මම ලංකාවෙන් යන්න ඉඩ තියෙනවා
හෙළ සිනමාවේ බැබළෙන තරු අතර රවීන්ද්‍ර රන්දෙණිය ඉදිරියෙන් සිටියි. ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා නමින් උප්පැන්නයේ සඳහන් නම ඔහු නළු දිවිය ආරම්භ කළ මනික් සන්ද්රසාග්රගේ 'කළු දියදහර' චිත්‍රපටයේදී රවින්ද්‍ර රන්දෙණිය ලෙස වෙනස් විය. සෝමපාල හේවාකපුගේ, රැලෙක්ස් රණසිංහ සහ චන්ද්‍ර‘සේන දසනායක මූලික වී නිර්මාණය කළ රවීන්ද්‍ර රන්දෙණි නම 'රන්දෙණිය' බවට නැවත සකස් කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අදහසින් බව ඔහු පවසයි. රවීන්ද්‍ර මේ දිනවල ප්‍රදර්ශනය වන ෂාහිරු රණසිංහ අධ්යක්ෂණ කළ 'වීර වර්ණ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂකයා හමුවෙයි.
ඒ පිළිබඳව අදහස් දක්වන ඔහු "වීර වර්ණ චිත්‍රපටය ටිකක් වෙනස් ආකාරයක කෘතියක්. සාමාන්‍යයෙන් දකින පෙම්වතා, පෙම්වතිය මෙම චිත්‍රපටයේ නැහැ. මුහුදේ ගිලුණු නැව් වලින් පුරාවස්තු කොල්ලකන සංවිධානාත්මක පිරිසක් පිළිබඳ කතාවක් තමයි මීට මූලික වෙන්නෙ. මේ පුරාවස්තු විදේශයන්ට විකුණන ජාවාරමට එරෙහි ප්‍රධාන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මෙවැනි චරිතයක් මම කළ පළමු අවස්ථාවයි. මේ සටනේදී මා හට පසුබිමේ සිට දරුවන් පිරිසකුත් සහයෝගය දෙනවා. ගාල්ල කොටුව පසුබිමේ නැවුම් දර්ශනතල මත රූගත වූ මෙම චිත්‍රපටයේ තේමාවට මම ඉතා කැමතියි" යනුවෙන් පැවසීය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිනමාව පිළිබඳ ජනාධිපති උපදේශක වී විවාදාත්මක චරිතයක් වූ ඔහු පසුගියදා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ කලාකරුවන් කණ්ඩායමේ සාමාජිකයෙකු වීම නිසාම නැවතත් මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්විය. මේ කරුණ ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රවින්ද්‍ර රන්දෙණිය මහතාගෙන් 'අද' පුවත්පත තවදුරටත් ප්‍රශ්න කළෙමු.
Q එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය අරඹා පාර්ලිමේන්තුවට ගිය ඔබ මහින්ද රාජපක්ෂ මහතාට එකතු වුණේ කොහොමද?
මම මහින්ද මහත්තයව අඳුනන්නේ හැත්තෑ ගණන්වල සිටයි. 2003 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට මමත්, විපක්ෂනායක හැටියට මහින්ද රාජපක්ෂ මහතාත් එවකට කථානායක සමග පාර්ලිමේන්තු දූත පිරිසක් දවස් දොළහක මැදපෙරදිග සංචාරයක් කළා. එහිදී තමයි අපේ මිත්‍රත්වය ඉතා සමීප වුණේ. 2004 වසරේ මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණා. එයට හේතු වුණේ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දේශීය සිනමාව කෙරෙහි ළෙංගතු බවකින් බැලුවේ නැතිකම.
