මාස හයකින් ලංකාවේ අංක එක අපි තමයි
මෙරට විකාශය කෙරෙන රූපවාහිනී නාළිකා අතරට අලුතින්ම එක්වූයේ TV 1 නාළිකාවයි. MTV - MBC මාධ්‍ය ජාලයේ නවතම සාමාජිකයා වන TV 1 තරුණ අදහස් දරන්නන්ගේ නාළිකාව ලෙස නූතන තාක්ෂණය හා නව ලෝක ප්රවණතා සමග ගනුදෙනු කරමින් සිය වැඩසටහන් ඉදිරිපත් කරමින් සිටී. TV 1 නාළිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ නිර්මාණශීලී වැඩසටහන් රැසක් සහ සැර අයිඩියා, ඩයිවින් බර්ඩ්ස් වැනි ආයතන බිහිකරමින් සිය නිර්මාණශීලීත්වය ප්‍රකට කළ බුද්ධික වික්රමාදරයි. මේ TV 1 පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
Q TV 1 ආරම්භ කිරීමේ අරමුණ කුමක්ද?
මුලින්ම සිරස රේඩියෝව ලංකාවට ආව කාලේ ජනතාව ජාතික හා අයි.ටී.එන් නාළිකාවලට නතුවෙමින් තිබුණු කාලයක් සහ රේඩියෝ අහන්නේ නැති යුගයක්. එවන් යුගයක සිරස රේඩියෝව ඇවිල්ලා ලංකාවේ ගුවන් විදුලි කලාවට වෙනසක් කළා. ඒ තුළ මිනිස්සුන්ට යළිත් රේඩියෝ අසන්න පුරුදු කළා
ඊට කාලෙකට පස්සෙ 'සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්' කියන තේමාව යටතේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් බිහිවෙනවා. ඒ සිරස TV නාළිකාවයි. එය අද වනවිටත් අංක එකේ නාළිකාව විදියට දැක්වෙනවා. මෙතන අංක එක කියන්නේ මිනිස්සු බලන ප්‍රමාණය පමණක් නෙවෙයි. අලුත් සංකල්ප, ජනමතය වෙනස් කිරීම, ජනතාව අසරණ වූ අවස්ථාවලදී ප්රමුඛව ඉදිරියට ඒම ආදී කරුණු ඇතුළත්ව ලෝකයේ ප්රවණතාවන් වලට එහා ගිය අලුත් සංස්කෘතියක් බිහිකර දීමයි. විශේෂයෙන් ජනමාධ්‍යයට වෙනම වගකීමක් ජනතාව වෙනුවෙන් තිබේය යන්න සිරස TV සනාථ කළා. ඊට පස්සෙ හැමෝම ඒ දේවල් කරන්න ගත්තා.
මේ වනවිට ලෝකයේ නව ප්‍රවණතාවය වෙලා තියෙන ට්විටර්, ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ සම්බන්ධතා ජාල වලට තරුණ පරපුර සමීප වීමත් එක්ක ඔවුන් රූපවාහිනියෙන් ඈත් වෙන්න ගත්තා. මීට බලපෑව කරුණු රැසක් තිබෙනවා. බොහෝ රූපවාහිනී නාළිකාවන් කරන්නේ ටෙලි නාට්‍ය විකාශය කිරීම හෝ ඉන්දියානු, කොරියානු නාට්‍ය හඬකවා විකාශය කිරීමයි. මිනිසුන්ට රසවින්දනයේ වෙනයම් වූ මායිම් සොයන අලුත් අදහස් ඉදිරිපත් කිරීමට රූපවාහිනී නාළිකාවන් කම්මැලි වෙලාද, අකමැති වෙලාද කියන ගැටලුව තිබෙනවා.
