'අම්මා සඳකි ඔබ ඒ ලොව හිරුය රිදී' නම් ගීතය එක් වරක් හෝ නෑසූ අයෙකු ඇත්නම් ඒ විරල සංසිද්ධියකි. මෙරට ගීත අතර වැඩිම මිලක් හිමි වූ ගීතය වන එය රචනා කළේ මාලිනී ජයරත්න නම් ගීත රචිකාවියයි. ඇයතින් ලියැවුණු පදවැල් බොහෝ වෙතත් කිසිදිනක එයින් බැබළෙන්නට උත්සාහ නොගත් මේ සඳ ලබන 22 වැනිදා දිලෙන්නට සූදානම්ය. ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්න මහතාගේ බිරිඳ වූ මාලිනී ජයරත්න තම අත රැඳි පන්හිඳෙන් උපත දුන් ගී සියයක් ඇතුළත් පොතක් සහ 'අම්මා සඳකි' නම් වූ සංයුක්ත තැටිය එළිදැක්වීම නිමිති කොටගෙන අප ඇය සමග කළ කතාබහකි මේ.
සටහන - නාලිකා රාජපක්ෂ / ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
මම ගී ලියුවේ කවදාවත් ගී පොතක් එළිදැක්වීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. හිතට දැනෙන බොහෝ දේ මම ගීතයකට ගොනුකර ඒ කඩදාසි මගේ අල්මාරි ලාච්චුව තුළ දමා තැබුවේ ඒවා ගීත විය යුතුම යැයි හිතපු නිසාත් නෙවෙයි. නමුත් ඒ අතරින් බොහෝමයක් ගීත ලෙස රසිකයන් අතරට ගියා. ඇත්තෙන්ම මොකක්දෝ ලොකු වාසනාවක් මට නිරායාසයෙන්ම හොඳ ගායක ගායිකාවන් අතරට මගේ පද වැල් ගෙන යන්න බලපෑවා කියලා මං හිතනවා. පසුගිය කාලවකවානුවේ මට ශල්‍යකර්මයකින් පසු ගිලන් ඇඳේ ටික කාලයක් ගත කරන්න සිදු වුණා. ඒ අතරදි මං ජීවිතේ හුඟාක් දේවල් ගැන හිතුවා. මට ආයෙමත් මම ලියූ දේවල් අලුතින් කියවා බලන්න ඕන වුණා. අල්මාරි ලාච්චුවේ තිබුණු ඒ පදමාලා ලියූ කොළ සමහර ඒවා පරණ වෙලා ඉරී ගිහින්. සමහර ඒවාවල අකුරුත් මැකිලා. මට හිතුණා ඒ ටික ආයෙම පිටපත් කරන්න ඕන කියලා. මං මේ වැඩේ කරද්දි මහත්තයාත් ඔන්න එයාට ඉඩ ලැබෙන ලැබෙන විදිහට මේවා මට පිටපත් කරලා දුන්නා. ගීත රචනා ක්ෂේත්රයේ විශිෂ්ටයෙක් වුණු සුනිල් සරත් පෙරේරා මහත්තයා අපේ පවුලේ ඉතාම ළඟ හිතවතෙක්. මේ නිසා එතුමා දුරකථනයෙන් කතා කළ වෙලාවක අපේ සුවදුක් විමසද්දි මොනවද මේ දවස්වල කරන්නේ ඇහුවම මම කිවුවා මම ලියපු ගීත මේ දිනවල අලුතින් පිටපත් කරමින් ඉන්න බව. එතැනින් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. ඔහු කීවා එය පිටපත් කිරීමෙන් රසවිඳින්න ලැබෙන්නේ පවුලේ අයට විතරයි. ගීතයක් අයිති එය රසවිඳින අයටයි. ඒ නිසා ඒ ගීත සංරක්ෂණය වෙන්න ඕන මුද්‍රණයෙන් සකස් වෙන පොතකින් කියලා. ඉතිං එතුමා එයින් පස්සෙත් කතා කරන හැම වෙලාවකම මේ ගැන මගෙන් ඇහුවා මාව උනන්දු කෙරෙව්වා. නමුත් සුපුරුදු පරිදි මම ඒ ගැන එතරම් ලොකුවට හිතුවෙ නැහැ. අනේ මං මේ ලොකු ගීත රචිකාවියක් නෙවෙයිනේ වගේ අදහස් තමයි මට තිබුණේ. සමුද්‍ර වෙත්තසිංහ මල්ලිත් මේ ගැන නිතරම මට කියූ කෙනෙක්. ඔහුත් මට මේ වැඩේ කරන්නම කියලා උනන්දු කෙරෙව්වා. අවසානයේ මගේ මහත්තයා එයාගේ වැඩ අතපසු කරගෙන මට මේ වැඩේට උදව් දුන්නා. සරත් විජේසූරිය මහත්තයාත් අපේ හොඳ හිතවතෙක්. මම ඔහුට මේ ගැන කීවාම ඔහුත් කීවේ අපි මේ පොත කරමු කියලා. ඒ අනුව විජේසූරිය මහත්තයා එය ප්රකාශනයට පත් කරවන්න මට අත දුන්නා. අංජලී පෙරේරා දුව මේ ගීත අකුරු පරිගණක සංයෝජනය කරදුන්නා ඉතාම කෙටි කාලයකින්. ඒ ගැන නොකීවොත් අඩුවක්. සමුද්‍ර මල්ලි ඒවායේ සෝදුපත් බලන්න මට සහාය දුන්නා. ඔන්න ඔය විදිහටයි 'අම්මා සඳකි' දහසකුත් එකක් කරදර මැද එළිදකින්න යන්නේ.
