සංගීත ක්ෂේත්රය තුළ ගායන ශිල්පියෙක් ලෙසත්, වාදකයෙක් ලෙසත් වසර ගණනාවක්ම න්‍යායිකව හා ප්‍රායෝගිකව තමන් ලත් දැනුම තවත් පරපුරක් වෙත ලබාදීමේ මෙහෙවරක යෙදී සිටින ඔහු ගුරුවරයෙකි. ඔහුගේ crescendo institute of music මගින් පවත්වන Crescendo night 2017 ප්‍රසංගය අප්‍රේල් මස අට වනදා සවස 6.00ට එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී පැවැත්වෙයි. ඔහු ප්‍රදීප් බෝගහවත්ත නම් වේ. මේ කතාබහ ඔහු සමගයි.
Q සංගීත ගුරුවරයෙක් දක්වා වූ ගමන් මග ගැන කෙටියෙන් සඳහන් කළොත්?
ඉසිපතන විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳන් මම සංගීතයට කැමැත්තක් දැක්වුවා. ලක්ෂ්මන් විජේසේකර හා ආනන්ද විජේසේකර යන ගුරුවරුන්ගෙන් මට ඉගෙන ගන්න ලැබුණා. සංගීත භාණ්ඩ වාදනයට මම ලොකු කැමැත්තක් දැක්වුවා. ඒ අතර බටනළා වාදනයට මම විශේෂ කැමැත්තක් වගේම හැකියාවකුත් දැක්වුවා. එහිදී මහේන්ද්‍ර පැස්කුවල් සහ ධනංජය සෝමසිරි හොඳම යහළුවන් වුණා. ඒ අතර ගිටාර් ඉගෙන ගන්නත් හැකියාව ලැබුණා.
ඒ නිසාම සාමාන්‍ය පෙළ පන්ති වලදී මට සංගීත කණ්ඩායම් වල වාදකයෙක් ලෙස කටයුතු කරන්නත් හැකියාව ලැබෙනවා. සෙනිත් සංගීත කණ්ඩායම ආරම්භ කිරීමේ මූලිකයා බවට පත්වෙන්න මට හැකිවුණා. ලක්ෂ්මන් සර් මගේ හැකියාවන් දැකලා කලා භූමි ක්ලාස් එකට සම්බන්ධ කළා. රෝහණ සර් මාව ගීත පටිගත කිරීම් රැසකට සම්බන්ධකර ගත්තා. එහිදී මහින්ද බණ්ඩාර, ඩී.ඩී ගුණසේන, ජගත් වික්‍රමසිංහ, ආනන්ද පෙරේරා වැනි දක්ෂයන් සමග වැඩ කරන්න හැකියාව ලැබුණා.
මම පසුව කේමදාස මාස්ටර්, සරත් දසනායක, එච්.එම් ජයවර්ධන එක්ක නිර්මාණ කරන්න යොමු වුණා. පසුව මටම මිල්ටන් මල්ලවආරච්චිගේ හා රනිල් මල්ලවආරච්චිගේ සංගීත නිර්මාණ කිහිපයකට සංගීත දායකත්වය ලබාදෙන්න හැකියාව ලැබුණා. ඒ කටයුතු සිදුවන අතරම මම රෝහණ සර්ගේ පන්තියේ වසර දහඅටක් පමණ ඉගැන්වීම් කටයුතු කළා. පසුව දීපිකා ප්‍රියදර්ශනී මට ආරාධනා කළා. එහිත් මට වසර හතක පමණ කාලයක් සංගීත කටයුතු සිදුකරන්න හැකියාව ලැබුණා. කීර්ති පැස්කුවල් මට ආරාධනා කළා. එහි වසර හයක් පමණ කීබෝඩ් එක සහ වොයිස් ට්‍රේනින් පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන්න හැකිවුණා.
Q ස්වාධීනව සංගීත පන්ති කිරීමට යොමු වෙන්න අදහස් කළේ ඇයි?
මම පෙර සඳහන් කළ ක්ලාස් වල සීමිත වෙලාවක් පමණයි තිබෙන්නේ. මම උගන්වන පන්තියේ උදෑසන සිට සවස් වනතුරුම ශිෂයන්ට ඒ අධ්‍යාපනය ලබාදීමට සූදානමින් සිටිනවා. මට සංගීතය වෙනුවෙන් කාලය කැප කළ යුතුයි. එයට පැයක් දෙපැයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
Q ඔබේ සංගීත පන්තිය තුළ අධ්‍යයන කටයුතු සිදුකිරීමේ ක්‍රමවේදය කුමක්ද?