මෙවන් පසුබිමක තවත් රූපවාහිනී නාළිකාවකට රික්තයක් තිබෙනවා කියල අප හඳුනා ගත්තා. විශේෂයෙන් හොඳ අන්තර්ගතයක් සහිත වැඩසටහන් ඉදිරිපත් කරන්නත්, සෙකන්ඩ් ස්ක්‍රීන් ටෙක්නොලජි සම්බන්ධ කරගෙන කොහොමද ජනතාව යළි රූපවාහිනියට සමීප කරන්නේ සහ ඉන් වාසියක්, රසවින්දයක්, සතුටක් ලැබෙන්නේ කොහොමද යන්න අරමුණු කරගෙන තමයි TV 1 නාළිකාව එළිදැක්වුණේ.TV 1 මුළු ලංකාවටම පෙනෙන නාළිකාවක්. UHF 51, 53, 58, 59 යන සංඛ්‍යාත 4 ඔස්සේ එය විකාශය වෙනවා. ඒ වගේම ඩයලොග් ටීවී හි නාළිකා අංක 10 යටතේත්, පියෝ ටීවී හි නාළිකා අංක 12 යටතේත් නැරඹිය හැකියි. මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ හා TV 1 ඇප් එක ඔස්සේ නැරඹිය හැකියි.
බුද්ධික වික්‍රමාදර
Q TV 1 කොහොමද සිරසින් වෙනස් වෙන්නේ?
සිරස TV කියන්නේ ජනතාවගේ නාළිකාවක්. අද වනවිට ජාතික නාළිකාවක් බවට පත්වෙලා තිබෙනවා. ජනතාවගේ තීන්දුතීරණ, සිතුම්පැතුම් සියල්ල සිරසත් එක්කයි සම්බන්ධ වෙලා තිබෙන්නේ.TV 1 නාළිකාව කියන්නේ පැහැදිලිවම ජනතාවට සතුට, වින්දනය, ගෙනදෙන ජනතාවට දැනෙන දේවල්, හැඟෙන දේවල් එක්ක ගනුදෙනු කරන නාළිකාවක්. විශේෂයෙන් ජනතාවගේ අලුත් ප්රවණතා (ට්‍රෙන්ඩ්) එක්ක එකතු වෙච්ච නාළිකාවක්. සිරස ජනතාවගේ ඔළුව, බුද්ධිය හදනකොට TV 1 ජනතාවගේ හදවතත් එක්ක, සතුටත් එක්ක ඉන්නයි සූදානම් කරලා තියෙන්නේ.
Q ඔබේ නාළිකාව ට්‍රෙන්ඩ් සෙටර් කෙනෙක් කිව්වට මොනවද කරපු අලුත් දේවල්?
ලෝකයේ දැනට තිබෙන අලුත් ප්රවණතා අපේ ජනතාවට සමීප කරන්න අප කටයුතු කරමින් සිටිනවා. අද අධ්‍යාපනය හදාරන්න පාසල් යන්නම ඕන නැහැ. ඊට එහා ගිය මායිම් තියෙනවා. එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව හෝ වෙනයම් රටක අද එළියට එන වින්දනාත්මක දෙයක් එවෙලේම නරඹන්න අපි හැමෝටම පුළුවන්කමක් නැහැ. මොකද ලංකාවේ 5% - 10% අතර ප්‍රමාණයකට තමයි අන්තර්ජාල පහසුකම් තිබෙන්නේ. ඒ තුළ ගම් නියම්ගම් වල දරුවන්, ජනතාව එන්ටර්ටේන්මන්ට් කියන දේ අන්තර්ග්‍රහණය කරගන්නේ කොහොමද? ඔවුන්ට ලෝකයේ ප්රවණතා ග්‍රහණය කර ගැනීමේ ගැටලුව තිබෙනවා. මීට හොඳ විසඳුමක් ලෙස තමයි TV 1 බිහිවෙන්නේ. ලෝකයේ අද සිදුවන දේ අදම ගමේ පුද්ගලයාටත් දැනගන්න TV 1 උපකාරී වේවි.
