රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට තේරී ඇති රාජිත දිසානායකගේ 'නැතුව බැරි මිනිහෙක්' නාට්‍යයේ ගයන්ත නම් චරිතයට පණ පොවන සම්මානනීය රංගධර ධර්මප්‍රිය ඩයස්, වසර දහ අටක වේදිකා නාට්‍ය ජීවිතය තුළ තමාට ලැබුණු අභියෝගාත්මකම චරිතය එය බව අප සමග පැවසුවේය.
Q 'නැතුව බැරි මිනිහෙක්' වේදිකා නාට්‍යයේදී ඔබේ චරිතය ගැන කතා කළොත්?
ගයන්තගේ චරිතයට මේ වෙද්දි ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. සෑහෙන්න දර්ශන වාර ප්‍රමාණයක් ඉදිරියේදී වේදිකාගත වීමට නියමිතයි. ඒත් මට මේ චරිතය අභියෝගාත්මක චරිතයක්. බරපතළ චරිතයක්. මොකද මේ චරිතය ඔස්සේ තමයි සමස්ත නාට්‍යයම කේන්ද්‍රගත වෙන්නේ. ඊට අමතරව මම කපිල කුමාර කාලිංගගේ 'බැංකු වීරයා' වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයටත් මේ දවස්වල සූදානම් වෙනවා.
Q බාල ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වීමෙන් ඔබේ තත්ත්වයත් අද බාල වෙලාලු?
ටෙලිනාට්‍ය කලාව කියල දෙයක් අද ලංකාවේ නැහැ. අද තියෙන්නේ ටෙලි ව්‍යාපාරයක්. අනික මට මගේ ගුරු වෘත්තියෙන් පමණක්ම වාහනේට තෙල් ගහන්න බැහැ. ඒ නිසා මමත් බොළඳ ටෙලිනාට්‍යයක රඟපාලා, වාහනේට තෙල් ටිකකුත් ගහගෙන, අන්තිමට හොඳ වේදිකා නාට්‍යයක පුහුණුවීමකටත් යනවා. සමහර දවස්වලට මම හඬකැවීම් මැදිරියටත් ගිහින් හොඳ වේදිකා නාට්‍ය පුහුණුවීමකට එනවා. එහෙම තමයි මම අධ්‍යාපන කටයුතුවලටත් ඒ කාලේ වියදම් කර ගත්තේ. අනික මම හිතන්නේ නෑ මං අතින් විශාල සමාජ විනාශයක් වුණා කියලා. මොකද ඊට වඩා සමාජයට වගකිව යුතු කට්ටිය සමාජයේ වැරදි මත වපුරනවා. වැරදි දේවල් හරි කියලා ඔවුන්ම ඔප්පු කරනවා. බලය වෙනුවෙන් බොරු පොරොන්දු දෙනවා.
Q ප්‍රේක්ෂකයා රඟහලට පැමිණෙන්නේ චින්තනය පුළුල්කර ගැනීමට වඩා විනෝදාස්වාදය වෙනුවෙන්ලු?
ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදය අවශ්‍යයයි. ඒත් එය ලබාදෙන ආකාරය අනුවයි නාට්‍යයේ අර්ථාන්විත බව තීරණය වෙන්නේ. අනික නළුවා/නිළිය පැමිණෙන්නේම ප්‍රේක්ෂකයා හිනැස්සවීමට නම් අන්න එතැන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අවස්ථාවට අනුව ප්‍රේක්ෂකයා දක්වන ප්‍රතිචාරය තමයි වඩා වැදගත් වෙන්නේ.
Q කොහොම වුණත් වත්මන් නාට්‍ය රසිකයාවත් වෙනමම පුහුණු කළයුතු වාතාවරණයක් අද උද්ගත වෙලා?