සිනමාවත් තවත් තරගකාරී ව්‍යාපාරයක් පමණයි, ලෝකයේ ඇති තත්ත්වයන්ට මුහුණදීගෙන එයත් ඉදිරියට යන්න ඕන, එමනිසා සිනමාවට විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍ය නැතැයි කියන මතයේ එවකට පැවැති එම ආණ්ඩුව හිටියා. එයට එකඟ වුණේ නැති නිසා තමයි මම දේශපාලනයෙන් ඉවත් වුණේ. එම දේශපාලනයෙන් මම හෙම්බත් වෙලා හිටියේ. ඔහොම ඉන්න අතරෙ 2005 වසරේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා මට අරලියගහ මන්දිරයට එක්තරා රාත්‍රියක හමුවෙන්න එන්න කියලා “ඔයා මාත් එක්ක එකතු වුණොත් මගේ ඡන්දෙ ව්‍යාපාරයට ලොකු රුකුලක් වෙනවා. මාත් එක්ක වැඩ කරන්න එන්න" කියලා කතා කළා. එවෙලේ මම එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ආසන්න කාලෙක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා ඉඳලා මෙසේ පිල් මාරුවකට ගියොත් මා කෙරේ ජනතාව අතර ඇතිවන අප්‍රසාදය පිළිබඳ පැහැදිලි කරමින්.
Q එතකොට ඔබ මේ ළඟදි දවසක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවීමෙන් එවැනිම වූ ජනතා අප්‍රසාදයක් ඔබ කෙරේ ඇති වන බව ඔබ හිතුවෙ නැද්ද?
කොහෙත්ම නැහැ. මේ ගමනෙදි එහෙම ඒ පැත්තට හේත්තු වන අංශු මාත්‍රයක අදහසක් හෝ ජනාධිපති මෛත්‍රීපාල සමග යාළු මිත්‍රකම් ඇතිකරගැනීමේ හෝ අරමුණක් තිබුණේ නැහැ. ඒ හමුවේ පරමාර්ථය සම්පූර්ණයෙන්ම වෙනස්. වර්තමාන ආණ්ඩුව, පාඩු ලබන සංස්ථා ප්‍රතිව්‍යුහගත කරන ප්රතිපත්තියකට අවතීර්ණ වී ඇති බව දැනගත්තා. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව දේශීය සිනමාව අධීක්ෂණය කරන අධිකාරියක් බවට පත්වී චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවාය, ඒ අනුව චිත්‍රපට ගෙන්වීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය පෞද්ගලික අංශයට පැවරෙනවාය කියන කරුණුත් අපට දැනගන්න ලැබුණා.
වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වන මේ ක්‍රියාවලිය තුළ දේශීය චිත්‍රපට කර්මාන්තයට බරපතළ තර්ජනයක් ඇති වෙනවාය කියන මතය කර්මාන්තය තුළ බහුතරයකගේ අදහස වෙලා තියෙනවා. දේශීය සිනමා ශිල්පීන්ගේ සංවිධානයේ පද්මසිරි කොඩිකාර මහතා ප්රමුඛව අපි සෑම දෙනාම ඉතා රහසිගතව ක්‍රියාත්මක වන මේ කටයුත්ත පිළිබඳව ඉතා ඉක්මනින් දැනුවත් විය යුතුයි යන්න කලාකරුවන් සමග සාකච්ඡා කළා.
රජයේ එම අරමුණු සාක්ෂාත් කරගැනීමට කමිටුවක් පත්කර ඇති බව අපි දැනගත්තා. නමුත් එම කමිටුව තුළ දේශීය සිනමා වෘත්තිකයන්ගේ නියෝජනයක් තිබුණෙ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙන්න ගිහිල්ලා අපි කිව්වෙ මේ කිසිදු ප්‍රසිද්ධියක් නොමැතිව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ එළිදරව් කරන ලෙසයි. සමහර විට මේ සැලසුම්කරන වැඩපිළිවෙළ අපේ සිනමාවට ඉතාම හිතකර දෙයක් වෙන්න පුළුවන්, මෙහෙම අපි සැකයක් ඇති කරගෙන තිබීම වැරදි වෙන්න පුළුවන්, කරුණාකරලා මේ ක්‍රියාපිළිවෙත ගැන අප දැනුවත් කරන ලෙසයි අපි ඉල්ලා සිටියේ.