මට වගකීමෙන් එක දෙයක් කියන්න පුළුවන්. මගේ පන්තියේ ශිෂ්‍යයන් කිසිවෙක් විභාගයෙන් අසමත්ව නැහැ. මම එක් එක් ශිෂ්‍යයා ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ ශිෂ්‍යයාගේ දුර්වලකම හඳුනාගනිමින් තමයි මම ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ. සංගීතයෙන් ලැබෙන්නේ ලොකු මානසික නිදහසක්. මානසික ආතතිය නැති වෙනවා. විෂය කරුණු වුණත් මම ලබාදෙන්නේ සරලවයි. වාදනය ගායනය වගේම රසවින්දනයත් මම මගේ පන්තියේදී ශිෂ්‍යයන්ට උගන්වනවා.
Q මේ පන්තියෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ගේ හැකියාවන් වලට වේදිකාවක් නිර්මාණය වෙන්නේ කෙලෙසද?
මම සෑම වසරකම ප්‍රසංගයක් පවත්වනවා. මේ අප්‍රේල් අට වෙනිදත් එවැනි ප්‍රසංගයක් තමයි පැවැත්වෙන්නේ. එය මෙලෙස පවත්වන හත්වෙනි ප්‍රසංගය. මම එයට ශිෂ්‍යයන්ගෙන් මුදල් ගන්නෙ නැහැ. මම හිතන්නේ මේ තුළ ඇති වටිනාකම් ගොඩයි. මියුසික් තෙරපි කියලා වැඩමුළුවක් මම ආරම්භ කළා. ඒ තුළින් පවා සිදුකරන්නේ ගීතයක තියන වටිනාකම ගැන පෙන්වාදීමයි.
Q වර්තමානයේ නිර්මාණය වන එවැනි ගීත තෝරාගන්නේ නැද්ද?
වර්තමානයේ නිර්මාණය වුණ එහෙම ගීත මම දකින්නේ නෑ. මීට ඉහතත් මෙවැනි ගීත තිබුණා. නමුත් ඒ ගීත අඳෝනාවකින් නෙමෙයි ගායනා කළේ. විනාඩි තුනක ගීතය තුළ ලොකු කතන්දරයක් තියෙනවා. ඒක තමයි මම සාකච්ඡා කරන්න හදන්නේ.
Q මේ මොහොතේ නිර්මාණය වන ගී නිර්මාණ ගැන ඔබ තෘප්තිමත් නැද්ද?
මේ මොහොතේ හැම රූපවාහිනී මාධ්‍යයක්ම මුදල් ඉපයීමට හුරු වී අවසානයි. සල්ලි තියෙනවා නම් ජනප්‍රිය වෙන්න පුළුවන්. මුදල් වියදම් කරලා ගීත නිර්මාණය කරලා එය ප්‍රචාරය කරන්නත් මුදල් වැය කරනවා. මම මීට පෙර රූපවාහිනී වැඩසටහන් රැසක් කර තිබෙනවා. ඔවුන් අපිට වටිනාකමක් ලබා දී තිබෙනවා. නමුත් දැන් එහෙම නෑ. මට දැන් එවැනි දේවලට ගිහින් විකිණෙන්නත් බැහැ. මම සංගීතයට ආදරෙයි.
Q මේ පන්තියෙන් එළියට එන ශිෂ්‍යයාගේ නිර්මාණත් සමාජගත කිරීමට විකිණෙන ක්‍රමවේදය ඇතුළට යන්න වෙනවා?
නෑ එහෙම නෑ. මම ළඟට එන ශිෂ්‍යයන් මුදල් උදෙසා නිර්මාණ කරන්නෙ නෑ. නිර්මාණයකට වටිනාකමක් දියයුතුයි. ගීතයක් ගායනා කරලා එක රැයෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්. සංගීතය කියන්නේ ඒක නෙමෙයි. දැන් දිනකින් ගීතයක් නිර්මාණය කළ හැකියි. නිවැරදි කලාකරුවෙක් නම් එහෙම කරන්න අමාරුයි කියලයි මම හිතන්නේ.
Q ඒ අධ්‍යයනයත් එක්ක අප්‍රේල් අටවෙනිදා ගැන කතා කරමු?
මේ ප්‍රසංගයට සියලු දේවල් සිදුකරන්නේ පන්තියේ ශිෂ්‍යයන්. හැම ශිෂ්‍යයෙක්ම මෙයට දායක වෙනවා. මම හිතනවා මේ පන්ති සහ ප්‍රසංග වැනි දේවල් තුළින් සාර්ථක සංගීත නිර්මාණකරුවෙක් වගේම ජීවිතය සාර්ථකව දකින කෙනෙක් බිහිවෙයි කියලා. මගේ එකම අරමුණත් එය තමයි.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