මිනිස්සු විවිධයි. ඒ නිසා ඔවුන් අදාළ නාට්‍යෝචිත අවස්ථාව ග්‍රහණය කර ගන්නෙත් විවිධ විදිහට. ඒක ගැටලුවක් නෙමෙයි. ඒත් ඇත්ත ප්‍රශ්නෙ තියෙන්නේ ඔතැන නෙමෙයි. නාට්‍යයක් නැරඹීම සඳහා සුදුසු ප්‍රේක්ෂකයෙක් වීමටයි පුරුදු පුහුණු විය යුත්තේ. එවැනි සහෘද ප්‍රේක්ෂකාගාරයක අඩුවක් තමයි දැන් තියෙන්නේ. විශේෂයෙන්ම වත්මන් ප්‍රේක්ෂකයාට අද නාට්‍යයක් නැරඹීමේදී පිළිපැදිය යුතු විනය පිළිබඳවත් ගැටලු තියෙනවා.
Q වත්මන් මූලික අධ්‍යාපනයත් ඊට බලපානවා නේද? විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍රමයට එක් කර ඇති නාට්‍ය හා රංග කලා විෂය නිෂ්ක්‍රීය වෙලා?
ඒ කතාවේ දෙපැත්තක් තියෙනවා. හය ශ්‍රේණියේදී නාට්‍ය හා රංග තෝරාගන්නා ළමයා එය තෝරාගන්නේ එයට තියෙන ආකර්ෂණය නිසා වෙන්න පුළුවන්. ඒත් ටිකෙන් ටික ඒ ළමයාගේ අරමුණ වෙනස් වෙනවා. ඊට විශේෂ පුහුණුවක් සහිත නාට්‍ය හා රංග කලා ගුරුවරු නොමැති වීමත් බලපානවා.
මොකද ඇතැම් පාසල්වල මේ විෂය උගන්වන්නේ සංගීතය, නැටුම් වැනි විෂයන් උගන්වන ගුරුවරු. ඒ නිසා තමයි සාමාන්‍ය පෙළ වෙද්දි සමහරු විභාගය ගොඩදමා ගැනීම සඳහා පමණක් නාට්‍ය කලාව හදාරන්නේ. හැබැයි උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම නාට්‍ය කලාව තමන්ගේ ජීවිතය කරගත් පිරිසකුත් මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේම ඉන්නවා. ඒත් ජීවිතය රසවත් කර ගැනීම සහ ජීවිතාබෝධය ලබාගැනීමේ මෙවලමක් විදිහට නාට්‍ය කලාව වැදගත් වෙනවා.
Q නාට්‍ය හා රංග කලාව විෂය අධ්‍යාපනික මෙවලමක් විදිහට යොදාගැනීම ඔබ කොහොමද දකින්නේ?
එවැනි භාවිතාවක් තමයි වත්මන් අධ්‍යාපනයට අවශ්‍ය කරන්නේ. මොකද අද සමහරු පාඩම් උගන්වන්නේ ළමයට පාඩම එපා වෙන විදිහට. එවැනි අවස්ථාවකදී නාට්‍ය කලාවේ මෙවලම් අධ්‍යාපන ක්‍රමයට උපයෝගී කරගන්න පුළුවන්. රසවත් විදිහට පාඩමේ හරය නාට්‍යානුසාරයෙන් අවබෝධ කරදෙන්න පුළුවන්.
Q ඒත් වත්මන් සමාජයට 'සංවාද මණ්ඩප' (Forum Theatre) නාට්‍ය කලාවක අවශ්‍යතාවයක් පවතිනවා නේද?
සමාජයේ යාවත්කාලීන ප්‍රශ්න තමයි සංවාද මණ්ඩප නාට්‍ය කලාව හරහා සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ. එය ප්‍රායෝගිකයි. ප්‍රායෝගික මිනිසුන්ගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සොයාදෙන්නයි නාට්‍ය ආකෘතිය යොදා ගැනෙන්නේ. ඔගොස්ටෝ බුවාල් නාට්‍යකරුවා තමයි මේ ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ. සමාජයේ පවතින සැබෑ ගැටලුවකට පිළිතුරු සෙවීමයි ඒ හරහා සිදුකෙරෙන්නේ. ඒත් එය නාට්‍යකරුවන් භාවිත කරන අන්දම වෙනමම කතා කළ යුත්තක්.