එතුමා එවෙලේම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතාට කතා කරලා මෙවැන්නක් වෙනවාද විමසා, එසේ නම් මේ පිළිබඳව කර්මාන්තයේ අය සමග සාකච්ඡා කර මාධ්‍ය මගින් එය දැනුවත් කරලා තමන්ටත් වාර්තාවක් ලබාදෙන ලෙස පැවසුවා.මේ කර්මාන්තයට වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ විය යුතු දේවල් හා එයට දිය යුතු විසඳුම් යෝජනාවලියක් සකස් කරලා තමන්ට ලබාදෙන ලෙසත් එතුමා අපට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සියල්ල කැඳවලා සාකච්ඡා කරලා, සැමට හරි දේ තෝරාගන්න අවස්ථාවක් දෙනවාය, කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපට කිව්වා. ඇතැමෙකු, මේ හමුවීමේ දොස් දකින්නෙ, රටේ ජනාධිපතිතුමා හමුවෙන්න පුළුවන් ඔහුගේ පාක්ෂිකයන්ට පමණක්ය කියන නීතියක් රටේ තියෙනවද කියන්න නම් මම දන්නෙ නැහැ.
Q ඔබ ඇතුළු කර්මාන්තයේ 44 දෙනෙකුගේ අත්සනින් සකස් කරල ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිට යවපු ලියුම ඒකද?
ඔව්.අපි ඒක ජනාධිපතිතුමාටයි ලබාදුන්නේ. සංස්ථා පනතේ වගන්ති ප්‍රකාරව කර්මාන්තයේ ආරක්ෂාව සඳහා චිත්‍රපට සංස්ථාව පැවතිය යුතු බවත්, චිත්‍රපට බෙදාහැරීම මීට වඩා විධිමත් විය යුතු බවත්, ඩිජිටල් ක්‍රමය වහාම ඇතිකරන්න පියවර ගත යුතුයි යනාදී කරුණුත් එම ලිපියට ඇතුළත් වුණා.
Q සිනමාහල් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයෙත් කරගන්න බැරිවුණානේද?
ඒකට පැහැදිලි පිළිතුරක් මා සතුයි. සිනමාහල් ඩිජිටල්කරණයේ වැඩපිළිවෙළ අපි පටන් ගත්තේ 2012 අවුරුද්දේ. මේ පිළිබඳව එවකට ඩී.බී. නිහාල්සිංහ මහතාගේ මූලිකත්වයෙන් දහදෙනෙකුගේ කමිටුවක් පත් කළා. ඉන් අපි ආණ්ඩුවට ප්‍රකාශකළ කරුණ තමයි ජාතික තලයේ සිනමා ප්රක්ෂේපණයට 2K වර්ගීකරණ ප්‍රමිතියේ සම්මතයක් ඇති කළ යුතුයි යන්න. මේ දේට අපේම පිරිස් අතර එකඟතාවකට එන්න අවුරුදු දෙකහමාරක් තුනක් තිස්සේ බැරිවුණා. එවකට ජනාධිපති උපදේශක හැටියට මම විවිධ පාර්ශ්ව සමග මීට අදාළ සාකච්ඡා වට පනහකට වැඩි ප්‍රමාණයකට සහභාගි වෙලා තියෙනවා. මම හිටියෙ 2K ප්‍රමිතියේ සම්මතයට එකඟව. මොකද, ඩිජිටල්කරණයේ පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතිය එය නිසා.
ඩිජිටල්කරණයට අසීරුතා ඇති සිනමාහල් වෙනුවෙන් ණය ක්‍රමයක් සකසා දෙන ලෙසත් එවකට පැවැති ආණ්ඩුවට අපි යෝජනා කළා. වසර පහකින් ගෙවන අඩු පොළී සහන ණයක් ලෙස එය ලබාදෙන ලෙසත් අපි යෝජනා කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උත්සවයක් පවත්වලා 2K ප්‍රමිතිය තමයි ලංකාවේ ඩිජිටල්කරණ සිනමාවේ පිළිගැනීම කියලා නිලවශයෙන් ප්‍රකාශ කළා. එවකට හිටිය චිත්‍රපට සංස්ථාවේ බලධාරීන් පවා එම ප්‍රකාශය මත පිහිටා හෝ සිනමාව නවීකරණය කිරීමට හෝ උදව් වුණේ නැහැ. සාකච්ඡා ගඟට කැපූ ඉනි වගේ වුණා.
