වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන මාධ්‍යයන් තුළ රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂකවරයෙකු, පිටපත් රචකයෙකු ලෙස භූමිකා කිහිපයක්ම නිරූපණය කරන හේමන්ත ප්‍රසාද් විසින් රචනා කරන ලද %ලෝරන්ස්ගේ මනමාලි සහ කෙටි නාට්‍ය දෙකක්^ යන වේදිකා නාට්‍ය පිටපත්, ග්රන්ථයක් ලෙස එළිදක්වා තිබේ. ඒ ගැන සහ කලා කටයුතු ගැන කතා කිරීමට ඔහු අප හා සම්මුඛ වූයේ මෙලෙසය.
Q ’ලෝරන්ස්ගේ මනමාලි’ යන වේදිකා නාට්‍යයේ පිටපත ග්රන්ථයක් ලෙස සමාජගත කරන්න යොමු වුණේ ඇයි
‘ලෝරන්ස්ගේ මනමාලි’ කියන්නේ කලකට පෙර මම කළ කෙටි නාට්‍යයක්. මෙය 2006 වසරේදී සිදුකළේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කෙටි නාට්‍ය තරගයකට. මේ නාට්‍යය රචනා කර අධ්‍යක්ෂණය කිරීම සිදුකළෙත් මා විසින්මයි. ඒ කාලේ රංගනයෙන් දායක වුණේ ජයනි සේනානායක, සරත් කොතලාවල, තුෂාරි සෙනවිරත්න, ධර්මප්‍රිය ඩයස් වැනි ශිල්පීන්. මෙයට හොඳම නළුවා, නිළිය, හොඳම නාට්‍යය, හොඳම රචනය වැනි සම්මාන ගණනාවක් හිමි වුණා. ලංකාවේ කෙටි නාට්‍ය පවතින්නේ නැහැ. මේ නාට්‍යයටත් එයම සිදුවුණා. නමුත් මතකයක් ලෙස මේ නාට්‍යය අපේ මිතුරන් අතරේ තිබුණා. රෂෝමෝන් වැනි නාට්‍ය මම කරන්න යොමු වුණා. පසුව සුජීව ප්රියාල්ට දිගු නාට්‍යයක් කිරීමේ අවශ්‍යතාව තිබුණා. ඔහු මට පිටපතක් ලියන්න කිව්වා. මම වෙන පිටපතක් ලබාදුන්නත්, ඒ පිටපත තුළින් ඔහු සෑහීමකට පත්වුණේ නැහැ. පසුව ඔහුම යෝජනා කළා ‘ලෝරන්ස්ගේ මනමාලි’ කෙටි නාට්‍යය තුළින් පිටපතක් ලියන්න බැරිද කියලා. පසුව මම මෙය දිගු නාට්‍යයක් ලෙස රචනා කරලා සුජීවට ලබා දුන්නා. සුජීව තමයි මේ නාට්‍යය අධ්‍යක්ෂණය කළේ. මේ නාට්‍යය පසුගිය වසර තුන තුළ ඉතාමත් සාර්ථකම නාට්‍යයක් බවට පත්වුණා. ප්‍රහසන නාට්‍යයක් කිව්ව ගමන් අපිට ලබාදීලා තියෙන්නේ වෙනත් අදහසක්. එහෙම වුණත් මෙය මූලික ප්‍රහසන ලක්ෂණ ඇති යහපත් නාට්‍යයක් බවට විශිෂ්ට විචාරකයන් පවා සඳහන් කර තිබෙනවා. 2014 අගෝස්තු මාසේ තමයි මේ වේදිකා නාට්‍යය පටන් ගත්තේ. වසර තුනක කාලයේදී දර්ශනවාර තුන්සියයකට වඩා වේදිකාගත කරන්න හැකි වුණා. විදේශ සංචාර කිහිපයකුත් මේ නාට්‍යයට කරන්න පුළුවන් වුණා. ඒ කොහොම වුණත් මේ නාට්‍යය එක්තරා කාලයකදී නවතිනවා. ‘මනමේ’, ‘සිංහබාහු’ වැනි නාට්‍ය පවතින්නේ විෂය නිර්දේශය තුළ අන්තර්ගත නිසා. ඒ නිසා මට ඕන වුණා ‘ලෝරන්ස්ගේ මනමාලි’ යම් වාර්තාමය අයුරකින් හෝ රට තුළ ඉතුරු වෙනවට. අනෙක් කාරණය ස්වතන්ත්‍ර හරි අඩුයි කියන මැසිවිල්ල තිබෙනවා. ගොඩක් අය හිතනවා ‘ලෝරන්ස්ගේ මනමාලි’ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් කියලා. මෙය ස්වතන්ත්‍ර නාට්‍යයක්. ඒ නිසා මෙය පරිහරණය කර යම් අදහසක් ගන්න තමයි ග්රන්ථයක් බවට පත් කළේ. මේ පිටපත කුඩා නිසා මගේ සම්මාන දිනපු කෙටි නාට්‍ය දෙකකුත් අන්තර්ගත කළා. ඒ තුළින් මේ ගැන ඉගෙන ගන්න කෙනෙකුට වුණත් යම් දෙයක් ගන්න පුළුවන් වෙයි. ඒක තමයි මෙහි අරමුණ.