හැබැයි ජාත්‍යන්තර ටෙලිනාට්‍ය පෙන්වනවා කියන දේ නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. අපි විදේශීය ටෙලිනාට්‍ය කියලා පෙන්වන්නේ %The Black list^ කියන ටෙලිනාට්‍ය මාලාව විතරයි. ඊට අමතරව අපේ ටෙලි නාට්‍යයත් 2ක් විතරයි විකාශය කරන්නේ. ඒ සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 %සෙල්ෆි^ හා රාත්‍රී 8.30 VVIP ටෙලි නාට්‍ය ද්විත්වය විතරයි.අපි මේ නාළිකාව ජනතාව සමගින් එකතු වෙලා එළිදක්වන්නේ එළඹෙන මාර්තු මාසයේදී. නමුත් පසුගියදා පැවති මූලිකව නාළිකාව එළිදැක්වීමේ උලෙළ කලාකරුවන් හා මාධ්‍ය‘වේදීන් සමග සිදුකළා. මෙතනදි අපි කලාකරුවන්ගේ අදහස් විමසීමක් කරපුවාම ඔවුන්ට තිබුණ ලොකුම ගැටලුව වුණේ රූපවාහිනී නාළිකා විසින් කලාකරුවන් අමතක කරලා, ඔවුන්ට දෙන්න තිබුණ අවස්ථා නැති කරලා, වෙනත් රටවල නාට්‍යවලින් නාළිකා පුරවා තිබීමයි.
ඔවුන් කිව්වෙ නැහැ ඒවා පෙන්නන්න එපා කියලා. නමුත් ඒවා එකකට, දෙකකට සීමා කරලා අපේ කලාකරුවන්ට අවස්ථාව දෙන්න කියන පණිවුඩයයි ඔවුන් ලබාදුන්නේ. මේ නිසා අපි 100% කලාකරුවන්ගේ පැත්තේ සිටිනවා. ඒ නිසා විදේශීය හඬකවපු එකදු ටෙලිනාට්‍යයක් වත් අපේ නාළිකාවේ නැහැ. අපට ඒ දේවල් හරි අඩුවට කරන්න තිබුණා. නමුත් ඒ වෙනුවට අපේ කලාකරුවන් වෙනුවෙන් වැඩසටහන් 08 ක් විශේෂයෙන් නිර්මාණය කරනු ලැබුවා. ඒ ධනංජය විසින් ඉදිරිපත් කරන 'කලර්ස් විත් ධනංජය', ගිහාන් ප්‍රනාන්දු ඉදිරිපත් කරන 'රියලිටි පේන හැටි', තනුජා ජයවර්ධන ඉදිරිපත් කරන 'ස්ටාර් ලයිට්' ආදී වැඩසටහන් සේම කලාකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වන වැඩසටහන් මාලාවක් අපි ඉදිරිපත් කරනවා.
මොකද අපි විශ්වාස කරනවා කලාකරුවන් කියන්නේ රටේ හදවත කියලා. හදවත මෘදු මොළොක් උනේ නැත්නම් රට, සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ නිසාම සංවේදී මිනිසුන් සිටිය යුතුයි. ඒ නිසයි මේ නාළිකාව කලාකරුවන් එක්කම සම්බන්ධවෙලා යන නාළිකාවක් බවට පත්කරලා තිබෙන්නේ.මේකෙන් අදහස් කරන්නෙ නැහැ. 60/70 දශකවල ටීටර් යුගයේ දේවල් අපි කරනවා කියලා. අපි අලුත් ලෝකයත් එක්ක, ප්‍රවීණ කලාකාරයොත් එක්ක යන ගමනකයි ඉන්නේ.
Q කලාකරුවන් එක්ක වැඩසටහන් කරනවා කියන්නේ සෙසු නාළිකාවල වගේ ඔවුන් සමග චැට් ෂෝ කරන ආකෘතියේ වැඩක් නේද?
