සිනමා ක්ෂේත්රයේ නළුවෙකු, තිරකතා රචකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු ලෙස භූමිකා රාශියක් නිරූපණය කළ සනත් ගුණතිලකයන්ගේ දේශපාලන භූමිකාවද විවිධ නායකයන් හමුවේ විවිධ අවස්ථාවල විවිධ අන්දමට ක්‍රියාත්මක වූ බව ප්‍රකට කරුණකි. තව දින කිහිපයකින් එළඹෙන මහ මැතිවරණය සහ ඔහුගේ වර්තමාන භූමිකාව පිළිබඳ අපි මෙසේ අදහස් විමසුවෙමු.
Q ඔබගේ අලුත් තිර රචනය ගැන යමක් පැවසුවොත්?
ඒ ගැන කියන්න කල් වැඩියි. අලුත් කතාව වෙන්නේ කැනඩාවෙද, බෙල්ජියමෙද, ලංකාවෙද කියන එක පස්සෙ තීරණය වෙයි. එංගලන්තයෙ සිටින මගේ මිත්‍රයෙක් සමග මේ දිනවල මූලික ලිපි ගනුදෙනු වෙනවා.
Q සිනහව අතරින් ගැන අලුත්ම තත්ත්වය?
එය පිටරට ප්‍රදර්ශනය වෙනවා. අඩුම ප්‍රචාරණ වියදමකින් තිරගත වූ චිත්‍රපටයක් විදියට එය යම් වාර්තාවක් තබයි.
Q එතකොට ඔබේ දේශපාලනය?
මම විශ්වාස කරනවා මා හොඳ නිරීක්ෂකයෙක් කියලා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට, එහෙමත් නැත්නම් අවශ්‍ය මාධ්‍යවලට මම කතා කරයි. නැත්නම් නිහඬයි. ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ ඔබ සහ ඔබේ මාධ්‍ය මට වැදගත් යැයි සිතුණ බැවින්.
Q ඔබ ළඟදී ජනතාවගෙන් ඉල්ලා සිටියා ඔබේ වටිනා ඡන්දය නොවටිනා කෙනෙකුට දෙන්න එපා කියලා?
ඔව්. නොවටිනා අයට බලය දීම අනාගත පරපුරට, තමාගේ දරුවටම කරන විශාල ද්‍රෝහිකමක්.
Q ඔබ වඩාත් අගය කරන දේශපාලඥයා කවුද?
එකිනෙකාට සාපේක්ෂව ගත්විට විවිධ කරුණු ඔස්සේ විවිධ දේශපාලඥයන්ගේ හොඳ නරක සංසන්දනාත්මකව සැලකිය හැකි බැවින් එහෙම නමක් කීම තව කෙනෙකුට කරන අසාධාරණයක්. නමුත් සමස්තයක් විදියට බොහෝ කරුණු අතින් ලක්ෂ්මන් කදිරගාමර් ඉතා ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක්. ඒ වගේම මාත් සමග එකට පළාත් සභාවෙ සිටි පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ව සිටි දොස්තර ගාමිණී විජේසේකර හොඳ කළමනාකරණයක් තිබෙන අවංක මහත්මයෙක්.
Q වර්තමාන තරගකරුවන් අතර ඔබට කිව හැකි හොඳ නම් මොනවද?
ඔයිට වැඩිය ලේසියි නරක නම් ඇහුව නම්. දේශපාලඥයන් විදියට නොවෙයි. මාත් එක්ක විවිධ අන්දමට වෙනත් වැඩකටයුතුවලදී සම්බන්ධ වුණු මා අගය කරන පිරිස් ඉන්නවා. මට ඔවුන්ගේ පාට පක්ෂ වැඩක් නෑ. මහින්ද සමරසිංහ මම පළාත් සභාවෙ සිටි අවුරුද්දක් වැනි කෙටි කාලය තුළ සිනමාවෙ ප්රගමනයට මට තදබල ලෙස උදව් කරපු හිතවතෙක්. අජිත් පෙරේරා අපේක්ෂකතුමා ගතහොත් ඔහු මට නීතිය උගන්වපු ගුරුවරයෙක්. ඔහු ඉතාම කැපවීමෙන් මහන්සියෙන් මට කියලා දුන්නා. මාතලේ පැත්තෙන් එන ප්‍රියාන් විජේරත්න බැලුවොත් කණ්ඩලම හෝටලයේ ප්‍රධාන සාමාන්‍යාධිකාරී තනතුරෙන් ඉවත්ව මහජන සේවයට පැමිණ ඇති කාර්යශූර පුද්ගලයෙක්. මේ වගේ මට උදාහරණ දිය හැකියි.