Q ඔබ මේ ග්‍රන්ථය තුළ සටහනක් තබනවා මෙහි මුද්‍රණයට පුස්තකාල සේවා මණ්ඩලය ආධාර නොකිරීම කනගාටුදායකයි කියලා. ඉන් ඔබ අදහස් කරන්නේ ජනප්‍රිය ධාරාවේ නාට්‍යවලට මේ තුළ ඉඩක් නැහැ කියන කාරණයද
හරියටම හොයලා බැලුවොත් ලංකාවේ කලාව තීරණය කරන්නේ දහදෙනෙක් පමණයි. සංගීත උළෙලේ වේවා, රාජ්‍ය නාට්‍ය උළෙලේ වේවා සිනමා සම්මාන උළෙලක් වේවා මේ හැම කමිටුවකම ඉන්නේ එහෙට මෙහෙට මාරු වෙවී එකම පුද්ගල කණ්ඩායමක්. ඔවුන් විසින් තමයි මේ සියල්ල තීරණය කරන්නේ. එහෙම වුණාම එක් පැත්තකින් ස්වතන්ත්‍ර නාට්‍යකරුවෝ ලංකාවේ නැහැ කියල හඬා දොඩනවා. ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත් ලංකාවේ ලියවෙන්නේ නැහැ කියනවා. නමුත් ඒ පිටපතක් දුන්නම එය මුද්‍රණය කළයුතු කාර්යයක් කියලා ඔවුන් පිළිගන්නේ නැහැ. ප්‍රහසන නාට්‍යයක් මෙතරම් ජනප්‍රිය වෙන්න හේතුව කුමක්ද කියලා කෙනෙක් හදාරනවා නම් එහි අන්තර්ගත ලක්ෂණ ගැන විශ්ලේෂණය කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මෙවැනි පිටපත් මුද්‍රණය විය යුතුයි. අතිවිශිෂ්ට සම්භාව්‍ය යැයි ඔවුන් සඳහන් කරන දේවල් පමණක්මද ඉතුරු වෙන්න ඕන. විචාරකයන් පවා පිළිගන්නවා මෙය බාල බොලඳ, ප්‍රාථමික නාට්‍යයක් නෙමෙයි කියන කාරණය.
Q රාජ්‍ය නාට්‍ය උළෙලටත් මේ නාට්‍යය යොමු වෙනවා. දෙවැනි වටයෙන් ඉවත් වෙන්නේ මේ කාරණය නිසා කියලා ඔබ විශ්වාස කරනවද
රචකයා ලෙස ඒ ගැන කතා කරන්න අවශ්‍යතාවක් නැහැ. රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවැනි වටයෙන් පසුව මෙය අවසන් වටයට නිර්දේශ වුණේ නැහැ. එතැනදිත් මම කියන්නේ විශිෂ්ට සම්භාව්‍ය නාට්‍ය සමග ප්‍රහසන නාට්‍ය මෙතරම් ජනප්‍රිය වෙන්නේ ඇයි කියලා මේ ගැන හදාරන කෙනෙක්ට සසඳන්න අවස්ථාව තිබෙනවා. නමුත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍යය නරඹන්න විශාල ප්‍රේක්ෂක පිරිසක් එනවා. විශ්වවිද්‍යාල ළමයින් හා පාසල් ළමයින් තමයි වැඩි පිරිසක් මෙය නරඹන්න එන්නේ. මේ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයේ තිබුණා නම් කලාත්මක නාට්‍ය හා ප්‍රහසන නාට්‍ය ගැන සන්සන්දනය කරන්න පුළුවන්. ඔවුන්ට අදහසක් ගන්නවත් අවස්ථාවක් නැහැ.