Q එතකොට සංයුක්ත තැටිය ?
එය නම් මා විසින්මයි නිෂ්පාදනය කරන්නේ. දැන් එවැනි දෙයට නිෂ්පාදකයන් ඉදිරිපත් වෙන්නෙත් නැති තරම්නේ. මා විසින් රචිත ජනප්‍රිය ගීත රැසක්ම එහි අඩංගුයි.
Q 'අම්මා සඳකි' ගීත අම්බරයට පායන දවස කවදාද ?
නොවැම්බර් 22 සවස 3.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී %අම්මා සඳකි^ ගී පොත සහ සංයුක්ත තැටිය ජනගත කෙරෙනවා. මේ උත්සවයේ මුලසුන හොබවන්නේ මං කුඩා කාලයේ ඉඳලම ගොඩාක් ආදරය කරන අපේ ගීත ක්ෂේත්රයේ මුදුන්මල්කඩක් බඳු ආචාර්ය විශාරද නන්දා මාලිනී විසින්. ප්‍රධාන දේශනය කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන්. අදහස් දැක්වීම් සිරිල් ගාමිණී පියතුමා, මහාවාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජ්‍යෙෂ්ඨ ගීත රචක සුනිල් සරත් පෙරේරා සහ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින්. මෙයට ගීත ගායනා කීපයකුත් ඇතුළත්. ටී.එම්. ජයරත්න, සමිතා මුදුන්කොටුව, නෙලූ අධිකාරී, කපිල පූගලආරච්චි, ඉසුරු ජයරත්න, අරෝෂා සමරදිවාකර, රවීන් කණිෂ්ක, ඉසූක ගීනෙත් ඒ ගීත ගයනවා. සංගීතය මෙහෙයවන්නේ රවීන් කණිෂ්ක පුතා. ඒ කියන්නේ දෙවෙනි ඉනිමේ අනුහස්. සහෘද ඇමතුම බණ්ඩාර ඇහැළියගොඩ සොහොයුරා විසින් පවත්වන්නයි සැලසුම් කර තිබෙන්නේ. ගීත රචිකාවක් විදිහට මෙතෙක් ආ ගමනෙ මට සවියක් වුණු මගේ ආදරණීය රසික රසිකාවියන්ට එදාට පදනම් ආයතනයට ඇවිත් මේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා විවෘත ආරාධනයක් කරනවා.
Q සංයුක්ත තැටියේ ගීත ගැන විශේෂයෙන් කියන්න තියෙන තොරතුරු ගැන මතක් කරමු?
කාන්තා හා මාධ්‍ය සාමයික කේන්ද්‍රයේ කතුන් %ස්ත්‍රී^ නමින් ගීත එකතුවක් කළා. එයට මමත් පද රචනා ඉදිරිපත් කළා. එහිදී ඒ ගී පද මාලා තෝරාගෙන තිබුණේ ආචාර්ය නන්දා මාලිනියන් විසින්. ඇය මගේ ගීතයක් එයට තෝරාගෙන තිබුණා. එය බිළිඳිය, දැරිය, යුවතිය, බිරිය, මව, මිත්තණිය යන කාන්තා ජීවිතයේ අවධීන් සම්බන්ධයෙන් මා කළ පබැඳුමක්. ඒ ගීතයත් මම ඔවුන්ගේ අවසරය ඇතිව මෙයට යොදාගත්තා. මේ හැරෙන්නට ඔස්කා සංවිධානයෙන් තෝරාගත් ගීතයක් ලෙස මා ලියූ %වෙහෙසකර^ දිවි කතර ගීතය සුනිල් එදිරිසිංහ මහතාගේ ගායනයක් වශයෙන් බිහි වී තිබෙනවා. මෙයාකාරයෙන් මට මගේ ජීවිතයේදී නිරායාසයෙන්ම ගීත අතරින් උදා වූ වාසනාවන්ත අත්දැකීම් තිබෙනවා. එය හරි සතුටක්.
