පසුගිය 02 වැනිදා තිරගත වීම ඇරඹි අද්භූත චිත්‍රපටයක් වන 'ඩොබාරා'හි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ හුමා කුරේෂිය. ප්රවාල් රාමන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සැලකෙන්නේ 2013 වසරේ නිර්මාණය වූ හොලිවුඩ් අද්භූත චිත්‍රපටයක් වන Oculus හි ප්රතිනිර්මාණිත අනුවර්තනයක් ලෙසයි.
මෙහි නතාෂා මර්චන්ට්ගේ චරිතය නිරූපණය කරන්නේ හුමායි. මේ ඇය සමග පසුගිය දිනෙක ෆිල්ම්ෆෙයාර් සඟරාව කළ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.
Q ඩොබාරා චිත්‍රපටයට කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ?
මේක 2014 දි තිරගත වුණු අධි ස්වාභාවිකවාදී හොලිවුඩ් චිත්‍රපටයක් ඇසුරින් නිර්මාණය වූ බොලිවුඩ් චිත්‍රපටයක්. ඒක මයික් ෆ්ලැනගන් තමයි අධ්‍යක්ෂණය කළේ. කොහොම වුණත් මේක කණ්ණාඩියක් වටා ගෙතෙන කතාවක්. මම රූපණයේ යෙදෙන නතාෂා විශ්වාස කරන්නෙත් මේ අද්භූත කණ්ණාඩිය තමන්ගේ දෙමාපියන්ගේ මරණයට හේතු වුණා කියලයි. මම හොලිවුඩ් චිත්‍රපටය බලලා තියෙනවා. අනික නිෂ්පාදකවරුත් අපේ රංගනය අගය කළා.
Q ඔබේ සහෝදරයා වන සකිබ් සලීම් සමගින් රූපණයේ යෙදීමේ අත්දැකීම කොහොමද?
හරිම සුන්දරයි. මම කවදාවත් මගේ සහෝදරයා එක්ක වැඩ කරලා නැහැ. මම හිතන්නේ අපි තමයි මුලින්ම චිත්‍රපටයකත් සැබෑ සහෝදර සහෝදරියන් ලෙස චරිත නිරූපණය යෙදුණෙත්. හරිම රසවත් ඒ කාලය. අපි පවුලක් වගේ වැඩ කළෙත්.
Q මීට පෙර නිකුත් වුණු Jolly LLB2 චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබුවා. එය ඔබේ ජීවිතයටත් බලපෑවාද?
මාව ඊට පෙරත් ප්‍රේක්ෂකයෝ දැක්කා. ඒත් අපි දිගින් දිගටම වැඩ කරද්දි තමයි අපිව හඳුනාගන්නේ. ඒ නිසා විශිෂ්ටයන් බිහිවෙන්නේ වැඩ කරමින් ලබන අත්දැකීම් එක්ක. දියුණුව එක්ක. මමත් එහෙමයි හිතන්නේ.
Q මොනවද ජීවිතයේදී අත්පත් කරගත යුතු ඉලක්ක?
මට සිත් ඇදගන්නා සුලු චරිත අවශ්‍යයි. මම කැමති නැහැ ඒකාකාරී චරිත නිරූපණය කරන්න. මම ඒ ජාතියේ කෙල්ලෙක් නෙමෙයි. අනික මම කැමතියි ප්‍රේක්ෂකයන් පුදුමයට පත් කරන්න. මමයි, මල්ලියි දෙන්නම ඉදිරියේදී එකට වැඩ කරයි ඒ නිසා. නිෂ්පාදකවරු විදිහටත් අපේ දායකත්වය දෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් දැන්ම නෙමෙයි. දැන්ම හදිසි වැඩියි.
Q බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ දකින දුර්වලතා මොනවාද?
මීට වඩා සංවිධානගත විය යුතුයි. නිර්මාණශීලී විය යුතුයි. අනික අපට විශාල ප්‍රේක්ෂකාගාරයක් ලෝකය වටාම ඉන්නවා. දැන් ඉන්දියාව දිහා හුඟක් අය හරිම අවධානයෙන් බලන් ඉන්නවා. දැන් අපි දිහා බොහොම ගරුත්වයෙන් බලනවා ජාත්‍යන්තරයට ගියත්. ඒත් මීට කලින් අපේ සිනමාව දිහා බැලුවේ 'නැටුම්-ගැයුම් සිනමාවක්' විදිහට. ඒ හින්දා දැන් බලන කෝණය වෙනස් බව අපි තේරුම්ගත යුතුයි.
අනික අපට දක්ෂ අධ්යක්ෂවරුන් පිරිසක් ඉන්නවා. අපේ චිත්‍රපට දැන් දෙමළ, මලයාලම් වැනි භාෂාවලටත් පරිවර්තනය වෙමින් තිරගත වෙනවා. ඒ වගේම අපට දක්ෂ තිර රචකයන් ඉන්නවා. ඒ නිසා අපි අපිම නැවත සංවිධානගත විය යුතුයි. තව තවත් නිර්මාණශීලී විය යුතුයි.
Q චිත්‍රපට ඇරුණාම මොනවටද කැමති ?
මම ආසයි පොත් කියවන්න, ඉවුම් පිහුම් වැඩවලට සහ සංචාරය කරන්න වගේ දේවල්වලට.
Q කඳු නඟින්න හෝ මුහුදු වෙරළට කැමැති නැද්ද?
මම මුහුදටම ලොල් වුණු කෙනෙක්.
Q තාමත් තනිකඩයි නේද?
ඔව්.
Q ආදරේ හොයාගන්න අදහසක් නැද්ද?
නැහැ
Q මොනවද ඔබ ගැන මේ දවස්වල ඇහෙන ජනප්‍රියම කතා?
ඔයා හරි ලස්සනයි, ඔයා කලබල නැහැ, ඔයා කඩිසරයි.
මාලන් ගෝවින්ද