Q කාලයෙන් කාලයට ඔබේ ප්රකාශනයන් විවිධ මාධ්‍යයන් ඔස්සේ සමාජගත කරනවා. එකම මාධ්‍යයක් තුළ රැඳී සිටින්නේ නැත්තේ ඇයි
සමහර කාරණා මම භාවිත කරන්නේ මගේ ප්රකාශනය විදිහට නෙමෙයි. ලංකාව වැනි රටක ඒක පැහැදිලිනේ. ලංකාවේ කලාව කරන්න කෙනෙක් යොමු වුණාම ඔහුට වෙන රැකියාවක් කරමින් කලාව සිදුකරන්න හැකියාවක් නැහැ. එහෙම වුණාම වෙන රැකියාවක් නොකර මෙය කරන්න සිද්ද වෙනවා. ඔහුට හෝ ඇයට පැවැත්ම සඳහා ආදායමක් ලැබීමට තරම් මේ රටේ කලාව හැදිලා නැහැ. හැම ශිල්පියෙකුටම අසීමිතව වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට සිද්ධ වෙනවා පැවැත්ම සඳහා යම් යම් කාරණා කරන්න. අතීතයේ කතා කරපු ශ්‍රේෂ්ඨ කලාකරුවන්ටත් පවතින්න බෑ. සියල්ල කැපකරගෙන ආට් කරන තැනකට දැන් යන්න බැහැ. එය ප්‍රායෝගික නැහැ. සැබෑ කලාවක් කරනවා කියන එක ප්‍රායෝගික නෑ. මට ඒ අවස්ථාව තිබ්බත් මගේ පවුලේ අයට ඒ අවස්ථාව නෑ. එහෙම වුණාම හැමදේම කරන්න සිද්ධ වෙනවා. එහෙම ලැබෙන හැමදේම කළත් මම තෝරගෙන තිබෙන්නේ මට කළ හැකියැයි මම විශ්වාස කරන දේවල්. මම මේ සියලු මාධ්‍ය තුළ ගැවසෙන්නේ මගේ ප්‍රමිතිය රැකගනිමින්. ‘රෂෝමෝන්’, ‘මල්සර බිසව’ වැනි නාට්‍ය මම අධ්‍යක්ෂණය කරනවා. 2005 වසරේ එඩිම්බරෝ නාට්‍ය උළෙලේ රටවල් 65ක නාට්‍ය 650කින් හොඳම නාට්‍යය වෙන්නේ අපේ නාට්‍යයක්. එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණේ මම. ඒවා ඇගයෙන්නෙත් නැහැ. ඒවා දිව්‍යමය රහස් ලෙස පවතිනවා. ඒ නිසා ඒ තුළ පවතින්න බෑ. මම දැන් හඬකැවීම්වලටත් සහභාගි වෙනවා. නමුත් සමහර කාරණාවලට එකඟ නෑ. එහෙම කියලා ශුද්ධ කලාවක් කරන්න බෑ. අපි කැමති ශුද්ධ කලාවක් කරන්න. නමුත් අපිට පවතින්න නම් සමස්ත සමාජ ක්‍රමය තුළම කලාව ස්ථානගත වෙලා තිබෙන්න ඕන.