දැන් දේශපාලන වෙනසක් වෙලා පත් වුණු අයටත් තවම එම තත්ත්වය වටහාගන්න බැරි බව පේනවා. දැන් ජාතික චිත්‍රපට සංස්ථාවේ නව පරිපාලනය පත්වෙලා අවුරුදු එකහමාරක් වෙනවා. මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ. එතකොට විදුලියේ බිඳවැටීමට රාජපක්ෂට බනිනවා වගේ මේ තරම් මැදිහත්වීම් සිදුකරලත් සිනමාවේ මේ සියලු දේට, රාජපක්ෂට වැඩිය බනින්නේ මට. මේ කර්මාන්තයේ සියලු වගකීම් දරාගෙන ඉන්න මිනිහා මමද? රටේ ආර්ථිකය පිළිබඳව ජනාධිපති උපදේශකයෙක් පත්කළොත් සමස්ත ආර්ථික ක්‍රියාවලියටම වගකියන්න ඕන ජනාධිපති උපදේශකද?
Q එතකොට ඔබ සිනමාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපති උපදේශක හැටියට කළ දේවල් කිව්වොත්?
පළමු දේ තමයි සිනමා කර්මාන්තයට ලබාදුන් බදු සහන. සිනමාවට අවැසි උපකරණ ආනයන බදු සියල්ලම අපි ඉවත්කළා. වැට් බදු, ආනයන බදු, රේගු බදු, ජාතිය ගොඩනැගීමේ බදු සියල්ල ඉවත් කළා.දෙවැන්න තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරන්න යන මුදලින් මිලියන 35ක බදු ගණනය කිරීමේදී බදු නිදහස ලබන තත්ත්වයට පත් කළා. එය අවුරුදු පහක් දක්වා ඉදිරියට ගෙන යා හැකි තත්ත්වයට පත්කළා. තවමත් ඒවා තියෙනවා. නවීන සිනමාහල් හදන්න මිලියන 35ක් දක්වා ඒ ආකාරයටම බදු නිදහස ලබන්න සකසා දුන්නා. එයත් අවුරුදු පහක් ඉදිරියට ක්‍රියාත්මක සහනයක් වුණා. මේවා කවුරුත්ම ලබා නොගෙන කිසිවක් නොකළ බවට දැන් චෝදනා කරනවා. ආනයනය කොට දෙබස් කවන ටෙලි නාට්‍ය සඳහා අධික බදු පනවා ලංකාවේ ටෙලි නාට්‍ය සඳහා ප්රමුඛත්වයක් ලබාදුන්නා. මේවා දැන් ක්‍රියාත්මක වෙනවාද?
Q මෙවර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවෙන්න ගිය ඔබ චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ඉවත් කරන්න යෝජනා කළාද?
මා කොහෙත්ම එසේ කළේ නැහැ. එය යෝජනා කළේ වෙනත් කෙනෙක්. මා වචනයක්වත් කතා කළේ නැහැ. වත්මන් සභාපතිතුමා මේ වැඩේට අලුත් නිසා තවම චිත්‍රපට කර්මාන්තය පිළිබඳව අවබෝධය ලබන බවයි කියන්නේ. අපට වෙලා තියෙන්නෙ ඔහු අවබෝධය ලබන තෙක් බලාගෙන ඉන්න.
චිත්‍රපට ආනයනය, බෙදාහැරීම සහ ප්‍රදර්ශනය පෞද්ගලික අංශයට පැවරීම තුළ දේශීය සිනමා කර්මාන්තයට වියහැකි අනර්ථය පැහැදිලි කළ හැකිද?
2001 වසරේ සිනමා කර්මාන්තයේ දැඩි විරෝධතා නොසලකා චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලීකරණය කළා. අද එම පෞද්ගලික සිනමා බෙදාහැරීමේ මණ්ඩල බලාධිකාරියේ බලපෑම කෙබඳුදැයි කර්මාන්තයේ අය හොඳින්ම දන්නවා.