දීර්ඝ කාලයක් දැනගෙන හිටියත් කෙටි කාලයක් තුළ ආශ්‍රය කරපු අය ගැනත් ඔවුන්ගේ අවශ්‍යතාවලට පමණක් මට කතා කරන අය ගැනත් ඔතන ලියලා ඡන්ද දායකයන් අනාථ කරන්න මම කැමති නෑ. අනිත් එක ඔබ ඇහුවෙ මේ පාර ඡන්ද ඉල්ලන අපේක්ෂකයන් ගැනනේ. නමුත් සිනමාව පැත්තෙන් ගත්තම මට අවංකවම උදව් කරපු ප්‍රධානතම දේශපාලඥයා තමයි වි.ජ.මු. හිටපු ඇමතිතුමා. නමුත් එයා මේ පාර ඡන්ද ඉල්ලන්නෙ නෑනේ. ඡන්ද ඉල්ලන අයගෙන් මංගල සමරවීර කියන්නෙ හොඳ මීටරයක්.
Q වර්තමාන ඡන්ද අපේක්ෂිකාවන්ගෙන් ඔබ ප්‍රියකරන ඡන්ද තැනැත්තිය කවුද?
මම ප්‍රිය කරන අය, මිනිස්සුන්ට වැඩක් නෑ. හැබැයි මම ගරු කරන ඡන්ද අපේක්ෂිකාව නම් අනෝමා ෆොන්සේකා මැතිනියයි. ජීවිතේ තමන් වෙත සියලුම දුක්කම්කටොලු තම සැමියා වෙනුවෙන් විඳිමින් ඉවසමින් එතුමිය මුළු කාන්තා පරපුරටම ආදර්ශමත් චරිතයක් වුණා. කාන්තාවන් සතුවිය යුතු විනීතභාවය, කරුණා ගුණය උපේක්ෂාව වගේම නොසැලෙන, එඩිතරකමත් එකට මුසුවුණ වෙනත් චරිතයක් ඉතා මෑත ඉතිහාසයේ නැති තරම්. හිරුණිකා වැනි අලුත් අයට ඇය මහඟු ආදර්ශයක් යැයි මා සිතනවා.
Q ඔබ හිතන විදියට අගමැති විය යුත්තේ කවුද?
මම හිතන කෙනා අගමැති වෙන්නෙ නෑ. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා එයා විරුද්ධ පක්ෂ නායකයා වෙන්න කියා.
Q ඒ කවුද?
අනුර කුමාර දිසානායක
Q ඔබ ජනතා විමුක්ති පෙරමුණට කඩේ යනවාද?
මම එහෙම කාටවත් කඩේ ගිහිල්ලත් නෑ. කඩේ යන්නෙත් නෑ. නමුත් මම අගය කළයුතු කෙනා මට නිවැරදි යැයි විශ්වාස කරන කෙනා පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට කවදාවත් මැලිවෙලා නෑ. දැනට දේශපාලන භූමිකාවෙ සිටින තරග කරන බොහෝ දෙනා පිළිබඳ මා බොහෝ දේ දන්නවා. විශේෂයෙන් ප්‍රධාන පක්ෂ දෙකේ සියලුම දෙනාගැන මට යම් අවබෝධයක් තිබෙනවා. එනිසා මා ඒ ගැන කතා නොකර සිටීම වඩා යෝග්‍යයි. අනුර කුමාර සමග මම වචනයක්වත් කතා කරල නෑ. ඔවුන්ගේ පක්ෂයේ ක්‍රියාකාරකම් ගැන, දේශපාලන චින්තනය ගැන මා එකඟ වන, එකඟ නොවන කාරණා රාශියක් තිබෙනවා. නමුත් දේශපාලනික වශයෙන් අනුර කුමාරලා තුළ යම් කැපී පෙනෙන අවංකත්වයක් තිබෙනවා. ඒ අවංකත්වය තුළින් ඔවුන් අපේ හදවත ස්පර්ශ කරනවා.
Q නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ කටයුත්ත කරනවා නේද?
ඔව්. ඒ අතින් බලනවිට මහජනතාවගේ විශ්වාසවන්තම දේශපාලඥයා එතුමා. එතුමාට අවශ්‍ය වුණේ ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න. ඒ වෙනුවෙන් තමයි කිසිවෙක් ගන්නේ නැති අවදානමක් අරගෙන තරග බිමට ආවෙ. නමුත් එතුමා දිනුවට පස්සෙ ජනතාව වෙනුවෙන් කිරීමට අවශ්‍ය වූ සේවය හරියාකාරව කිරීමට ප්‍රධාන පක්ෂ දෙක උදව් කරාද? ඇත්තටම උදව් කරාද? නැත්නම් කරන දේවල් කළේ ඔවුන්ගේ පැවැත්මට මුල් ප්‍රමුඛතාව දෙමින් නොවේද?