Q ප්‍රහසනය මූලික කරගෙන ඔබ පිටපත් කිහිපයක්ම රචනා කර තිබෙනවා. මෙහි යටිපෙළ කියවීම ගැන අදහස මොකක්ද
පිටපත ප්‍රතික්ෂේප වෙන්නේ එක ආයතනයකින්. ඒ ගැන වරදක් කියන්නේ නැහැ. සමහර විචාරකයෝ ප්‍රහසන නාට්‍ය මලජරා නාට්‍ය ලෙස හැඳින්වුවාට ඒ නාට්‍ය කිසිවෙක් නරඹා නැහැ. ඔවුන් නිවස තුළ සිටම යම් යම් නිර්ණායක හදාගෙන බාල නාට්‍ය කියලා තක්සේරු කරනවා. ඒක තීරණය වෙන්නේ අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරගන්නා නම, අදාළ ශිල්පීන් ගොඩනගාගෙන තිබෙන කාරණා එක්ක. ක්ෂේත්රයේ ප්‍රබල ලෙස නමක් තියාගෙන ඉන්න නිර්මාණකරුවන් පවා කළ නාට්‍ය බලද්දී මොනවද ඒ නාට්‍ය කියලා හිතෙනවා. පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙල දෙස බලද්දීත් ඒ ලක්ෂණය පෙනෙන්න තිබුණා. අලුත් නිර්මාණකරුවන් කරන නාට්‍ය ඉතා විශිෂ්ට තැනක තිබෙනවා. පරණ නිර්මාණකරුවන් කරන නාට්‍ය තමයි නාට්‍ය, අලුත් නිර්මාණකරුවන් මොනවද කරන නාට්‍ය කියලා විචාරකයන් කිව්වොත් ඒක තමයි ප්‍රමිතිය බවට පත්වෙන්නේ. මේ වසරේ හොඳම නාට්‍යය වූ ‘මායා බන්ධන’ නාට්‍යයට මම ඉතා කැමතියි. එය මම නැරඹූ නාට්‍යයක්. නමුත් ඒ මොනවද නාට්‍ය කියලා නාට්‍ය නොබලා කිව්වොත් එය වැරදි කියවීමක්.
Q ඔබ මේ කටයුතු සිදුකරන අතර සිනමාපටයක් නිර්මාණය කිරීමත් සිදුකළා. මේ වන විට එහි තත්ත්වය කෙබඳුද
‘උලලේනී’ නමින් මම කළේ ත්‍රාසයජනක සිනමාපටයක්. තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය යන තුනම මම සිදුකළේ. එයත් කවදා ප්‍රදර්ශනය කරගන්නවාද කියන ගැටලුව තිබෙනවා. තවම පෝලිමේ තිබෙනවා. සිනමා නිර්මාණ හැටක් පෝලිමේ තිබෙනවා කියනවා. ශක්තිමත් නිර්මාණකරුවන් කරන සිනමා නිර්මාණ ඉක්මනින් එනවා. නමුත් අවුරුදු තුනක් පමණ මේ නිර්මාණ හැටේ සිටිනවා. මේ ක්‍රමය තනිවම වෙනස් කරන්නත් බෑ. සමස්ත කලාකරුවන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙත් නෑ. මේ යන ක්‍රමවේදය තුළ මණ්ඩලවල වසරකදී තිරගත කළ හැක්කේ චිත්‍රපට තුනක් හෝ හතරක්. අනෙක් චිත්‍රපටවලට ගැප්රිලිස්වල තමයි අවස්ථා හම්බෙන්නේ. ඒ ගැටලු කාට ඉදිරිපත් කරන්නද කියලා තේරෙන්නේ නැති තත්ත්වයක් තමයි දැන් ඇතිව තිබෙන්නේ.
Q නිර්මාණකරුවෙකු ලෙස ඉදිරියේදී තිබෙන සැලසුම් කෙබඳුද
යම් අවස්ථාවක කලාකරුවෙකුට හිතෙනවා සමාජයට වඩා යහපත් දෙයක් කළයුතුයි කියලා. ‘ලෝරන්ස්ගේ මනමාලි’ යහපත් නැහැ කියලා ඉන් අදහස් කරන්නේ නැහැ. මම හොඳයි කියලා හිතන යහපත් නාට්‍යයක් රචනා කරමින් පවතිනවා. ලොකු නාට්‍යයක හිඩැසක් තිබෙනවා. ‘උත්තමාවී’, ‘ධවල භීෂණ’ , ‘යක්ෂාගමනය’ වැනි නාට්‍යයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම තවත් සිනමා නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම ආධුනික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගෙන නාට්‍ය හා රංග කලාව, නර්තනය, හඬකැවීම් පුහුණුව වැනි දේවල් නොමිලේ උගන්වනවා. මම සහ තාරක බැද්දගේ මහතා එක්ව මේ කටයුත්ත සිදුකරනවා. ඒ වගේම මේ සිසුන්ගේ හැකියාවන් පෙන්වීමේ සන්දර්ශනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අප හා කැමති කෙනෙකුට මේ දේවල් ඉගෙන ගන්න සම්බන්ධ විය හැකියි. මෙය පූර්ණකාලීනව සිදුවෙන්නේ. ඒ වගේම සැප්තැම්බර් මස සංචාරයක් තිබෙනවා. ඒ කටයුතු තමයි ඉදිරියේදී තිබෙන්නේ.
0773 339720