කලාකරුවන්ගේ වැඩසටහන් කිව්වම හැමෝම හිතන්නෙ මෙතෙක් දැකලා පුරුදු වැඩසටහන් තමයි. අනික වෙනස් දෙයක් කරනවා කිව්වට කිසිම වෙනසක් නොවන වැඩසටහන් තමයි අතීත අත්දැකීම් ලෙස ඔවුන් දන්නේ.හැබැයි අපි කියන්නෙ නැහැ කලාකරුවන් එක්ක චැට් කරන හෝ ඔවුන්ගේ ගොසිප් කතා කරන වැඩසටහන් මේ තුළ නැහැ කියලා. නමුත් මම කතා කළේ කලාකරුවන් කතා කරන වැඩසටහනක් ගැන නෙවෙයි, කලාකරුවන් සම්බන්ධ කරගෙන කරන නිර්මාණ පිළිබඳවයි. උදාහරණයක් විදිහට 'රියලිටි පේන හැටි' වැඩසටහන ගත්තොත් එතැනදි කරන්නෙ මහේන්ද්‍ර පෙරේරාව ගෙනත් ඉන්ටර්විව් කරන එක නෙවෙයි. මහේන්ද්‍ර පෙරේරා එක්ක ගිහාන් ප්‍රනාන්දු එකතුවෙලා කරන වෙනස් විදිහේ නිර්මාණයක් ගැනයි.
මම ඉන්දියාවේ, සිංගප්පූරුවේ බොහෝ හැදෑරීම් කරලා තිබෙනවා. ඒ නිසා ඒ රටවල කලාකරුවන්ගේ දක්ෂතා මොනවාද, ඔවුන් වැඩ කරන්නේ කොහොමද කියලා මම හොඳින් දැක්කා. නමුත් එවන් පහසුකම් නොමැතිව අපේ කලාකරුවන් කරන නිර්මාණ හරි පුදුමයි. ගැටලුව වෙන්නෙ අපි ඔවුන්ට අත නොදීමයි. හැමෝම බලන්නෙ අපිට ලැබෙන්නේ මොනවද කියල විතරයි. අපි කරන්නෙ ව්‍යාපාරයක්. ඒ තුළ දෙගොල්ලන්ටම වාසි තියෙන්න ඕන. හැබැයි මෙයින් ජනතාවට වැඩිපුර ලැබෙන වාසිය මොකක්ද කියලා අපිට හිතන්න වෙනවා. ඒ නිසා කලාකරුවනුත් එකතු කරගෙන ඔවුන්ගේ දක්ෂතාත් උපයෝගී කරගෙන හැමෝටම වාසි ලැබෙන විදිහට කටයුතු කරන්නයි සැලසුම් කරල තියෙන්නෙ. ඊට මේ වනවිට ලැබෙන ප්‍රතිචාර නම් ඉතා ඉහළයි.
Q අපේ රටේ බොහෝ නාළිකාවලට සැඟවුණු න්යායපත්ර තිබේය යන්න ප්‍රසිද්ධ රහසක්. TV 1 හි ඇජෙන්ඩා එකත් සිරස ඇජෙන්ඩා එකමද?
අපිට කිසිම සැඟවුණු න්‍යායපත්‍රයක් නැහැ. සභාපතිතුමා පැහැදිලිවම අපට කියල තිබෙනවා මෙය විනෝදාස්වාදය සපයන, තරුණ තරුණියන් වෙනුවෙන් කටයුතු කරන නාළිකාවක් බව. තරුණ සිත් ඇති ඕනෑම කෙනෙකුට මේ නාළිකාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
Q තරුණ පරපුර ඔබ නාළිකාව උඩට ගෙන ඒවි කියලා විශ්වාසද?
අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ තරුණ පරපුර හෝ සමාජය අපිව උඩට අරගෙන ඒවි කියලා. අපි සමාජයෙන් ඉල්ලන්නෙ නැහැ අපිව උඩට ගෙනියන්න කියලා. අපි සමාජයට හරි වැඩක් කළොත් ඔවුන් අපිව ඔසවාගෙන යයි. අනිත් අයගෙන් ලැබෙන දේට පෙර අපි දෙයක් කරලා ඉන්න ඕන. ඒ සඳහා අපි සූදානම්.
