පීන් පිරිසක් සහ ඔවුන් කාර්යබහුල වීම. බල්ලොත් එක්ක බෑ කරන කාලේ ඔවුන් එතරම් කාර්යබහුල තත්ත්වයක හිටියෙ නැහැ. ඒ නිසා එම නාට්‍යයට හොඳ තැනකට යන්න පුළුවන් වුණා. චරිතෙ හොරු අරං නාට්‍යය වේදිකාගත කරන්න රංගන ශිල්පීන්ගෙන් දිනයක් ලබාගැනීමේ අපහසුතාවක් තිබෙනවා. මේ නිසා ඒ නාට්‍ය ගමන බෙහෙවින් මන්දගාමී වී තිබෙනවා. හැබැයි සංවිධායකවරුන් මගේ නාට්‍යයක් ඉල්ලූ විට එක නාට්‍යයක් දෙන්න බැරි නම් ඊට විකල්පයක් ලෙස තව නාට්‍යයක් තිබිය යුතු නිසා තමයි මේ නාට්‍යය කරන්න පෙළඹුණේ.
අනික මේ නාට්‍යය කාලෙක සිට මා අතින් ලියවෙමින් පැමිණ මෑතකදී තවත් එක්කිරීම් සිදු කළා. සමහර අවස්ථාවල දැන් නාට්‍යයක් කළොත් හොඳයි කියන අදහස හිතට එනවා. හැබැයි බල්ලොත් එක්ක බෑ කරලා වසර 05ක් පමණ යනතෙක් එවැනි අදහසක් ඇතිවුණේ නැහැ. නමුත් මේ වෙලාවේ තව නාට්‍යයක් කරන්න ඕන කියන ජවය ආවා.
Q මිට නැති කුඩ සංගීතමය නාට්‍යයක් යැයි ඔබ පැවසුවා. ලංකාවේ මෑතකාලීනව සංගීතමය නාට්‍යයක් නිර්මාණය නොවුණ පසුබිමක ප්‍රේක්ෂකයන් මොන විදිහට මෙය ග්‍රහණය කරගනීවිද?
මේක සංගීතමය කිව්වට මනමේ, සිංහබාහු වගේ ගීතමය නාට්‍යයක් නෙවෙයි. අපි මෙහිදී භාවිත කරන්නේ නාට්‍යෝචිත සංගීතයක්. ඒකත් පර්යේෂණ මට්ටමේ වැඩක්. විශ්වාස කරනවා වැඩේ සාර්ථක වෙයි කියලා. කොහොම වුණත් මැයි 23 වැනිදාට ප්‍රේක්ෂකයන් තමයි ඒක තීරණය කරන්නේ.
Q ඔබ ඔබේ නාට්‍ය තුළින් පවතින සමාජ ඛේදවාචක ගැන කතා කරනවා. නමුත් මේක හුදු කතා කිරීමක් විතරද? මේවා බලන අයත් යම් ග්‍රහණය කරගැනීමක් සිදුකරනවා යැයි ඔබ විශ්වාස කරනවද?
100%ක්ම නැහැ. නමුත් යම් යම් ප්‍රතිශතවලින් අඩුවැඩි වශයෙන් සිදුවෙනවා. සමහරු නාට්‍ය බලලා මට කියල තියෙනවා මේක බැලුවට පස්සෙ තමයි අපිට මේ දේවල් තේරුණේ කියලා. මේ නිසා මම හිතෙන්නෙ නැහැ අපි නිර්මාණ හරහා දෙන දේ ශූන්‍යයයි කියලා. මේවායින් යම් උත්තේජනයක් ප්‍රේක්ෂකයා ලබා ගන්නවා. ඔය අතරේ නාට්‍යයේ මතුපිට කරුණු දිහා බලලා හිනාවෙලා යන අයත් ඉන්නවා. කොහොම වුණත් %චරිත හොරු අරං^ නාට්‍ය‘යෙන් මතුකරන දේශපාලනය සම්බන්ධව ඇතුළත කියවීමක් ප්‍රේක්ෂකයන් සිදුකර තිබෙන බව ඔවුන් ලබාදුන් ප්‍රතිචාර අනුව හැඟී යනවා.
Q ඔබ මෙහි මංගල දර්ශනය ටවර් රඟහලේ පවත්වන්නේ රඟහල් ශාලා ප්රශ්නය නිසා නම් ඇත්තටම දැන් මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න උත්සුක වන්නේ නැද්ද? නෙළුම් පොකුණ කලාකරුවන්ගේ තැනක් බවට පත්කර ගැනීමේ සැලසුමක් නැද්ද?
මේ නාට්‍යයේත් මංගල දර්ශනය පවත්වන්න රංග ශාලාවක් හොයාගන්න මට හා සංවිධායකට විශාල ප්‍රශ්නයක් වුණා. මොකද කොළඹ නාට්‍යයක් පෙන්වන්න රංග ශාලාවක් හොයාගන්න අමාරුයි. ලයනල් වෙන්ටඩ් රඟහලේ මේ වසරට දින වෙන් කරලා ඉවරයි. පුංචි තියටර් එකත් එහෙමයි. එල්ෆින්ස්ටන් එක වසර ගණනාවක සිට හදනවා.
රටේ පාරවල් නම් ක්ෂණිකව හැදුවත් රංග ශාලාවක් හදන්න කල්ගත කිරීම හිතාගන්නවත් බැරි දෙයක්. ලුම්බිණියත් හදන්න වහලා දාලා. නෙළුම් පොකුණ රඟහල තිබුණත් එහි මිල අපිට දරන්න බැහැ. මේක හදන වෙලේ ඒ වියදමෙන් පොඩි පොඩි රංග ශාලා ටිකක් හැදුවා නම් ප්‍ර‘යෝජනවත් වැඩක් වෙන්න තිබුණා. දැන් නෙළුම් පොකුණ ප්‍රදර්ශන භාණ්ඩයක් පමණයි. ප්‍රායෝගික නාට්‍යකරුවන්ගේ රංග ශාලාවක් නෙවෙයි. නව නාට්‍ය අනුමණ්ඩලය රංග ශාලා සම්බන්ධව අවශ්‍යතා ගොනුකරන බව පැවසෙනවා. අපි ඒ ගැන බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා.
0714 413445
නිෂ්පාදනය හා සංවිධානය - සුගත් ජයසිංහ / අධ්‍යක්ෂණය - රවීන්ද්‍ර ආරියරත්න / සංගීතය - සඳසිරි අධිකාරි / අංග රචනය හා වේදිකා පසුතල - චාමර රාජපක්ෂ / වේදිකා පරිපාලනය - අශෝක ද සොයිසා, සුමේධ ප්‍රසන්න / රංගාලෝකය - සුමේධ මධුසංඛ, ශිරාන් / රංගනය - හසිනිකා කරලියද්ද, සුනිල් තිලකරත්න, ප්‍රසාද් සූරියාරච්චි, වික්‍රම සෙනෙවිරත්න, ප්‍රේමකුමාර දසනායක, ප්‍රදීප් ආරුගල, වීනාවි සුලක්කනා, චාමර රාජපක්ෂ