Q ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමාටත් වැරදුණා?
එහෙම හිතන අය ඇති. ඒත් මේ රටේ වාසනාවට මහජනතාව එකපාරටම එහෙම හිතන්නෙ නෑ. ඔවුන් ටිකක් ඒ ගැන කල්පනා කරල හිතල බලල තීරණ ගන්නවා. ජනාධිපතිතුමාට වැරදුණා කියලා හිතපු අය වැරදුණේ කාටද කියලා පස්සේ හොඳට හිතල බලයි.
Q මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැරදුණේ කොතැනද?
එතුමා හොඳ ප්‍රායෝගික දේශපාලඥයෙක්. එතුමාට වැරදුණ තැන් එතුමා දැනටම සොයාගෙන ඉවරයි. මම මොකටද රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නේ.
Q ඔබ සිතන විදියට වැරදුණ තැනක් කියන්න?
මට මතක විදියට 2014 මුල මාකඳුර පැත්තේ බාලිකා විද්‍යාලයකට එතුමා ගිය අවස්ථාවකදී. බාලිකාවන් එතුමා පිළිගත්තේ ආයුබෝවන් මහ රජතුමනි කියලා. එතුමාගේ කතාවෙත් එතුමා ප්‍රකාශ කරනවා මේ දුවලා මට ආයුබෝවන් මහ රජතුමනි කිව්වට වඩා ආයුබෝවන් පියතුමනි කියල කිව්ව නම් මම මීට වැඩිය හුඟක් සතුට වෙනවා කියලා. මම රූපවාහිනියෙන් ඔය ෂොට් එක දැක්කා. ඇත්තටම එතුමා ඒ ප්‍රකාශය කරන්නේ නෙතඟ දිඳුලන කඳුළු කැට කීපයක් සමග ඉතාමත් හැඟුම්බරව. ඒ වුණාට අපට ඒක දැනුණෙ නැත්තෙ ඇයි? එතුමා රජතුමාට අන්දපු පූසෝ එතුමා වටේ කොච්චර කැරකි කැරකි සිටියාද? එතකොට මිනිස්සු හිතුවෙ මේක එතුමාගේ උවමනාවට වෙන දෙයක් කියලා. ඉස්සරලම රජතුමා කිව්ව පූසගේ කණ පැලුවා නම් මහින්ද රාජපක්ෂ අදටත් ජනාධිපති.
Q රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ ඔබ සිතන්නේ කුමක්ද?
තම පක්ෂයට සහ පක්ෂයේ නායකත්වයට කිසි විටෙක පිටුනොපෑ දේශපාලඥයෙකු ලෙස හඳුන්වාදිය හැකියි. ඔහුටම ආවේණික හැසිරීම් රටාව ඔහු කවුරු කිව්වත් වෙනස් කරගෙන නෑ. ඇත්තටම එහෙම කරගන්න ඕනෙත් නෑනේ. දක්ෂ, බුද්ධිමත්, අත්දැකීම් බහුල සූක්ෂ්ම පුද්ගලයෙක් විදියට මා එතුමාව දකිනවා. සූක්ෂ්මකම පාවිච්චි කර උපායශීලීව කරන සමහර කටයුතු කෙනෙකුට තේරුම් ගන්න ගොඩක් කල් යනවා.
Q වර්තමාන දේශපාලනය ගැන ඔබ කලකිරිලද ඉන්නේ?
දේශපාලනය විතරක් නොවෙයි සමාජ ස්ථරය ගත්තම අපට කලකිරෙන්න හුඟක් හේතු තිබෙනවා. තමන් ගැන පමණක් සිතන ආත්මාර්ථකාමීන්, තම මවු රටේ නීති පද්ධතිය උල්ලංඝනය කරන අමනයන්, ස්වභාවධර්මයාට කෙනෙහිලිකම් කරන අපතයන්, තම මවුපියන් නොසලකන ඒ වගේම අනිත් අතට තම දූ දරුවන් කෙලෙසන පාපතරයන්ගෙන් අපේ රටට දැන් අඩුවක් නෑ නේද? මේව ගැන හිතලා අපි කලකිරුණොත් අපි ජීවත්වීමේ තේරුම මොකක්ද? අපිට පුළුවන් හැටියට රට සේවයක් කරන්න පුළුවන් නම් ඒක අප කළ යුතුයි. මම දැන්නම් මගේ අවස්ථාවාදී මිතුරන්ගෙන් ඈත්වෙලා ඉන්නෙ. ඒක මට සතුටක්. ඒ වගේම හිතට සහනයක්.
සිතුනි ඉමන්සා