අපි කියන්නෙ නැහැ සල්ලි දෙන්නම් අපිව බලන්න හෝ තෑගි දෙන්නම් අපිව බලන්න කියලා. ප්රචාරක කටයුතු නොකරනවා නෙවෙයි. අපි වැඩක් කරනවා, ඒක හොඳයි කියලා හැඟෙනවා නම් අපිත් එක්ක ඉඳියි. එහෙම නැත්නම් අනිවාර්යෙන් අපිව අත් හරියි. ඒක තමයි ධර්මතාවය. අපිට මේ සඳහා හොඳ කණ්ඩායමක් ඉන්නවා. විශේෂයෙන් වැඩසටහන් අංශයේ ෂර්ලි පී. දෙලංකාවල, අරෝෂ් ගමගේ වැනි කණ්ඩායමක් ඉන්නවා. නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස රෂ්මින්ද ගමගේ කටයුතු කරන අතරම, නීඩ්‍රා වීරසිංහ මහත්මිය සියලු නාළිකාවල ප්‍රධානියා ලෙසත්, ආදිත්‍ය රේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් කටයුතු කරන අතරේ, නාළිකා ප්‍රධානියා ලෙස මට මේ කණ්ඩායමත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් වේවි.
Q මේ නාළිකාවේ සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම වැඩසටහන් විකාශය කරන්නේ ඇයි?
ලෝකයත් එක්ක සම්බන්ධ වෙනවා නම් අද තරුණ තරුණියන්ට මේ දේ අවශ්‍යයි. ජේ.බී දිසානායක කියන සිංහල භාෂාව පිළිබඳ මහාචාර්යවරයා පොඩි කාලේ ඉගෙන ගෙන තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපි භාෂාවට බය වුණොත් මේ වැඩේ කරන්න හම්බවෙන්නෙ නැහැ. ලෝකෙත් එක්ක යන්න නම් ඒ සමග සම්බන්ධ වෙන භාෂාවක් තියෙන්න ඕන. ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන මාධ්‍ය තමයි ඉංග්‍රීසි භාෂාව. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව අමතක කරලා අපිට මේ වැඩේ කරන්න බැහැ. හැබැයි භාෂා ද්විත්වයෙන්ම කටයුතු කළත් ඉංග්‍රීසි භාෂාව මරන්නවත්, සිංහල භාෂාව මරන්නවත් අපි සූදානම් නැහැ. මේ දෙකම වැදගත් විදිහට කරගෙන යන්න ඉංග්‍රීසි වැඩසටහන් රාත්‍රී 9.00 න් පසුවත්, ඊට පෙර සිංහල වැඩසටහනුත් විකාශය කරනවා.ඉංග්‍රීසි චිත්‍රපට 38ක් මාසෙකට විකාශය කරනවා. ඒ සවස 3.00 ට සහ රාත්‍රියට එක චිත්‍රපටය බැගිනුයි. ඊට අමතරව සති අන්තයේදී ලෝකයේ විවිධ භාෂාවල සම්මානනීය චිත්‍රපට විකාශය කරනවා.
Q මේ නාළිකාව තුළ ඔබ සිදුකරන්නේ ඩයිවින් බර්ඩ්ස් තුළ ඔබ සැලසුම් කළ දේවල් නේද?
ඔව්. මම යම් සංකල්පයක් ඉදිරිපත් කළා නම් ඒ සමග දිගටම සිටිය යුතුයි. අද එකක් කියලා හෙට තව එකක් කියන්න බැහැ. රටට, සමාජයට හොඳක් කරනවා වගේම ඒක අනාගතයට හොඳ දෙයක් වෙන්න ඕන. කලින් අපිට තිබුණේ සැලසුම් විතරයි. නමුත් දැන් ඒක ක්‍රියාත්මක වී තිබෙනවා.
මේ නාළිකාවේ සභාපති රාජ් රාජා මහේන්ද්‍රන් මහතාට ලොකු උවමනාවක් තිබෙනවා ලංකාවේ ජනතා පවුරක් වෙනුවෙන් හරිතැනකට තරුණ පරපුර යොමු කරන්න. මට ඒ සඳහා අවස්ථාවක් ලැබුණා. මේ ආයතනයේ ප්‍රතිපත්තිත් එක්ක රටේ ජනතාව ඉදිරියට ගෙන යාමට මගේ දේවලුත් අනුගත කරගෙන හොඳ දෙයක් කරන්න පුළුවන් වේවි.