මෙහිදී සිනමාව ආනයනකරුවන්, බෙදාහරින්නන් වෙනුවෙන් සැදුණු ලාභය උපරිම වශයෙන් ලබන ව්‍යාපාරික ක්‍රියාවලියක් බවට පත්වුණා. එම පෞද්ගලික සිනමා බලාධිකාරිය තමයි චිත්‍රපට තෝරන්නෙත්. නිෂ්පාදකවරයෙකුගේ චිත්‍රපටයක් තමන් ප්‍රදර්ශනය කරනවාද, නැද්ද යන වගත් තීරණය කරන්නෙ ඒ අය. එය දැනුත් ක්‍රියාත්මකයි. දැනටත් ප්‍රදර්ශක මණ්ඩල පෙන්වීම ප්‍රතික්ෂේප කරපු සිංහල චිත්‍රපට 40ක් පමණ තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර අවධානයට පත්වූ තරුණ නිර්මාණකරුවන්ගේ චිත්‍රපටත් තිබෙනවා. ජනාධිපතිතුමාට දුන්න ලිපියෙත් අපි ඒ බව සඳහන් කළා. මේ තුළින් දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අනිවාර්යෙන්ම තිබූ 60% ක ප්‍රදර්ශන කාලය අඩුවෙලා, චිත්‍රපට නිෂ්පාදනයෙන් නිෂ්පාදකවරු ඈත්වෙමින් සිටිනවා.
දැනුත් ලබන ආදායමෙන් 45% ක් හෝ 40% ක් තමයි නිෂ්පාදකට ලැබෙන්නේ. සමහර ප්‍රදර්ශක සංගම් නිෂ්පාදකට ගෙවන්නේ 35% යි. දේශීය චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා ලක්ෂ 500ක් වැයවෙනවා යැයි සිතමු. මේ අනුව චිත්‍රපටය රුපියල් ලක්ෂ දාහක් ආදායම ලැබුවොත් නිෂ්පාදකට ලැබෙන්නේ ලක්ෂ 400යි. නමුත් ඔහු ලක්ෂ 500ක් වියදම් කර තිබෙනවා. ආදායම ලැබූ බවට පොතපතේ සඳහන් වුවත් ඒ අනුව කෘතියෙන් නිෂ්පාදකට පාඩුයි. මෙවැනි තත්ත්වයක ලාබ ලබන්නේ බෙදාහැරීම් සමාගම් හා ප්‍රදර්ශකයින් පමණයි. එවිට නිෂ්පාදකයන් කර්මාන්තයෙන් ඉවත් වී යනවා. පූර්ණ වශයෙන් ආනයනය, බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවරුවහොත් දේශීය නිෂ්පාදකයාට පැවැත්මක් නැහැ.
Q එතකොට ඔබ කියන්නේ ජනාධිපතිවරයා හමුවීම සිනමා අර්බුදය වෙනුවෙන් කළ සත්ක්රියාවක් බවද?
අනිවාර්යයෙන්ම. මේ සිනමාවේ අර්බුදය වෙනුවෙන් මම ප්‍රකාශ දෙන අවසන් අවස්ථාව. ඒ බව පළමුවෙන්ම ප්‍රකාශ කරන්නෙත් ඔබගේ 'අද' පුවත්පතටයි. අපේ ඔළුවේ ලොකු බරක් තියෙනවා සිනමාවේ අනාගතය ගැන. මේ ගැන කියන්න ජනාධිපති මෛත්‍රීපාල මහතා හමුවුණාට පස්සෙ මම මොකටද කොහෙවත් ඉන්න අයගෙන් කුණුහරුපෙන් බැණුම් අහන්නේ. වෙන්න යන විනාශය දරාගන්න බැරිකමට කර්මාන්තයේ බොහෝදෙනාගේ ඉල්ලීමටයි ජනාධිපතිතුමා හමුවෙන්න ගිහිල්ලා එතුමාට කතා කළේ. අපට බනින අයට ළඟදිම දවසක තේරේවි රටේ සිනමාවට වෙන්නෙ මොකක්ද කියලා. සත්‍ය වශයෙන්ම ඩිජිටල්කරණය, සිනමා අර්බුදය යන මාතෘකා පිළිබඳව ආයෙ මං මාධ්‍යවල කතා කරන්නේ නැහැ. මේ සම්බන්ධ සියලු මැදිහත්වීම් වලින් මම පූර්ණ ලෙසම ඉවත් වෙනවා.