මම මගේ ස්ත්‍රීත්වය සම්බන්ධයෙන් බොහෝ සතුටු වෙන කාන්තාවක්. ගැහැනියක වී ඉපදීම මට දුකක් නෙවෙයි. ගැහැනියක, අම්මා කෙනෙකු, බිරිඳක වශයෙන් ලෝකයේ සෑම සුන්දරත්වයකටම දක්වන දායකත්වයට අමුතු අගැයීමක් නැති වුණත් එය නිරායාසයෙන්ම මුළු ලෝකයක්ම පිළිගත් පදවියක්. ඒ පදවිය මටත් හිමියි. ඊට වඩා වෙන මොන දෙයද ගැහැනියකට වටින්නේ? ලෝකයේ සෑම දෙයකම උල්පත අම්මා. අම්මා සඳකි තුළින් මම කියන්න උත්සාහ කළේ අම්මාට ඒ විවරණය දෙන තාත්තාටත් අම්මා සමානවම ඒ ගරුත්වය දිය යුතුයි කියන එකයි.
මම මහා පහන් කන්දක සෙවණ ලබන පුංචි කණාමැදිරියෙක්. ඒ පහන් කන්දෙ ආලෝකයට මුළු ලොවම එළිය වන අතරෙ, මේ පුංචි කණාමැදිරියත් තම හැකි පමණින් ලෝකයට එළියක් ගේන්නට ගන්නා පුංචි උත්සාහයක් මිස මෙය වෙනත් අරමුණක් නොගත් වැඩක්. සංයුක්ත තැටියේ සහ පොතේ පිට කවරය ගැනත් මතක් නොකළොත් අඩුවක්. සිසිර විජේතුංග සොහොයුරා එය ඉතාමත් ලස්සනට ඉටුකොට දුන්නා. ජීවිතයේ අපට අත්දකින්න ලැබෙන දුලබ සුලබ සිදුවීම් ඇසුරෙන් අන් අයටත් ඒවා රසවිඳින්න අවස්ථාවක් සලසා දෙන කලාව ඉතා උතුම් දෙයක්. මගේ පුංචි උත්සාහය තුළින් මම අරමුණු කරගත්ත එක දෙයක් තමයි ඒ. ජීවත්වන කාලයේ තව කෙනෙකුගෙ සිත සතුටින් තියන්න අපට කළ හැකි යමක් කරන එක.
Q අම්මා සඳකි ගීත ඉතිහාසයේ වැඩිම මිලක් ලද ගීතය බවට පත් වුණා නේද?
ඔව්. ඒ ගීතය එක්තරා සමාගමක් විසින් මගෙන් ඉල්ලා සිටියා එයාලගේ වැඩකට යොදාගන්න අයිතිය. නමුත් මම එයට එක්වරම බැහැ කීවා. ඔය ගීත හරියට මට මගේ දරුවෝ වගේ, දරුවෙක් විකුණන්න බැරි බව මම ඒ අයට කීවා. නමුත් ඔවුන් මේ ගීතය අරමුණු කොටගෙන ඒ පටන් ගත්ත වැඩේට බොහෝ වියහියදම් දරා තිබුණා ඒ වෙනකොටත්. ඇත්තෙන්ම ඔවුන්ට වෙනත් විකල්පයකට මාරු වෙන්න කාලය ඉතිරි වෙලා තිබුණෙත් නැහැ. අවසානයේ අවුරුදු දෙකකට පමණක් මම එය භාවිත කිරීමේ අයිතිය ඔවුන්ට දුන්නා. ඒ වෙනුවෙන් ඔවුන් සැලකිය යුතු මුදලකින් මට ගෙවීම් සිදුකළා. මේ විදියට ඔවුන් වසර දෙකක් ඒ ගීතය යොදාගනිමින් ප්රචාරක කටයුතු කරගෙන යන අතර, එය වෙනත් සමාගමකට විකිණීම සිදුකර තිබුණා. අවසානයේ පොරොන්දු වූ කාලයට වඩා ඔවුන් ඒ ගීතය යොදාගනිද්දි මම ලිපියකින් ඔවුන්ට ඒ බව දැන්වූවා. ඉන්පසුව ඒ අදාළ නව පාලනාධිකාරිය ඒ සම්බන්ධව නැවත වතාවක් කලින් වතාවටත් වඩා මුදලක් ගෙවා ගිවිසුම තවත් හය මසකට දික් කළා. එයින් පසුව ඔවුන් එය නියමිත කාලය අවසානයේදී නැවැත්තුවා. ඒ අනුව ගීත ඉතිහාසයේ වැඩිම මිලක් ගෙවූ ගීතය විදිහට %අම්මා සඳකි^ ගීතය පත් වුණා.