Q සෙකන්ඩ් ස්ක්‍රීන් ටෙක්නොලොජි හරහා සමාජගත කරන්නේ කවරක්ද?
දැනට අපේ TV එකේ තිබෙන්නේ එක ස්ක්‍රීන් එකයි. ඒකෙ යන දේ පමණයි බලන්න පුළුවන් වෙන්නෙ. රූපවාහිනී වැඩසටහනක ආරාධිතයා කතා කරන ටික හා ඔවුන් පෙන්වන දසුන් පමණයි අපි ඒවෙලේ දකින්නේ. නමුත් ඊට එහා ගිය දේවල් දැනගන්න අවශ්‍ය වුණොත් කොහොමද ඒක දැනගන්නෙ.
මේ සඳහා තමයි සෙකන්ඩ් ස්ක්‍රීන් ටෙක්නොලොජි බිහිවෙන්නේ. එවිට අපේ ජංගම දුරකථනයෙන් හෝ ටැබ් එකෙන් TV 1 ඇප් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්.
අපේ ප්රවෘත්ති ඉදිරිපත් කරන නිවේදිකාවගේ ඔරලෝසුව ගැන දැනගන්න අවශ්‍ය නම් හෝ වැඩසටහනක ආරාධිතයා ඇඳගෙන ඉන්න ඇඳුම ගන්න පුළුවන් කොහෙන්ද ආදී පෞද්ගලික තොරතුරු දැන ගැනීමේ ක්‍රමවේදය තමයි සෙකන්ඩ් ස්ක්‍රීන් ටෙක්නොලොජි කියන්නේ. ඒ වගේම විකාශය වන වැඩසටහනට අකමැති නම් මේ තාක්ෂණය හරහා එවෙලේම සම්බන්ධ වෙලා තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කළ හැකියි. සජීවී වැඩසටහනකදී එසැනින් සම්බන්ධවෙලා තම අදහස් පළ කිරීමත් මේ තාක්ෂණය හරහා කළ හැකියි. නිමේෂ්, ෂනුක, ස්ලෑෂ් තමයි මේ කටයුත්ත මෙහෙයවන්නේ. එම් එන්ටර්ටේන්මන්ට් තමයි මේ කටයුත්ත භාරව ඉන්නෙ.
Q ඔබ විශ්වාස කරන විදිහට TV 1 ප්රමුඛ නාළිකා අතරට එක්වෙන්න තව කොතරම් කලක් යාවිද?
කොහොමත් තව මාස හයකින් ලංකාවේ අංක එක අපි තමයි. සාමාන්‍ය ජනතාව අපේ නාළිකාව බැලුවොත් අපේ රේටින් වැඩි වෙයි. බැලුවෙ නැත්නම් අඩුවෙයි. මම ජනතාව එක්ක හිටිය කෙනෙක් ලෙස මම දන්නවා මේ නාළිකාව ජනතාව ග්‍රහණය කර ගනීවි කියලා. මාත් එක්ක ඉන්න කණ්ඩායම ජනතාවත් එක්ක කටයුතු කළ පිරිසක්. ඒ වගේම නීඩ්‍රා වීරසිංහ මහත්මිය, ආදිත්‍ය රේ මහතා ඇතුළු කණ්ඩායමේ මැදිහත් වීම බෙහෙවින් වැදගත්. ඇත්තටම ඔවුන්ට ඕන මේ ආයතනය ලෝකයට ගෙනියන්නයි. අපට ලංකාව අමතක කර ලෝකයට යන්න බැහැ. ඒ නිසා ජනතාවට විරුද්ධ කිසිදු දෙයක් අපේ මාධ්‍ය ජාලය තුළ තිබෙන නාළිකා 8න් කිසිදු නාළිකාවක් සිදුකර නැහැ. ඒ වගකීම ශ්‍රී ලාංකිකයෙකු ලෙස මමත් දරනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