රාජපක්ෂ ආණ්ඩුවේ සිනමාව පිළිබඳ ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස ලැබූ රුපියල් හතළිස් දහසක වැටුප එකතු කරලා මිලියනයක මුදලක් නළු නිළි කාර්මික සුබසාධනය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පිළිගැන්වුවා. ඉන් අනතුරුව ලැබූ මුදල් සියල්ලමත් මා සිනමාවේ ශිල්පීන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් ප්රදානය කළා. මම සතයක්වත් ගත්තෙ නැහැ. උදව් උපකාර ලැබූ අය ඒ ගැන දන්නවා. එම තනතුරට කාර්යාලයක්, වාහනයක්, ඉන්ධන දීමනාවක් තියෙනවා. හැඳුනුම්පතක් තියෙනවා. ඒවා මම එකක්වත් ගත්තෙ නැහැ. ගත්ත එකම වරප්‍රසාදය තමයි රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබපු එක.
Q ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපති උපදේශක හැටියට ලබපු එකම දේ ඔය රාජ්‍යතාන්ත්‍රික ගුවන්ගමන් බලපත්‍රය පමණක් නොවෙයි නේද? දරුවන්ට තානාපති සේවාවල තනතුරුත් ලැබුණා නේද?
දරුවන්ට කියන්නෙ ඇයි? එම තනතුර ලැබුණෙ දියණියට පමණයි. මාගේ පවුලේ අය සමග දුව, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවක ඇයගේ අධ්‍යාපනය ගැන විෂයයන් විමසද්දි ඇය එතුමාට පවසලා තියෙනවා තමන් විශ්වවිද්‍යාල පශ්චාත් උපාධියට ජාත්‍යන්තර බැංකුකරණය හා විදේශ සම්බන්ධතා විෂයය හැදෑරූ බව. ඒ හමුවේදී ඇතිවූ අදහසකට තමයි ඇය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ලෙස පත් කළේ. මේ හමුවීමේදී මා සිටියේ නැහැ. මම හෝ මගේ පවුලේ අය එතුමාගෙන් කිසිවක් ඉල්ලා සිටියේත් නැහැ.
Q එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔබේ පුතුන් දෙදෙනාටත් තානාපති සේවයේ තනතුරු දුන්නා කියන්නෙ බොරුවක්ද?
මා පිළිබඳව මෙතරම් වෛරී ආකල්පයෙන් කතා කරන්නේ ඇයි? මගේ අනෙක් දරුවන් කිසිදු වරප්‍රසාදයක් කාගෙන්වත් ලබාගෙන නැහැ. මාගේ දියණිය ලැබූ තනතුරට අවශ්‍ය පමණටත් වඩා අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. මා 45 වසරක් නළුවෙකු වශයෙනුත්, දේශපාලනයට සම්බන්ධ වූවෙකු වශයෙනුත් ප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ කෙනෙක්. දේශපාලනයේදී හෝ පෞද්ගලික ජීවිතයේදී මා කවර හෝ අක්‍රමිකතාවක්, දූෂණයක්, මැර ක්‍රියාවක් කර තිබෙනවා යැයි එකදු හෝ චෝදනාවක් තිබෙනවාද? මා කළේ සිනමාව වෙනුවෙන් වෙහෙසීම පමණයි. ඒ නිසා ලබන තරමක් ලැබුවේ විවේචන, අපහාස, ගැරහුම්. මෙවැනි බොරු චෝදනා වලින් චරිත ඝාතනය කිරීම අප රටේ ප්‍රධාන ජාතික ක්‍රියාවලියක් වෙලා. මෙහෙම මේ රටේ ජීවත් වෙනවාට වඩා හොඳයි මේ රට දාල යන එක. මම ලංකාවෙන් යන්න බොහෝදුරට ඉඩ තියෙනවා.
පද්මකුමා බී. මෙත්තසේන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

